Monthly Archives: November 2017

ගරුත්වයට ෆ්‍රී පාස් එකක් නොදෙමු

22528379_1422921214491798_4943220801843948068_n

මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය.

“මොකක්ද අර?..”

“අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල”

මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි.

“ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා..”

“මොකක්…..?”

“ඔව්”

“මොකක්ද හරියටම වුනේ?”

“ඔය ඉස්කෝලෙ යද්දි අහන්නෙ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල. අපේ පන්තියෙ ළමයෙක් කිව්වා එයා කැමති එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කියල. ඒ ළමයට හොඳටම බැන්න. පස්සෙ ඒ ළමයව පැත්තකට අරගෙන ගිහින් තවත් බැනල. සර් කියල වේස රස්සා කරන්න හදන්නෙ උඹ වේසියෙක් වෙන්නද කැමති” කියල.

මගේ හිත කේන්තියෙන් පිරීගියේය. මගේ පාසලේ සිටි ගුරුවරුන්ගේ කල්ක්‍රියාද මතකයට නැඟෙන්නේ මෙවැනි අවස්ථාවලදීය.

මගේ පාසලේ ගුරුවරු කිහිපදෙනෙක් අතර තරඟයක් විය. ඒ පාසලේ ‘වසම සර්’ යන නාමය හදාගැනීමටය. ඒ නම හදා ගැනීමට ඔවුන් කරන්නේ හැකි පමණ පාසල් සිසුන්ට පහර දීමය. දවස ආරම්භ වද්දි ඇහෙන “චටාස්.. පටාස්..” සද්දය අපට නුපුරුදු දෙයක් නොවීය. තවත් ගුරුවරයෙක්ට තිබුනු අමාරුවක් නම් සිසුවියන් ඉදිරියේදී සිසුන්ට පහර දීමට ඇති ආශාවයි. ඒ නිසා ඔහුට පාසලේ වැඩිමහල් සිසුන් තැබූ අනවර්ථ නාමය “කිඹිසිඹා” නම් විය. තවත් දිනෙක පාසලේ ගුරුවරයෙක් නමය වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකගෙන් ‘කිස් එකක්’ ඉල්ලා කරදර කරන බව අපට ආරංචි විය. එක්තරා ක්‍රමයකින් විදුහල්පතිට ඔහු ගැන දැනුම් දුන්නත් ගුරුවරයා වසර ගනනක් පාසලේ යහතින් සේවය කලේය. සිසුන්ට වේවැල් කැඩෙන තුරා පහර දුන්නද, ගුරුවරුන්ගේ විනය ගැන සොයා බැලීමට පාසල් පාලනාධිකාරිය එම උනන්දුවම දැක්වූවා දැයි නොදනිමි. සිසුන්ට පහර දීම, සිසුන්ව අනෙක් සිසුසිසුවියන් ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම එදිනෙදා සිදුවන සාමාන්‍යය දේ විය.

මගේ ජීවිත කාලය පුරා ගරුකටයුතු ගුරුවරුන් හමුවී ඇත්නම් ඒ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පමණි.

අප රටේ ගුරුවරයා නැමති වෘතියේ නියැලෙනා මිනිසුන් ගත් විට පොදුවේ ඔවුන් තුල ඇත්තේ මෙවන් මානසිකත්වයක් යැයි සිතමි. මෙවන් තත්වයක් යටතේ ලාංකේය සමාජය විසින් ගුරුවරයාට ‘ගරුත්වය ලැබීම’ යන කාරණයේදී ෆ්‍රී පාස් එකක් ලබා දි ඇත්තේ මන්දැයි මම අද වනතුරා නොදනිමි.

ඕනෑම වෘතියකට හෝ නිල ඇඳුමකට හෝ (සිවුර, ලෝගුව), පට්ටමකට හෝ (මව්පදවිය, පියපදවිය) ඉබේ විශේෂ ගරුත්වයක් හිමි වීමෙන් අසාධාරණයට පත් වන්නේ ඒ ගෞරවය හිමි යැයි සැලකෙන මිනිස්සුන්ගෙන් පීඩනයට පත් වන පීඩිතයන්ය. මේ විශේෂ ගරුත්වය හිමි පුද්ගලයන් අතින් පීඩනයට සහ අසාධාරණයට ලක් වූවන් ඊට එරෙහිව හඬනගන්නට හෝ නීතියේ පිහිට පතන්නට මැලිවන්නේ ස්වභාවයෙන්ම ඔවුන්ට තමාට වඩා වැඩි පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බව දන්නා නිසාය. එනිසා මෙවැනි කැපී පෙනන විශේෂ සිදුවීම් වලදී හැර බොහෝ විට සිදුවන්නේ මේ ‘ගරුකටයුතු’ වෘතීන් වල නියැලෙන්නන් අතින් වන අසාධාරණයන් අනෙක් අය ‘ඉවසීමය’.

පුද්ගලිකව මම මිනිසුන්ට ඔවුන් කරනා වෘතිය නිසා හෝ ඔවුන් දරනා පට්ටම් නිසා හෝ ඔවුන් අඳිනා නිල ඇඳුම් නිසා ඔවුන්ට විශේෂ ගෞරව සැලකිලි නොදක්වන්නට හැකි තරම් උත්සාහ කරමි. සැමටම ලැබිය යුත්තේ මනුස්සයෙක්ට හිමි ගෞරවය පමණි. කෙනෙක්ට අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක් අවශ්‍ය නම් ඔහු ඒ විශේෂ ගරුත්වය ඔවුන්ගෙන් දිනාගත යුතුය. හැසිරීමෙන් සහ කල්ක්‍රියාවෙන් තමා අනෙකුන්ට වඩා විශේෂ බව පෙන්විය යුතුය. එවිට ඔහු මොන වෘතියේ නියැලුනත්, මොන පට්ටම දැරුවත් ඔහුට සියල්ලන්ගේ ආදරය ගෞරවය ලැබෙනු ඇත. මන්ද, ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිස, ඉබේ ලැබෙන දෙයක් නොවන නිසාය.

කෙසේ නමුත් ලංකාවේ ගුරුවරු නැමති වෘතියේ යෙදෙනා මිනිසුන් කොටස තුලද අනෙක් හැම වෘතියකම යෙදෙනා මිනිසුන් තුල සේම වැඩියෙන්ම ඇත්තේ අඩුපාඩුය. ආකල්ප වල ගැටළුය. ඔවුන්ගේ ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා ප්‍රශ්න කිරීමට නම් සමාජයක් වශයෙන් ගුරුවරුන්ට ලබා දී ඇති මේ ‘ෆ්‍රී පාස්’ එක වහා ගලවා ඉවත දැමිය යුතු බව දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳය. නැත්නම් සිදුවන්නේ දශක ගානක් තිස්සේ කලාක් මෙන් ගුරු පුටුවේ සිටිනා පුද්ගලයා මොන ජාතියේ අමනයෙක් වුවද, මොන ජාතියේ අමන වැඩ කලද “අනේ හොඳා සර්” කියා බුලත් දී ඔහු ඉදිරියේ වැඳ වැටීමටය.

සිද්ධාර්ථ ගෑණියි ළමයයි දාලා ගිය බයගුල්ලෙක්ද?

සිද්ධාර්ථගේ පළා යෑම බොහෝ අබෞද්ධයන් සෘණාත්මක දෙයක් විදියට අරුත් ගන්වද්දි බෞද්ධයන් හැමවෙලේම එය දකින්නේ ඔවුන් විසින් සාධාරණීයකරනය කල යුතු දෙයක් විදියට.
 
ඒත් පළායෑම හෙවත් මේ කාරණයෙදි මම දකින විදියට ‘සිස්ටම් එක මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම’ සෘණාත්මක දෙයක් හෙවත් නෙගටිව් දෙයක් විදියට දකින්න උවමනා නැහැ.
 
ඇත්තටම බැලුවොත් සිස්ටම් එක හදන්න දඟලන එක අවසානයේදී නවතින්නේ වියරුවකින්. ඔය ඇම්ම තුළ සමූහයක් විදියට ගත්තම ප්‍රයෝජ්ය වටිනාකමක් තිබුනට පුද්ගලයෙක් විදියට ඒ තුළින් සැනසීමක් ලඟා කරගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මේ ගැන කතා කරද්දි මගේ මිතුරෙක් යෝජනා කලා සිස්ටම් එක හදන්න දඟලන එක වෙනුවට කල යුත්තේ සිස්ටම් එක වෙනස් කරන්න උත්සාහ කරන එක කියල.
 
