Monthly Archives: January 2018

වැඳීම – ජාතියක නිවට බවේ සංකේතය

නූතන ලෝකය විසින් ක්‍රමයෙන් අතහරිමින් පවතින, නමුත් සංස්කෘතිය රැකීමේ නාමයෙන් අපි තවදුරටත් පවත්වාගෙන යන චාරිත්‍රයක් තමා ‘වැඳීම’ කියල කියන්නෙ.

සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදුන වැඩුන බොහෝ දෙනෙක්ට වගේම බණ්ඩාටත් මේ වැඳීම කියන චාරිත්‍රය නුහුරු දෙයක් නෙමේ.

අපේ රටේ ගොඩක් මව්වරු පියවරු සිංහල අලුත් අවුරුද්ද, උපන්දින වගේ දිනයන් වල වගේම ජීවිතයේ වැදගත්ය කියල සැලකෙන අවස්ථා වලට පිටත්වයාමට කලින් තමන්ට වඳින්න කුඩා දරුවන්ට පුරුදු කරනවා. එවැනි අවස්ථා වල අහල පහල තවත් වැඩිහිටියන් ඉන්නවා නම් ඒ වැඩිහිටියන් ඉදිරියේද කුඩා දරුවන් වැඳ වැටීම සාමාන්‍ය දෙයක්.

සමහර පවුල් වල දරුවන් දිනපතා පාසල් යන්න පිටත් වෙන්න පෙර සිය මාපියන්ට දණගසා වැඳ පිටත් වෙන බව බණ්ඩා දැකලා තියෙනවා. ඒ විතරක් නෙමේ, පාසලේදී පවා දරුවන්ට මේ චාරිත්‍රය දිරිමත් කරන්නේ පාසලේ ඉන්නා ගුරුවරුන්ට වැඳීමට සිසුසිසුවියන්ට පුරුදු පුහුණු කිරීමෙනුයි.

මේ විදියට වෙනත් කෙනෙකු ඉදිරියේ වැඳ වැටෙන එක සාමාන්‍යයකරණය වෙච්චි සමාජයක ජීවත් වෙන දරුවන් තම දෙමාපියන්, ගුරුවරුන්ගෙන් නොනැවතී තෑගි ප්‍රදානෝත්සවය වලදී තෑගි පිරිනැමීමට එන මැතිඇමතිවරුන් ඉදිරියේ පවා වැඳ වැටෙනවා. තමන්ට යම් යම් උපකාර කිරීමට ඉදිරිපත් වන පොහොසතුන්, ප්‍රභූවරුන් ඉදිරියේ වැඳ වැටෙනවා.

මීට මාස කිහිපයකට පෙර මේ හැසිරීමේ උච්ඡතම අවස්ථාවක් විදියට බණ්ඩා දැක්කේ ගායන තරඟයක් ලෙස පැවැත්වෙන රියැලිටි ටීවී වැඩසටහනකදී වයස විස්සේ විසිපහේ තරුණ තරුණියන් තමන්ගේ ගායන කුසලතාවය විනිශ්චය කරන්නට ඉන්නා ගායක ගායිකාවන් ඉදිරියේ වැඳ වැටීමේ සිද්ධියකුයි.

“අනේ මට මෙච්චර දේවල් කියල දීලා මේ තරඟයේ මෙච්චර දුරක් එන්න උදව් කරපු අහවල් සර්ට ගොඩාක් ස්තූතියි.. ගොඩාක් පිං…”

මේ හැසිරීම් සියල්ල සමාජයක් විදියට අපි පිළිගන්නා ‘හොඳ’ යයි සම්මත හැසිරීම් බව අමුතුවෙන් සඳහන් කරන්න ඕන නැහැ.

බණ්ඩාට ඉන්නවා අවුරුදු දොළහක විතර නෑදෑ දියණියක්.

කලින් කිව්වා වගේ සිංහල අලුත් අවුරුද්ද වැනි සංස්කෘතික උත්සව වලදී විතරක් නෙමේ, නෑදෑ හිතවතුන් එක් රැස් වන අවස්ථාවන් වල එකිනෙකාට සමුදීමේදී වයසින් අඩු අය වයසින් වැඩි අයට වැඳීම සිදු කෙරෙනවා. ඒ වගේ වෙලාවට කිසිවෙකුට වඳින්නේ නැතුව ශේප් න්‍යාය අනුගමනය කරමින් ඉන්න බණ්ඩාට වැඩ වරදින්නේ මේ කුඩා දියණිය නිසයි..

“අම්මේ අම්මේ.. බාප්පා එයාට වඳින්න දෙන්නෑ. එපාම කියනවා”

බණ්ඩාගේ වැඩිහිටි නෑදෑයන්ට අනුව බණ්ඩා කරන්නේ අර කුඩා දරුවාට ‘හොඳ ළමයෙකු’ වීමට තියෙන අවස්ථාව නැති කිරීමක්.

