ප්‍රවේසම් වන්න, ඔබේ ප්‍රියයා මේ විදියේ කෙනෙක් විය හැකියි

මගේ ළඟම මිතුරියක් වසර දෙකක කාලයකින් පසු ඇයගේ සැමියාගෙන් වෙන් වන්නට තීරණය කරලා. කාලයකට පසු හමුවූ ඇය මාත් සමඟ බෙදාගත් අත්දැකීම් වලට සවන් දුන් මට එකවරම සිහියට නැඟුනේ මා අසා, කියවා ඇති ‘නාසිසිස්ටික්’ (Narcissistic) නම් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ගැනයි. මට හැඟී ගිය විදියට ඇයගේ සැමියාද එවන් ගති ලක්ෂණ ඇති අයෙක්.

පොදුවේ Narcissistic personality disorder යනුවෙන් හැඳින්වුවත් මෙය රෝගයක් ලෙස ගණන් ගැනෙන්නේ නැහැ. මෙය ගණන් ගැනෙන්නේ බොහෝ කලක් තිස්සේ ගොඬනැඟුනු හැසිරීම් රටාවක් ලෙසයි (trait). නාසිසිස්ට් (Narcissist) කෙනෙක් කියා හැඳින්විය හැකි පුද්ගලයකු තුල ඇති ප්‍රධානම ගති ලක්ෂණ කිහිපයක් නම්,

  • තමාව ඉතා උසස් ලෙස සැලකීම. (superiority)
  • තමාගේ ප්‍රියයන්ව සහ තමා වටා සිටිනා අයව පාලනය කිරීමේ උවමනාව (controlling)
  • තමාට සැමවිටම උසස්ම, හොඳම සැලකිලි ලැබිය යුතු යැයි අපේක්ෂා කිරීම (entitled)
  • අන් අය මඟින් තමා වැදගත් යැයි සලකා ගැනීමට ඇති මහත් කැමැත්ත (seeking validation)
  • ඉතාමත්ම අහංකාර, උද්දච්ච ගතිගුණ වලින් යුක්ත වීම (arrogant)
  • සහකම්පනය දැක්වීමට නොහැකියාව (lack of empathy)

ඉහත ගති ලක්ෂණ ඇතුළුව නාසිසිස්ටික් පුද්ගලයෙකු තුල තිබෙන ප්‍රධානම ලක්ෂණය නම්, ජයග්‍රහණ හඹා යෑම.. ඉලක්ක සපුරා ගැනීම.. අන් අය අතරේ උසස් ලෙස කැපීපෙනීමෙ තදබල ආශාව.. සමාජය තමාව දකිනා ආකාරයෙන් තමාගේ වටිනාකම නිගමනය කිරීම යන ආකල්පයි.

මේ දැක්ම හැඳින්වෙන්නේ tunnel view යනුවෙන්. තම ජීවිතයේ ඉලක්ක උමඟක අවසන ඇති එළියක් ලෙස දකින ඔවුන්, තමා වටා සිටින මිනිසුන්ව දකින්නේ ඒ ඉලක්කය ලඟා කරගැනීමට යොදා ගත හැකි මෙවලම් හෝ ඒ ඉලක්කය ලඟා කරගැනීමේ මාර්ගයට බාධාවක් ලෙස සිටින නිසා ඉවත් කල යුතු අපද්‍රව්‍යය ලෙස දකිනා ආකාරයටයි. ඒ නිසා ඔවුන් කිසිම මනුශ්‍යයකු දෙස සහකම්පනයෙන් බලන්නෙවත්, එහෙම බලන්න හැකියාවක්වත් නැහැ.