නමුත් මගේ අදහස තමා ඔය කියන ‘වෙනස’ කොහොමත් සිද්ධ වෙන දෙයක් බව. මම, මගේ මිත්‍රයා, මෙය කියවන ඔබ, සිද්ධාර්ථ ඇතුව හෝ නැතුව. අපි හැමෝම දඟලන්නේ මේ වෙනස අපිට ඕන විදියට අපි කැමති විදියට කරගන්න. අපි හැමෝම දතකන්නෙ අපි වටා තියෙන ලෝකය අපිට ඕන විදියට වෙනස් කරන්න.
 
ඉතින් කිසිදා ගොඩගන්න බැරි යථාර්තයක් සමඟ නොනවතින අරගලයක් කරනවට වඩා ඒ ගොඩගන්න බැරි බවේ යථාර්තය තේරුම් අරගෙන සිස්ටම් එකෙන් ගැලවිලා ලෝකය තුළින් සැනසීම හොයනවා වෙනුවට තමා තුළින් සැනසීම හොයන්න තීරණය කරන එක ඔය කියන තරම් නෙගටිව් දෙයක් වෙන්නේ කොහොමද? ඇත්තටම සිස්ටම් එක ප්‍රතික්ෂේප කරන එකම පරාජිත බවේ ලක්ෂණයක් කියල කියල දෙන්නෙම මේ සිස්ටම් එක විසින්මයි. ඒක ඔහේ පිළිගන්න එක සමාන වෙන්නෙ හොරාගෙ අම්මා කියන පේනෙ පිළිගන්න එකටම තමයි. මට අනුව නම් පළා ‍යෑම හෙවත් සිස්ටම් එකෙන් ඈත් වීම නෙගටිව් දෙයක් විදියට අරුත්ගන්වන එකම සිස්ටම් එකෙන්ම අපිට දුන්න ලණුවක්.
 
සිස්ටම් එක සහ ස්වභාවධර්මය කියන විකාරරූපී යථාර්තයන් හමුවේ උපේක්ෂා සහගත හෝ උදාසීන(neutral) ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පුළුවන් නම්, ඒක මම දකින විදියට තනි පුද්ගලයෙක් විදියට ළඟා කරගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණයක්. ඒක කවුරුත් ඉදිරියේ සාධාරණීයකරනය කලයුතු දෙයක්වත්, ප්‍රතික්ෂේප කල යුතු සෘණාත්මක දෙයක්වත් නෙමේ.

1500_cb57b72b-7021-4df8-84e2-69baa82ba825

(නො)හිතන මිනිස්සු

මීට දවස් දෙක තුනකට කලින් මිතුරකුට “හිතන මනුස්සයෙක්” වෙන එකේ ප්‍රයෝජනය මොකක්ද කියලා අමුතුවෙන් පැහැදිළි කරන්න වුනා. ඔහුට අනුව එදිනෙදා ජීවිතයට සෘජු බලපෑමක් නැහැයි කියල බැලූ බැල්මට පේන දේවල් ගැන හොයන්න යන එක තේරුමක් නැති කාලය නාස්ති කිරීමක්.

මානසිකව සැනසිල්ලේ ඉන්න තත්වයන් යටතේ ඉන්න මිනිස්සු හිතන්න පෙළඹෙනව වැඩියි. බුදුහාමුදුරුවො පවා කියල තියෙනවලුනෙ බණ කියන්න කලින් බණ අහන්න එන මනුස්සයාට කන්න දෙන්න කියලා. ඒකෙන් කියවෙන්නෙ හිතන්න කලින් බඩ පිරිලා තියෙන එක වැදගත්ය වගේ කතාවක්. ඒක හරි. දිනපතා එකිනෙකා පරයන ජීවන අරගලයක යෙදිල ඉන්න මිනිස්සු ලෝකය ගැන, ජීවිතය ගැන දාර්ශනික ගැටළු ගැන කල්පනා කරනවා තියා තමන් ඉන්න තත්වය ගැනවත් නැවතිලා හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ තත්වයක ඉන්න මිනිස්සු ප්‍රයෝජනවත් දේවල් කියල හඳුන්වන්නේ මාසෙ අන්තිමට ලැබෙන පඩිය කීයකින් හරි වැඩි කරගන්න පුළුවන් වෙන විදියේ වැඩක්, තමන් ගොඩගහගන්න දඟලන බඩුමල්ල (වත්කම්) වැඩි කරගන්න පුළුවන් විදියේ වැඩක්, රස්සාව කරන තැන අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් විදියේ වැඩක් වගේ දේවල්. ඉන් එහාට අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා ජීවත් වෙන සමාජය, සංස්කෘතිය, දේශපාලනය, ආගම ගැන හොයල බලනව තියා පොතක් පතක්, පත්තරයක්වත් කියවන්න වෙලාවක් නැහැ. ඒ අය ගෙවන ජීවිත ඇතුලෙ ඒ වගේ දේවල් වෙනුවෙන් නවතින්න උවමනාවක් නිර්මාණය වෙලා නැහැ. ඒකයි “මොකක්ද බං හිතන එකෙන් ඇති වැඩේ?”, “දැන් උඹ ඕව ගැන දැනගත්තා කියල උඹ මොනව කරන්නද?” වගේ කතා අහන්න ලැබෙන්නෙ.

මේක මට හිතෙන විදියට නම් මහා ඛේදවාචකයක්. උදාහරණයකට මේ වචන ලියන මම සහ කියවන ඔබ සම්බන්ධ වෙලා ලාංකීය සයිබර් අවකාශය හරහා ඉතාම සීමිත සංවාද කවයක් නිර්මාණය කරගෙන ඒ තුල අපි කිහිපදෙනා අදහස් බෙදාගත්තට මේ හැසිරීම පවා තේරුම් ගන්න බැරි අතිමහත් බහුතරයක් තමා අනෙක් ෆේස් බුක් භාවිතා කරන්නන් නියෝජනය කරන්නේ. ඒ අය බුකියට එන්නේ තනිකරම මාර්ක් සකර්බර්ග් මුලින් ෆේස් බුක් හදද්දි ඉලක්ක කරපු දේ සපුරා ගන්නම විතරයි. (යාලුවෝ එක්ක චැට් කරන්න, කන බොන දේවල් වල යන එන තැන් වල ෆොටෝ අරන් අප්ලෝඩ් කරන්න වගේ දේවල් වලට) ඉන් එහාට දෙයක් බුකිය හරහා කරන්න පුළුවන් කියල ඒ අය දන්නෙවත් නැහැ.

ලෝකයේ දියුණුය කියල හැඳින්වෙන සමාජ වලට සාපේක්ෂව අපේ රටේ intellectual discussions කියන ඒවා සිද්ධ වෙනවා බොහොම අල්පයි. එදිනෙදා ජීවිතයේදී මිනිස්සු දෙන්නෙක්ට යමක් ගැන අදහස් හුවමාරු කරගන්න තරම් වෙලාවක් ලැබුනු විටත් ගොඩක් විට ඒ අය ඒ කාලය යොදාගන්නේ කාගේ හරි ඕපාදූපයක් කතා කරන්න, තමන්ගේ ප්‍රායෝගික ජීවිතය පහසු කරගන්න දෙයක් ගැන කතා කරගන්න. (උදා- කාර් එක සර්විස් කරගන්න ලාබම තැන මොකක්ද, හොඳ එළවළු ලාබෙට ගන්න තියෙන්නෙ කොහේද වගේ දේවල් ) සිස්ටම් එකේ සර්වයිව් වෙන්න මිසක් තමා කොටස් කාරයෙක් වෙලා ඉන්න සිස්ටම් එක ගැන හිතන්න, ප්‍රශ්න කරන්න පෙළඹෙන විදියට අපේ සමාජයේ මිනිස්සු නිර්මාණය වෙලා නැහැ. සහ අපේ මිනිස්සුන්ට ‘සාකච්ඡාව’ හෙවත් අදහස් හුවමාරුව කියන කාරණයේ වැදගත්කම ගැන අවබෝධයක් නැහැ. වෙනත් සමාජ වල බුද්ධිමතුන් එකතු වෙලා නොයෙකුත් මාතෘකා ගැන වාද සංවාද කරන සංස්කෘතින් ගොඬනැගිලා තියෙනවා. ඒ රටවල එවන් දේ වටා මිනිස්සු ඒකරාශී වෙනවා. එවන් අදහස් බෙදා ගැනීම් ගැන උනන්දු ප්‍රේක්ෂකයින් පිරිසක් හැම වෙලේම ඉන්නවා. ඒ මිනිස්සු ඒ අතින් ඉන්නේ දැනුම පිපාසයකින්. අපේ මිනිස්සුන්ට තවම ඒ වගේ දේවල් දිරවන්නේ නැහැ. කොටින්ම අපිට ඒවා කාලය කාදමන විකාර වැඩ. ඉඳලා හිටලා හරි අපේ සමාජයේ බුද්ධිමතුන් අතර කලාතුරකින් සිද්ධ වෙන එවැනි සාකච්ඡා, අදහස් හුවමාරු පවා ඉතාම සීමිත අවකාශයක් ඇතුලේ සිද්ධ වෙනවා මිසක් ඉන් එහාට බුද්ධි ගලනයක් සිද්ධ වෙන්නේ නැහැ.