“කරුණාකරලා මේ ළමයා හදාගන්න දෙන්න. ඔය පොඩ්ඩක් වැන්දා කියල මොකද වෙන්නේ?”

බණ්ඩාගේ වැඩිහිටියන් බණ්ඩාට දොස් තියන්නේ ඒ විදියට.

යම් පිරිස් ඉදිරියේ වැඳ වැටීම ‘හොඳ’ බවේ ලක්ෂණයක්ය කියන එක අපේ සමාජයේ තියෙන සම්මතයක්. වෙන කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්නේ ඇයි? කියලා අහපුවම ලැබෙන්නේ,

“හිතේ තියෙන ගරුත්වය පෙන්නන්නයි වඳින්නේ. ගරු කරනවා නම් වඳින්න බැරි ඇයි?” වගේ උත්තර.

ඒත් මේ වැඳ වැටීම කියන්නේ ගරුත්වය පෙන්වීමේ සංකේතයක්ද කියන එක බණ්ඩාට කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නයක්.

බණ්ඩාට පේන විදියට නම් වැඳීම කියන සංකේතය භාවිතා වෙන්නේ ගෞරවය ප්‍රදර්ශනය කිරීමේ සංකේතයකට වඩා යටහත් පහත් බව ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් විදියට. ගැති බව, කීකරු බව පෙන්වීමේ සංකේතයක් විදියට. අවනත බව පෙන්වීමේ සංකේතයක් විදියට.

ඔය අවනත බව, ගැති බව, යටහත්පහත් බව වගේ හැඟීම් ප්‍රදර්ශනය කිරීමේදී යම් යම් සාධක බලපාන බවයි බණ්ඩාට හිතෙන්නේ. උදාහරණයක් විදියට,

– සමාජ භූමිකාව අනුව… (දෙමව්පියන්, ගුරුවරුන්, නෑදෑයන්)

– වයස අනුව… (පවුලේ වැඩිමහලුන්, නෑදෑවන වයසින් වැඩි අය)

– තනතුරු… (තමාට වඩා වැඩිමල් ඉහළ තනතුරක් දරන අය ඉදිරියේ වැඳ වැටෙන අයෙක් තමන්ගේ නිවසේ මෙහෙකාරකම් කරන තමන්ට වඩා වැඩිමල් කාන්තාව හෝ පිරිමියා ඉදිරියේ වැඳ වැටෙන්නේ නැහැ. සමහර පවුල් වල දරුවන් පවා බලයෙන් අඩු යැයි සම්මත මෙහකාරයන්/මෙහෙකාරියන්ට වඳින්නේ නැහැ)

– බලය… (තෑගි ප්‍රදානෝත්සවය දවසට ගුරුවරු, ඇමතිවරු ඉස්සරහා දණින් වැටෙන දරුවන් පාසලේ කසළ ඉවත් කරනා පුද්ගලයාට පෝළිමේ ගොස් වඳිනවා දැකල තියෙනවද?)

– ලිංගිකත්වය… (සමහර පලාත් වල බිරියන් සැමියන්ට වැඳීම සිදු කරනවා)

– මීට අමතරව පූජ්‍යය පක්ෂය… (මේ පිරිස ඉදිරියේ එකී මෙකී නොකී සියලු දෙනා වයස තරාතිරම නොබලා වැඳ වැටෙනවා)

 

 

කොයි විදියට කිව්වත් සමහරුන්ට අනුව වඳින්නේම ගෞරවය පෙන්නන්නලු. ඒ වෙලාවලදි බණ්ඩා අහන ප්‍රශ්නය තමයි,

“ඒ කියන්නේ අපේ සමාජයේ දෙමව්පියන් දරුවන්ට ගරු කරන්නේ නැද්ද? ගුරුවරුන් සිසුන්ට ගරු කරන්නේ නැද්ද? වයසින් වැඩි අය වයසින් අඩු අයට ගරු කරන්නේ නැද්ද? ගරු කරනවා නම්, වැඳීම කියන්නේ ගරුත්වය පෙන්වීමේ සංකේතයක් නම්.. ඇයි අපිට ඔය කිව්ව අය දරුවන්ට, සිසුන්ට, වයසින් අඩු අයට, බලයෙන් අඩු අයට වඳිනවා දකින්න ලැබෙන්නෙ නැත්තේ?” කියන ප්‍රශ්නය.