බැංකුවේ පෝළිම මඳක් සෙමින් යන විට, ගුවන් තොටුපලේදී ගුවන් යානය විනාඩි දහයක්-පහළවක් ප්‍රමාද වූ විට, රෙස්ටූරන්ට් එකේදී වේටර්වරයා අතින් කෑම ඇනවුම වැරදී වෙනත් කෑම එකක් ලබා දුන් විට.. වැනි අවස්ථා වලදී අධික ලෙස කුපිත වී ලෝක විනාශය වූවාසේ කෑගසමින් අනෙක් මිනිසුන්ට පහත් ලෙස කතා කරන පුද්ගලයන් සමහර විට ඔබ දැක ඇති. සෑම විටම තමා නිවැරදි බව සිතන, පැසසුම් පමණක් බාර ගනිමින් විවේචන හා අඩුපාඩු පෙන්වා දීම් නොඉවසන පුද්ගලයන් කාර්යාලවලදී ඔබ දැක ඇති. සෑම විටම අන්‍යයන්ගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වන මොවුන් බොහෝ විට ආශ්‍රය කරන්නේ ඔවුන් තරම්ම උසස් යැයි සිතනා මිනිසුන්ව පමණයි. මන්ද ඒ මඟින් ඔවුන්ට තමාද මහත් උසස් පුද්ගලයෙකු බව තහවුරු වන නිසා.

ඉහත කී පරිදි අන්‍යයන්ව විවේචනය කිරීමේ රුසියන් වන මොවුන්ට තමන් වෙත එල්ල වන විවේචන නම් දරා ගැනීමට තබා හිතන්නවත් බැහැ. බොහෝ විට විවේචන හමුවේ ඔවුන් හැසිරෙන්නේ අධික කෝපාවිෂ්ඨ වීමෙන්.

කෙනෙක් නාසිසිස්ටික් පුද්ගලයෙක් බවට පත් වන්නේ කොහොමද?

පරම්පරාවෙන්ද මෙවන් ගති ලක්ෂණ හිමිවන බවට මත පලවෙලා තිබුනත්, ඒ ගතිලක්ෂණ ඔප දැමෙන්නේ බොහෝ විට මේ පුද්ගලයන් කුඩා වයසේදී ඔවුන්ගේ දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි පැවසෙන්නේ. මෙයින් නාසිසිස්ටික් පුද්ගලයන්ගේ දෙමාපියන් ඉතාම නරක, නූගත් මිනිසුන් කියා කියවෙන්නේ නැහැ. ඉතාම හොඳ මිනිසුන් යැයි පෙනන, උගත් දෙමාපියන්ගේ දරුවන්ද නාසිසිස්ටික් පුද්ගලයන් බවට පත් විය හැකියි. හිතන්න, ඔබ ඔබේ දරුවාට ඉතාම ආදරය කරන, තම දරුවා වෙනුවෙන් ලොකු කැපවීමක් කරන පියෙක්/මවක් කියා. නමුත් ඔබ ඔබගේ දරුවාගේ ජයග්‍රහණ වලට අසීමිත පැසසුම් ලබා දෙන ගමන්, දරුවාගේ පරාජයන් වලදී අහක බලාගන්නවා නම්. දරුවා සෙල්ලම් කාරයක් හෝ බෝනික්කෙක් හෝ රැගෙන ඔබ ලඟට සෙල්ලම් කිරීමට එන විට කාර්යබහුල වන ඔබ, ඔබේ දරුවා නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ ප්‍රථම ස්ථානය ලබන විට හෝ පන්තියේ පලවනියා වන විට ඉතාම ආදරබර මව්පියෙක් ලෙස දරුවාට ආදරය දක්වනවා නම්… ඔබේ දරුවා වැඩිවියට පත් වෙද්දී නාසිසිස්ටික් ගතිලක්ෂණ ඇති අයෙක් වීමට ඉඩ තිබෙනවා. හේතුව, කුඩා කල සිටම, දරුවාට වැදගත්කමක් දැනෙන්නේ, අවධානය සහ ආදරය ලැබෙන්නේ ජයග්‍රහණ, ඉලක්ක සපුරා ගැනීම් වලදී පමණක් වීම නිසා. ඔවුන්ගේ ජයග්‍රහණ වලදී ඔවුන් සමඟ සිටිනා ඔබ හිතාමතා හෝ නොහිතා ඔවුන්ගේ හැඟීම් වලදී (emotional needs) ඔවුන් තනිකර දමන නිසා. ඉතින් ඔවුන් ජීවිත කාලය පුරාම ඉලක්ක හා ජයග්‍රහණ ලබාගෙන, තමාගේ පිට ඔපය වර්ණවත් කර ගැනීම තුළින් මානසික තෘප්තිය සොයන්නෙක් බවට පත් වෙනවා.