අපේ රටේ මූලික අධ්‍යාපනය ලබල විභාග පාස් කරල පුද්ගලික අංශයේ ඉහල රැකියාවක් කරන්න තරම් වෘතිය දැනුමක් තියෙන තමාගේ ජීවිතයේ තෙවැනි දශකය ගෙවන මනුස්සයෙක්ට “හිතන” එකේ වැදගත්කම අමුතුවෙන් කියල දෙන්න වෙලා තියෙන තත්වයක් නම් තියෙන්නේ ඒක මුළු සිස්ටම් එකේම තියෙන මහා අවුලක් බව මේක කියවන්න තරම් හිතන එකේ වැදගත්කම තේරුම් අරන් ඉන්න උඹට කියල වැඩක් නැහැ. මේ කතා කියන්න ඕන හිතන එකේ, කියවන එකේ, සාකච්ඡා කරන එකේ, අදහස් හුවමාරු කරගන්න එකේ වටිනාකම තේරෙන්නේ නැති අයට. වැඩේ කියන්නේ ඒ අය මේ වගේ වචන සීයක විතර පෝස්ට් එකක්වත් කියවන්න මලාවට පෙළඹෙන්නේ නැති එක.

ලව් ඉලව් කර නොගැනීමට

fef9510779c9ccdfd750c3b620520df4--kiss-painting-love-painting

පළමු අදහස් ප්‍රකාශ කිරීම – බුද්ධික තාඹුගල ශූරීන් 

“…මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි..

සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්.. අපි යාළුවන්ට හැම දේම කියනවා.. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා.. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ..

පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.. මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ..

අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.. මගේ හොඳම මිතුරිය මට කිව්වොත් “හැම මාසෙම පන්සල් පලයන්” කියල මම අනිවා කියන්නෙ “උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____” කියල.. ඒක අහලා ඇයට අවශ්‍ය නම් “මේ යාළුකම හරි යන්නෙ නෑ” කියල අත ඇරල දැම්මැහැකි.. එහෙමත් නැතිනම් “මූ පන්සල් නොගියට හොඳ එකා” කියලා යාළුකම පවත්වාගත හැකි..

යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා.. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.. එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා..

මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ.. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි.. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි ..

එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා.. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා..

දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?

යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා.. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම.. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.. අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.. ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්..

මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා.. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.. මගේ විශ්වාසය නම් එය ජාතික අෆරාඩයක් බවයි..”

දෙවන අදහස් ප්‍රකාශ කිරීම – ජේමිස් බණ්ඩා මහතා හෙවත් මමතුමා 

“…. බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.

..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්. ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.

නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක. කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.

තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)

දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි. ඇයි? ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?

එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ. තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.

කොහොම කලත් මේ “වෙනස් කම්” කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ “අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව” කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.

ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට “දෙන” දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.

හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.

තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.

මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට “ගුඩ් බායි” කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.

ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා…”

අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

ලුවිස් සී.කේ ව එල්ලා මැරීමට පෙර

Louis C.K. - Saturday Night Live - Season 42 Episode 17
ලුවිස් සී.කේ ට එල්ල වුන ලිංගික විෂමාචාර චෝදනා වලින් පසු නොවැ.18 පැවැත්වීමට නියමිතව තිබූ “Night of Too Many Stars: America Unites for Autism Programs,” වැඩසටහනින් ලුවිස් සී.කේ ව ඉවත් කොට තිබේ. FX Networks සහ FX Productions සමාගම් ලුවිස් සී.කේ සමඟ ඇති සියලු සබඳකම් නවතා ඇත. ලුවිස්ගේ කලමණාකරණ කටයුතු බාරව සිටි Arts Entertainment සමාගම ඔහුව සේවාදායක බවින් ඉවත් කොට තිබේ. ඔහුගේ කලමණාකරු වන Lewis Kay විසින් ලුවිස් සීකේ සමඟ තවදුරටත් තමා කිසිම සබඳතාවයක් නැති බව ප්‍රකාශ කොට තිබේ. ලුවිස් ගේ නවතම චිත්‍රපටය වන I Love You, Daddy නොවැම්බර් 17 දින තිරගත වීමට නියමිතව තිබුනු අතර එහිද විකාශය වීම නවතා ඇත. ලුවිස් සමඟ අලුත් stand-up specials දෙකක් සංවිධානය කොට තිබූ Netflix ආයතනය ඒවාද අවලංගු කොට ඇත.
 
මීට සති කිහිපයකට පෙර නිව්යෝක් ටයිම්ස් හරහා කාන්තාවන් පස් දෙනෙක් ලුවිස්ට වෝදනා කලේ ඔහු ඔවුන් ඉලක්ක කරගෙන ලිංගික විෂමාචාර ක්‍රියාවල යෙදුන බවයි. පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ලුවිස් සීකේ විසින් එම චෝදනා සියල්ල සත්‍යය බවත් ඔහු අතින් සිදු වූ ඒ දේවල් වැරදි බවත් පිළිගත්තේය.
 
එක අවස්ථාවකදී ලුවිස් විසින් කාන්තාවන් දෙදෙනෙකුට තමන්ගේ කාමරයට ආරාධනා කොට ඔවුන්ගෙන් අසා ඇත්තේ “මම ඔබලා ඉදිරියේ ස්වයංවින්දනය කලාට කමක් නැත්ද?” කියායි. පසුව ලුවිස් විසින් තමන්ගේ ඇඳුම් ඉවත් කොට ඔවුන් ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදී ඇත. අනෙක් අවස්ථාවකදී ලුවිස් විසින් තවත් කාන්තාවකගෙන් “මම ඔබ ඉදිරියේ ස්වයං වින්දනය කලාට කමක් නැද්ද” කියා අසා ඇය විසින් කේන්තියෙන් එය ප්‍රතික්ෂේප කල පසු ලජ්ජාවෙන් සමාව ඉල්ලා ඉවත ගොස් ඇත. තවත් කාන්තාවකට අනුව තමන් සමඟ දුරකථන සංවාදයක් අතරතුර ලුවිස් සීකේ විසින් ස්වයංවින්දනයේ යෙදුන බව තමන්ට දැනුන බව පවසා ඇත.
 
අවසාන අවස්ථාවේ හැර අනෙක් සියලුම අවස්ථා වලදී ලුවිස් සීකේ විසින් අනෙක් පාර්ශවයෙන් අවසරය (consent) ඉල්ලා ඇති අතර කිසිම අවස්ථාවක ස්පර්ශ කිරීමක් හෝ බලහත්කාරකමක් සිදුකිරීමක් කල නොමැත.
 
පුද්ගලිකව ලුවිස් සීකේගේ ක්‍රියාවල් සුද්ද කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නැතත්, ඒවා වැරදි නොවේය කියා තර්ක කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැතත් ඇමරිකානු මාධ්‍යය සහ සමාජය මේ සිද්ධියට ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන යමක් කීමට සිතුනේ කොතැනකවත් මේ ගැන මට සිතෙනා දේ කා අතින්වත් ප්‍රකාශ වී නොතිබූ හෙයිනි.
 
ලුවිස් සීකේ විසින් තමා අතින් සිදුවූයේ වැරැද්දක් බව පිළිගෙන ඇත. ඔහු විසින් තමාගේ අවශ්‍යතාවය ගැන යෝජනාව ඉදිරිපත් කොට කානතාවන් විසින් එය ප්‍රතික්ෂේප කල විට සමාව ඉල්ලා වෙනතක් බලා යාම හැර ඉන් එහාට කිසිවක් සිදු කොට නැත. ඔහු කලේ වරදක් වුවත් නොවුවත් ඔහුගේ මුළු වෘතිය ගමනටම නැවතීමේ තිත තබා සමාජයක් විදියට ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු කල ක්‍රියාව වරදක්ද යන පැනයය, මෙහිදී මට නැඟෙන්නේ.
 
ස්ත්‍රී දූෂණය, ලිංගික අල්ලස් ඉල්ලීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම වැනි දේ වලදී අදාල වැරැද්දේ/අපරාධයේ ස්වභාවය සහ ගැඹුර තේරුම් ගැනීම වැදගත්ය. කැමැත්ත විමසීමෙන් පසුව යම් ලිංගික ක්‍රියාවක යෙදීමකට ස්‍ත්‍රී දූෂණයකට ලැබිය යුතු ප්‍රතිචාර ලැබේ නම් එතන පැහැදිළි කරගත යුතු යම් අවුලක් ඇති බව මගේ හැඟීමය.
 
