Category Archives: Uncategorized

ලුවිස් සී.කේ ව එල්ලා මැරීමට පෙර

Louis C.K. - Saturday Night Live - Season 42 Episode 17
ලුවිස් සී.කේ ට එල්ල වුන ලිංගික විෂමාචාර චෝදනා වලින් පසු නොවැ.18 පැවැත්වීමට නියමිතව තිබූ “Night of Too Many Stars: America Unites for Autism Programs,” වැඩසටහනින් ලුවිස් සී.කේ ව ඉවත් කොට තිබේ. FX Networks සහ FX Productions සමාගම් ලුවිස් සී.කේ සමඟ ඇති සියලු සබඳකම් නවතා ඇත. ලුවිස්ගේ කලමණාකරණ කටයුතු බාරව සිටි Arts Entertainment සමාගම ඔහුව සේවාදායක බවින් ඉවත් කොට තිබේ. ඔහුගේ කලමණාකරු වන Lewis Kay විසින් ලුවිස් සීකේ සමඟ තවදුරටත් තමා කිසිම සබඳතාවයක් නැති බව ප්‍රකාශ කොට තිබේ. ලුවිස් ගේ නවතම චිත්‍රපටය වන I Love You, Daddy නොවැම්බර් 17 දින තිරගත වීමට නියමිතව තිබුනු අතර එහිද විකාශය වීම නවතා ඇත. ලුවිස් සමඟ අලුත් stand-up specials දෙකක් සංවිධානය කොට තිබූ Netflix ආයතනය ඒවාද අවලංගු කොට ඇත.
 
මීට සති කිහිපයකට පෙර නිව්යෝක් ටයිම්ස් හරහා කාන්තාවන් පස් දෙනෙක් ලුවිස්ට වෝදනා කලේ ඔහු ඔවුන් ඉලක්ක කරගෙන ලිංගික විෂමාචාර ක්‍රියාවල යෙදුන බවයි. පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ලුවිස් සීකේ විසින් එම චෝදනා සියල්ල සත්‍යය බවත් ඔහු අතින් සිදු වූ ඒ දේවල් වැරදි බවත් පිළිගත්තේය.
 
එක අවස්ථාවකදී ලුවිස් විසින් කාන්තාවන් දෙදෙනෙකුට තමන්ගේ කාමරයට ආරාධනා කොට ඔවුන්ගෙන් අසා ඇත්තේ “මම ඔබලා ඉදිරියේ ස්වයංවින්දනය කලාට කමක් නැත්ද?” කියායි. පසුව ලුවිස් විසින් තමන්ගේ ඇඳුම් ඉවත් කොට ඔවුන් ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදී ඇත. අනෙක් අවස්ථාවකදී ලුවිස් විසින් තවත් කාන්තාවකගෙන් “මම ඔබ ඉදිරියේ ස්වයං වින්දනය කලාට කමක් නැද්ද” කියා අසා ඇය විසින් කේන්තියෙන් එය ප්‍රතික්ෂේප කල පසු ලජ්ජාවෙන් සමාව ඉල්ලා ඉවත ගොස් ඇත. තවත් කාන්තාවකට අනුව තමන් සමඟ දුරකථන සංවාදයක් අතරතුර ලුවිස් සීකේ විසින් ස්වයංවින්දනයේ යෙදුන බව තමන්ට දැනුන බව පවසා ඇත.
 
අවසාන අවස්ථාවේ හැර අනෙක් සියලුම අවස්ථා වලදී ලුවිස් සීකේ විසින් අනෙක් පාර්ශවයෙන් අවසරය (consent) ඉල්ලා ඇති අතර කිසිම අවස්ථාවක ස්පර්ශ කිරීමක් හෝ බලහත්කාරකමක් සිදුකිරීමක් කල නොමැත.
 
පුද්ගලිකව ලුවිස් සීකේගේ ක්‍රියාවල් සුද්ද කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නැතත්, ඒවා වැරදි නොවේය කියා තර්ක කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැතත් ඇමරිකානු මාධ්‍යය සහ සමාජය මේ සිද්ධියට ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන යමක් කීමට සිතුනේ කොතැනකවත් මේ ගැන මට සිතෙනා දේ කා අතින්වත් ප්‍රකාශ වී නොතිබූ හෙයිනි.
 
ලුවිස් සීකේ විසින් තමා අතින් සිදුවූයේ වැරැද්දක් බව පිළිගෙන ඇත. ඔහු විසින් තමාගේ අවශ්‍යතාවය ගැන යෝජනාව ඉදිරිපත් කොට කානතාවන් විසින් එය ප්‍රතික්ෂේප කල විට සමාව ඉල්ලා වෙනතක් බලා යාම හැර ඉන් එහාට කිසිවක් සිදු කොට නැත. ඔහු කලේ වරදක් වුවත් නොවුවත් ඔහුගේ මුළු වෘතිය ගමනටම නැවතීමේ තිත තබා සමාජයක් විදියට ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු කල ක්‍රියාව වරදක්ද යන පැනයය, මෙහිදී මට නැඟෙන්නේ.
 
ස්ත්‍රී දූෂණය, ලිංගික අල්ලස් ඉල්ලීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම වැනි දේ වලදී අදාල වැරැද්දේ/අපරාධයේ ස්වභාවය සහ ගැඹුර තේරුම් ගැනීම වැදගත්ය. කැමැත්ත විමසීමෙන් පසුව යම් ලිංගික ක්‍රියාවක යෙදීමකට ස්‍ත්‍රී දූෂණයකට ලැබිය යුතු ප්‍රතිචාර ලැබේ නම් එතන පැහැදිළි කරගත යුතු යම් අවුලක් ඇති බව මගේ හැඟීමය.
 
අන්ධයන් සේ ආගමික, සංස්කෘතික වටිනාකම් පසුපස දුවයෑම මෙන්ම ව්‍යාජ සුචරිතභාවයක් ආරූඩ කරගෙන යම් සිද්ධියක ගැඹුර තෝරා නොගැනීමද අතාර්කිකය. හානිකරය. මිනිසුන් ලෙස අප ගොඬනගා ගත යුත්තේ යම් වටිනාකම් අන්ධයන් සේ අදහන, උත්කර්ෂවත් කරනා සමාජයක් නොව, තර්කානුකූලව සියල්ල ගැන සමබරව සිතිය හැකි සමාජයකි. බටහිර සමාජයන් වල මේ දිනවල නිර්මාණය වී ඇති මේ ව්‍යාජ politically correct වීමේ උවමනාවද මා දකින්නේ තවත් විකාරයක් ලෙසය. ඒ විකාරය මඟින් “ලුවිස් සීකේ කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් නොවේ” යන ප්‍රකාශය කිරීමට මනුෂ්‍යයෙක්ට ඇති හැකියාව නැති කොට ඇත. සමාජයේ සිය පැවැත්ම නැති කර නොගනිමින් එවැනි ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නැති නිසා දෝ සියල්ලන් වටවී ස්ත්‍රී දූෂකයෙක්ට සේ ලුවිස් සීකේට දෙස් දොවොල් තියයි.
 