 

 

“ඒත් අපේ ඉස්කෝලෙ සර් හම්බුනාම වඳින්නේ නැතුව ඉන්න මොකක්ද මොකක්ද වගේ”

දවසක් යාලුවෙක් බණ්ඩා එක්ක කිව්ව කතාවක්. යාලුවාගේ ඒ කතාව පිටිපස්සෙ හැංගිලා තිබ්බ යථාර්තය තේරුම් ගන්න බණ්ඩාට එච්චරම අමාරු වුනේ නැහැ.

සමාජයෙන් සම්මත කරන ලද නිශ්චිත භූමිකා ඉදිරියේ යටහත් පහත් බව පෙන්වලා තමන්ගේ ‘හොඳකම’ පෙන්වන්න සමාජය දීලා තියෙනවා වැඳීම කියන සංකේතය. ඉතින් යම් අවස්ථාවක මේ ‘හොඳකම’ හෙවත් යටහත් පහත්, කීකරු බව පෙන්වීමේ සංකේතය භාවිතා නොකරනවා කියන්නේම ඒක ‘හොඳ’ හැසිරීමක් පෙන්වන්න තිබ්බ අවස්ථාවක් පැහැර හැරීමක්. ඒ කියන්නේ එහෙම කෙනෙක් උගන්නපු ගුරුවරයාටවත් නොවඳින කෙනෙක්. වඳින්නේ නැති එක උද්දච්ඡ කමේ ලක්ෂණයක් !

ඔය විදියටයි මගේ මිතුරාගේ හිතේ වරදකාරී හැඟීම (guilt) නිර්මාණය කෙරෙන්නෙ.

ඇත්තම කියනවා නම් කවුරු කාට වැඳගත්තත් පුද්ගලිකව බණ්ඩාට නම් ඒක අදාල නැහැ. ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්න විතරක් නෙමේ, පොළවේ පෙරලි පෙරලි පස් කාලා අන්තිමට ඕනම කෙනෙක්ගේ පශ්චාත්භාගය ලෙවකන්නත් නිදහසත් තියෙනවා. ගැටළුවක් ඇත්තේම නැහැ.

නමුත් සමාජයක් විදියට අපගේ අනාගත පරපුර වන දරුවන්ට අධිකාරී බලය, තනතුරු, සමාජ භූමිකා වලට අවනත වෙන විදියේ සංකේත හුරු කරවමින් ඒ අන්දමේ මානසිකත්වයක් උරුම කරලා දෙන එකට නම් බණ්ඩා කොහෙත්ම එකඟ නැහැ.

ඒකයි පෞරෂ හීන, නිවට, බියගුළු පරපුරක් දැනට ඇතිවෙලා තියෙන්න සහ ඉදිරියටත් ඇතිවෙන්න ඔය වැඳීම කියන සංස්කෘතික ලක්ෂණය සෘජුවම බලපාන බව බණ්ඩා තදින්ම විශ්වාස කරන්නෙ.

තවමත් කවුරුන් හරි කියනවා නම් “නෑ නෑ වඳින්නේ ගෞරවය ප්‍රකාශ කරන්න විතරමයි” කියල, බණ්ඩා ඒ අයට කියන්නේ එක දෙයයි.

ලංකාවේ සමහර පලාත් වල විවාහ උත්සව වලදී සිරිතක් තියෙනවා මනාලිය විසින් මනාලයාට වඳින. ඒ මනාලිය, මනාලයා ඉදිරියේ වැඳ වැටෙන්නේ මනාලයාට තියෙන ගරුත්වයට නම්, අපේ සංස්කෘතියේ මනාලයන්ද සිය මනාලියන්ට ගරු කරනවා නම්..

කවදා හරි විවාහ මංගල උත්සව වලදී මනාලයන් විසින් මනාලියන්ට වඳින එක මනාලයාට ලජ්ජාවට කාරණයක් නොවන, මනාලයාගේ පිරිමිකමට අභියොගයක් නොවන, සාමාන්‍යය සම්ප්‍රදායක් වුන දවසට ඇවිත් බණ්ඩාට කියන්න.

එදාට අපි කවුරු කවුරුත් පිළිගන්නම් වැඳීම කියන්නේ යටහත් පහත් බව පෙන්වීමේ සංකේතයක් නෙමේ, ගෞරවය පෙන්වීමේ සංකේතයක් කියල.