අන්ධයන් සේ ආගමික, සංස්කෘතික වටිනාකම් පසුපස දුවයෑම මෙන්ම ව්‍යාජ සුචරිතභාවයක් ආරූඩ කරගෙන යම් සිද්ධියක ගැඹුර තෝරා නොගැනීමද අතාර්කිකය. හානිකරය. මිනිසුන් ලෙස අප ගොඬනගා ගත යුත්තේ යම් වටිනාකම් අන්ධයන් සේ අදහන, උත්කර්ෂවත් කරනා සමාජයක් නොව, තර්කානුකූලව සියල්ල ගැන සමබරව සිතිය හැකි සමාජයකි. බටහිර සමාජයන් වල මේ දිනවල නිර්මාණය වී ඇති මේ ව්‍යාජ politically correct වීමේ උවමනාවද මා දකින්නේ තවත් විකාරයක් ලෙසය. ඒ විකාරය මඟින් “ලුවිස් සීකේ කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් නොවේ” යන ප්‍රකාශය කිරීමට මනුෂ්‍යයෙක්ට ඇති හැකියාව නැති කොට ඇත. සමාජයේ සිය පැවැත්ම නැති කර නොගනිමින් එවැනි ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නැති නිසා දෝ සියල්ලන් වටවී ස්ත්‍රී දූෂකයෙක්ට සේ ලුවිස් සීකේට දෙස් දොවොල් තියයි.
 
මේවා ලුවිස් සීකේ ගේ ජෝක්ස් වලට වඩා ජෝක්ස්ය. මම වුවද මේ දේ ගැන අවංක අදහස කියන්නේ මේදේ කීමෙන් මට නැති වීමට දෙයක් නොමැති නිසාය. අවසනයේ මේ පොඩි අදහස සටහන් කරමින් මේ කතාව අවසන් කරමි. ආගමික විශ්වාස පමණක් නොව, මානුෂීය අයිතීන්, මානව වාදය, කාන්තා අයිතීන්.. එකී මෙකී නොකී සියලූම මගුලක්ම තර්කානුකූල බවෙන් තොරව ඇදහීමෙන් සහ උත්කර්ෂවත් කිරීමෙන් වෙන්නේ තවත් ඩොග්මාවක් නිර්මාණය වීම පමණකි.

මචන්, ලින්ක් එක දියන්

“උඹ චයිල්ඩ් පෝර්න් බලනවද?.. ලින්ක් එකක් තියෙනවා එවන්නද?”

මීට වසර කිහිපයකට පෙර චැට් වින්ඩෝ එකකදී මගෙන් ඒ පැනය ඇසුවේ පාසල් වියේදී මාගේ මිතුරෙකුව හිඳ වසර ගණනකට පසු මුහුණු පොත හරහා නැවත කුළුපගු වීමට පටන් ගත් පුද්ගලයෙකි.

පාසල් වියේදී මිතුරන්ගේ නිවෙස් වල එකතු වී වැල බැලීම පුරුද්දක් කරගෙන සිටි නිසා වැඩිහිටියන් වීමෙන් පසු තවත් සීමා මායිම් තරණය කිරීමක් ගැන අත්දැකීමක් මා හා සමඟ බෙදා ගැනීම ඒ මිතුරාගේ අරමුණ වුනා විය යුතු බව ඒ මොහොත මතක් වන විට මට දැන් සිතේ.

දැන් ඒ ගැන කෙසේ සිතුවත් ඒ මොහොතේ මගේ මිතුරාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙලෙසදැයි සිතාගත නොහැකිව මම තුෂ්නිම්භූත වූවෙමි. තත්පර කිහිපයකින් පසු ඔහුගේ ‘ලින්ක් එක’ ප්‍රතික්ෂේප කලෙමි.

ළමයින් යොදා නිර්මාණය කරන ලද ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ නරඹන්නේ ‘අසික්කිත, අමුතු’ ජීවීන් කොට්ටාශයක් වැනි අදහසක් මගේ සිතේ ඒ අවස්ථාව වන තුරු මැවී තිබුනත්, ඒ චිත්‍රය වෙනස් වුනේ මගේ මිත්‍රයා මා මවාගෙන සිටියා වැනි ‘අමුතු සතෙකු’ නොවන බව මා දැන සිටි නිසාය. ඔහුද, මා වටා ජීවත් වෙන අනෙක් මිතුරන් සේම හොඳ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන අයෙකු වීම මගේ ඒ ආකල්පය වෙනස් වීමට හේතුවයි.

චයිල්ඩ් පෝර්න් යනු සපුරා නීතියෙන් තහනම් කරන ලද දෙයකි. චයිල්ඩ් පෝර්න් නිර්මාණය කිරීම පමණක් නොව බෙදා හැරීම සහ ළඟ තබා ගැනීමද ලෝකයේ සෑම රටකම පාහේ නීතියෙන් දැඩි දඬුවම් ලැබෙන වරදකි. එය එසේ විය යුතුය. හේතුව, මනස නොවැඩුව කුඩා දරුවන්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් පසු වැඩිහිටියන් බවට පත්වන ඔවුන්ගේ ජීවිත අපායන් බවට පත් වීමට ඒ එක සිද්ධියක් පවා ප්‍රමාණවත් නිසාවෙනි. ඔවුන්ගේ මානසිකත්වයට, පෞරෂයට කිසිදා යථා තත්වයට පත් කල නොහැකි මට්ටමේ හානියක් එයින් සිදුවන අතර ප්‍රායෝගික ජීවිතයේදීද ගැටළු රාශියකට මුහුණ දීමට අනිවාර්‍යෙන් සිදුවන නිසා ශිෂ්ඨ සමාජය විසින් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කල යුතු දෙයකි.

චයිල්ඩ් පෝර්න් ගැන කතාව මොහොතකට නවත්වා මීට මාස කිහිපයකට කලින් සයිබරය වෙත ඔබේ මතකය රැගෙන එමි.

ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය සහ එවකට ඔහුගේ පෙම්වතියක් ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක ලින්ක් එකක් ලාංකික සයිබරයේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. ඊට ටික දවසකට පසු හෂිනි ගෝනගලගේ පුද්ගලික වීඩියෝ පටයක්ද “මචන්, ලින්ක් එක දියන්” ටැග් ලයින් එකට හසුවූ සැටි ඔබට අමුතුවෙන් මතක් කල යුතු යැයි නොසිතමි. (අදාල පුද්ගලයන්ගේ නම් සඳහන් කලේ මේ සටහන කියවන ඔබ සහ ලියන මම දෙදෙනාම අදාල වීඩියෝ නරඹා ඇති නිසා ලෝකය ඉදිරියේ බොරු සුචරිතවාදයක් මවාගෙන අප විසින් අපවම රවටා ගැනීම තේරුමක් නැති දෙයක් නිසාවෙනි)

ඔය අවස්ථා දෙකේදීම ඉහත නම් සඳහන් පුද්ගලයන් හා සම්බන්ධ වීඩියෝ පිටවී ඇති බව දැනගත් මම, අනෙකුන් සේම ලින්ක් එක සෙවීමේ ව්‍යාපෘතියට අත ගැසුවෙමි. විනාඩියක් දෙකක් යාමට මත්තෙන් ඉන්බොක්ස් හරහා අදාල වීඩියෝවල ‘ලින්ක්’ මිතුරන් සෑහෙන පිරිසක් ඇසූ සැනින් මා වෙත එවීය.

මමත් අනෙකුන් සේම මිනිස් ජීවිත දෙකක පුද්ගලිකත්වය රසවින්දෙමි. ඔවුන්ගේ අනවසරයෙන් ඔවුන්ගේ නිරුවත නැරඹුවෙමි.

“වැඩේ වැරදියි තමා, ඒත් ඉතින් නොබලා ඉන්නෙ කොහොමද?” මගේ ක්‍රියාව ගැන මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන විට මම මටම පිළිතුරු දී ගතිමි. මගේ සිත මගෙන්ම අසන පැනය නොඇසෙන තරමට අන් ජීවිතයක පුද්ගලිකත්වය අස්සේ මම අතරමං වූයෙමි.

…තාක්ෂණය දියුණු වෙද්දි අලුත් ප්‍රශ්න මිනිස් සමාජයේ නිර්මාණය වෙනවා. මේකත් එයින් එකක්. පරිස්සම් වෙනවා හැර කරන්න දෙයක් නෑ. ලින්ක් එකක් අවුට් වුනොත් බලන එක ඉතින් මහ ලොකු වැරැද්දක් නෙමේ. මිනිස් ස්වභාවයනේ ඒක..

