Monthly Archives: September 2017

මගේ පළවෙනි ලව් එක

කෙල්ලෙක්ට මුලින්ම ලයින් දැම්මේ ඉස්කෝලෙ කාලෙදි.

එතකොටම මට වයස අවුරුදු දහහතයි. කෙල්ල හිටියේ අපේ පන්තියට එහා පන්තියෙ. මා එක්ක බලද්දි ඇඟ පතින් කෙල්ල සෑහෙන පොඩියි. මිටියි. ඒත් ඉතින් හැඟීම් කියන ඒවා තෝරගෙන බේරගෙන ඇති වෙන ඒව නෙමේනෙ. ඉබේ ඇති වෙන දේවල් නෙ.

ඒකිගෙ තිබ්බ අහිංසක හැසිරීමට, බිම බලාගෙන ඇවිදින විදියට, ගොතපු කොණ්ඩෙට, හිනා වෙන විදියට විතරක් නෙමේ කොටින්ම මාව දැක්කම අහක බලන විදියටත් මාරම විදියට ලව් කරන්න ගත්තා දවස් දෙක තුනක් යද්දිම.

දැන් මම කෙල්ලට ලව්. මට තේරෙනවා මම කෙල්ලට ලව් කියල. මට හිතෙනවා අම්මට සිරි මේ මට ඇති වෙලා තියෙන හැඟීමට නේද මේ ලව් එක කියන්නෙ කියල. මාරම ලල් එකක් තිබ්බෙ ඒ ෆීලින්ග් එකේ.

ඉතින් මමත් හරකා වගේ සීන් එක කියනවා මගේ හොඳම යාලුවට. ඌට පෙන්නනවා හා හා පුරා කියල මගෙ හිත මුලින්ම ගිය කෙල්ලව. ඌ කියනවා උගෙ යාලුවට, උගෙ යාලුවා කියනවා උගෙ යාලුවට. කෝම හරි සතියක් යන්න කලින් මුළු සෙක්ෂන් එකම දන්නවා මම මේකිට ලයින් කියලා. සති දෙකක් විතර යද්දි ඉස්කෝලෙ ඉන්න සර්ලා මිස්ලා පවා දන්නවා සීන් එක. ඇයි ඉතින් අපේ සෙක්ෂන් එකේ සර්ලා මිස්ලාගෙම ළමයි කීයක් නම් හිටියද?

දැන් මම කෙල්ලට ලයින් කියල දන්නෙ නැත්තෙ කෙල්ල විතරද කොහෙද. ඒත් මම හිතන්නෙ කෙල්ල සීන් එක දන්නවා කියල. ඉන්ටර්වල් එකේදි මම කෙල්ල දිහා එහෙන් බලනවා, මෙහෙන් බලනවා.. කෙල්ල ඔහේ ඉන්නවා ඉතින්. මං හිතන්නෙ මේකි ලැජ්ජාවට දැක්කෙ නෑ වගේ ඉන්නව කියල. කෝම හරි ඕම ඕම කාලය යනවා මාසයක් විතර.

දැන් මට මේකිව ඕන. අම්බානකට ඕන. පුළුවන් තරම් ඉක්මනින් ඕන. ඒත් මොකාටද වගේ ගිහින් මූණටම යාලුවෙන්න අහන්නත් බෑ. හයිය නෑ. ගට නෑ. ඇත්තම කියනව නම් කොන්ද පණ නෑ.

ලිව්වා කෙල්ලට ලියුමක්. දුන්නා මගේ පන්තියේ ගෑණු ළමයෙක්ට. යාලුවත් පැනල ගත්තා ඉතින් හරිම ආසාවෙන්. මුළු සෙක්ෂන් එකම සීන් එකට මට බොක්කෙන් සපෝට් ඉතින්.

අනේ ලියුම දුන්නලු මෙන්න මේක බණ්ඩා දෙන්න කිව්ව කියල. කෙල්ල ඇහැව්වලු කවුද බණ්ඩා කියන්නෙ කියල. ලියුම ගන්න බෑ කිව්වලු. අනේ ඉතින් වැලේ වැල් නෑනෙ. අර යාලුවා මූණ දික් කරගෙන ලියුම ආයෙම ගෙනල්ලා දුන්නා එයා ගන්න බෑ කිව්වා අනේ කියල. මම කෙල්ලට ට්‍රයි කියල දන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ කෙල්ල විතරයි.

පළවෙනි පරාජය !

හෙණම අවුල් ඉතින්. ගෙදර ඇවිත් ගත්තා ගිණි පෙට්ටිය. පිච්චුවා ලියුම. ආයෙම ඕකිගෙ මූණවත් බලන්නෑ කියල හිතාගත්තා ලෙසටම.

ඕම හිතින් පොර ටෝක් දාගෙන ආයෙම ඉස්කෝලෙ ගියාට දවස් දෙකතුනක් යද්දි ඉන්නම බෑ අරකිව දකිද්දි. ලව් එක ඉතින් ආයෙ ආයෙ මෝදු වේගෙන වේගෙන ඇවිත් මගේ පොරසිටියට දැම්මා කෙළෝලම.

පටන් ගත්තා ආයෙම ගේම. දැන් ඉතින් කොල්ලා ෆුල්ම අධිෂ්ඨානයෙන් කෙල්ලව දාගන්න වැඩ.

ඉස්කෝලෙ එද්දි මඟ ඉන්නවා.. ඒකි අහක බලාගෙන යනවා. ඉන්ටර්වල් එකට ඒකිගෙ පන්තිය ගාවට ගිහින් ලයින්පාර දානවා.. ඒකි අහක බලාගෙන ඉන්නවා. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කට්ට අව්වේ මේකි එනකල් බලාගෙන ඉන්නවා… ඒකි අහක බලාගෙන යනවා.

මූණ දිහා ඇස් කොණකින්වත් නෑ බලන්නෙ මේකි ! ආඩම්බරකාරි !

හරියන්නේ නෑ වැඩේ කියල හිතල ඕම මාස හයක් හතක් ගියායින් පස්සෙ කොල්ලා ගන්නවා අර තිබ්බේ නැති ගට හිතට. වෙලාවක් බලලා බලලා ගියා හම්බෙන්න කෙල්ලව. පළවෙනි පාරට කෙල්ලක් ඉස්සරහා බල්ලෙක් වෙන්න යන බව දැන දැන කොල්ලා යනවා දැන් කෙල්ල ගාවට. වෙව්ල වෙව්ල ගැහි ගැහී ගියා කෙල්ල ඉස්සරහට.

“මේ.. පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද?”

“සොරි. බෑ”

දෙවනි පරාජය !

අප්පා…. ඈත ඉඳන් ආසාවෙන් බලාන හිටිය යාලුවෝ රෑනටම පේන්න ඇති මගේ මූණේ වෙනස. රෙදි නැතුවා සේ දැම්මා ආපහු රිවස් ගියරයට. මූණ එල්ලගෙනම ගියා ඉතින් යාලුවෝ ගාවට. එවෙලේ යාලුවෝ දුන්නේ කිසිම දවසක අමතක නොවෙන සප් එකක්.