එතකන් නම් ‘වැඳ වැටීම’ කියන්නේ ගෞරවය ප්‍රකාශ කිරීමේ සංකේතයක්ය කියලා පිළිගන්න පියවි සිහියෙන් ඉන්න කිසිම කෙනෙක්ට පුළුවන් වේවිය කියලා බණ්ඩා හිතන්නේ නැහැ

 

 

දිනපොත

කුමාරි අක්කා බඳිනවලු. අද හවස ලොකු අම්මා ඇවිත් වෙඩින් එක කියල ගියා. උත්සවය තියෙන්නේ 24 වෙනිදා. තව සති දෙකකට පොඩ්ඩක් වැඩියෙන් කල් තියෙන්නෙ. මාසෙ මුල වුනාට පඩියෙන් බාගෙකටත් වඩා ඉවරයි. ශික් ! මෙච්චර අමාරුවෙන් රෝල ගහගෙන ගෙනියන මාසෙ අස්සට ඔහොම එකක් ආවාම මාරම අමාරුයි. ඒත් මොනව කරන්නද, නොගිහින් බැහැ.

“නොගියොත් නෑදෑයෝ මොනව නොකියයිද?”

අඳින්න කියල හරිහමන් ඇඳුමකුත් නැහැ. කමක් නෑ. හැමදාම අඳින සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇඳලා ටයි එකක් දානවා මම. එතකොට ශේප්. නංගිට අලුත් ඇඳුමක් අරන් දෙනව. ගවුමක් හරි මොකක් හරි. මේකි කැමතිම කොට ගවුම් වලට, ඒවා කරන්න දෙන්න බැහැ.

“වෙඩින් එකට එන මිනිස්සු මොනව නොකියයිද?”

නංගි ගැන නරකක් හිතුවොත් මටත් එක්ක ලැජ්ජාව. අනික ඒක අපේ පවුලටම හරි නෑ. මේකි අපේ වහලෙ යට ඉන්නකල් නටන්න දෙන්න හොඳ නෑ.

නංගි කැම්පස් එකේ කොල්ලෙක් එක්ක හුටපටයක් පටන් අරගෙන කියල යාලුවන්ගේ මාර්ගයෙන් පොඩි ආරංචියක් ඇවිත් තියෙන්නෙ. ඇතුලෙ මගෙ කන්ටැක්ට්ස් තියෙන නිසා හොඳයි. මමයි තාත්තයි මෙච්චර අමාරුවෙන් උගන්නල ඕකිව කැම්පස් ඇරියෙ ඒකිට ඕන ඕන එකාලා එක්ක රවුම් ගහලා අනාථ වෙලා එන්න‍යැ.

“මිනිස්සු මොනව නොකියයිද මේ කතා ආරංචි වුනොත්”

හදිසියේ බඩ කරගෙන එහෙම ගෙදර ආවොත් වහකාලා මැරෙන්න වෙන්නෙ. කොහොමද අපි ගමේ උන්ට පේන්න පාරෙ බැහැලා යන්නෙ එහෙම දෙයක් වුනොත්? හැබැයි ඉතින් කවුරු වුනත් කමක් නෑ යමක් කමක් තියෙන පවුලකින් නම්, හිල්ටන් මාමාගේ දුව බැන්දේ ඉංජෙක්වනෙ. තට්ටු දෙකේ ගෙයයි වාහනෙයි එක්ක. උන්ට තියෙන මොළේ අපේ එකීට නැති හැටි. නංගිට අල්ලලා දෙන්න ඕන හොඳ අත්තක්. ගමේ උන්ට පේන්නත් එක්ක. අක්කත් අර වසවර්තියෙක් බැඳගෙන දහදුක් විඳින එකේ..

අක්කා බැඳලා ඉන්න රුවන් අයියා නම් මහම මහ කාළකණ්ණි නරුමයෙක්. බැඳලා මුල් අවුරුද්දෙ දෙකේ හොඳට හිටියට දැන් නම් අක්කව තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. පුදුම දුකක් අක්කා විඳින්නේ දාසියෙක් වගේ වැඩ කර කර. හැමදාම හවසට කටගොන්නක් බිගත්ත ගමන්ලු. හම්බ කරන හැම සතේම ඔහේ නාස්ති කරනවලු. කීපවිටක් අක්කට අත උස්සලත් තියෙනවද කොහෙද. පවුලෙ අය මට ඒ වැඩි විස්තර කියන්නෙ නෑ, මම ප්‍රශ්න ඇති කරගනියි කියල බයට. ඒක නිසා වෙන්න ඕන අක්කා කීපදවසක්ම අඬාගෙන ආවේ රුවන් අයියාගෙන් දික්කසාද වෙන්න ඕන කියල. අක්කා කිව්වට දික්කසාද වෙන්න දෙන්නෙ කොහොමද?

“අහල පහල මිනිස්සු මොනවා නොකියයිද? මිනිස්සු අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද අපි?”

උජාරුවට වෙඩින් අරගෙන අවුරුදු තුනහමාරෙන් දික්කසාද වුනා කිව්වම ! මොන තරම් ලැජ්ජාවක්ද. ගමේ උන් හිනා වෙයි අපිට. එක එකාගේ කතා අහනවට වඩා සැපයි විඳව විඳව හරි ජීවත් වෙන එක.