පසුව මගේ ක්‍රියාව සාධාරණීයකරනය කිරීමට මා විසින් සාදා ගත් බක පණ්ඩිත තියරියය, එය.

කාලය එසේ ගෙවී යද්දි මීට මාස කිහිපයකට උඩදී මුලින් කී මගේ මිතුරා මට මුහුණට මුහුණ හමුවූයේ අහම්බෙනි. සයිබරය හරහා සිදුවූ අපගේ අවසාන වචන හුවමාරුව ගැන අමතක වූවන් සේ කතා කල අපි පරණ සුහදත්වයෙන්ම එකිනෙකාට සමුදී අපගේ ජීවිත වලට පිටව ගියෙමු. නමුත් පසුව මගේ හිතේ හොල්මන් කලේ “මේ යකා චයිල්ඩ් පෝන් බලන ජඩයෙක්නේ” යන හැඟීමය.

සිතුවිලි අතර අතරමං වූ මට ඔහු කරන ක්‍රියාවල් නිසා මිනිස් ජීවිත විනාශ වන අයුරු මැවී පෙනෙන්නට විය. ඒ දරුවන් වැඩිහිටියන් වූ පසු සමාජය සමඟ කටයුතු කරන්නේ කෙසේද? සමාජීය ජීවීන් ලෙස නිර්මාණය වී ඇති ඔවුන්ගේ සමාජීය ජීවිත සම්පූර්ණයෙන් විනාශ කරන්නට මොහු දායක වනවා නොවෙද? ඒ බව දැන දැනම තමන්ගේ ඇඟෙන් ඉල්ලන තුච්ඡ ආශාවක් සංතෘප්ත කර ගැනීමේ තිරිසන් ආශාවට යටවී මූ ඒ ජීවිත වල විනාශයට මුල් වන විනාඩි කිහිපයෙන් උපරිම වින්දනයක් ලබනවා නොවේද?

ක්ෂණයකින් මගේ සිත එකපාර කණපිට හැරුනේය.

එතකොට සනත් ජයසූරියගේ ලින්ක් එක? හෂිනිගේ ලින්ක් එක? පානදුර තක්ෂිලාගේ ලින්ක් එක?

මම මගේ ආශාවන්ට යටවී ඒ මිනිසුන්ගේ පුද්ගලිකත්වය රසවිඳිද්දි මම ඒ ජීවිත විනාශ වන හැටි හිතුවද? අර කුඩා දරුවන්ගේ ජීවිත අපායන් වනවා සේම ඒ මිනිස්සුන්ගේ ජීවිතත් අපායන් වන හැටි සිතුවාද? චයිල්ඩ් පෝන් නිසා අර කුඩා ළමයින්ට වෙන විදියටම ඒ මිනිසුන්ගේ සමාජිය ජීවිත විනාශ වෙන හැටි ගැන සිතුවද? ඔවුන් ඉන් පසු සමාජය සමඟ කටයුතු කරන හැටි ගැන සිතුවාද? ඔවුන් ළමයින් නොවුනාට, අවසානයේ අවස්ථා දෙකේදීම නිර්මාණය වෙන්නේ සාමාන්‍යය තත්වයෙන් උඩුයටිකුරු වුන, තැළුණු බිඳුන ජීවිතයක් නෙමේද?

ඒ මොහොතේම මට මා ගැනම ඇති වුනේ පිළිකුලකි. වරදකාරී හැඟීමකි. මන්ද, මා වැඩියෙන්ම පිළිකුල් කරනා පුද්ගල ගතිලක්ෂණයකට සමාන ගති ලක්ෂණයක් මා තුලද ඇති බව මටම අවබෝධ වීම නිසාය.

මම අදටත් ලයිල්ඩ් පෝර්න් නැරඹිමෙන් වින්දනයක් ලැබූ මගේ මිතුරා සහ මම අතර ඇති මහා ලොකු වෙනස කුමක්ද කියා සිතමි. අප දෙදෙනාම මිනිස් ජීවිත ‘තැළුණු හප’ බවට පත් කරන්නට දායක වූවන්ය. අප දෙදෙනාම මිනිස් ජීවිත වල ‘අමිහිරිම, අවාසනාවන්තම, කාලකණ්ණිම’ අවස්ථා තළු මර මර රස කරමින් ආශාවෙන් රසවින්දනය කල පුද්ගලයන්ය. අප දෙදෙනාම අපගේ ශාරීරික ආශාවල් වෙනුවෙන් අප විසින් අපවම සාධාරණීයකරනයට හේතු හදා ගනිමින් මිනිස් ජීවිත දෙකොටසකට එකම අවසන් ප්‍රතිපලය උරුම කරදීමට දායක වූවන්ය.

“සමහර විට මගේ මිතුරාගේ ක්‍රියාවෙන් සිදුවන හානිය වැඩි ඇති”, විටෙක මට එසේ සිතෙයි. නමුත් ඔහුද මම වගේම “ඔහෙ කමක් නෑ, මම බැලුවෙ නෑ කියල අනිත් උන් මේවා බලන්නැතුව ඉන්නවයැ” කියා සිතන්නට ඇත.

කතාව කෙසේ කොහොම වුවද, මම සුචරිතවාදියෙක් වී ඔහු කළු චරිතයක් වන්නේ කෙසේද කියා මම තවමත් සිතමි.

මගේ මිතුරා තවමත් චයිල්ඩ් පෝන් බලනවාද කියා නොදන්නවා සේම, ඊළඟට අවුට් වන ‘ලින්ක් එක’ නරඹන්නේ නැතුව සිටීමට මට හැකිවේද නොවේද කියා මා නොදනිමි.

පහත් තැනින් යයි ගලා ජලේ

තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.

ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්‍යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.

ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ පුප්පනවද කවුරු ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවද කියන එක තීරණය කරනව.

මම දැකල තියෙන විදියට ඔතනින් තමාට වඩා පහළින් ඉන්න අය ඉස්සරහා සැර දාන අයම තමයි කිසිම ලැජ්ජාවක් නැතුව වැඩියෙන්ම තමන්ගෙ ලොක්කන්ට ගොට්ට අල්ලන්නෙ. ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්නෙ.

තමාට වඩා පහළින් ඉන්න අයට පාර්ට් නොදාන, ඒ අයටත් තමා හා සමසේ සලකන ගොඩක් අයට මාරම අමාරුයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා දෙකට නැමෙන්න.

මොකද ඒ අයගේ ඇස් වලින් ඔය නිර්ණායක අනුව මිනිස්සුන්ගේ ඉහළ පහළ බව තීරණය නොවන නිසා. ඒ අය හැමෝමව දකින්නේ මිනිස්සු විදියට නිසා.

ජාතිය නිසා, ආගම නිසා, සමාජ මට්ටම නිසා, රස්සාව නිසා කෙනෙක්ව පහත් කියල දකින්නැති කෙනෙක් ඒවා නිසාම කෙනෙක්ව උසස් කියල දකින්නෙ කොහොමද?

වෙන කෙනෙක් මත ආධිපත්‍යය පතුරවන එකෙන් තෘප්තියක් ලබන එක ගල් යුගයේ වනචාරියෙක්ව හිටිය කාලෙ ඉඳලම අපේ ඇඟේ තිබ්බ දෙයක්. තාම ඒ වනචාරී අශිෂ්ඨ ආශාවට යට වෙලා ‘පොඩි මිනිස්සුන්ට’ සැර දාන එක ඇත්තටම බැලුවොත් මාරම දුර්වලකමක්.

එදිනෙදා දවස ගෙවද්දි ආශ්‍රය කරන්න හම්බෙන්නේ ඔය වගේ වනචාරීන් දෙතුන් දෙනෙක් විතරක් නම් නෙමේ. බහුතරයක් මිනිස්සු තාම එහෙමයි.

උස් තැන් දැක්කම හැකිලෙනවා. මිටි තැන් දැක්කම පුප්පනවා.

තමාගේ වනචාරී ආශාවල් බුද්ධියෙන් පාලනය කරගන්න තරම් පෞරෂයක් නැති ශිෂ්ඨත්වයට එළඹිලා නැති සත්තු !

රණබිම ඔස්සේ නන්දිකඩාල් නොකියවමි

“මම මේ දවස් වල රණබිම ඔස්සේ නන්දිකඩාල් පොත කියවනව”

අපි හතර දෙනාගේ දුම් වැටි වලින් එන දුම් ගුලි අස්සෙන් එහෙම කිව්වේ වැඩ කරන තැන මගේ යාලුවන්ගෙන් කෙනෙක්.