දැන් වැඩේ ෆුල්ම අවුල්. ඒත් හිතේ තියෙන ලව් එක නම් දවසෙන් දවස වැඩි වෙනවා මිසක අඩුවක් නම් නෑ. ඕම ඕම ආවා අපි ඉස්කෝලේ යන අන්තිම දවස.

මේක තමා මගේ ලාස්ට්ම චාන්ස් එක.

මුළු දවසම ෆුල් ෆන් එකේ යාලුවෝ පිස්සු කෙළකෙළ අන්තිම දවස සැමරුවත් මගේ හිතේ තිබ්බෙම අද මම කෙල්ලගෙන් අහද්දි මේකි මොනව කියයිද කියන එක. මං මෙච්චර කල් පස්සෙන් ආව නිසාවත් හා කිව්වොත්. එකම එක අවස්ථාවක් මට දෙන්න ඒකිට හිතුනොත්..

හරි. ඉස්කෝලෙ ඉවරයි. අවසාන වතාවට අපි ගෙදර යන වෙලාව. කෙල්ල යනවා කෙල්ලගෙ යාලුවත් එක්ක ඉස්සරහින්. මම දුවගෙන දුවගෙන ගිහින් හිටගත්තා කෙල්ල ගාවින්.

“නිරාෂා.. මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද? එක විනාඩියක්??”

“බෑ”

තුන් වෙනි පරාජය හෙවත් මාරම පරාජය !

මගේ ඒකපාර්ශ්වික ප්‍රථම ප්‍රේමය පොඩ්ඩ පොඩ්ඩ මගෙන් ඈත් වෙලා නැත්තටම නැති වෙලා යන හැටි පාර අයිනේ ගල් වෙච්චි පිළිමයක් වගේ මම බලාගෙන ඉන්න ඇති.

අවුරුදු දෙක තුනක් යනකල් විතර මාරම කුජීත හැඟීමක් ආවේ ඔය පළවෙනි ලව් එක ගැන මතක් වෙන වාරයක් වාරයක් ගානේ.

ඒත් ඊට පස්සේ ආදරය කරලා, ආදරය විඳලා, ආදරෙන් පැරදිලා, ආදරෙන් පරිප්පු කාලා, ගැලපෙනම ආදරය හම්බෙලා, ආදරය කියන්නෙ මොකක්ද කියල තේරීගෙන එන වයස වෙද්දි ඒ පළවෙනි ලව් එක මතක් වෙද්දි දැනුනේ හරිම සොඳුරු හැඟීමක්.

දැන් ඒ කෙල්ල බැඳලා මං හිතන්නෙ. ළමයි ඉන්නවද දන්නෑ. මොනව වුනත් දැන් හිතෙනවා ඒ කෙල්ල මා එක්ක යාලු නොවුන එක හොඳයි කියල.

ඒක පාර්ශ්වික වුනත් ප්‍රේමය ගැන හම්බෙච්චි ඒ පළවෙනි අත්දැකීම නම් කවදාවත් අමතක නොවන එකක්.

මේවා කියන්න මොකටද ලැජ්ජ වෙන්නෙ.. කාටද මෙහෙම අත්දැකීම් නැත්තෙ.. නේ? 😉

බුක්ෆෙයාර් ආතල්

මේ දවස් වල හැමෝම කතාවෙන කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවන කොටසේ ජෙහාන් කියනවා මෙහෙම කතාවක්.

“සුපර්මාකට් වලින් බඩු ගන්න එක වෙනම ආතල් එකක් බං..දැන් උඹ හිතපං.. අපිට කොහෙද ඔය පොඩි කාලෙ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහේම කප කප යන්න පුළුවන් වෙන්නෙ?….මං දැකල තියෙනව සමහර එවුන් එහෙම යන අතරෙ…. බ්ර්බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්….ගාල කටින් සද්දෙකුත් දානව. අනිත් එක උඹ හිතපං.. අපිට කවදාවත් ගන්න බැරි බඩුවක් ළඟට ලං වෙලා.. ඒකෙ ගාන බලන්න… ඒක අතට අරං බලන්ඩ.. ඒකෙ සුවඳ බලන්ඩ.. ඒක අතගාල බලන්ඩ.. අපිට ඒ බඩුව ගන්න බැරි වුනාට එකෙ සම්පූර්ණ ආතල් එක අපිට ගන්න පුළුවන් වෙනව. අනිත් එක..උඹ හිතපං නිකං වෙන කඩේකට ගියාට අපි යන වාහනේ පේන්නෑනෙ.. ඒවුනාට බං සුපර්මාකට් එකේදි තමයි ලොකු වීදුරු දාල තියෙන හින්ද ඇතුලෙ ඉන්න එවුන්ට අපි යන වාහනෙත් පේන්නෙ. ඒක වෙනම ආතල් එකක් !”

මට මතකයි මම පොඩි එකා දවස් වල කාලයක් හැමදාම හවසට අර අමුතු මියුසික් එකක් දාගෙන ගිය වෝල්ස් අයිස්ක්‍රීම් කාර්ට් එක. අම්මගෙන් වැඳල වැඳල සල්ලි කීයක් හරි ඉල්ලගෙන වෝල්ස් අයිස්ක්‍රීම් එකක් කනවා කියන්නෙ ඉතින් ඒ කාලෙ හැටියට කියල නිමකරන්න බැරි සතුටක්. සාමාන්‍යයෙන් අම්මා අරන් දෙන්නෙ රුපියල් දහයට පහලවට තිබ්බ අයිස්ක්‍රීම් එකක්. රුපියල් 32 ට තිබ්බ අයිස්ක්‍රීම් එක තමයි මම බලාපොරොත්තු වුන හොඳම අයිස්ක්‍රීම් එක. අම්මා ඒක අරන් දුන්නා කියන්නෙ ඉතින් රජ මඟුල් වගේ තමා.

කොහේ හරි ගමනක් ගිහින් ගෙදර එන ගමන් මහන්සිය නිවා ගන්න කඩේකට එක්කන් ගිහින් අම්මා අරන් දෙන අයිස්ක්‍රීම් එක වගේ නෙමේ වෝල්ස් අයිස්ක්‍රීම් එක.

හවස ගෙදර කම්මැලිකමේ ඉද්දි ඇහෙන අර මියුසික් එක.. අර පාට පාට කාර්ට් එක..

එතන තියෙන්නෙ අර ජෙහාන් කිව්ව වගේ වෙනම ආතල් එකක් !

ඔය වගේම අමුතු ආතල් එකක් තමයි අර ඇත්තටම පොෂ් සහ වෙන්ඩ පොෂ් සමහර ගෑණු කියන්නෙ “මගෙ හොබී එක ෂොපිං කරන එක මෙයා” කියල. ඒ කතාව හරියටම හරි. සමහරුන්ගේ හොබී එක ෂොපිං කිරිල්ල. ඒ කියන්නෙ ඒ අය ෂොපිං යන්නේ ඇඳුමක් ගැනීමේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න නෙමේ. ඒ අයගේ අවශ්‍යතාවය තමා ෂොපිං කරන ප්‍රෝසෙස් එක විඳින එක. ඒ අයගේ ආතල් එක තියෙන්නෙ එතන.