අම්මා කිව්ව වගේ අක්කා ඉක්මනටම දරුවෙක් හදාගත්තා නම් හරි. එතකොට ඕවා ඇරිල යයි කියලයි අම්මා නම් කියන්නෙ. අනික දැන් ගමේ උනුයි මගේ යාලුවොයි හැමෝම මගෙන් අහන්නේ “අක්කට තාම ළමයි නැද්ද, ළමයි නැද්ද” කියල.

“මට දෙන්න උත්තර නෑ. වස ලැජ්ජාව”

අක්කා කියන්නේ ළමයි හදන්න බයයි, රුවන් අයියා එක්ක දිගටම ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ කියල. මේකි මෙතන හදන්නෙ ගමේ මිනිස්සු ඉස්සරහ අපේ පවුලෙම මූණවල් වල දැළි ගාන්න. මේ පවුල මේ තත්වෙට ගෙනාවේ කොච්චර නම් අමාරුවෙන්ද?

පවුලේ ප්‍රශ්න මදිවට නිරංජිත් වදේ ගහනවා ඉක්මනටම බඳිමු බඳිමු ගගා. ගෙදරින් කේස්ලු මා එක්ක යාලුවෙලා දැන් ගොඩක් කල් නිසා. නිරංජිගේ නෑදෑයො යාලුවෝ එහෙම ඔක්කොම බැඳලලු. ඒකි විතරලු තාම බැඳලා නැත්තේ.

“ඒකිට ඒ අයට මූණ දෙන්න බෑලු”

දකින දකින තැන අහනවලු බඳින්නේ කවද්ද බඳින්නේ කවද්ද කියල..

මේකිට තේරෙනවයැ මගේ ඔලුවෙ තියෙන ප්‍රශ්න. ඇයි යකො වෙඩිම ගන්න අඩුම ගානේ ලක්ෂ දහයක් පහලවක්වත් ඕනි. ඕකට ලෝන් එකක් දාගන්න බලාගෙනම වෙඩිම ප්ලෑන් කරන්න ඕනි. අපේ ඉස්කෝලෙ පන්තියේ හිටිය රනිඳුවා වෙඩිමක් නොගෙන බැන්දා කියල උගෙම යාලුවෝ ඌට කිව්ව කතා ඌ දන්නවා නම් මෙලහකට ඌ මූදෙ පැනලා. ඌ කියනවා ඌට වෙඩිමට ගියෙ රුපියල් විසිදහයිලු. රෙජිස්ටාර් ගාවට ගිහින් බැඳලා ළඟම යාලුවො ටිකට රෑට බොන්න අරන් දුන්නලු. ඌයි කෙල්ලයි රෑට කඩෙන් බුරියානි ගෙනත් කාලා නිදාගත්තලු. ඌ නම් කියන්නෙ දැන් ඌ ෆුල් ආතල් එකේ ඉන්නව කියල. බැඳලා ජීවත් වෙන හැටි කලින්ම ප්ලෑන් කරපු නිසා සල්ලි ප්‍රශ්න නැති තරම්ලු.

“ඒත් ඉතින් කොහොමද ඔහොම කරල පාරෙ තොටේ බැහැලා යන්නෙ. මිනිස්සු මොනවා නොකියයිද?”

මම එහෙම බැන්දොත් අම්මටයි තාත්තටයිනෙ ලැජ්ජාව. මම එකම පුතා නිසා ණය වෙලා හරි හැමෝගෙම කටවල් වැහෙන්න ලොකු වෙඩිමක් ගන්න එක එයාගෙ එකම ආසාව කියලනෙ අම්මා හැම වෙලේම කියන්නෙ..

කොහොම හරි ලබන අවුරුද්දෙ අන්තිම වෙද්දිවත් ලෝන් එකක් දාලා සුපිරියට මගෙ වෙඩිම ගන්න ඕන. බැඳලා අවුරුද්දක් විතර යද්දි හදනවා කොලු පැටියෙක්.. අවුරුදු දෙකෙන් ගන්නවා පොඩි කාර් එකක් ලීස් එකක් දාලා.

“ගමේ ඉන්න ඊරිසියා කාරයන්ගේ කටවල් වැහෙන්නම”

ඊට පස්සෙ ඉතින් හැමදාම බතුයි කරෝලයි සම්බෝලයි කකා ඒ ණය අවුරුදු ගාණක් ගෙව්වත් සැපයි. අපි කන බොන හැටි මිනිස්සු දන්නවයැ. ඔලුව කෙළින් තියාගෙන පාරෙ යත හැකි එතකොට මටයි මගෙ අහිංසක අම්මටයි තාත්තටයි.