“ලස්සනට විස්තර කරල තියෙනව යුද්ධේ අන්තිම කාලේ හමුදාව ගහපු මිෂන් ගැන..”

“ඔව්.. ඕක ආවෙ ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනය කාලෙ නේද? මාරෙට විකිණුනා ඔය පොත”

ඒ මමය.

“ඒකෙ මාර ස්ටෝරිලු නේද තියෙන්නේ? එකම තැන දවස් ගණන් ඉස්සරහටවත් පස්සටවත් යන්න බැරුව හෙල්ලෙනෙවත් නැතුව කන්න බොන්නවත් නැතුව හමුදාවෙ කොල්ලො ඉන්නවලු…”

“.. සමහර වෙලාවට වතුරෙ ඉන්න වෙනවලු දවස් ගණන්.. ඇවිල්ලා බූට් ගලවද්දි හමත් එක්කලු ගැලවිලා එන්නෙ”

අනිත් යාලුවෝ දෙන්නත් තමා දන්න දේවල් කතාවට එකතු කලේ එහෙමය.

“උඹ කියෙව්වද පොත?”

ඒ ප්‍රශ්නය මටය

“නෑ. මම මතක වන්නිය පොත නම් කියෙව්වා”

“හ්ම්ම්…”

සිගරට්ටුව අහවරය.  විවේකයට පසු නැවතත් අපගේ ආසන කරා ගොස් දවසේ වැඩ අස්සේ අතරමං වීමු.

සිගරට් දුම් මැද්දේ හමුදාවේ කොල්ලන්ගේ වීර කතා ගැන අප අතර වුන කතාවේ සාරාංශයකි ඉහත මා ලියා ඇත්තේ.

හමුදාවේ කොල්ලන්ගේ වීරකතා ගැන අපි අපේ ප්‍රියසාද අතරෙ, හමුවීම් අතරෙ, බස් කෝච්චි ගානේ, රාජකාරී කරන තැන් ගානේ, කඩපිල් ගානේ, මධුවිත තොල ගාන අතරතුර විනාඩි දහය පහළවේ කතා කොයි තරම් නම් කරල ඇද්ද?

පුද්ගලිකව මගේ නිරීක්ෂණයට අනුව මගේ සමීපතමයො හමුදා සෙබළුන්ගේ වීර ක්‍රියා ගැන කතා කරන්නේ ලොකු අභිමානයකින්. බැබලෙන් ඇස් වලින්. ආඩම්බරයෙන්. ඔවුන්ට අනුව ඒ දේවල් ගැන කතා කරද්දි දැනෙන්නේ ඇඟ කිළිපොලා යන මයිල් කෙළින් වෙන විදියේ හැඟීමක්.

මරණය පෙනි පෙනී අවි දරාගෙන යුධ බිමක සටන් වදින්න මනුස්සයෙක්ට නිර්භීත කමක් තියෙන්න ඕන බව ඇත්ත. ඒ කතාවලට පාදක වෙන්නේ ඉතාම නිර්භීත ක්‍රියා බවත් ඇත්ත. ඒවා මේ සටහන කියවන ඔබට හෝ ලියන මට කරනව තියා හිතන්නවත් බැරි තරමේ අසාමාන්‍යය ක්‍රියා බවත් ඇත්ත.

නමුත් ඒ කිසිම කතාවක් අහද්දි මට මගේ සමීපතමයන්ට වගේ ඇඟ කිළිපොලා යන හැඟීමක්, අභිමානයක් දැනුනේ නම් නැහැ. ඒ වෙනුවට ඒ කතා අහද්දි දැනෙන්නේ මහා කණගාටුවක්. කලකිරීමක්. ලැජ්ජාවක්.

සමහර විට මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

වීර කතා විදියට අනෙක් අය හඳුන්වන කතා ඇහෙද්දි මට එන්නේ මගේ සමවයසෙම ඉන්න මම වගේම කොල්ලෙක්ට මට මූණ දෙනවා තබා හිතන්නවත් බැරි තරම් භයංකර අත්දැකීම් වලට මුහුණ දෙන්න වුනේ ඇයි? වගේ සිතිවිල්ලක්.

බූට් එක ගලවද්දි කකුලේ හමත් එක්ක ගැලවිලා එනවා කියලා සිගරට් එක ගහන ගමන් කතා වෙලා තාවකාලික ත්‍රිල් එකක් අරගෙන නැවතත් වායුසමීකරනය කරපු කාමරයක තියෙන සැපපහසු ආසනයක පරිගනයක් ඉස්සරහා ඉඳගෙන අපේ ජීවිත වල කිමිදෙන අපිට ඒ හම ගැලවුන අපි වගේම කොල්ලට ඊට පස්සෙ මොකද වුනේ.. ඒ කොල්ලා දැන් කොහේ මොනව කරනව ඇද්ද.. ඇයි ඌ ඒ වගේ දෙයකට මූණ දෙන තත්වයට පත් වුනේ.. ඌ හිටිය තැන මම නැතුව ඇයි ඌ හිටියේ.. වගේ දේවල් හිතන්න උවමනාවක්වත් වෙලාවක්වත් ඇත්තටම බැලුවොත් නැහැ.

ඇත්තටම මගෙයි උගෙයි වෙනස මොකක්ද? මට නැති වෙන්න දෙයක් තිබිලා ඌට නැති වෙන්න දෙයක් නැති වුන එකද?

අසරණ කමට හමුදාවට බැඳුන කොල්ලො බල්ලො බලල්ලු වගේ මැරිච්ච හැටි වීරත්වයට ඔසවමින් අල්ලාප සල්ලාප වල යෙදෙන මිනිස්සු,

යුද්ධයට මැදිවෙලා මහ රෑ වෙඩි හඬට බයේ කැලෑ අස්සට බංකර් අස්සට දුවන්න වුන.. කොයි වෙලේ ඔලුවට බෝම්බයක් වැටෙයිද පපුව පසාරු කරගෙන උණ්ඩයක් යයිද කියල නොදැන නින්දට යන්න වුන උතුරෙ ජීවත් වුන දෙමළ වැසියන් ගැන කවදාවත් කතා නොවෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ.

දශක ගාණක් පුරා දේශපාලන වාසි තකා ජාතිවාදය යොදාගත්ත දේශපාලකයන් සහ ඔවුන් පෝෂණය කරන ලද ජාතිවාදී ආකල්ප කරේ තියාගත්ත ජනතාවක් කල පව් වලට අපේම සමාජයේ දුප්පත් කොල්ලො ලේ, දහදිය, කඳුළු, ජීවිත වලින් වන්දි ගෙවපු හැටි ගැන වීරත්වයට ඔසවලා කතා කරන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.

දුප්පත් කමට හමුදාවට බැඳිල ඉහළ නිලධාරීන් අතින් මොළශෝදනයට ලක් වෙලා අණට කීකරු රොබෝවක් බවට පත් වන සිංහල තරුණයා සහ ත්‍රස්තවාදීන් අතින් කුඩා කාලයේදීම පැහැරගනු ලැබීමෙන් පසු ත්‍රස්තවාදීන් අතින්ම මොළශෝදනයට ලක්ව සයනයිඩ් කරලක් ගෙලේ රඳවා ගන්නා දෙමළ තරුණයා අතර වෙනසත් මට තේරෙන්නෑ. ඒ අසරණයෝ දෙන්නාම කරන්නේ වෙනත් පාර්ශවයක දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් ජීවිතය දෙන එක. වෙන මිනිස්සුන්ගේ පව් කරගන එක.

ත්‍රස්තවාදීන්ගේ උණ්ඩ, බෝම්බ වලින් පීඩනයට පත් වෙලා තමන්ගේ ජීවිත ගැන බයෙන් හිටිය සිංහලයන්ගේ හැඟීම් සහ උතුරේදී යුද්ධයට මැදි වෙලා දවසේ පැය විසිහතරම එකිනෙකා මරා ගැනීමේ අරමුණින් අවිගත් දෙපිරිසක් අතරට මැදි වුන දෙමළුන්ගේ හැඟීම් අතර වෙනස මට තේරෙන්නෙනෑ.

එකම රටක මිනිස්සු බල අරගලයක් නිසා කැති පොලු අරගෙන එකිනෙකා කොටා ගද්දි, තමන්ගේ පිරිසේ උන් අනික් පිරිසේ උන්ව කැති ගෑ අපූරුව ගැන පාරම්බාන්නේ කොහොමද කියලා මට තේරෙන්නෑ.

එකම රටක මිනිස්සු අතර ඇති වුන මත ගැටුමක් අවසානයේ එකිනෙකා මරා ගැනීමෙන් විසඳා ගැනීම එකම විකල්පය බවට පත් කරගෙන ලෙයින් සහ දෙපිරිසේම මිනීකඳු වලින් ඉවර කරන්න වුන එක ගැන අභිමානයක් එන්නේ කොහොමද කියල මට තාම තේරෙන්නෑ.