තට්ටු දෙක තුනක ඒසී කරපු ඇඳුම් සාප්පුවකට වාහනයක ගිහින්, සඟ දාගෙන වාහනෙන් බැහැල, කඩේ ඇතුලෙ පැය ගාණක් ඇවිද ඇවිද ඇඳුම්..හෑන්ඩ්බෑග් අතගගා බල බල, ෆිට් ඕන් කරල හැඩ බල බල අන්තිමේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවල වාහනේම ගෙදර එන ප්‍රෝසෙස් එකෙන් ඒ අය ගන්නව අර ජෙහාන් කිව්ව වගේ වෙනම ආතල් එකක් !

සමහර විට ඒ ගේන ඇඳුමක් මාස ගාණක් යනකන් අඳින්නේ නැති වෙන්න පුළුවන්.. මාස ගාණ නෙමේ කවදාවත්ම අඳින්නෙ නැති වෙන්න පුළුවන්.. ඒත් ඒක අදාලම නෑ, මොකද ඒ අයට ආතල් එක තියෙන්නේ ඇඳුම අඳින එකටත් වඩා ෂොපිං කිරිල්ලෙ.

දැන් පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව ඇති මේ වහෙන් ඔරෝ කියන්න යන්නෙ මොකක් ගැනද කියල. ඔව් බං මේ කියන්නෙ මේ දවස් වල ජයටම යන පොත් ප්‍රදර්ශනේ ගැන තමා.

ඔය පොත් ප්‍රදර්ශනේට කියවන්න නිසා පොත් ගන්නම යන පිරිසක් ඉන්න බව ඇත්ත. ඒ බව මුලින්ම කියල ඉන්න ඕන. නමුත් මට හිතෙන්නෙ නම්, ඔය පොත් ප්‍රදර්ශනේට යන අයගෙන් අතිමහත් බහුතරයක් යන්නෙ අර ජෙහාන් කිව්ව වගේ “පොත් ප්‍රදර්ශනේ ඇතුලෙ තියෙන ආතල් එක” ගන්න.

අවුරුද්දට සැරයක් එන මහා පොත් ප්‍රදර්ශනයක්.. හැමජාතියේම පොත් එකම තැනක.. යාලුවො එක්ක සෙට් වෙලා ගිහින් අයිස්ක්‍රීම් එකක් කාලා.. බීම එකක් බීලා.. නූඩ්ල්ස් එකක් කාලා.. ඇවිදලා කරලා.. සෙල්ෆි ගහලා.. ගහන සෙල්ෆි බුකියේ අප්ලෝඩ් කරලා.. පොත් තෝරලා.. පොත් ගොඩක් එකතු කරගෙන.. ඒවයේ ෆොටෝ ගහලා.. ඒ ෆොටෝ බුකියේ අප්ලෝඩ් කරලා… මීට කලින් හම්බුනේ නැති සයිබර් යාලුවන්ව ඇත්තට දැකගෙන.. ඒ අය එක්කත් සුහද වෙලා ෆොටෝ එකක් හෙම ගහලා… ඔය ගන්න අත්දැකීමත් අමුතුම ආතල් එකක් !

කොටින්ම මමත් ගිය අවුරුද්දෙ ඔය ආතල් එක ඔහොමම ගත්තා. ඒකේ රසය වින්දා.

මේ කියන්නෙ ඒකෙ කිසිම විදියක වැරැද්දක් තියෙනව කියල නෙමේ. කාටවත් හානියක් නැති අහිංසක ආතල් එකක්නෙ. ඔය ගන්න පොත් පහලවෙන් විස්සෙන් අඩුම තරමෙ එක පොතක තුන්කාලක්වත් කියවනවා නම් ඒකත් වටිනවානෙ.

මම කොහොමවත් කියන්නෙ නෑ පොත් ප්‍රදර්ශනේට යන්න ඕන කියවන්න බලාගෙනම පොත් ගන්න උන් විතරය.. සල්ලි දීලා ගන්න පොත් කියවන්නෙ නැති උන් බොරු ෂෝ කාරයොය කියල. ඒ වගේ “දොරමඬලා” ටෝක් දාන්න තරම් මොළේ අමාරුවක් තවම නෑ.

ඒත් ඉතින් පොත් ගැනිල්ල අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව ඕක කියලයි මට හිතෙන්නෙ. ඒ කිව්වෙ “පොත් ගැනීමේ ආතල් එක” ගැන.

හැබැයි ආතල් එකක් අස්සෙ හැංගිලා තියෙන ඇත්ත මොකක්ද කියල දැනගත්තාය කියල ආතල් එක ගන්න බැරි වෙන්නෙත් නෑ. එනිසා ආතල් එක ගනිල්ලා.

ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනේ ආතල් එක ගත්ත නිසා මේ පාර පොත් ගන්න යන්න මට අදහසක් නැහැ.

ඒත් යන උන් යමල්ලා.. ගිහින් පොත් ගනිල්ලා.. සෙල්ෆි ගහපල්ලා.. ඒවා බුකියේ අප්ලෝඩ් කරහල්ලා..’පොත් ප්‍රදර්ශනේ’ කියන ඉවෙන්ට් එකට ගිහින් ඒ ෆන් එක ගනිල්ලා.

අර ජෙහාන් ගොයිය කිව්ව වගේ.. සුපර්මාකට් එකේ වගේම, වෝල්ස් අයිස්ක්‍රීම් කාර්ට් එකේ වගේම, විනෝදාංශයට ෂොපිං කිරිල්ල්ලෙ වගේම

පොත් ප්‍රදර්ශනේ ඇතුලෙ තියෙන්නෙත් විඳින්න වටින වෙනම ආතල් එකක් ! 🙂

දේශපාලකයෝ වැරදි කරති…අපි?

දේශපාලකයෝ වැරදි කරති.

 …අපි?

කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්‍රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි.

මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි.

“ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ටාර්ගට් එක කවර් කරගන්නයි මුංට ඕන..කාලකණ්ණි හැත්ත” කලක් නීතිය කඩකරන ජහමනයා පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරන විට ප්‍රතිචාර දැක්වූයේ එහෙමය.

බැංකුවකට ගියද කාර්‍යාලයකට ගියද, ගුවන්තොටුපලට ගියද හැඳුනුම්කම් ඉදිරියට දමා අඩුම තරමේ පෝලිමෙන් හෝ පැන ඉදිරියට යන්නට දඟලන ජනතාවකි, අපි.