මේවා ලුවිස් සීකේ ගේ ජෝක්ස් වලට වඩා ජෝක්ස්ය. මම වුවද මේ දේ ගැන අවංක අදහස කියන්නේ මේදේ කීමෙන් මට නැති වීමට දෙයක් නොමැති නිසාය. අවසනයේ මේ පොඩි අදහස සටහන් කරමින් මේ කතාව අවසන් කරමි. ආගමික විශ්වාස පමණක් නොව, මානුෂීය අයිතීන්, මානව වාදය, කාන්තා අයිතීන්.. එකී මෙකී නොකී සියලූම මගුලක්ම තර්කානුකූල බවෙන් තොරව ඇදහීමෙන් සහ උත්කර්ෂවත් කිරීමෙන් වෙන්නේ තවත් ඩොග්මාවක් නිර්මාණය වීම පමණකි.
Advertisements

මචන්, ලින්ක් එක දියන්

“උඹ චයිල්ඩ් පෝර්න් බලනවද?.. ලින්ක් එකක් තියෙනවා එවන්නද?”

මීට වසර කිහිපයකට පෙර චැට් වින්ඩෝ එකකදී මගෙන් ඒ පැනය ඇසුවේ පාසල් වියේදී මාගේ මිතුරෙකුව හිඳ වසර ගණනකට පසු මුහුණු පොත හරහා නැවත කුළුපගු වීමට පටන් ගත් පුද්ගලයෙකි.

පාසල් වියේදී මිතුරන්ගේ නිවෙස් වල එකතු වී වැල බැලීම පුරුද්දක් කරගෙන සිටි නිසා වැඩිහිටියන් වීමෙන් පසු තවත් සීමා මායිම් තරණය කිරීමක් ගැන අත්දැකීමක් මා හා සමඟ බෙදා ගැනීම ඒ මිතුරාගේ අරමුණ වුනා විය යුතු බව ඒ මොහොත මතක් වන විට මට දැන් සිතේ.

දැන් ඒ ගැන කෙසේ සිතුවත් ඒ මොහොතේ මගේ මිතුරාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙලෙසදැයි සිතාගත නොහැකිව මම තුෂ්නිම්භූත වූවෙමි. තත්පර කිහිපයකින් පසු ඔහුගේ ‘ලින්ක් එක’ ප්‍රතික්ෂේප කලෙමි.

ළමයින් යොදා නිර්මාණය කරන ලද ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ නරඹන්නේ ‘අසික්කිත, අමුතු’ ජීවීන් කොට්ටාශයක් වැනි අදහසක් මගේ සිතේ ඒ අවස්ථාව වන තුරු මැවී තිබුනත්, ඒ චිත්‍රය වෙනස් වුනේ මගේ මිත්‍රයා මා මවාගෙන සිටියා වැනි ‘අමුතු සතෙකු’ නොවන බව මා දැන සිටි නිසාය. ඔහුද, මා වටා ජීවත් වෙන අනෙක් මිතුරන් සේම හොඳ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන අයෙකු වීම මගේ ඒ ආකල්පය වෙනස් වීමට හේතුවයි.

චයිල්ඩ් පෝර්න් යනු සපුරා නීතියෙන් තහනම් කරන ලද දෙයකි. චයිල්ඩ් පෝර්න් නිර්මාණය කිරීම පමණක් නොව බෙදා හැරීම සහ ළඟ තබා ගැනීමද ලෝකයේ සෑම රටකම පාහේ නීතියෙන් දැඩි දඬුවම් ලැබෙන වරදකි. එය එසේ විය යුතුය. හේතුව, මනස නොවැඩුව කුඩා දරුවන්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් පසු වැඩිහිටියන් බවට පත්වන ඔවුන්ගේ ජීවිත අපායන් බවට පත් වීමට ඒ එක සිද්ධියක් පවා ප්‍රමාණවත් නිසාවෙනි. ඔවුන්ගේ මානසිකත්වයට, පෞරෂයට කිසිදා යථා තත්වයට පත් කල නොහැකි මට්ටමේ හානියක් එයින් සිදුවන අතර ප්‍රායෝගික ජීවිතයේදීද ගැටළු රාශියකට මුහුණ දීමට අනිවාර්‍යෙන් සිදුවන නිසා ශිෂ්ඨ සමාජය විසින් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කල යුතු දෙයකි.

චයිල්ඩ් පෝර්න් ගැන කතාව මොහොතකට නවත්වා මීට මාස කිහිපයකට කලින් සයිබරය වෙත ඔබේ මතකය රැගෙන එමි.

ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය සහ එවකට ඔහුගේ පෙම්වතියක් ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක ලින්ක් එකක් ලාංකික සයිබරයේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. ඊට ටික දවසකට පසු හෂිනි ගෝනගලගේ පුද්ගලික වීඩියෝ පටයක්ද “මචන්, ලින්ක් එක දියන්” ටැග් ලයින් එකට හසුවූ සැටි ඔබට අමුතුවෙන් මතක් කල යුතු යැයි නොසිතමි. (අදාල පුද්ගලයන්ගේ නම් සඳහන් කලේ මේ සටහන කියවන ඔබ සහ ලියන මම දෙදෙනාම අදාල වීඩියෝ නරඹා ඇති නිසා ලෝකය ඉදිරියේ බොරු සුචරිතවාදයක් මවාගෙන අප විසින් අපවම රවටා ගැනීම තේරුමක් නැති දෙයක් නිසාවෙනි)

ඔය අවස්ථා දෙකේදීම ඉහත නම් සඳහන් පුද්ගලයන් හා සම්බන්ධ වීඩියෝ පිටවී ඇති බව දැනගත් මම, අනෙකුන් සේම ලින්ක් එක සෙවීමේ ව්‍යාපෘතියට අත ගැසුවෙමි. විනාඩියක් දෙකක් යාමට මත්තෙන් ඉන්බොක්ස් හරහා අදාල වීඩියෝවල ‘ලින්ක්’ මිතුරන් සෑහෙන පිරිසක් ඇසූ සැනින් මා වෙත එවීය.

මමත් අනෙකුන් සේම මිනිස් ජීවිත දෙකක පුද්ගලිකත්වය රසවින්දෙමි. ඔවුන්ගේ අනවසරයෙන් ඔවුන්ගේ නිරුවත නැරඹුවෙමි.

“වැඩේ වැරදියි තමා, ඒත් ඉතින් නොබලා ඉන්නෙ කොහොමද?” මගේ ක්‍රියාව ගැන මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන විට මම මටම පිළිතුරු දී ගතිමි. මගේ සිත මගෙන්ම අසන පැනය නොඇසෙන තරමට අන් ජීවිතයක පුද්ගලිකත්වය අස්සේ මම අතරමං වූයෙමි.

…තාක්ෂණය දියුණු වෙද්දි අලුත් ප්‍රශ්න මිනිස් සමාජයේ නිර්මාණය වෙනවා. මේකත් එයින් එකක්. පරිස්සම් වෙනවා හැර කරන්න දෙයක් නෑ. ලින්ක් එකක් අවුට් වුනොත් බලන එක ඉතින් මහ ලොකු වැරැද්දක් නෙමේ. මිනිස් ස්වභාවයනේ ඒක..

පසුව මගේ ක්‍රියාව සාධාරණීයකරනය කිරීමට මා විසින් සාදා ගත් බක පණ්ඩිත තියරියය, එය.

කාලය එසේ ගෙවී යද්දි මීට මාස කිහිපයකට උඩදී මුලින් කී මගේ මිතුරා මට මුහුණට මුහුණ හමුවූයේ අහම්බෙනි. සයිබරය හරහා සිදුවූ අපගේ අවසාන වචන හුවමාරුව ගැන අමතක වූවන් සේ කතා කල අපි පරණ සුහදත්වයෙන්ම එකිනෙකාට සමුදී අපගේ ජීවිත වලට පිටව ගියෙමු. නමුත් පසුව මගේ හිතේ හොල්මන් කලේ “මේ යකා චයිල්ඩ් පෝන් බලන ජඩයෙක්නේ” යන හැඟීමය.