දැන් මඳකට නැවතී හිතන්න. ඔබේ සැමියා, බිරිඳ විදියට.. ඔබේ පෙම්වතා, පෙම්වතිය විදියට ඉන්නේ ඉහත පැහැදිළි කල නාසිසිස්ටික් ගති ලක්ෂණ ඇති පුද්ගලයෙක් නම්??

මේ පිළිබඳ විශේෂඥයන් පවසන අන්දමට නාසිසිස්ටික් ගති ලක්ෂණ ඇති අයෙක් සමඟ මානුෂීය සම්බන්ධකමක් පැවැත්වීම (ආදර හෝ විවාහ ) ඉතාම වෙහෙසකර, අතෘප්තියෙන් පිරුනු, පීඩාකාරී අත්දැකීමක්. හේතුව ඔවුන්ට තමාගේ සහකරු/සහකාරිය ගැන කිසිම අන්දමක සහකම්පනයක් නොදැනෙන නිසා. ඔවුන්ට කිසිම අන්දමකින් සවන් නොදෙන, තේරුම් ගැනීමක් කරන්න අඩුම ගානේ උත්සාහවත් නොකරන නිසා. (මොවුන් සමඟ ප්‍රශ්නයක් කතාබහ කරන විට ඔවුන් ඔබට සවන්දෙනවා සේ සිටියත් ඇත්තටම ඔවුන් ඔබගේ අදහස් වලට සවන් දෙන්නේවත්, ඔබගේ හැඟීම් තේරුම් ගන්නට උත්සාහ කරන්නේවත් නැහැ. ඔවුන් සවන්දෙනවා සේ රඟපාමින් ඉන්නේ ඔබ කතා කොට අවසන් වූවායින් පසු කෙසේ හෝ ඔබව ඔහුගේ/ඇයගේ උවමනාවට අනුව නම්මවා ගැනීමේ අදහසින්). බොහෝ විට මොවුන්ට ඇත්තේ තමන්ගේ සහකරුව/සහකාරියව තමන්ට රිසි පරිදි වෙනස් කොට, තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට උපකාරී වන කෙනෙක් බවට පරිවර්තනය කර ගැනීමේ තදබල උවමනාවක්. ඔවුන් ජීවිතයේ සියලූම තීරණ ගන්නේ ඔවුන්ගේ හැඟීම් මත පදනම් වී මිසක, අඩුම ගානේ තමාගේ සහකරුගේ/සහකාරියගේ හැඟීම් ගැන සලකා බැලීමෙන්වත් අනතුරුව නෙමේ. ඉතින්, මොවුන් සමඟ ජීවත් වීමට සිදුවන අසරණ මනුශ්‍යයෙකුට දැනෙන්නේ කිසිම කෙනෙක් තමන්ට ඇහුම්කන් නොදෙන, තමන්ගේ හැඟීම් ආශාවල් ගනන් නොගන්නා.. ඒවාට වැදගත්කමක් නොදෙන, අතෘප්තිකර දුක්ඛිත, තනිවූ ජීවිතයක් ගත කරන්නටයි.

ඊලඟට නැඟෙන ප්‍රශ්නය නම් මෙවන් ගතිලක්ෂණ ඇති පුද්ගලයෙකු සමඟ මානුෂීය සම්බන්ධයක් පවත්වාගත හැකිද කියන ප්‍රශ්නයයි. මේ ගැන විශේෂඥයන් ගේ මතය නම් එය ඉතාමත්ම කලාතුරකින් පමණක් සිදුවිය හැක්කක් බවයි.