අපේම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මියගිය අපේම තරුණයන්ගේ ජීවිත පිළිරුවකට හිලව් කරල හන්දියක් මැද්දේ හිටෙව්ව පලියට ඒ නැතිවුන ජීවිත ගැන වගකීමෙන් අපි නිදහස් වෙලා  ඒ ජීවිත නැති වුන හැටි ගැන වීරකතා කියන්න අපිට අයිතියක් ලැබෙන්නේ මොන ධර්මයකට අනුවද මොන ආගමකට අනුවද මොන සදාචාරයකට අනුවද කියල මට තේරෙන්නෙ නෑ.

මිනිස්සු යුද්ධය ගැන වීරකතා ආසාවෙන් කතා කරන එක ගැන මගේ හැඟීම ඕකයි.

කලින් කිව්වා වගේ,

මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්

22528238_1391756757618257_7417530896123099945_n

ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන කියල.

ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.

තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,

කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.

සමාජය ඉස්සරහා තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න නිසා  නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි බහුතරයක් කොල්ලො බලන්නෙ.

“ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට” කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට…

“අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට..”

…කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.

ඇය තුළින් තමන්ගේ අනන්‍යතාවය නිරූපනය වෙනවා කියලා හිතාගෙන ඇයව වෙනස් කරන්න තමාගේ අධිකාරී බලය පාවිච්චි කරන මේ පිරිමි තුල තමන්ගේ ක්‍රියාකලාපය නිසා පුද්ගලයෙකු වශයෙන් ඇයගේ අනන්‍යතාවයට වෙන දේ ගැන කිසිම හැඟීමක්වත් සංවේදිත්වයක්වත් නැහැ. තමන්ගේ සහකාරියගේ ආකල්ප, හැසිරීම් සහ වටිනාකම් තමාට දරා ගන්නට බැරි තරම් නොගැලපෙනවා නම් ඇයගේ අන්‍යතාවය මරා දැමීමට වඩා සබඳතාවය නවත්වන එකයි කරන්න ඕන කියල මේ අයට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය මරලා දාලා දිගින් දිගටම ඒ මනුස්සයාව පාලනය කරන්න ගියාම ඒ මනුස්සයා තුළ හටගන්න වේදනාව, කලකිරීම සහ පීඩනය ගැන මොවුන්ට සහකම්පනයක් නැහැ.

ඕකෙම අනිත් පැත්ත තමයි,

තමාගේ සහකාරියගේ සිතුම් පැතුම් ආකල්ප තේරුම් අරගෙන ඇයගේ ස්වාධීනත්වයට ගරු කරන කොල්ලෙක් හම්බුනාම මේ වගේ හීනමානකාරයො “අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්” කියල  කෑගහන්නෙ.

මොකද මේ අයට අනුව කෙල්ලෙක් කියන්නේ තමාට ඕන විදියට “හදාගන්න” ඕන වහලෙක්.

මේ විදියට පීඩනයට පත් වෙලා ඉන්න තරුණියන්/ගැහැණුන් තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය තමයි,,

තමාව ස්වාධීන පුද්ගලයෙක් විදියට සලකන්නෙ නැති, තමන්ගේ අනන්‍යතාවයට ගරු කරන්නෙ නැති, තමන්ව තේරුම් ගන්නෙ නැති Control Freak කෙනෙක් විදියට හැසිරෙන එකෙක් එක්ක තමන් දිගින් දිගටම ඉන්නේ ඇයි?

කියන ප්‍රශ්නය.

ඉස්සෙල්ලා තමන් තමන්ටම ගරු කරන්න ඉගෙනගන්න. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරන්නේ නැත්නම් වෙන කෙනෙක් ඒ දේවල් වලට ගරු කරයි කියල හිතන්න එපා. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරනවා නම් වෙන කෙනෙක්ට ඒ දේවල් විනාශ කරන්න දෙන්නත් එපා.

කතාවක් තියෙනව සමාජයක/සංස්කෘතියක ප්‍රගතශීලීබව තීරණය කරන්න පුළුවන් හොඳම සාධකයක් තමා ඒ සමාජය කාන්තාවට සලකන ආකාරයෙන් කියල.

ඒ වගේම තමා, පුරුෂයෙක්ගේ පෞරෂයත්වය මැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමා තමන් තමාගේ ප්‍රේමවන්තියට/බිරිඳට සලකන විදිය කියන්නෙ.

කෙනෙක්ව පාලනය කරන්න කෙවිටක්/තුවක්කුවක් අතට ගත්ත ඕනම නරුමයෙක්ට පුළුවන්. නමුත් කෙනෙක්ව තේරුම් ගන්න, ඉවසන්න, ගරු කරන්න, අනිත් අය ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්න නම් ලේසි පාසු කෙනෙක්ට බැහැ.

ඒකට මනා පෞරෂයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න ඕන.

ප/ලි –

1.  ඊයේ පෙරෙදා දවස් ටිකේ බුකියේ මාතෘකාව වුන “මාර ඉස්කෝලයේ මාර ගුරුමාරුව” ගැන වෙච්චි කතා බහ අතර තුර අමනයන් පිරිසකගේ හැසිරීම නිසාය මේ සටහන ලියන්න තීරණය කලේ.

2. ආදර සබඳතා වලදී කොන්දේසි දැමිම දෙපාර්ශවයෙන්ම සිදුවන දෙයක් බව ඇත්ත වුනත් පොදුවේ අප සමාජයේ දක්නට ලැබෙන තත්වය ගැනය මේ සටහනෙන් කතා කරන්නේ. මෙහිම කනපිට සිද්ධ වෙන සිදුවීම් ඇති බව පුද්ගලිකවම දනිමි.

පිං කරන්න එපා

22886313_1597281710335145_1413238236462095821_n
 
පින කියන සංකල්පය සමාන වෙන්නේ මනෝමූලික ගනුදෙනුවකට.
 
පින බලාගෙන යම් දෙයක් කරන කෙනා බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම එකක් දෙන්නේත් ඒ මනුස්සයාගේ බඩගින්න නිවීමේ අරමුණටත්, ඒ මනුස්සයාගේ බඩගින්න නිවෙනවා දැකීමෙන් තමා සතුටක් ලැබීමේ අරමුණකටවත් වඩා කවදා හෝ අර මනුස්සයාගෙ බඩගින්න නිවන්න නිසා තමා නැති කරගත්ත කෑම එක හරි මිල මුදල හරි වගේ දෙතුන් ගුණයක් තමන්ට ලැබේවිය කියන අදහස මත ඉඳගෙන.
 
ඕක සමාන වෙන්නේ යහපත් සිතින් කරන මානුෂීය ක්‍රියාවකට වඩා තමා වියදම් කරන ගානට වැඩි ගාණක් බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් එකක් ගන්නවා වගේ වැඩකට. සුවිප් එකේ දිනුම ගැන විශ්වාසයක් නැතුව සුවිප් විකුණන මනුස්සයා ගැන හිතලා සුවිප් එකක් ගන්න ඉතා අඩු පිරිසක් ඉන්නබව ඇත්ත. මොන අදහස ඇතුව ගත්තත් සුවිප් විකුණන මනුස්සයාට ඒකෙන් යම් ප්‍රයෝජනයක් ලැබෙන බවත් ඇත්ත. නමුත් කාරණා එහෙම වුනාය කියලා වියදම් කරන ගාන වගේ දෙතුන් ගුණයක්, සිය දහස් ගුණයක් ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් ගන්න එක ‘මානුෂීය’ ක්‍රියාවක් විදියට සාමාන්‍යෙන් හැඳින්වෙන්නේ නැහැ.
 
දැන් කෙනෙක්ට අහන්න පුළුවන් මෙහෙම.
 
“කවුරු හරි කරන වැඩකින් හොඳක් වෙනවා නම් ඌ මොන මගුල හිතන් ඕක කලත් උඹට පාන්ද?”.. කියල
 
ඇත්ත වශයෙන්ම මට පාන්වත් කිඹුල බනිස්වත් නැහැ. එහෙම නැති වෙන්නේ එහෙම කරන එකේ අවුලක් නොතිබ්බනම්. අවුලක් තියෙන නිසා ඇත්ත වශයෙන්ම මට පාන් තමයි. අවුල මොකක්ද දන්නවද?
 