සිතුවිලි අතර අතරමං වූ මට ඔහු කරන ක්‍රියාවල් නිසා මිනිස් ජීවිත විනාශ වන අයුරු මැවී පෙනෙන්නට විය. ඒ දරුවන් වැඩිහිටියන් වූ පසු සමාජය සමඟ කටයුතු කරන්නේ කෙසේද? සමාජීය ජීවීන් ලෙස නිර්මාණය වී ඇති ඔවුන්ගේ සමාජීය ජීවිත සම්පූර්ණයෙන් විනාශ කරන්නට මොහු දායක වනවා නොවෙද? ඒ බව දැන දැනම තමන්ගේ ඇඟෙන් ඉල්ලන තුච්ඡ ආශාවක් සංතෘප්ත කර ගැනීමේ තිරිසන් ආශාවට යටවී මූ ඒ ජීවිත වල විනාශයට මුල් වන විනාඩි කිහිපයෙන් උපරිම වින්දනයක් ලබනවා නොවේද?

ක්ෂණයකින් මගේ සිත එකපාර කණපිට හැරුනේය.

එතකොට සනත් ජයසූරියගේ ලින්ක් එක? හෂිනිගේ ලින්ක් එක? පානදුර තක්ෂිලාගේ ලින්ක් එක?

මම මගේ ආශාවන්ට යටවී ඒ මිනිසුන්ගේ පුද්ගලිකත්වය රසවිඳිද්දි මම ඒ ජීවිත විනාශ වන හැටි හිතුවද? අර කුඩා දරුවන්ගේ ජීවිත අපායන් වනවා සේම ඒ මිනිස්සුන්ගේ ජීවිතත් අපායන් වන හැටි සිතුවාද? චයිල්ඩ් පෝන් නිසා අර කුඩා ළමයින්ට වෙන විදියටම ඒ මිනිසුන්ගේ සමාජිය ජීවිත විනාශ වෙන හැටි ගැන සිතුවද? ඔවුන් ඉන් පසු සමාජය සමඟ කටයුතු කරන හැටි ගැන සිතුවාද? ඔවුන් ළමයින් නොවුනාට, අවසානයේ අවස්ථා දෙකේදීම නිර්මාණය වෙන්නේ සාමාන්‍යය තත්වයෙන් උඩුයටිකුරු වුන, තැළුණු බිඳුන ජීවිතයක් නෙමේද?

ඒ මොහොතේම මට මා ගැනම ඇති වුනේ පිළිකුලකි. වරදකාරී හැඟීමකි. මන්ද, මා වැඩියෙන්ම පිළිකුල් කරනා පුද්ගල ගතිලක්ෂණයකට සමාන ගති ලක්ෂණයක් මා තුලද ඇති බව මටම අවබෝධ වීම නිසාය.

මම අදටත් ලයිල්ඩ් පෝර්න් නැරඹිමෙන් වින්දනයක් ලැබූ මගේ මිතුරා සහ මම අතර ඇති මහා ලොකු වෙනස කුමක්ද කියා සිතමි. අප දෙදෙනාම මිනිස් ජීවිත ‘තැළුණු හප’ බවට පත් කරන්නට දායක වූවන්ය. අප දෙදෙනාම මිනිස් ජීවිත වල ‘අමිහිරිම, අවාසනාවන්තම, කාලකණ්ණිම’ අවස්ථා තළු මර මර රස කරමින් ආශාවෙන් රසවින්දනය කල පුද්ගලයන්ය. අප දෙදෙනාම අපගේ ශාරීරික ආශාවල් වෙනුවෙන් අප විසින් අපවම සාධාරණීයකරනයට හේතු හදා ගනිමින් මිනිස් ජීවිත දෙකොටසකට එකම අවසන් ප්‍රතිපලය උරුම කරදීමට දායක වූවන්ය.

“සමහර විට මගේ මිතුරාගේ ක්‍රියාවෙන් සිදුවන හානිය වැඩි ඇති”, විටෙක මට එසේ සිතෙයි. නමුත් ඔහුද මම වගේම “ඔහෙ කමක් නෑ, මම බැලුවෙ නෑ කියල අනිත් උන් මේවා බලන්නැතුව ඉන්නවයැ” කියා සිතන්නට ඇත.

කතාව කෙසේ කොහොම වුවද, මම සුචරිතවාදියෙක් වී ඔහු කළු චරිතයක් වන්නේ කෙසේද කියා මම තවමත් සිතමි.

මගේ මිතුරා තවමත් චයිල්ඩ් පෝන් බලනවාද කියා නොදන්නවා සේම, ඊළඟට අවුට් වන ‘ලින්ක් එක’ නරඹන්නේ නැතුව සිටීමට මට හැකිවේද නොවේද කියා මා නොදනිමි.

පහත් තැනින් යයි ගලා ජලේ

තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.

ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්‍යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.

ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ පුප්පනවද කවුරු ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවද කියන එක තීරණය කරනව.

මම දැකල තියෙන විදියට ඔතනින් තමාට වඩා පහළින් ඉන්න අය ඉස්සරහා සැර දාන අයම තමයි කිසිම ලැජ්ජාවක් නැතුව වැඩියෙන්ම තමන්ගෙ ලොක්කන්ට ගොට්ට අල්ලන්නෙ. ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්නෙ.

තමාට වඩා පහළින් ඉන්න අයට පාර්ට් නොදාන, ඒ අයටත් තමා හා සමසේ සලකන ගොඩක් අයට මාරම අමාරුයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා දෙකට නැමෙන්න.

මොකද ඒ අයගේ ඇස් වලින් ඔය නිර්ණායක අනුව මිනිස්සුන්ගේ ඉහළ පහළ බව තීරණය නොවන නිසා. ඒ අය හැමෝමව දකින්නේ මිනිස්සු විදියට නිසා.

ජාතිය නිසා, ආගම නිසා, සමාජ මට්ටම නිසා, රස්සාව නිසා කෙනෙක්ව පහත් කියල දකින්නැති කෙනෙක් ඒවා නිසාම කෙනෙක්ව උසස් කියල දකින්නෙ කොහොමද?

වෙන කෙනෙක් මත ආධිපත්‍යය පතුරවන එකෙන් තෘප්තියක් ලබන එක ගල් යුගයේ වනචාරියෙක්ව හිටිය කාලෙ ඉඳලම අපේ ඇඟේ තිබ්බ දෙයක්. තාම ඒ වනචාරී අශිෂ්ඨ ආශාවට යට වෙලා ‘පොඩි මිනිස්සුන්ට’ සැර දාන එක ඇත්තටම බැලුවොත් මාරම දුර්වලකමක්.

එදිනෙදා දවස ගෙවද්දි ආශ්‍රය කරන්න හම්බෙන්නේ ඔය වගේ වනචාරීන් දෙතුන් දෙනෙක් විතරක් නම් නෙමේ. බහුතරයක් මිනිස්සු තාම එහෙමයි.

උස් තැන් දැක්කම හැකිලෙනවා. මිටි තැන් දැක්කම පුප්පනවා.

තමාගේ වනචාරී ආශාවල් බුද්ධියෙන් පාලනය කරගන්න තරම් පෞරෂයක් නැති ශිෂ්ඨත්වයට එළඹිලා නැති සත්තු !