බොහෝ විට මෙවන් පුද්ගලයන් සමඟ ජීවත් වන අය, තම නාසිසිස්ටික් සගයන් තමා කෙරේ දක්වන අතෘප්තිය තමාගේ අඩුපාඩුවක් සේ සිතා, තමන්ව අසීමිත ලෙස වෙනස් කරගන්නට හැදුවත්, තමන්ගේ නාසිසිස්ටික් සගයාට තමන්ට හැකි උපරිම ලෙස ආදරය කරන්නට උත්සාහ කලත්, අවසනයේ හිමිවන්නේ අතෘප්තිය සහ සිත් වේදනාවම පමණයි. මොකද, නාසිසිස්ටික් චින්තනයක් හා ගතිලක්ෂණ ඇති අයෙක්ව තෘප්තිමත් කිරීම ලෙහෙසියෙන් කල නොහැක්කක්. ඔවුන් අතින් වරදක් වුවත්, ඔවුන් ඒ වරද කරන තත්වට පත් කිරීම ගැන ඔබට දොස් නඟාවි. කෙසේ හෝ අවසනයේ වරදකරු වන්නේ ඔබයි. චූදිතයා වන්නේ ඔබයි. තමාට ඇහුම්කන් නොදෙන, තමාව තේරුම්ගන්නට කිසිදු උවමනාවක් නැති කෙනෙක් එක්ක කාටද මියෙනකල් ජීවත් වෙන්න පුලුවන්?

ඒත් එක්කම, නාසිසිස්ටික් ගතිගුණ ඇත්තෙක් තමන්ගේ සහකාරියට/සහකරුට තමන්ගෙන් වෙන්ව යාමට ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට වෙන කෙනෙක් හැරයා හැකි වුනත්, වෙනකෙනෙක් ඔවුන්ව හැරයාම ඔවුනට දරා ගන්නට බැහැ. මොකද, එමඟින් ඇති වන පරාජිත හැඟීම ඔවුන්ව වියරු වට්ටන නිසා. එනිසා ඔබ ඔබගේ නාසිසිස්ටික් ගතිගුණ ඇති ආදරවන්තයාව/ආදරවන්තියව හැරයාමට තීරණය කරනවා නම්, ඔබගේ සැමියාව, බිරිඳව දික්කසාද කිරීමට සිතනවා නම්.. ඉදිරියට තමාට මුහුණ දීමට ඇති ඉතාම කටුක අභියෝගවලට මුහුණ දීමට සූදානම් වී ඒ අඩිය තියන්න. මොකද ඔබගෙව ඔවුන්ගෙන් නිදහස් කරන්න්නට කලින් ඔබගේ ජීවිතය අපායක් කරන්නට ඔවුන් හැකි උපරිමය කරන නිසා.

නමුත් කුමන හෝ හේතුවක් නිසා තමාගේ නාසිසිස්ටික් ගතිගුණ ඇති සගයාව හැරයාමට නොහැකි තත්වයක සිටිනා අසරණ වුන යම් අය ඉන්න පුලුවන්. සමහර විට දරුවන් නිසා, සමහර විට ආගමික පසුබිම නිසා, දෙමාපියන්ගේ බලපෑම නිසා, ආර්ථික ප්‍රශ්න නිසා.. සමහර විට මෙම පුද්ගලයාට ඇති ආදරයම නිසා.. වැනි හේතු මත ඔහුව/ඇයව හැරයාමට නොහැකිම නම්.. එයට විසඳුම ලෙස මනෝවෛද්‍යයවරුන් ඉදිරිපත් කරන්නේ මෙවන් විසඳුමක්. ඔබගේ කාලය, ශ්‍රමය, මානසික ශක්තිය, හැඟීම් සියල්ලෙන් 90%ක් කිසිදා සෑහීමකට පත් නොවන තමාගේ නාසිසිස්ටික් සගයා තෘප්තිමත් කරන්නට යොදවනවා වෙනුවට.. ඒ 90% තමාගේ ජීවිතයේ තමන්ට ආදරය කරන අනෙක් අය වෙත යොමු කරන්න. හොඳම යාලුවෙක්, මාපියන්, දරුවන් වැනි තම නාසිසිස්ටික් සගයාගෙන් බාහිර ජීවිතයට 90%ක් ශක්තිය සහ අවධානය යොමු කොට, තම සගයා වෙනුවෙන් 10%ක් පමණක් යොදාගන්න. ඔහු/ඇය සමඟ කතාබහ කරන විට තමාගේ සිත නොරිදෙන එදිනෙදා මාතෘකා පමණක් යොදාගන්න. ඒවාද ඉතාම කෙටියෙන් කතා කරන්න.