බැරි වෙලා හරි මගෙ ප්ලෑන් ටික ඔහොම කරගන්න බැරි වුනොත් එහෙම.. ඒ කියන්නෙ නංගි දැන් යාලුවෙලා ඉන්න එකා එක්ක තියෙන සම්බන්ධේ කඩලා දාලා ලොකු ගෙයකුයි වාහනයකුයි තියෙන පොරකට බන්දලා දීලා, අක්කා රුවන් අයියාගෙන් දික්කසාද වෙන එක නවත්තලා ළමයෙක් හදන්න ඒකිගේ හිත වෙනස් කරලා.. ලෝන් එකක් දාලා මගෙයි නිරංජිගෙයි වෙඩිම අරගෙන අවුරුදු දෙකෙන් කාර් එකක් අරගෙන මගේම කියල කොලු පැටියෙක් හදාගන්න බැරි වුනොත් එහෙම..

වහ කාලා මූදෙ පනින්න තමා වෙන්නෙ..

ඇයි? ඕවා ඔහොම ඔය විදියටම කරගන්න බැරි වුනොත්..

“ගමේ උන් අපිට මොනවා නොකියයිද?”

.

.

.

– දෙසැම්බර් 28, 2017

ලාංකික ජන මනසේ දිනපොත

බස් අසංස්කෘතිය

150216-sykes-sri-lanka-bus-travels-tease_pmrtqd

දවස් කිහිපයකට කලින් මගේ මිත්‍ර සුජිත් ප්‍රියන්ත මුහුණු පොතේ පෝස්ට් එකක් දාලා තිබුනා ගුවන් තොටුපල කොටුව ඒසී බස් රථයේ ගමන් කරන හැම මඟියෙක්ගෙන්ම කොළඹින් ගොඩවී කොහෙන් බැස්සත් එකම මුදලක් (රුපියල් එකසිය විස්සක්) අය කරන හැටි සහ කිසිම මඟියෙක්ට ටිකට් පත් නිකුත් නොකරන හැටි ගැන. සුජිත් තවදුරටත් කියල තිබ්බා ඔහු විසින් බසයේ කොන්දොස්තරගෙන් තම ටිකට් පත ඉල්ලද්දි “හැමදාම මෙහෙම තමයි වෙන්නෙ” කියන නිදහසට කාරණය කොන්දොස්තර ඉදිරිපත් කල හැටිත් මුළු සිද්ධිය පුරාවට අනෙක් මඟීන් නිහඬව බලා සිටි හැටිත්.

සුජිත්ගේ පෝස්ටුව කියවද්දි මට මතක් වුනේ දවසක් මම මුහුණ දුන්න ඒ හා සමානම අත්දැකීමක්. ඒත් ගුවන්තොටුපල කොටුව ඒසී බස් එකේමයි.

දවසක් මම කඳානට එන අදහසින් කොටුවෙන් නැග්ගා බස් එකට. බස් එකට නැගලා විනාඩියක් දෙකක් යන්න කලින් තේරුනා නියමිත විදියට බස් එකේ ඒසී එක වැඩ නැති බව. ඒසී එක වැඩ නැති වුනාට නියමිත විදියට ජනෙල් වහලා කර්ට්න් එහෙම දාලා, මොකද එහෙම නැත්නම් මිනිස්සු නග්ගගන්න බෑනෙ ඒසී බස් එකක්ය කියල. නැගලා ටික වෙලාවක් ගියයින් පස්සෙ තමයි තේරෙන්නේ මේක ඒසී නැති ඒසී බස් එකක්ය කියල.

කෝම කෝම හරි දැන් කොටුවෙ ඉඳලා කටුනායකට ගමන පටන් ගත්තා. එන්න එන්නම එකා දෙන්නා ගානෙ බස් එකේ සෙනඟත් වැඩි වෙනවා. බස් එක ඇතුලේ රස්නෙත් සෙනඟ එක්ක එන්න එන්නම වැඩි වෙනවා. වරින් වර බස් එක නවත්තලා කොන්දොස්තර තැන ඒසී එක හදන්න ට්‍රයි කරනවා (ට්‍රයි කරන බව පෙන්නනවා?)

ගමන පටන් අරගෙන විනාඩි විස්සක් විසිපහක් පහු වුනායින් පස්සෙ බස් එක ඇතුලේ මනුස්සයෙක්ට ඉන්න බැරි තරම් රස්නෙයි. ජනෙල් වහල නිසා ඇතුලට කිසිම වාතාශ්‍රයක් එන්නෙ නැහැ. මිනිස්සු ඉහින් කටින් දාඩිය දාගෙන එකිනෙකාගේ මූණ බලාගනිමින් “චික්.. ශිට්” ගගා හිතින් බැණ බැණ ඉන්නවා හැර වෙන මුකුත්ම කරන්නෙ නෑ. ඉවසලා ඉවසලා බැරිම තැන මම ඉඳගෙන හිටිය පිටිපස්සෙම සීට් එකෙන් නැගිටලා ගියා කොන්දොස්තර තැන ගාවට.