රණබිම ඔස්සේ නන්දිකඩාල් නොකියවමි

“මම මේ දවස් වල රණබිම ඔස්සේ නන්දිකඩාල් පොත කියවනව”

අපි හතර දෙනාගේ දුම් වැටි වලින් එන දුම් ගුලි අස්සෙන් එහෙම කිව්වේ වැඩ කරන තැන මගේ යාලුවන්ගෙන් කෙනෙක්.

“ලස්සනට විස්තර කරල තියෙනව යුද්ධේ අන්තිම කාලේ හමුදාව ගහපු මිෂන් ගැන..”

“ඔව්.. ඕක ආවෙ ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනය කාලෙ නේද? මාරෙට විකිණුනා ඔය පොත”

ඒ මමය.

“ඒකෙ මාර ස්ටෝරිලු නේද තියෙන්නේ? එකම තැන දවස් ගණන් ඉස්සරහටවත් පස්සටවත් යන්න බැරුව හෙල්ලෙනෙවත් නැතුව කන්න බොන්නවත් නැතුව හමුදාවෙ කොල්ලො ඉන්නවලු…”

“.. සමහර වෙලාවට වතුරෙ ඉන්න වෙනවලු දවස් ගණන්.. ඇවිල්ලා බූට් ගලවද්දි හමත් එක්කලු ගැලවිලා එන්නෙ”

අනිත් යාලුවෝ දෙන්නත් තමා දන්න දේවල් කතාවට එකතු කලේ එහෙමය.

“උඹ කියෙව්වද පොත?”

ඒ ප්‍රශ්නය මටය

“නෑ. මම මතක වන්නිය පොත නම් කියෙව්වා”

“හ්ම්ම්…”

සිගරට්ටුව අහවරය.  විවේකයට පසු නැවතත් අපගේ ආසන කරා ගොස් දවසේ වැඩ අස්සේ අතරමං වීමු.

සිගරට් දුම් මැද්දේ හමුදාවේ කොල්ලන්ගේ වීර කතා ගැන අප අතර වුන කතාවේ සාරාංශයකි ඉහත මා ලියා ඇත්තේ.

හමුදාවේ කොල්ලන්ගේ වීරකතා ගැන අපි අපේ ප්‍රියසාද අතරෙ, හමුවීම් අතරෙ, බස් කෝච්චි ගානේ, රාජකාරී කරන තැන් ගානේ, කඩපිල් ගානේ, මධුවිත තොල ගාන අතරතුර විනාඩි දහය පහළවේ කතා කොයි තරම් නම් කරල ඇද්ද?

පුද්ගලිකව මගේ නිරීක්ෂණයට අනුව මගේ සමීපතමයො හමුදා සෙබළුන්ගේ වීර ක්‍රියා ගැන කතා කරන්නේ ලොකු අභිමානයකින්. බැබලෙන් ඇස් වලින්. ආඩම්බරයෙන්. ඔවුන්ට අනුව ඒ දේවල් ගැන කතා කරද්දි දැනෙන්නේ ඇඟ කිළිපොලා යන මයිල් කෙළින් වෙන විදියේ හැඟීමක්.

මරණය පෙනි පෙනී අවි දරාගෙන යුධ බිමක සටන් වදින්න මනුස්සයෙක්ට නිර්භීත කමක් තියෙන්න ඕන බව ඇත්ත. ඒ කතාවලට පාදක වෙන්නේ ඉතාම නිර්භීත ක්‍රියා බවත් ඇත්ත. ඒවා මේ සටහන කියවන ඔබට හෝ ලියන මට කරනව තියා හිතන්නවත් බැරි තරමේ අසාමාන්‍යය ක්‍රියා බවත් ඇත්ත.

නමුත් ඒ කිසිම කතාවක් අහද්දි මට මගේ සමීපතමයන්ට වගේ ඇඟ කිළිපොලා යන හැඟීමක්, අභිමානයක් දැනුනේ නම් නැහැ. ඒ වෙනුවට ඒ කතා අහද්දි දැනෙන්නේ මහා කණගාටුවක්. කලකිරීමක්. ලැජ්ජාවක්.

සමහර විට මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

වීර කතා විදියට අනෙක් අය හඳුන්වන කතා ඇහෙද්දි මට එන්නේ මගේ සමවයසෙම ඉන්න මම වගේම කොල්ලෙක්ට මට මූණ දෙනවා තබා හිතන්නවත් බැරි තරම් භයංකර අත්දැකීම් වලට මුහුණ දෙන්න වුනේ ඇයි? වගේ සිතිවිල්ලක්.

බූට් එක ගලවද්දි කකුලේ හමත් එක්ක ගැලවිලා එනවා කියලා සිගරට් එක ගහන ගමන් කතා වෙලා තාවකාලික ත්‍රිල් එකක් අරගෙන නැවතත් වායුසමීකරනය කරපු කාමරයක තියෙන සැපපහසු ආසනයක පරිගනයක් ඉස්සරහා ඉඳගෙන අපේ ජීවිත වල කිමිදෙන අපිට ඒ හම ගැලවුන අපි වගේම කොල්ලට ඊට පස්සෙ මොකද වුනේ.. ඒ කොල්ලා දැන් කොහේ මොනව කරනව ඇද්ද.. ඇයි ඌ ඒ වගේ දෙයකට මූණ දෙන තත්වයට පත් වුනේ.. ඌ හිටිය තැන මම නැතුව ඇයි ඌ හිටියේ.. වගේ දේවල් හිතන්න උවමනාවක්වත් වෙලාවක්වත් ඇත්තටම බැලුවොත් නැහැ.

ඇත්තටම මගෙයි උගෙයි වෙනස මොකක්ද? මට නැති වෙන්න දෙයක් තිබිලා ඌට නැති වෙන්න දෙයක් නැති වුන එකද?

අසරණ කමට හමුදාවට බැඳුන කොල්ලො බල්ලො බලල්ලු වගේ මැරිච්ච හැටි වීරත්වයට ඔසවමින් අල්ලාප සල්ලාප වල යෙදෙන මිනිස්සු,

යුද්ධයට මැදිවෙලා මහ රෑ වෙඩි හඬට බයේ කැලෑ අස්සට බංකර් අස්සට දුවන්න වුන.. කොයි වෙලේ ඔලුවට බෝම්බයක් වැටෙයිද පපුව පසාරු කරගෙන උණ්ඩයක් යයිද කියල නොදැන නින්දට යන්න වුන උතුරෙ ජීවත් වුන දෙමළ වැසියන් ගැන කවදාවත් කතා නොවෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ.

දශක ගාණක් පුරා දේශපාලන වාසි තකා ජාතිවාදය යොදාගත්ත දේශපාලකයන් සහ ඔවුන් පෝෂණය කරන ලද ජාතිවාදී ආකල්ප කරේ තියාගත්ත ජනතාවක් කල පව් වලට අපේම සමාජයේ දුප්පත් කොල්ලො ලේ, දහදිය, කඳුළු, ජීවිත වලින් වන්දි ගෙවපු හැටි ගැන වීරත්වයට ඔසවලා කතා කරන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.