ඉතාම වැදගත්ම කාරණය නම්, තමාගේ සම්බන්ධතාවය තුළින් තමා ‘අපේක්ෂා කරන්නේ මොනවාද, මොන ප්‍රමාණයෙන්ද’ කියන කාරණය කලින් තීරණය කරන්න. මොකද, හිත් වේදනා, බලාපොරොත්තු කඩවීම් ඇතිවෙන්නේ අපේක්ෂාභංගත්වයට පත් වීම නිසා වීමයි. ඔබට ඔහුගෙන්/ඇයගෙන් ගැලවීමක් නැති නම්, තමාගේ ඉදිරි ජීවිතය මල් යහනාවක් නොවන බව තේරුම්ගෙන කටයුතු කරන්න. නමුත් ඔහුගෙන්,ඇයගෙන් ගැලවීමට කුඩා හෝ ඉඩක් ඇත්නම්.. ඔබ ඔබගේ ජීවිතය ගැන ඔබ වෙනුවෙන් හැකි ඉක්මනින් තීරණයක් ගන්නට ඊලඟ පියවර තබන්න. මොකද, ඔබට.. මට සියල්ලටම ඇති එකම එක ජීවිතය තිබෙන්නේ විඳින්නට මිසක කිසිම පලකට නැතුව ගඟකට ඉනිකපමින් විඳවන්නට නොවන නිසා. . . .

******

ප/ලි –

1) ඉහත සඳහන් ගති ලක්ෂන මිනිසුන් වන අප සියල්ලන් තුල අඩුවැඩි වශයෙන් ඇති බව සැබවකි. නමුත් නාසිසිස්ටික් ගති ලක්ෂණ ඇති අය තුල ඉහත ලක්ෂණ වලින් වැඩි ප්‍රමාණයක් ඉතාම ආන්තිකව දක්නට තිබේ.

2) ඔබ දැනට ඉන්නේ නාසිසිස්ටික් සම්බන්ධයක නම්, එය අවසන් කිරීමට තීරණය කිරීමට මේ සටහනේ කරුණු පමණක් පදනම් කරගන්නට එපා.මේ සටහනේ ඇත්තේ ඉතාම කෙටියෙන් කුඩා විස්තරයක් පමණයි. මේ ගැන අන්තර්ජාලයේ ඕනෑ තරම් විස්තර, අදහස් තිබෙනවා. ඒවා කියවන්න, දැනුවත් වෙන්න. ඉන්පසු, ඔබට ඔබගේ සහකරුගේ/සහකාරියගේ ගතිලක්ෂණ ගැන තහවුරු වූ පසු, හැකි නම් කවුන්සලින්, තෙරපි වැනි උපදෙස් ලබාගෙන ඒ විශේෂඥ උපදෙස්ද සලකා බැලීමෙන් පසුව පමණක් ඔබේ තීරණය ගන්න.

3) නාසිසිස්ටික් ගතිගුණ සුවකල නොහැක, මන්ද එය රෝගයක් නොවන බැවිනි. කාලයක් තිස්සේ ඔවුන්ව සාමාන්‍යය හැසිරීමට හුරු කල හැකි වුවත්, ඔවුන්ගේ ජීවිතයේ යම් වැදගත් දෙයක් ඔවුන් කැමති විදියට සිදු නොවූ විටක නැවන රබර් පටියක් මුල් තැනක ක්ෂණයකින් පැමිණෙන්නා සේ, ඔවුන් පරණ තැනටම පත්වන බව විශේෂඥ අදහසයි.

Leave a comment