හැඳුනුම්කම් පමණක් නොව, නෑදෑකම්, යාලුකම් පමණක් නොව, පට්ටම්, උගත්කම් වැනි ඕනෑම දෙයක් ඉස්සරහට දමමින් ඕනම වෙලාවක අනෙකා පරයමින් කුමක් හෝ වාසියක් ලබා ගන්නට තටඹන, අනෙකා පාගා තමන්ගේ කුමන හෝ අපහසුතාවයක් මඳක් හෝ අඩු කරගන්නට දතකන ජනතාවකි, අපි.

තමාගේ බලපුලුවම්කාරකම් යොදා තම දරුවාට, නෑදෑයාට හැකි උපරිමයෙන් යමක් කරදීමට වෑයම් කරන ජනතාවකි, අපි.

නීතියේ ආධිපත්‍යය යනු කුමක්ද, එහි වැදගත්කම මොකක්ද, සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුත්තේ ඇයි, වැනි කාරණා ගැන අවබෝධයක් නැති ජනතාවකි, අපි.

කොටින්ම පාලකයාගේ වැරදි ගැන කතා කිරීමේදී “අපි ඔතනට ගියත් ඉතින් අපිත් කරන්නේ ඕකමනෙ” කියා නිර්ලජ්ජිත කතා කියන ජනතාවකි, අපි.

කතාව ඇත්තය. අපි ඔතනට පත් වුවද තත්වය මෙසේමය.

අපිට අනුව අපරාධකරුවන් ආයුධ පෙන්වීමට යැවීම හොඳය, අප අකමැති උන් මැරීමට යොදාගන්නවා නම් සුදුවෑන් පවා හොඳය, අප සමාජයේම නිර්මාණයන් වන ‘කළු චරිත’ එල්ලා මරා විනාශ කර දැමීම හොඳය. 

අපට අනුව අපරාධකරුවන්ට මක් වුවද කම් නැත. සමලිංගිකයන්ට මක් වුවද කම් නැත. සංක්‍රාන්ති ලිංගිකයන්ට මක් වුවද කම් නැත. අපේ නොවන අනෙක් ජාතීන් වල මිනිසුන්ට අපේ යහපැවැත්මේ නාමයෙන් මොනවා වුවද කම් නැත. අපිට අපි නොවන, අපි වගේ නොවන, අපිට වඩා වෙනස් අනෙකුට මක් වුවද කම් නැත.

අපට අනුව පාලකයා වැරදි කලද කම් නැත. පාලකයා කුමන ක්‍රමයක් හෝ යොදාගෙන අපගෙ මනදොල සනසනවා නම් පාලකයා අතින් වන බරපතල වැරදි වලට පවා නොපසුබටව සමාව දීමට සූදානම් ජනතාවකි, අපි. එවන් ජඩ පාලකයන් හිර ගෙවල් වලට යද්දි මෙන්ම හිර ගෙවල් වලින් එද්දී ද මල් මාලා දමමින් පිළිගැනීමට සූදානම් ජනතාවකි, අපි. අප කැමති උන්ට නීතිය අදාල නැත. අපි කැමති දේ කරනවා නම් උන්ව නීතියෙන් ආරක්ෂා කිරීමටද සැදී පැහැදී සිටින ජනතාවකි, අපි.

ඒ අපේ කමය. සැකවින් කීවොත් ඒ අපේ සිස්ටම් එකේ හැටිය. කොහේන් හෝ අපට උරුම වී දිගින් දිගටම අප විසින් නඩත්තු කරනා සිස්ට්ම් එකේ හැටිය.

ඔබ සහ මම ඒ තරම් තිත්ත, අප්‍රසන්න, අමිහිරි, සමාජ ක්‍රමයක කොටස් කාරයන්ය.

සිස්ටම් එකට සාපේක්ෂව බැලුවහොත්, සැබෑම වරද වැරදි කිරීම නොව, අහුවෙන්න වැරදි කිරීමය.

මෙය චක්‍රයකි. මුලක් මැදක් අගක් සෙවිය නොහැකි මඩ ගොහොරුවක කැරකැවෙන රෝදයකි.

ජඩයන් වූ පාලකයන් බිහිවන්නේ ඉහත සඳහන් කල චින්තනයක් හිසේ දරාගෙන සිටිනා ජනතාව අතුරිනි. ජනතාව අතුරෙන් බිහිවන පාලකයන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතිය යනු අප සමාජ චින්තනයේ ප්‍රතිබිම්බයයි. ජනතාව අතුරෙන්ම තේරී පත්වී තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම ඉලක්ක කරගෙන ජනතාව තුළ තිබෙන මේ පසුගාමී චින්තනයට උල්පන්දම් දෙමින් එය තමන්ගේ වාසියට යොදාගන්නේද ජනතාව විසින්ම ඒ චින්තනය උරුම කර දුන් පාලකයායි.

මේ විකෘති වූ සිස්ටම් එක වෘක්ෂයක් නම් එහි කඳ නරුම දේශපාලකයායි. ඒ වෘක්ෂය නොවැටෙන සේ දරා සිටිනා මුල් වන්නේ මේ රටේම ජනතාවයි.

තත්වය එසේ තිබියදි රටේ අනාගතය බාර ගන්නට සිටිනා දරුවන්ට සිතන හැටි කියා දෙන්නේද මේ ජනතාවමය. ඒ දරුවන්ව මිනිසුන් කරනා අධ්‍යාපන ක්‍රමය කෙසේ විය යුතු දැයි කියා දෙන්නේ මේ පාලකයාමය.

මෙවන් නරුම ක්‍රමයක කොටස්කාරයන් වන අපි, පාලකයන් අතින් අපි අකමැති විදියේ වැරදි සිදුවූ විට පමණක් පාලකයාට දොස් තබමු. ශාප කරමු.

අපගේ ඇඟවල් බේරා ගැනීමට අපේ ජිවිතයේ හැම ප්‍රශ්නයකටම ඔවුන් වග උත්තරකාරයන් කරමු.

මොන දෙය වුවද වෙනකකුට ඇඟිල්ල දික්වන තාක් අපට සතුටුය. අපට ඕනෑ අපගේ ප්‍රශ්න වලට වගකිව යුතු වරදකරුවෙක් පමණි. ඒ වරදකරු අප නොවන තාක් අපට සැනසිල්ලේ නිදාගැනීමට ඇහැකිය.

කොහෙන් ගියත් ප්‍රතිපත්තිගරුක, ගුණගරුක, නීතිගරුක ජනතාවක් වන අපි, හරිය. අපිහරිම හොඳය.අපි සුදනෝය.

අපිට අනුව වැරැද්ද අපේ නොව පාලකයාගේය.

මෙය චක්‍රයකි. මුලක් මැදක් අගක් සෙවිය නොහැකි දිනපතා මඩ ගොහොරුවක කැරකැවෙන රෝදයකි. 

දේශපාලකයෝ වැරදි කරති.

 …අපි?

වැලිකඩ සිරකරුවන් සුදු වෑන් යැවීම

මීට ශතවර්ෂ ගාණකට කලින් ම්ලේච්ඡ ක්‍රියාවල නිරත වුන අපරාධකරුවො කියල සැලකුන මිනිස්සුන්ට සමාජයෙන් උත්තර දුන්නේ ම්ලේච්ඡ ක්‍රම වලින්මයි.