දුප්පත් කමට හමුදාවට බැඳිල ඉහළ නිලධාරීන් අතින් මොළශෝදනයට ලක් වෙලා අණට කීකරු රොබෝවක් බවට පත් වන සිංහල තරුණයා සහ ත්‍රස්තවාදීන් අතින් කුඩා කාලයේදීම පැහැරගනු ලැබීමෙන් පසු ත්‍රස්තවාදීන් අතින්ම මොළශෝදනයට ලක්ව සයනයිඩ් කරලක් ගෙලේ රඳවා ගන්නා දෙමළ තරුණයා අතර වෙනසත් මට තේරෙන්නෑ. ඒ අසරණයෝ දෙන්නාම කරන්නේ වෙනත් පාර්ශවයක දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් ජීවිතය දෙන එක. වෙන මිනිස්සුන්ගේ පව් කරගන එක.

ත්‍රස්තවාදීන්ගේ උණ්ඩ, බෝම්බ වලින් පීඩනයට පත් වෙලා තමන්ගේ ජීවිත ගැන බයෙන් හිටිය සිංහලයන්ගේ හැඟීම් සහ උතුරේදී යුද්ධයට මැදි වෙලා දවසේ පැය විසිහතරම එකිනෙකා මරා ගැනීමේ අරමුණින් අවිගත් දෙපිරිසක් අතරට මැදි වුන දෙමළුන්ගේ හැඟීම් අතර වෙනස මට තේරෙන්නෙනෑ.

එකම රටක මිනිස්සු බල අරගලයක් නිසා කැති පොලු අරගෙන එකිනෙකා කොටා ගද්දි, තමන්ගේ පිරිසේ උන් අනික් පිරිසේ උන්ව කැති ගෑ අපූරුව ගැන පාරම්බාන්නේ කොහොමද කියලා මට තේරෙන්නෑ.

එකම රටක මිනිස්සු අතර ඇති වුන මත ගැටුමක් අවසානයේ එකිනෙකා මරා ගැනීමෙන් විසඳා ගැනීම එකම විකල්පය බවට පත් කරගෙන ලෙයින් සහ දෙපිරිසේම මිනීකඳු වලින් ඉවර කරන්න වුන එක ගැන අභිමානයක් එන්නේ කොහොමද කියල මට තාම තේරෙන්නෑ.

අපේම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මියගිය අපේම තරුණයන්ගේ ජීවිත පිළිරුවකට හිලව් කරල හන්දියක් මැද්දේ හිටෙව්ව පලියට ඒ නැතිවුන ජීවිත ගැන වගකීමෙන් අපි නිදහස් වෙලා  ඒ ජීවිත නැති වුන හැටි ගැන වීරකතා කියන්න අපිට අයිතියක් ලැබෙන්නේ මොන ධර්මයකට අනුවද මොන ආගමකට අනුවද මොන සදාචාරයකට අනුවද කියල මට තේරෙන්නෙ නෑ.

මිනිස්සු යුද්ධය ගැන වීරකතා ආසාවෙන් කතා කරන එක ගැන මගේ හැඟීම ඕකයි.

කලින් කිව්වා වගේ,

මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්

22528238_1391756757618257_7417530896123099945_n

ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන කියල.

ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.

තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,

කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.

සමාජය ඉස්සරහා තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න නිසා  නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි බහුතරයක් කොල්ලො බලන්නෙ.

“ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට” කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට…

“අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට..”

…කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.

ඇය තුළින් තමන්ගේ අනන්‍යතාවය නිරූපනය වෙනවා කියලා හිතාගෙන ඇයව වෙනස් කරන්න තමාගේ අධිකාරී බලය පාවිච්චි කරන මේ පිරිමි තුල තමන්ගේ ක්‍රියාකලාපය නිසා පුද්ගලයෙකු වශයෙන් ඇයගේ අනන්‍යතාවයට වෙන දේ ගැන කිසිම හැඟීමක්වත් සංවේදිත්වයක්වත් නැහැ. තමන්ගේ සහකාරියගේ ආකල්ප, හැසිරීම් සහ වටිනාකම් තමාට දරා ගන්නට බැරි තරම් නොගැලපෙනවා නම් ඇයගේ අන්‍යතාවය මරා දැමීමට වඩා සබඳතාවය නවත්වන එකයි කරන්න ඕන කියල මේ අයට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය මරලා දාලා දිගින් දිගටම ඒ මනුස්සයාව පාලනය කරන්න ගියාම ඒ මනුස්සයා තුළ හටගන්න වේදනාව, කලකිරීම සහ පීඩනය ගැන මොවුන්ට සහකම්පනයක් නැහැ.

ඕකෙම අනිත් පැත්ත තමයි,

තමාගේ සහකාරියගේ සිතුම් පැතුම් ආකල්ප තේරුම් අරගෙන ඇයගේ ස්වාධීනත්වයට ගරු කරන කොල්ලෙක් හම්බුනාම මේ වගේ හීනමානකාරයො “අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්” කියල  කෑගහන්නෙ.

මොකද මේ අයට අනුව කෙල්ලෙක් කියන්නේ තමාට ඕන විදියට “හදාගන්න” ඕන වහලෙක්.

මේ විදියට පීඩනයට පත් වෙලා ඉන්න තරුණියන්/ගැහැණුන් තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය තමයි,,

තමාව ස්වාධීන පුද්ගලයෙක් විදියට සලකන්නෙ නැති, තමන්ගේ අනන්‍යතාවයට ගරු කරන්නෙ නැති, තමන්ව තේරුම් ගන්නෙ නැති Control Freak කෙනෙක් විදියට හැසිරෙන එකෙක් එක්ක තමන් දිගින් දිගටම ඉන්නේ ඇයි?

කියන ප්‍රශ්නය.

ඉස්සෙල්ලා තමන් තමන්ටම ගරු කරන්න ඉගෙනගන්න. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරන්නේ නැත්නම් වෙන කෙනෙක් ඒ දේවල් වලට ගරු කරයි කියල හිතන්න එපා. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරනවා නම් වෙන කෙනෙක්ට ඒ දේවල් විනාශ කරන්න දෙන්නත් එපා.

කතාවක් තියෙනව සමාජයක/සංස්කෘතියක ප්‍රගතශීලීබව තීරණය කරන්න පුළුවන් හොඳම සාධකයක් තමා ඒ සමාජය කාන්තාවට සලකන ආකාරයෙන් කියල.

ඒ වගේම තමා, පුරුෂයෙක්ගේ පෞරෂයත්වය මැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමා තමන් තමාගේ ප්‍රේමවන්තියට/බිරිඳට සලකන විදිය කියන්නෙ.

කෙනෙක්ව පාලනය කරන්න කෙවිටක්/තුවක්කුවක් අතට ගත්ත ඕනම නරුමයෙක්ට පුළුවන්. නමුත් කෙනෙක්ව තේරුම් ගන්න, ඉවසන්න, ගරු කරන්න, අනිත් අය ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්න නම් ලේසි පාසු කෙනෙක්ට බැහැ.

ඒකට මනා පෞරෂයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න ඕන.

ප/ලි –

1.  ඊයේ පෙරෙදා දවස් ටිකේ බුකියේ මාතෘකාව වුන “මාර ඉස්කෝලයේ මාර ගුරුමාරුව” ගැන වෙච්චි කතා බහ අතර තුර අමනයන් පිරිසකගේ හැසිරීම නිසාය මේ සටහන ලියන්න තීරණය කලේ.

2. ආදර සබඳතා වලදී කොන්දේසි දැමිම දෙපාර්ශවයෙන්ම සිදුවන දෙයක් බව ඇත්ත වුනත් පොදුවේ අප සමාජයේ දක්නට ලැබෙන තත්වය ගැනය මේ සටහනෙන් කතා කරන්නේ. මෙහිම කනපිට සිද්ධ වෙන සිදුවීම් ඇති බව පුද්ගලිකවම දනිමි.