ඔය පින් සීන් එකෙන් කරන්නේ නම් කරන ලද හැසිරීම් එකතුවක් දිරිමත් කිරීමක් පමණයි. පින බලාගෙන ඒ හැසිරීම් වල යෙදෙන ඈයෝ ඒවා කරන්නේ තමන්ට වාසියක් බලාගෙන මිසක තමා කරන ඒ ක්‍රියාව ගැන අවබෝධයකින් නෙමේ. මෙහෙම හිතන්න,
 
පොඩි ළමයෙක් බත් නොකන නිසා ගෝනි බිල්ලො එනවාය කියල බය කලාම ඌ බත් ටික ඉවර වෙනකල් කනවා. ඒ බය කිරිල්ලෙන් (ගෝනි බිල්ලා එනවා) යම් හැසිරීමක්(බත් කෑම) කරගන්න පුළුවන් බව ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, ඔය ළමයා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් තමන් කරන ක්‍රියා අවබෝධයක් රහිතව ගෝනි බිල්ලාට බයෙන්ම කරන්න පෙළඹෙනවා නම්. සහ ගෝනි බිල්ලෝ එනවාය කියල වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් මූව වටේ ඉන්න උන් බය කර කර උන්ට ඕන වැඩ මූට කියල කරගන්නව නම්. කොහේවත් නැති ‘ගෝනි බිල්ලා’ කියන සංකල්පය මත පදනම් වෙලා පාලනය වෙන වැඩිහිටියෙකු වෙනවා නම්.. අවුලක් නැත්තෙමත් නෑ නේද?
 
දැන් ඔය බෞද්ධ භික්ෂූන් හරි චීවරධාරීන් හරි, මොක්කු හරි ඉන්න ඔය සෙට් එක තනිකරම තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්නේ මේ පිං වෙළඳාම පදනම් කරගෙන. සරලවම කියනව නම් ඒ අය කරන්නෙ පිං වෙළඳාම. මේ අයගේ පාරිබෝගිකයන් ගණන ඉතා විශාල වීම අවුලක් නෑ වගේ පෙනුනට අවුලක් නැත්තෙමත් නෑ.
 
කඨින පිංකම්ද, පෙරහැරවල්ද, ධාතු ප්‍රදර්ශනද, පන්සල සංවර්ධනය කියලා සල්ලි එකතු කිරීම්ද, දන්සැල්ද අරවද මේවද කියල මේ හැම දේකටම පිං පෙන්නල සමාජයේ එක් පිරිසක් (භික්ෂූන්) අනෙක් පිරිසක්ව (උපාසක/උපාසිකාවන්) කඩේ යවන එක අවුලක් නෙමේද? ඒ අයව අන්දලා තමාගේ වැඩ කරගන්න එක අවුලක් නෙමේද? සරලවම කියනවා නම් රවට්ටන එක සහ රැවටෙන එක අවුලක් නෙමේද? මේවා තනිකර පිං විකුණන මුවාවෙන් කරන ජාවාරම් නෙමේද?
 
එක්තරා කාලයක් තියෙන්න ඇති මිනිස්සුන්ගෙ හැසිරීම් ගෝනි බිල්ලො පෙන්නලා බය කරල හරි මැරුනයින් පස්සෙ හම්බෙන සීනි බෝල පෙන්නල හරි පාලනය කරන එක හොඳ දෙයක් වෙච්චි. නමුත් දැන් මේ 21 වන ශතවර්ෂයේදී ඒ තත්වය වෙනස් කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු ඒ කාලවලට සාපේක්ෂව තාක්ෂණික අතින්, සදාචාරාත්මක අතින් සහ ලෝකය ගැන අවබෝධය අතින් දියුණු වෙලා ඉන්න යුගයක අවබෝධය මත පදනම් වෙලා තමන් කරන නොකරන ක්‍රියා සම්බන්ධව තීරණ ගන්න කාලය එළඹිලා තියෙනවා කියලයි මම යෝජනා කරන්නෙ.
 
අනික, තමා කරන වැඩේ ගැන අවබෝධයක් නැතුව ඔය තෑගි හෙවත් Rewards බලාගෙනම අන්ධයෝ වගේ වැඩ කරන එකේ දරුනු ප්‍රතිපල තියෙනවා. මුස්ලිම් අන්තවාදීන් “අල්ලා හුරක්බා” කියාගෙන තමාවම පුපුරවගන්නේ මැරුනයින් පස්සෙ තමාට හම්බෙන කන්‍යාවියො හැත්තෑ දෙදෙනාගේ තෑග්ග බලාපොරොත්තුවෙන්.
 
මැරුනයින් පස්සේ අහවල් එක හම්බෙනවාය කියල ඇන්දුවාම අසූචි වුනත් කන මානසිකත්වයක ඉන්න මිනිස්සුන්ගෙන් යුක්ත සමාජයක් නිර්මාණය වෙලා තියෙන එක යහපත් දෙයක් කියල කාටද තර්ක කරන්න පුළුවන්.
 
මරණින් පස්සෙ මොනව හරි හම්බෙනව කිව්වොත් මිනිස්සු දාස් ගණනින් සල්ලි දෙනවා, මල් පූජා කරනවා, දණ ගහල වඳිනවා, ගස් වටේ කැරකි කැරකි වතුර දානවා, නූල් බැඳගන්නවා, බකන් නිලාගෙන ඉන්න උන්ට හැමදාම කෑම ගිහින් දෙනවා, පහන් පත්තු කරනවා, කඳු නගිනවා, ගස් ගල් වලට වඳිනවා, ඉටිපන්දම් පත්තු කරනවා, යාතිකා කරනවා, හූ තියනවා, කුරුස එල්ලගන්නවා, … කොටින්ම දෙයියන්ගේ නම කියල කෑගහලා බෝම්බයක් බැඳගෙන තමාවම පුපුරව ගන්නවා. මේ ඇන්දවීම සහ අන්දවා ගැනීම හොඳ දෙයක්ද?
 
මෑතකදී සයිබරයේ කතාබහට ලක් වුන සිද්ධියක් ඔබට මතක ඇති.
 
ශ්‍රීපාදය වන්දනා කරන්න ගිය වන්දනාකරුවන් දාපු කුණු එකතු වෙලා ශ්‍රීපාදය ලඟ කුණු කන්දක් හැදිලා. මේ මිනිස්සු කොයි තරම් සැදැහැ සිතින් සුදු ඇඳගෙන මත්පැන් පානය නොකර කණුහරප නොකියා වන්දනා ගමනේ ගියත් මේ කරන දේ කරන්නේ තමාගේ යහපැවැත්ම ගැනවත් තමා ජීවත් වන සමාජයේ යහපැවැත්ම ගැනවත් හිතමින් නම් නෙමේ. තනිකර තමාගේ පිං අකවුන්ට් එක වැඩි කරගන්න එකේ අරමුණින්. මේ මිනිස්සු යහපත් කරගන්න හදන්නේ අපි ජීවත් වන ලෝකය නෙමේ. මැරුනයින් පස්සේ තියෙනවයි කියල වෙනකෙනෙක් කියන වෙනත් ලෝකයක් යහපත් කරගන්නයි මේ දතකන්නෙ. මේ අයට ප්‍රශ්නය ජීවිතය නෙමේ, මරණයයි මේ අය ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ. මැරුනයින් පස්සේ තමා යනවාය කියල හිතන වෙනත් ලෝකයක් දිහා බලාගෙන දඟලන මිනිස්සු මේ ලෝකය යහපත් කරන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති එක පුදුම වෙන්න කාරණාවක්ද?
 
මගේ සයිබර් මිත්‍රයෙක් කියලා තිබ්බා ඔය ගැන නියම අදහසක්. ඒ කතාවෙන් මම මේ කියන්න හදන දේ හොඳටම පැහැදිළි වේවි. (හරියටම යාලුවගේ වචන මතක නැති නිසා අදහස ලියන්නම්)
 
“ඔය ශ්‍රීපාදය ළඟ ගොඩ ගැහිල තියෙන කුණු ගොඩ අයින් කරන එකෙන් ලබන ආත්මයට මහා පිං ආනිසංස ලැබෙනවා කියල ගම් වල ප්‍රචාරයක් යැව්වොත් ගම් නියම් ගම් වලින් මිනිස්සු පොරකාගෙන ඇවිත් මේ කුණු කන්ද දිවෙන් අයින් කරලා දායි”
 
මරණින් පස්සෙ ලැබෙන බිබික්කමක් බලාගෙන තමා කියන කරන දේවල් ගැන අවබෝධයක් නැතුව වැඩ කරන එකේ අවුල ගැන මීට වඩා හොඳ උදාහරණයක් තවත් ඕනද?
 
ඇන්දිලා වැඩ කරනවට වඩා අවබෝධයෙන් වැඩ කරන තත්වයට මනුස්ස සංහතිය පා තබල තියෙන බව තේරුම් ගන්න දැන් කාලය එළඹිලා කියලයි මට හිතෙන්නෙ.
 
හිතල බලන්න.