ඇතුන් ලවා පාගා මැරීම… කිඹුලන්ට, මෝරුන්ට කන්න දැමීම, විෂ සහිත ගෝනුස්සන්, සරපයන් ලවා දෂ්ඨ කරවීම.. පණ පිටින් හමගැසීම.. වතුර, තෙල්, තාර බැරල් වල දමා නටන තුරු රත්කර මරා දැමීම.. පණපිටින් වැළලීම.. පණපිටින් පුළුස්සා දැමීම.. කුරුසියේ ඇණ ගැසීම.. දියේ ගිල්වා මරා දැමීම.. උස් තැන් වලින් තල්ලු කර මරා දැමීම.. හාමතේ සිටින්නට හැර මියයාමට සැලැස්වීම.. වස දීම මඟින් මරා දැමීම..

වගේ දඬුවම් ක්‍රමයි ඒ යුගවල අපරාදකරුවන්ට දුන්නෙ.

ඒත් මානව සංහතිය ක්‍රමයෙන් ශිෂ්ඨාරගත වීමත් එක්කම අපරාධකරුවන්ට මරණ දඬුවම දෙද්දි අඩු වේදනාවෙන් යුක්ත, ක්ෂණික මරණයක් ලැබෙන සාපේක්ෂව ශිෂ්ඨ කියල සැලකෙන එල්ලා මැරීම..වෙඩි තබා මැරීම..විදුලි පුටුව මඟින්, විෂ එන්නත් මඟින් මරණයට පත් කිරීම වැනි ක්‍රම වලට පරිවර්තනය වුනා.

ඒ විතරක් නෙමේ, වර්තමාන ලෝකෙ මරණීය දණ්ඩනය ලබා දීමේ සදාචාරාත්මක බව, තොරතුරු ලබා ගන්න අපරාධකරුවන්ව වධහිංසාවට(torture) ලක් කරන එකේ හරි වැරැද්ද වගේ දේවල් ගැන ඉතා වැදගත් කතිකාවත් පවා ඇති වෙලයි තියෙන්නෙ.

අපරාධකරුවන්ට පවා මානව අයිතීන් තියෙන බව පිළිගන්න කතිකාවත් ඇතිවී තියෙන්නෙ,  ඔවුන් සමඟ කටයුතු කරද්දි පවා වඩා ශිෂ්ඨ සහගත ක්‍රම සහ විධි අනුගමනය කිරීමේ වැදගත්කම ගැන කතිකාවත් ඇතිවී තියෙන්නෙ අශිෂ්ඨත්වය සමඟ ශිෂ්ඨ විදියට කටයුතු කරන එක ශිෂ්ඨත්වයේ මූලිකම ලක්ෂණයක් බව වර්තමාන ලෝකය තේරුම් අරන් ඉන්න නිසා.

මානව සදාචාරාත්මක පරිනාමය කියන්නෙ ඒක.

……..

වර්තමාන ලෝකයේ ශිෂ්ඨත්වය ගැන චින්තනය එහෙම වුනාට අවාසනාවකට අපේ ලාංකික සමාජයේ චින්තනය තියෙන්නේ අර ශතවර්ෂ ගණනකට කලින් මිනිස් සංහතිය සිටි තැනමයි. අපේ චින්තනය ඉන් ඉදිරියට පරිනාමය වීමක් සිද්ධ වෙලා නැහැ. අපරාධකරුවෙක්ට මානව අයිතීන් ඇති බවවත්, ඔවුන් සමඟ කටයුතු කල යුතු අන්දම ගැනවත් ශිෂ්ඨාචාරගත අදහසක් ලාංකේය මනස තුල නැහැ.

අපි තාම ඉන්නෙ කෙනෙක් අපරාධයක් කරපු නිසාම (බොහෝ විට ඒ අපරාධය නීතිය ඉදිරියේ ඔප්පු වෙන්නත් කලින් ඉඳලම) අර ශතවර්ෂ ගාණක් පරණ දඬුවම් ක්‍රම ඔහුට ලබා දෙන්න දතකමින්.

පහුගිය ආණ්ඩුව කාලයේ සුදු වෑන් වලින් පාතාල නායකයින්ව මැරුවා කිය කිය සුදු වෑන් සාධාරණීයකරනය කරන මිනිස්සු, අපරාධකරුවන්ව “ආයුධ පෙන්නන්න” එක්කන් ගිහින් වැඩේ දෙන එක ඉතාම හොඳ දෙයක් බව කියන මිනිස්සු, යුධ සමයේ සිද්ධ වුනා කියල සැලකෙන යුධ අපරාධ සාදාරණීයකරනය කරන මිනිස්සු, කොණ්ඩයා එල්ලල මරන්න ඕන කියල මහ හඬින් අඬ අඬ  කෑගගහ උද්ඝෝෂණය කරපු මිනිස්සු, අපරාධකරුවන්ව මහ පාරේ නිරුවත් කරල ගහල මරල දාන්න ඕන කියන මිනිස්සු,  හොරෙක්ඔ අහු වුනාම ඌව ගස් බැඳල ඌට තඩිබාලා කේන්තිය පිටකරගන්න මිනිස්සු, හදිසි අනතුරක් වුනාම රියැදුරුගේ අඬුකඩල වාහනය ගිනි තියන මිනිස්සු සහ එහෙම කරන එක අනුමත කරන්න මිනිස්සු, රජ කාලයේ නීති ආයෙ ගේන්න ඕන කියන මිනිස්සු, අරාබියේ නීති ලංකාවට ගේන්න ඕන කියන මිනිස්සු.

සැලකිය යුතු පිරිසක් (බහුතරයක්?) අපේ සමාජයේ ඉන්නේ සහ ඒ අදහස් කිසිම පැකිළීමක්ප්‍ නැතුව ප්‍රසිද්ධියේ  කියන්නේ මේ අය මම කලින් කියපු මානව සදාචාර්මක පරිනාමයට ලක් නොවී ශතවර්ෂ ගණනකට කලින් කල් ඉකුත් වුන චින්තනයක් තවමත් ඔලු අස්සෙ තියාගෙන ඉන්න හින්ද.

ඉතින් ඒ වගේ චින්තනයක් තියෙන අය වැලිකඩ සිදුවුනාය කියන මිනිස් ඝාතන, ඝාතන වුනේ අපාරධකරුවන් නිසාම සාධාරණය කියල කියන එක තේරුම් ගන්න බැරිද? මොකද මේ අයට අනුව කෙනෙක් නීතිය සහ සමාජය ඉදිරියේ වරදකරුවෙක් කියල ඔප්පු වුන ගමන්ම සුටුස් ගාලා ඒ මනුස්සයාට තියෙන මානව අයිතීන් අන්තරස්දාන වෙලා යනව.