පිං කරන්න එපා

22886313_1597281710335145_1413238236462095821_n
 
පින කියන සංකල්පය සමාන වෙන්නේ මනෝමූලික ගනුදෙනුවකට.
 
පින බලාගෙන යම් දෙයක් කරන කෙනා බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම එකක් දෙන්නේත් ඒ මනුස්සයාගේ බඩගින්න නිවීමේ අරමුණටත්, ඒ මනුස්සයාගේ බඩගින්න නිවෙනවා දැකීමෙන් තමා සතුටක් ලැබීමේ අරමුණකටවත් වඩා කවදා හෝ අර මනුස්සයාගෙ බඩගින්න නිවන්න නිසා තමා නැති කරගත්ත කෑම එක හරි මිල මුදල හරි වගේ දෙතුන් ගුණයක් තමන්ට ලැබේවිය කියන අදහස මත ඉඳගෙන.
 
ඕක සමාන වෙන්නේ යහපත් සිතින් කරන මානුෂීය ක්‍රියාවකට වඩා තමා වියදම් කරන ගානට වැඩි ගාණක් බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් එකක් ගන්නවා වගේ වැඩකට. සුවිප් එකේ දිනුම ගැන විශ්වාසයක් නැතුව සුවිප් විකුණන මනුස්සයා ගැන හිතලා සුවිප් එකක් ගන්න ඉතා අඩු පිරිසක් ඉන්නබව ඇත්ත. මොන අදහස ඇතුව ගත්තත් සුවිප් විකුණන මනුස්සයාට ඒකෙන් යම් ප්‍රයෝජනයක් ලැබෙන බවත් ඇත්ත. නමුත් කාරණා එහෙම වුනාය කියලා වියදම් කරන ගාන වගේ දෙතුන් ගුණයක්, සිය දහස් ගුණයක් ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් ගන්න එක ‘මානුෂීය’ ක්‍රියාවක් විදියට සාමාන්‍යෙන් හැඳින්වෙන්නේ නැහැ.
 
දැන් කෙනෙක්ට අහන්න පුළුවන් මෙහෙම.
 
“කවුරු හරි කරන වැඩකින් හොඳක් වෙනවා නම් ඌ මොන මගුල හිතන් ඕක කලත් උඹට පාන්ද?”.. කියල
 
ඇත්ත වශයෙන්ම මට පාන්වත් කිඹුල බනිස්වත් නැහැ. එහෙම නැති වෙන්නේ එහෙම කරන එකේ අවුලක් නොතිබ්බනම්. අවුලක් තියෙන නිසා ඇත්ත වශයෙන්ම මට පාන් තමයි. අවුල මොකක්ද දන්නවද?
 
ඔය පින් සීන් එකෙන් කරන්නේ නම් කරන ලද හැසිරීම් එකතුවක් දිරිමත් කිරීමක් පමණයි. පින බලාගෙන ඒ හැසිරීම් වල යෙදෙන ඈයෝ ඒවා කරන්නේ තමන්ට වාසියක් බලාගෙන මිසක තමා කරන ඒ ක්‍රියාව ගැන අවබෝධයකින් නෙමේ. මෙහෙම හිතන්න,
 
පොඩි ළමයෙක් බත් නොකන නිසා ගෝනි බිල්ලො එනවාය කියල බය කලාම ඌ බත් ටික ඉවර වෙනකල් කනවා. ඒ බය කිරිල්ලෙන් (ගෝනි බිල්ලා එනවා) යම් හැසිරීමක්(බත් කෑම) කරගන්න පුළුවන් බව ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, ඔය ළමයා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් තමන් කරන ක්‍රියා අවබෝධයක් රහිතව ගෝනි බිල්ලාට බයෙන්ම කරන්න පෙළඹෙනවා නම්. සහ ගෝනි බිල්ලෝ එනවාය කියල වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් මූව වටේ ඉන්න උන් බය කර කර උන්ට ඕන වැඩ මූට කියල කරගන්නව නම්. කොහේවත් නැති ‘ගෝනි බිල්ලා’ කියන සංකල්පය මත පදනම් වෙලා පාලනය වෙන වැඩිහිටියෙකු වෙනවා නම්.. අවුලක් නැත්තෙමත් නෑ නේද?
 
දැන් ඔය බෞද්ධ භික්ෂූන් හරි චීවරධාරීන් හරි, මොක්කු හරි ඉන්න ඔය සෙට් එක තනිකරම තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්නේ මේ පිං වෙළඳාම පදනම් කරගෙන. සරලවම කියනව නම් ඒ අය කරන්නෙ පිං වෙළඳාම. මේ අයගේ පාරිබෝගිකයන් ගණන ඉතා විශාල වීම අවුලක් නෑ වගේ පෙනුනට අවුලක් නැත්තෙමත් නෑ.
 
කඨින පිංකම්ද, පෙරහැරවල්ද, ධාතු ප්‍රදර්ශනද, පන්සල සංවර්ධනය කියලා සල්ලි එකතු කිරීම්ද, දන්සැල්ද අරවද මේවද කියල මේ හැම දේකටම පිං පෙන්නල සමාජයේ එක් පිරිසක් (භික්ෂූන්) අනෙක් පිරිසක්ව (උපාසක/උපාසිකාවන්) කඩේ යවන එක අවුලක් නෙමේද? ඒ අයව අන්දලා තමාගේ වැඩ කරගන්න එක අවුලක් නෙමේද? සරලවම කියනවා නම් රවට්ටන එක සහ රැවටෙන එක අවුලක් නෙමේද? මේවා තනිකර පිං විකුණන මුවාවෙන් කරන ජාවාරම් නෙමේද?
 
එක්තරා කාලයක් තියෙන්න ඇති මිනිස්සුන්ගෙ හැසිරීම් ගෝනි බිල්ලො පෙන්නලා බය කරල හරි මැරුනයින් පස්සෙ හම්බෙන සීනි බෝල පෙන්නල හරි පාලනය කරන එක හොඳ දෙයක් වෙච්චි. නමුත් දැන් මේ 21 වන ශතවර්ෂයේදී ඒ තත්වය වෙනස් කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු ඒ කාලවලට සාපේක්ෂව තාක්ෂණික අතින්, සදාචාරාත්මක අතින් සහ ලෝකය ගැන අවබෝධය අතින් දියුණු වෙලා ඉන්න යුගයක අවබෝධය මත පදනම් වෙලා තමන් කරන නොකරන ක්‍රියා සම්බන්ධව තීරණ ගන්න කාලය එළඹිලා තියෙනවා කියලයි මම යෝජනා කරන්නෙ.
 
අනික, තමා කරන වැඩේ ගැන අවබෝධයක් නැතුව ඔය තෑගි හෙවත් Rewards බලාගෙනම අන්ධයෝ වගේ වැඩ කරන එකේ දරුනු ප්‍රතිපල තියෙනවා. මුස්ලිම් අන්තවාදීන් “අල්ලා හුරක්බා” කියාගෙන තමාවම පුපුරවගන්නේ මැරුනයින් පස්සෙ තමාට හම්බෙන කන්‍යාවියො හැත්තෑ දෙදෙනාගේ තෑග්ග බලාපොරොත්තුවෙන්.
 