“මේ.. මහත්මයා.. බස් එකේ ඒසී එක වැඩ නෑනෙ. මාර දාඩියක්නෙ දාන්නෙ”

“ඔව් ඒසී එකේ පොඩි කේස් එකක්. මම දැන් දෙතුන් පාරක්ම බැලුවා හදන්න”

“ඒක අදාල නෑනෙ මහත්මයො.. ඕගොල්ලො සල්ලි ගන්නවනෙ ඒසී එකටත් එක්ක. ඒසී එක වැඩ නැත්නම් සාමාන්‍ය ගාන ගන්න ඕන ඩබල් ගන්නෙ නැතුව. මෙතන වෙලා තියෙන්නෙ ඩබල් ගෙවලා නෝමල් බස් එකකටත් වඩා අමාරුවෙන් යන්න වෙලා තියෙන එක”

“හෝව් හෝව්.. බස් එක නවත්තන්න.. නවත්තන්න”

ඩ්‍රයිවර් විසින් බසය නවත්වයි.

“දැන් මේක හදන්න බැයි නම් මම මොකක්ද කරන්න ඕනෙ?”

“හදන්න බැයි නම් මට මගේ සල්ලි දෙන්න ආපහු. මුළු ගානම ඕන. මගින් බහින්න නෙමේනෙ මම නැග්ගේ”

“හරි දැන් ඔයාට සල්ලිද ලොකු?… ආ මෙන්න.. සල්ලි තමා ලොකු !”

මම ඒකට උත්තරයක් නොදී මම මුලින් ගෙව්ව මුලු මුදලත් අරගෙන බස් එකෙන් බැස්සා. ඔතන කාරණා දෙකක් තියෙනවා.

පළවෙනි එක තමා කට උත්තර නැති වුන කොන්දොස්තර මට කිව්ව් කතාව

“සල්ලි තමයි ලොකු නේද?”

ඇයි යකෝ මම හම්බ කරපු සල්ලි මට ලොකුයි තමා. යම් කෙනෙක්ට තමා යම් සේවයක් බලාපොරොත්තුවෙන් මුදලක් ගෙවද්දි ඒ සේවය උපරිමයට අපේක්ෂා කරන එකත් තමා හම්බ කරපු අන්තිම රුපියලේ අයිතිය දක්වා සටන් කිරීමත් පාරිබෝගිකයෙක් සහ පුරවැසියෙක් විදියට ඕනම කෙනෙක්ට තියෙන අයිතියක්. එහෙම කරන එක අයිතියකටත් වඩා වගකීමක්.

ඔය කොන්දොස්තර කියපු “සල්ලි තමා ලොකු?” කියන කතාවට තියෙන්නෙ ආගමික පසුබිමක්. සල්ලි කියන දේට සෘණාත්මක වටිනාකමක් දීලා තියෙන, සල්ලි හම්බකරන එක නරක දෙයක් කියල කියවෙන, සල්ලි දිහා සරපයෙක් හා සමාන විදියට බලන්න පුරුදුකරන ආගමික පසුබිමකින් එන මිනිස්සු තමයි ඉතුරු රුපියල ඉල්ලුවත් “සල්ලිද ලොකු” වගේ කතා කියන්නෙ. ඇයි ඉතින් සල්ලි කියන්නෙ මාරම නරක කළු රාක්ෂයෙක් නෙ.

තමාගේ වුනත් සල්ලි ඉල්ලන එකා නරක මිනිහා, අනුන්ගේ වුනත් සල්ලි පූජා කරන එකා හොඳ මිනිහා.

ඒක තමයි පළවෙනි කාරණය.

දෙවනි කාරණය තමා මගේ සිද්දියේදි වගේම සුජිත්ගේ සිද්දියේදිත් බස් එකේ හිටිය අනිත් මිනිස්සුන්ගේ හැසිරීම. තමන් අසාධාරණයට පත් වුන අවස්ථාවන් වලදී ඇටිකෙහෙල් කෑ රිලව් වගේ බකන් නිලාගෙන ඉඳීම. ඕකට හේතුව සරලවම කියනවා නම්, අපේ මිනිස්සු යම් පද්ධතියක ඉන්න අධිකාරිබලය හිමි තැනැත්තා කෙරෙහි ඉබේම දක්වන යටහත්පහත් බව.