ඒ මිනිස්සුන්ව මරපු එක හරිද කියල අහපු ගමන් උත්තරේ විදියට එන්නේ

“ඉතින් උන් මිනීමරපුවා හොඳඳ එතකොට? මිනීමරුවන්ව නලවන්නද කියන්නේ?” වගේ ප්‍රතිචාර

මේ චින්තනයට අනුව හිර ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට අයිතිවාසකම් නැහැ.
ඒ මිනිස්සුන්ට ශිෂ්ඨත්වය අදාල නැහැ.
සිරකරුවන්ව ඝාතනය කල අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නැහැ.
ඒ මීනිස්සුන්ව මැරුවත්, ඒ අයට අසූචි කන්න දුන්නත් කමක් නැහැ.

කොටින්ම යටත් කරගත්ත මිනිස්සුන්ව දණ ගස්සල, මාරුවෙන් මාරුවට නැගිට්ටල තාප්පෙකට තියල වෙඩි තියන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඇයි?

උන් හිරකාරයොනෙ !

හිරකාරයන්ට කොහෙද මානව අයිතීන්? අපරාධකාරයන්ව මරන අයට මොකද දඬුවම් දෙන්නෙ? උන්ව මරනව නම් ඒ මරපු අය වීරයොනෙ !

එක අතකින් බලද්දි, ශතවර්ෂ ගාණක් පරණ මගුල් ඔලුවේ තියාගෙන ඉන්න උන් නෙමේ මෝඩයො..

වතුර ඉල්ලල උද්ඝෝෂණය කරපු තමන්ගේම සහෝදර ජනතාවටත් උණ්ඩයෙන් උත්තර දුන්න පාලකයන්ට දිගින් දිගටම කතිරය ගහන්න කට ඇරන් ඉන්න මිනිස්සුන්ට… ඒ පාලකයොම සිරකරුවන්ට උණ්ඩයෙන් උත්තර දුන්න එකේ හරි වැරැද්ද තේරෙයි කියල හිතාගෙන මෙහෙම යුනොකෝඩ් කොටන අපියි මෝඩයො !

වැද්දෙක්ට සදාචාරාත්මක වටිනාකම් කියන්නෙ මේවය කියල ලියල පෙන්නන්න පුළුවන්. ඒත් කොටල පොවන්න බැහැනෙ.

සිවුරුකරුවෝද මනුෂ්‍යයෝය

තරුණ හාමුදුරුනමක් තරුණියක්ව සිපගන්නවා වගේ පේන සිද්ධියක් ගැන වීඩියෝවක් ගැන සයිබරයේ කතා බහක් ඇති වෙලා තියෙනව දැක්කා. නමුත් වීඩියෝවේ පේන විදියට එතන මොකක්ද වෙන්නේ කියල පැහැදිළිව කියන්න බැහැ (මේ බ්ලොග් පෝස්ටුවත් එක්ක ඒ වීඩියෝවේ පල නොකරන්නේ ඒ නිසයි). මොක වුනත් මේ වීඩියෝව ගැන සයිබරයේ පලවෙලා තිබ්බ අදහස් නිසා මේ ටික ලියන්න තීරණය කලා.

වීඩියෝවේ සිද්ධ වෙන්නේ මොක වුනත් ඔය වගේ සිදුවීම් වලදි සමාජය ප්‍රතිචාර දක්වන්නේ එකම විදියට.

මේ වගේ දෙයක් දකිද්දි බෞද්ධයෙක්ට නම් තරහක්, කේන්තියක් එන්න පුළුවන්. මොකද ඒ අය මේ වීඩියෝවේ සිවුරක් ඇඳගෙන ඉන්න මනුස්සයාට මුළු ජීවිත කාලයටම ඔය විදියට හැසිරෙන එක සම්මතයෙන් තහනම් කරල තියෙන නිසා. (මේ හැසිරීම අපේ සංස්කෘතියේ සම්මත හැසිරීමක් නොවන බව ඇත්ත. නමුත් මේ වීඩියෝව ශෙයාර් වෙන්නේ මේ මනුස්සයා සිවුරක් ඇඳගෙන සිටීම කියන කරුණම හයිලයිට් කරගෙන). ඒත් මනුස්ස හැඟීම් ආගමික සංකල්ප වලින් ෆිල්ටර් නොවෙන මට මේක දැක්කාම මුලින්ම ආවේ කේන්තියක්වත් තරහක්වත් නෙමේ, අනුකම්පා සහගත හැඟීමක්

අපිත් ඔය වයසෙදි ඔය වගේ වැඩ කරල තියෙනව (ඔච්චර නෝන්ඩි වෙන්න හැමෝටම පේන්න නම් නෙමේ හැබැයි). ඒත් මේ කොල්ලට (භික්ෂුවට) ඒ කොල්ලා ඉන්න තත්වය අනුව ඒ වයසෙදි අපි වගේ ෆිල්ම් හෝල් එකකට යන්න , පාර්ක් එකකට යන්න , ඒසී බස් එකක අන්තිම සීට් එකේ මුල්ලට ගිහින් කෙල්ලෙක් එක්ක ඉඳගන්න , රූම් එකකට යන්න බැහැනෙ. ඉතින් හරි හෝ වැරදි මේ කොල්ලා ඒ අවස්ථාවේ පාලනය කරගන්න බැරි හැඟීම් වලට යටවෙලා ගත්ත තීරණය තමා මේ දැන් රටක් ලෝකයක් ඉස්සරහා දිග ඇරෙන්නෙ.

අපි කරපු දේවල්, අපි විඳපු අත්දැකීම්, අපි ලබපු ආදරය ලබන එක මේ මනුස්සයාට සමාජයෙන් අහිමි කරල. පොඩි කාලෙම සමාජයෙන් වෙන් වුන, සමාජයෙන් නියම කරන ලද වෙනස්ම ජීවන රටාවක් අනුගමනය කරන්න නියම කරල. සමාජයේ අනිත් මිනිස්සුන්ට වඩා දැඩි කොන්දේසි සහිත සංවෘත රාමුවක් අස්සේ ඒ මනුස්ස හැඟීම් බලෙන් කොටු කරල.

ඒකට හිලව් විදියට නිකං දෙන බත් පිඟාන ඇතුළු පැකේජයක් සමාජය විසින් දෙන බව ඇත්ත. නමුත් ඒක ඒ මනුස්සයා වැඩිහිටියෙක් විදියට ගත්ත තීරණයක් නෙමේ. නොතේරෙන වයසේ දරුවෙක්ව ඒ ජීවිතයට බලෙන් ඇදල දාන්නේ තේරෙන වයසේ ඉන්න අපි.

මේ වගේ දේවල් දැක්කාම බෞද්ධයන්ගේ ස්ටෑන්ඩර්ඩ් ප්‍රතිචාර විදියට එන්නේ “සිවුරු හරින්න පුළුවන්නෙ, ඇයි ශාසනයට අපහාස කරන්නේ, මුංට නම් හෙණ ගහනවා” වගේ කතාවල්. නමුත් මගේ පුද්ගලික අදහස තමා සිවුරු අරින එක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමේ කියන එක. එතනදිත් ඒ මනුස්සයට අපි දීලා තියෙන්නේ අමාරු තීරණයක්. අපි කොයිතරම් අසාධාරණද?