මැරුනයින් පස්සේ අහවල් එක හම්බෙනවාය කියල ඇන්දුවාම අසූචි වුනත් කන මානසිකත්වයක ඉන්න මිනිස්සුන්ගෙන් යුක්ත සමාජයක් නිර්මාණය වෙලා තියෙන එක යහපත් දෙයක් කියල කාටද තර්ක කරන්න පුළුවන්.
 
මරණින් පස්සෙ මොනව හරි හම්බෙනව කිව්වොත් මිනිස්සු දාස් ගණනින් සල්ලි දෙනවා, මල් පූජා කරනවා, දණ ගහල වඳිනවා, ගස් වටේ කැරකි කැරකි වතුර දානවා, නූල් බැඳගන්නවා, බකන් නිලාගෙන ඉන්න උන්ට හැමදාම කෑම ගිහින් දෙනවා, පහන් පත්තු කරනවා, කඳු නගිනවා, ගස් ගල් වලට වඳිනවා, ඉටිපන්දම් පත්තු කරනවා, යාතිකා කරනවා, හූ තියනවා, කුරුස එල්ලගන්නවා, … කොටින්ම දෙයියන්ගේ නම කියල කෑගහලා බෝම්බයක් බැඳගෙන තමාවම පුපුරව ගන්නවා. මේ ඇන්දවීම සහ අන්දවා ගැනීම හොඳ දෙයක්ද?
 
මෑතකදී සයිබරයේ කතාබහට ලක් වුන සිද්ධියක් ඔබට මතක ඇති.
 
ශ්‍රීපාදය වන්දනා කරන්න ගිය වන්දනාකරුවන් දාපු කුණු එකතු වෙලා ශ්‍රීපාදය ලඟ කුණු කන්දක් හැදිලා. මේ මිනිස්සු කොයි තරම් සැදැහැ සිතින් සුදු ඇඳගෙන මත්පැන් පානය නොකර කණුහරප නොකියා වන්දනා ගමනේ ගියත් මේ කරන දේ කරන්නේ තමාගේ යහපැවැත්ම ගැනවත් තමා ජීවත් වන සමාජයේ යහපැවැත්ම ගැනවත් හිතමින් නම් නෙමේ. තනිකර තමාගේ පිං අකවුන්ට් එක වැඩි කරගන්න එකේ අරමුණින්. මේ මිනිස්සු යහපත් කරගන්න හදන්නේ අපි ජීවත් වන ලෝකය නෙමේ. මැරුනයින් පස්සේ තියෙනවයි කියල වෙනකෙනෙක් කියන වෙනත් ලෝකයක් යහපත් කරගන්නයි මේ දතකන්නෙ. මේ අයට ප්‍රශ්නය ජීවිතය නෙමේ, මරණයයි මේ අය ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ. මැරුනයින් පස්සේ තමා යනවාය කියල හිතන වෙනත් ලෝකයක් දිහා බලාගෙන දඟලන මිනිස්සු මේ ලෝකය යහපත් කරන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති එක පුදුම වෙන්න කාරණාවක්ද?
 
මගේ සයිබර් මිත්‍රයෙක් කියලා තිබ්බා ඔය ගැන නියම අදහසක්. ඒ කතාවෙන් මම මේ කියන්න හදන දේ හොඳටම පැහැදිළි වේවි. (හරියටම යාලුවගේ වචන මතක නැති නිසා අදහස ලියන්නම්)
 
“ඔය ශ්‍රීපාදය ළඟ ගොඩ ගැහිල තියෙන කුණු ගොඩ අයින් කරන එකෙන් ලබන ආත්මයට මහා පිං ආනිසංස ලැබෙනවා කියල ගම් වල ප්‍රචාරයක් යැව්වොත් ගම් නියම් ගම් වලින් මිනිස්සු පොරකාගෙන ඇවිත් මේ කුණු කන්ද දිවෙන් අයින් කරලා දායි”
 
මරණින් පස්සෙ ලැබෙන බිබික්කමක් බලාගෙන තමා කියන කරන දේවල් ගැන අවබෝධයක් නැතුව වැඩ කරන එකේ අවුල ගැන මීට වඩා හොඳ උදාහරණයක් තවත් ඕනද?
 
ඇන්දිලා වැඩ කරනවට වඩා අවබෝධයෙන් වැඩ කරන තත්වයට මනුස්ස සංහතිය පා තබල තියෙන බව තේරුම් ගන්න දැන් කාලය එළඹිලා කියලයි මට හිතෙන්නෙ.
 
හිතල බලන්න.

මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා

23113396_1595461813850468_1688733249_n
 
විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය.
 
පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප වැඩිහිටියන් කියන දේ ඔවුන් විශ්වාස කරන්නේ දිගින් දිගටම විචාරාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ මනස ඒ වයසේදී වර්ධනය වෙලා නැති නිසා. දරුවෙක්ගේ මනසට ලොව පුරා වැඩිහිටියන් තමන්ගේ ඔලුවල තියෙන අනේකවිද බහුබූත ‘පරම සත්‍යයන්’ විදියට කොටලා පෙව්වේ නැත්නම් ඒ දරුවන් කාලයාගේ ඇවෑමෙන් වැඩිහිටියන් වුනයින් පස්සෙ ලෝකය දිහා කොයි විදියට බලයිද? යථාර්තය ගැන ඔවුන්ගේ දැක්ම මොන වගේ වෙයිද? කුඩා කාලයේ දරුවන්ගේ ඔලුවලට ආගමික සහ අධිස්වභාවික සිද්ධීන් ගැන මතවාද ඇතුලු නොකරන ලෝකයක, මෙවැනි ඇදහිලි සහ විශ්වාස කොයිතරම් නම් කල් පවතියිද? සමහර විට අපේ සංස්කෘතිය සැලකුවොත්, අපේ ජීවිත කාලය තුල මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න හම්බෙන එකක් නැහැ. එක අතකට ඒක අපේ අවාසනාව.
 
මේ ගැන ඉතාම සිත්ගන්නා සුළු අදහසක් මට අහම්බෙන් හමුවෙනවා ඇමරිකාවේ ප්‍රසිද්ධ කලා සම්ප්‍රදායක් වන Stand up comedy එකකදී Bill burr නම් ඉදිරිපත් කරන්නා තුළින්. (පාසල සහ දහම්පාසල කියන මොළශෝදක කම්හල් දෙකෙන් ඉගෙනගත්තාට වඩා මම ලෝකය ගැන ඉගෙනගත්තා Stand up comedy නැරඹිම මඟින්. ඒකත් එක අතකට හිනා නොයන විහිලුවක්)
 