මම ඉස්කෝලේ යන කාලේ මට සිංහල උගන්නපු සර් සිවුර අතහරින භික්ෂුන් ගැන පන්තියේදී දවසක් කිව්වා මෙහෙම කතාවක්,

“වදාපු අම්මගෙන්, තාත්තගෙන් පවා වැඳුම් අරගෙන, මිනිස්සු පිනට දීපු දානෙ ටික කකා ඉඳල, කරදඬු මහත් වෙලා සිවුර අත අරිනවා කියන්නේ මහාම මහා කරුමක්කාර වැඩක්. ඒ වගේ කරුමක්කාරයෝ මැරිලා උපදිනවා ප්‍රේතයෝ වෙලා. ඊට පස්සේ උන් බලන් ඉන්නවා මිනිස්සු මලපහ කරනකන්. උන් කන්නේ ඒ මලපහ. ආන්න ඒ තරම් බරපතල දෙයක් තමයි සිවුර හරිනවා කියන එක”

ඔන්න ඔහොම කතාවක් තමා මට සිංහල උගන්නපු ගුරුදෙවියා කිව්වෙ..

කතාවෙ ඇත්ත නැත්ත පැත්තකින් තියමු. ඒත් මේ තරම්ම නැති වුනත් සමාජයේ සිවුර අත හරින්නන් ගැන තියෙන්නේ සෘණාත්මක ආකල්පයක්කියන එක රහසක් නෙමේ.

කොටින්ම සිවුරු අරින එක ලේසියි කියන කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් හිතන්න, එක දිගට අවුරුදු 25ක් 30ක් එකම රස්සාව කරලා එකපාරම ඒ රස්සාව අත ඇරලා වෙනම ජීවන ක්‍රමයක් තෝරගෙන වෙනම ජීවන රටාවකට හැඩගැහෙන එක ගිහියෙක්ට වුනත් කොයි තරම් අමාරු දෙයක්ද කියල.

ඒ අතින් බලපුවම, අපි මේ කුඩා ළමයිව මහණ කරලා ඒ අසරණයන්ව හිර කරන්නේ මර උගුලකට.

ඒ අසරණයන් වැඩිවියට පත් වුනාම හැකි සෑම පුංචි අවස්ථාවෙන් පවා ජීවිතය ‘විඳින්න’ දතකන එක, අපි වගේ වෙන්න හදන එක, අපි දකින්නේ මහා වැරැද්දක්, පාපකර්මයක් විදියට.

භික්ෂූන් ගිහියන් විදියට හැසිරෙන හැම අවස්ථාවකදිම ඒ අයට ඇඟිල්ල දික් කරන බෞද්ධයො මතක තියාගන්න ඕන කාරණය තමා භික්ෂුව දෙසට එක ඇඟිල්ලක් දික් වෙද්දි තමාගෙ පැත්තට ඇඟිලි හතරක් එල්ල වෙන බව.

බෞද්ධයන්ගේ ඒ චෝදනා සර්ව සාධාරණ වෙන්නේ භික්ෂූ ජීවිතය කියන්නේ වැඩිහිටියෙක් විසින් තේරුමක් ඇතුව යන්නා තීරණයක් වෙච්චි සමාජ ක්‍රමයක් ඇතුලෙ විතරයි. මොකද එහෙම තත්වයකදි, කෙනෙක් භික්ෂු ජීවිතය කියන්නෙ මොකක්ද කියල දැනගෙන කැමැත්තෙන් ඒකට ඇතුළත් වෙලා භික්ෂූන්ට සමාජයෙන් ලැබෙන වරප්‍රසාද විඳින ගමන් ගිහියන් විදියට හැසිරෙනව නම්, එතනදි ඒ අයට සාධාරණ චෝදනාවක් කරන්න පුළුවන්.

නමුත් හයක් හතරක් නොතේරෙන ළමයෙක්ව වැඩිහිටියන් විසින් භික්ෂු ජීවිතයට බලෙන් ඇතුල් කරලා ඒ ළමයා වැඩිහිටියෙක් වුනාම තමන් කියන විදියට හැසිරෙන්නේ නෑ කියන එක සාධාරණ චෝදනාවක් නෙමෙයි.

මට වයස අවුරුදු 30යි. මට පුළුවන් මගෙ කැමැත්තට අනුව කිසිම ප්‍රශ්නයක් නැතුව බාර් එකකින් අරක්කු බෝතලයක් අරගෙන මට තියෙන නිදහස පාවිච්චි කරලා ඒක රසවිඳින්න. ඒත් මගෙම වයසෙ ඉන්න තවත් අවුරුදු 30ක තරුණයෙක්ට මම කරන ඒ දේම කරන එක සමාජයෙන් තහනම් කරල. “උඹට ජීවිත කාලයටම අරක්කු බොන්න බැහැ.. කෙල්ලෙක්ගෙ අතින් අල්ලන්න බැහැ” කියල ඌට සමාජය කියන්නේ ඌ නොදරුවෙක් කාලෙ ඉඳලම. ඌටත් වැඩිහිටියෙක් වුනයින් පස්සෙ “නෑ මටත් අරක්කු බොන්න ඕන..” කියල හිතෙනවා නම් ඒක සාධාරණ නැද්ද?

ලොකුම වැරැද්ද, අරක්කු බොන එකද? (අරක්කු බොන එක වැරැද්දක්ම නෙමේනෙ). අම්මා තාත්තාගෙන් පවා වැඳුම් ලබල සිවුර අතහරින එක මාරම නෙගටිව් දෙයක් විදියට දකින සමාජයක් ඇතුලෙ ඉඳගෙන  සිවුරු නොහරින එකද? සිවුරක් ඇඳගෙන අරක්කු බොන එකද? පොඩි කාලෙ ඉඳලම තෝ කවදාවත් අරක්කු බොන්න එපා, මේ විදියට හිටපිය කියල නියම කරන එකද?

මොළයක් තියෙන මනුස්සයෙක් නම් මේ ටිකෙන් ලොකුම වැරැද්ද මොකක්ද කියන තේරෙන්න ඕන. ඉතාම සරල කාරණයක්නෙ.

මේ මීනිස්සු ගෙවන්නේ අසරණ ජීවිත..

තවත් මිනිස්සු කොටසකගේ සමාජ ආර්ථික ගැටළු, මානසික ෆැන්ටසි, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් හිලව් වෙන අසරණයෝ

විඳවන ජීවිත ජීවත් වෙලා, සමාජ චින්තනයම ආපස්සට අදින සංවිධානයක කොටස්කාරයෙක් වෙලා, රටටවත් ලෝකයටවත් අඩුමගානේ තමාටවත් වැඩකට නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා.

පව් !

අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්ස ප්‍රාණියෙක්ගේ අවශ්‍යතා සහ උවමනා… ආශාවල්… කහ රෙදි කෑල්ලකට වහලා දාන්න පුළුවන් නම්.. මේ තියෙනවාය කියන සසර දුකට, ඇලීමට හොඳම විසඳුම කහ රෙදිකෑලි වෙන්න ඕන නේද?

මොහොතක් හිතන්න.

එයාර් හොස්ටර්ස්ලාගේ ලොකු කම !

“ඔය ලංකාවේ ෆ්ලයිට් වල එයාර් හොස්ටර්ස්ලා හිතන් ඉන්නේ උන් ලෝකෙට ලොක්කො කියල. ඒත් කරන්නේ මහ ලොකු වැඩක් යැ? ප්ලේන් එක ඇතුලේ වේටර් කං කර කර එනවා ලොකු සීන් දාන්න. සුද්දො ආවම දෙන්නෙ දෙකට නැමිලා. ඔය හම්බකරන සල්ලි මහරෑට කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් ගෑණුන්ට හොයන්න පුළුවන්” 

මේ ටික කාලයකට කලින් සයිබරයේ මම දැක්ක අදහසක්. එවෙලාවෙ ඒ ගැන මම පළකරපු අදහස බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හිතුවා. පහත ඇත්තේ ඒ ගැන මගේ අදහසයි

පළවෙනි කරුණ – වේටර්කම යනු යම් වෘතියකට නිගරු කිරීමක් ලෙස සෘණාත්මකව භාවිතා කල හැකි වචනයක් නොවේ. වේටර් කෙනෙකුද ඉටු කරන යම් කාර්‍යක් ඇත. ඔහුටද/ඇයටද වගකීමක් ඇත. එම වෘතියටද ගරුත්වයක් ඇත. එනිසා වේටර් කෙනෙක්ය කියන වචනය නිගරු කිරීමක් ලෙස භාවිත කිරීම දැන්වත් නවත්වන්න.

දෙවනි කරුණ – සාමාන්‍යය වේටර්වරයෙකු මෙන් නොව ගුවන් සේවක/සේවිකාවන්ට තම රැකියාව හා බැඳුනු විශාල වගකීම් රාශියක් ඇත. හදිසි අවස්ථාවකදී ගුවන්යානයේ සිටිනා මඟීන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ඔවුන් අතේය. ඒ සඳහා අතිවිශේෂ පුහුණුවක් ඔවුන් සතුය. ඔවුන්ගේ හැකියාව නිරතුරුවම පරීක්ශණයට භාජනය කරන්නේ එහි ඇති වැදගත්කම නිසාමය.

තුන්වෙනි කරුණ – ඔබ ගමන් කල ගුවන් යානයේ කාර්‍ය මණ්ඩලයෙන් ලැබුන සේවය ගැන සෑහීමකට පත් නොවේ නම් ඔබට එවෙලේම අදාල ගුවන් සේවකයන්ගේ නායකයාට ඒ බව වාචිකව හෝ ලිඛිතව පැමිණිලි කල හැක (මේ සඳහා අවශ්‍යය පෝරම ඔවුන් සතුව ඇත. ඉල්ලීමක් කොට ලබා ගැනීමට පුළුවන) නැත හොත් ඊමේල් මඟින් පැමිණිලි කල හැක. පැමිණිලි සම්බන්ධව අනිවාර්‍යෙන්ම සෑම ගුවන් සමාගමක්ම පියවර ගනු ඇත. ඒ පියවර ගැන ඔබව දැනුවත් කරනු ඇත.

හතරවෙනි කරුණ  – ශ්‍රීලාංකිකයාගේ ලක්ශණය මෙයයි. අදාල තැනදී කතා කිරීමට කොන්ද පණ නැති නිසා ගෙදර ඇවිත් එකතු වී බැණ සිත සතුටු කරගන්නා සේ දැන් බුකියට ඇවිත් බැණ වදියි. තමා ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබුනා නම් කොන්ද පණ නැති නිවටයන්සේ තැන තැන කියවන්නේ නැතුව අදාල ස්ථානයේදීම තම අයිතීන් වෙනුවෙන් කතා කරන්නට සහ පැමිණිලි කරන්නට ඉගෙන ගන්න.එය බුකියේ කරන විවේචනයට වඩා වඩාත් පලදායක වේවි.

පස් වෙනි කරුණ – සමහරු ගුවන් සේවිකාවන් වේසියන් යනුවෙන් හඳුන්වන්නේ සහ ඔවුන් ගෙවනා ජීවින රටාව නරක ජීවන රටාවක් ලෙස හඳුන්වන්නේ එසේ හඳුන්වන අය තුල ඇති ලිංගික කුහකත්වය සහ ඊර්ෂ්‍යාව නිසාය. වසර ගාණක් මහන්සිවී ඉගෙනගෙන අධ්‍යාපන සහතික පත්‍ර ලබාගෙන ඉන් පසුද වසර ගණනක් සේවය කොට අත්දැකීම් ලබාගෙන රැකියාවෙන් ඉහළට ගොස් කෙනෙක් ලබනා වැටුපටත් වඩා ඉහළ පඩියක් ගුවන් සේවක සේවිකාවන් රැකියාවට සම්බන්ධ වී මාස දෙක තුනෙන් ලබා ගන්නවා වෙන්නට පුළුවනි. එහෙත් එය ඔවුන්ට ඊර්ෂ්‍යා කිරීමට කාරණයක් කර නොගන්න. යමෙක් ඔවුන්ව ගණිකාවන්ට සමාන කරයි නම් එයට හේතුව ඊර්ෂ්‍යාව සහ කුහකත්වය නොවේ නම් වෙන කුමක් ද?

අවසාන කරුණ – ඕනම කාර්‍ය මණ්ඩලයක් විදේශිකයන් ඉදිරියේ හොඳ සැලකිලි ලබා දෙන්නේ හමේ පාට නිසා නොව විදේශිකයන් ඔවුන්ගේ මේ අයිතින් දන්නා බව සේවකයන් දන්නා නිසාය. ඔවුන්ට හරිහමන් විදියට නොසැලකුවොත් වෙනදේ දන්නා නිසාය. ඔබ වැනි අයට මෙසේ සලකනවා නම් (එසේ කිරීම වැරැද්දක් වුවත්) එසේ කරනුයේ ඔබ ගෙන් අදාල සේවය ගැන ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් වීමට ඇති සම්භාවිතාවය අවම බව ඔවුන් දන්නා නිසාය.. එනිසා තම අයිතීන් පිළිබඳ දැනුවත් වගකීමකින් යුත් පාරිබෝගිකයෙක් වන්න. තම අයිතීන් වෙනුවෙන් කතා කරන්න. තමා ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබේයයි තමා සිතනවා නම් ගුවන් සේවයේදී පමණක් නොව ඕනෑම තැනකදී ඉහළ නිලධාරීන්ට පැමිණිලිකරන්න පසුබට නොවන්න.

ස්තූතියි.