Bill burr එක තැනකදී කියනවා මෙහෙම,
 
“හැම ආගමකම කියනවා කතන්දර. අපි ඇති වුනේ කොහොමද..අපි යන්නේ කොහෙද.. අපි මැරුනයින් පස්සේ වෙන්නේ මොකක්ද.. වගේ දේවල් ගැන. වැඩේ කියන්නේ අනිත් හැමෝගෙම ආගම් වල ඔය දේවල් ගැන උගන්නන දේවල් අපිට පේන්නේ මාරම අමු මෝඩ දේවල් විදියට. අපේ ආගමේ උගන්නන දේ හැර. මම ජීවත් වෙන්නේ ලොස් ඇන්ජලිස් වල. මම ජීවත් වන නගරයේ ඉන්නවා සයන්ටලොජිස්ට්ලා ඕන තරම් (Scientology යනු ආගමකි). මම සයන්ටලොජි ආගමේ කතාව මුලින්ම අහපු දවසේ මට හිතුන දේ තමා ඒ වගේ අමු මෝඩ බූරු කතාවක් මම මීට කලින් ජීවිතේට අහලා නෑ කියන එක. වැඩේ කියන්නෙ ඒ කතාව මෝඩ ගොං කතාවක් කියලා හිනා වෙන ගමන් මම ඒ දවස් වල විශ්වාස කලා කිසිම දවසක පිරිමියෙක් එක්ක නිදාගත්තෙ නැති ගෑණියෙක් වතුර මත ඇවිදින්න පුළුවන් ළමයෙක් හදල ඒ ළමයා මැරිලා දවස් තුනකින් ආයෙම මරණින් නැගිටලා ආවා කියන කතාව. මම අර කතාවට හිනා වුනාට ඔය දෙවනි කතාව විශ්වාස කරන එක කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ. මම ඒක ඉතාම පැහැදිළි ඇත්තක් විදියට විශ්වාස කලා. ඔහොම ඉද්දි මම එක දවසක් කල්පනා කලා, ඇයි මේ කතාව කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිගන්න මට අර කතාව මහ මෝඩ කතාවක් විදියට පේන්නේ කියල. ඕකට තියෙන්නේ හරිම සරල හේතුවක්. මොකක්ද දන්නවද?..
 
….ඔය දෙවනි කතාව මට අහන්න හම්බුනේ මම වැඩිහිටියෙක් විදියට ඉද්දි. මම පිළිගන්න ආගමේ කතාව මට මුලින්ම ඇහැද්දි මට වයස අවුරුදු හතරක් විතර ඇති. ඒ කාලෙ නත්තල් දවසෙ නාකි මහත මිනිහෙක් වහලෙන් ඇවිල්ලා මට තෑගි තියලා යනවා කියලා පිළිගත්ත මට රැවුල වවාගත්ත බබෙක් වතුර උඩ මූන් වෝක් එක දදා දඟල දඟල මිනිස්සුන්ට මාළුයි පානුයි විසිකර කර හිටියා කියන එක පිළිනොගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ. ඒ මම හයක් හතරක් නොතේරෙන පොඩි එකෙක් නිසා…”
 
ඇත්තම කතාව මේක නෙමේද?
 
තමන්ගේ ආගම පරම සත්‍යය කියල විශ්වාස නම්, තමන්ගේ දරුවා බුද්ධිමත් වැඩිහිටියෙක් වුනයින් පස්සේ ලෝකයේ ඇති ප්‍රධාන ආගම් ගැන සහ නූතන විද්‍යාව ගැන ඉගෙනගෙන හරි දේ තෝර ගනියි කියන විශ්වාසය ඔවුන් තුල නැත්තේ ඇයි? තමන්ගේ ආගම පරම සත්‍යය නම් බය වෙන්නේ මොකටද?
 
(ලංකවේ ළමා මහණ කිරීම් නවත්තලා අවබොධයෙන් යුත් වැඩිහිටියන් පමණක් මහණ කරවන තත්වයක් ඇති කලොත් ශාසනය කොයි තරම් නම් කල් පවතියිද කියන එකත් සිත් ගන්නා සුළු ප්‍රශ්නයක්. තුන් ලොවේම පරම සත්‍යය සහ බුද්ධිමතුන්ගේ ධර්මය විදියට හඳුන්වන ආගමක පැවැත්ම රඳා පවතින්නේ හයක් හතරක් නොතේරෙන දරුවන් ඒ ආගමට කුඩා කාලයේදීම බඳවා ගැනීම තුළින් කියල ඒ ආගමේම උදවිය කියන එක ඇත්තටම ඒ අය ලජ්ජාවට පත් විය යුතු කාරණයක් නෙමේද?)
 
ආගම් වෙනුවෙන් පෙනී ඉන්න වැඩිහිටියන් සහ පූජ්‍යය පක්ෂය තමන්ගේ ආගම ගැන කියල දෙන්න තමන්ගේ දරුවන් වැඩිහිටියන් වෙනකල් ඉන්න සූදානම් නැත්තේ, ඔවුන්ගේ යටි හිත දන්නවා වැඩිහිටි මනසකට මේ මනස්ගාත ලේසියෙන් ඔබ්බවන්න බැරි බව. වැඩිහිටි මනසක් මේ වගේ දේවල් විචාරයෙන් තොරව පිළිනොගන්නා බව. ඒ නිසයි ඔවුන් විසින්ම ‘පරම සත්‍යය’ කියල හඳුන්වන ආගම් පවා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔලු වලට කොටල පොවන්නේ.
 
ආගම් පමණක් නොවේ, විද්‍යාව පවා පරම සත්‍යයක් විදියට දරුවන්ට ඉගැන්විය යුතු නැහැ කියන මතයේ තමා පුද්ගලිකව මම ඉන්නේ. දරුවන්ට දිය යුත්තේ තමන්ගේම කියා මතවාද ගොඬනගා ගැනීමට අවශ්‍යය දැනුම මිසක ‘පරම සත්‍යයන් ගැන පිළිතුරු’ නෙමේ. ඔවුන්ට කියල දෙන්න ඕන හිතන්න ඕන ‘විදිය’ මිසක හිතන්න ඕන ‘දේවල්’ නෙමේ. අපි දරුවන්ට අපේ ඔලුවල තියෙන උත්තර කටපාඩම් කරවනව වෙනුවට කරන්න ඕන ඔවුන්ටම ඒ උත්තර හොයාගන්නා ක්‍රමවේදයන් කියල දෙන එකයි. නැතුව අපේ මතවාද වලින් දරුවන්ගේ ඔලු පුරවන එක නෙමේ. එහෙම කරන එක නොවැඩුන මනසින් යුත් දරුවන්ට කරන විශාල අසාධාරණයක්.
 
මගේ නෑදෑ දියණියක් ඉන්නවා අවුරුදු 12ක විතර. ඇය දවසක් මගෙන් අහනවා ප්‍රශ්නයක්. වැඩිහිටියෙක් විදියට මටවත් කිසිම දවසක නොහිතුන කතාවක් තමා ඇය මගෙන් ඇහැව්වේ
 
“බාප්පේ, සිදුහත් කුමාරයා ඉපදිලා පියවර හතක් ඇවිදලා මම ලොවට අග වෙමි කවිය කියල ඉවර වෙලා ආයෙම අම්මාගේ තුරුළට ගිහින් අඬ අඬ අම්මාගෙන් කිරි බිව්වද? ඒක එහෙම වෙන්න බෑ නේද?”
 
මේ වගේ හිතන දරුවන්ගේ මනසට විලංගු නොදමා ඉන්න තරම් වැඩිහිටියන් නිහතමානී වුනානම් කොයි තරම් නම් නිදහස්ව හිතන, නිර්මාණශීලී අනාගත පරපුරක් මනුස්ස සංහතියට දායාද කරන්න අපිට පුළුවන්වෙයිද?
 
කලින් කිව්වා වගේ, ඒ ප්‍රශ්නයට උත්තරේ අපේ ජීවිත කාලයේදී නම් අපට දැනගන්න ලැබෙන එකක් නැහැ. මේ තත්වය මෙහෙමම පැවතුනොත් ඒක ඔබේත් මගේත් අපේ අනාගත පරපුරේත් අවාසනාව කියල හිතහදාගන්නවා හැර කරන්න දෙයකුත් නැහැ.