බස් එකට නැග්ගම කොන්දොස්තරට බයයි, ඉස්පිරිතාලෙට ගියාම ඇටෙන්ඩන්ට්.. නර්ස්ගේ ඉඳලා දොස්තර දක්වාම බයයි, ප්‍රාදේශීය සභාවට ගියාම එතන ඉන්න කැෂියර්ට බයයි, තමා ඡන්දෙ දීලා පත් කරන දේශපාලකයට බයයි..

ඒ කියන්නෙ සිස්ටම් එකක ‘පොර’ වෙලා ඉන්න එකා ඉස්සරහ නැට්ට පුකේ ගහගෙන ඔලුව පාත් කරගෙන ඉඳල ගෙදර ඇවිත් වටේ ඉන්න අය එක්ක ඌට බනිනවායින් එහාට දෙයක් කරන්න දැනුමක්වත්, උවමනාවක්වත් පෞරෂයක්වත් අපේ සමාජයෙන් බිහිවන මනුස්සයෙක්ට නැහැ.

මේකට මූලිකම හේතුවක් තමා මේ ප්‍රොෆයිලය හරහා කාලයක් තිස්සේ කියන,මේ මිනිස්සුන්ව කුඩා දරුවන් කාලේ වේවැල මඟිල් පාලනය කිරීම. දෙමව්පියන් සහ ගුරුවරුන් කියන අධිකාරි බලයන් ඉස්සරහා දෙකට නැමිලා අවනත වෙන විදියේ ළමා පරපුරකින් බිහි වෙන්නේ බස් එකේ කොන්දොස්තරගෙන් ටිකට් එක ඉල්ලන්න තරම් කොන්ද පණ නැති නිවටයන් පිරිසක් තමා.

කොන්ද පණ තියෙන මිනිස්සු එකතු වෙලා ප්‍රශ්න කලා නම් බස් අස්සෙ තියෙන කුජීත වෙච්ච ‘බස් සංස්කෘතිය’ ඉතාම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්. ටිකට් එක ගන්න එකේ ඉඳන්, ඒසී එක වැඩ කරන එකේ ඉඳන්, හරියට ඉතුරු සල්ලි දෙන එකේ ඉඳන්, මනුස්සයෙක්ට දරන්න බැරි තරමට කන පැලෙන්න සිංදු දාන එකේ ඉඳන්, මඟීන්ට කතා කරන විදිය දක්වා දැනට පවතින ගඳගහන සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් හැම බස් රථයකටම ප්‍රශ්න කරන මඟීන් දෙන්නෙකුයි, ඔහු වටා එක් වෙන සමූහයකුයි (තවත් තුන් හතර දෙනෙකුයි) ඉන්නව නම්.

මිනිස්සු ප්‍රශ්න කලා නම් ඕකුන් ඔය විදියට නටන්නේ නෑ. කොහෙද ඉතින්, අපේ මිනිස්සුන්ගේ කොඳු නාරටි ටික දෙමව්පියොයි, ගුරුවරුයි එකතු වෙලා කඩලා මුංව නිවටයෝ කරලනේ සමාජයට දාන්නේ.

ඉතින් කොහෙද ගොඩ ඒමක්?

ආදරය, වෛරය, පළිගැනීම සහ අශිෂ්ඨත්වය

revolutionaryroadpic
මගේ ළඟම මිතුරියක් ඇයගේ සැමියාගෙන් දික්කසාද වෙන්න තීරණය කරල තියෙන බව දැනගන්නට ලැබුනේ මීට මාසයකට විතර කලින්.
 
මේ මම සහ ඇය අතර දින කීපයකට කලින් සිදුවෙච්චි කතාබහක්,
 
“දැන් මොකද තත්වෙ? උඹ අවුලක් නැතුව හොඳින් ඉන්නව නේ?”
 
“ඔව් බං, ශේප් එකේ ඉන්නව. ඉක්මනටම මේ ප්‍රශ්නෙ විසඳගන්නයි මට ඕන. ලෝයර් හම්බෙලා විස්තර ටික කතා කරගත්තා. වැඩ ටික ලෑස්ති කරගත්තයින් පස්සෙ සතියකින් විතර ඩිවෝස් එක දානවා”
 
“හ්ම්.. ඒක හොඳයි.. කල් අරින්නැතුව ඉක්මනටම ඕක කරගන්න බලහං”
 
“මහේෂ්ගෙන් මාර කරදරයක් අනේ තියෙන්නෙ.. මගේ ෆෝන් එකට එකදිගට කෝල් ගන්නවයි මැසේජ් කරනවයි. එයාට සමාව දෙන්නලු. තව චාන්ස් එකක් දීලා බලන්නලු. මැසේජ් වල මට වඳින්නැති ටික විතරයි. මම ආන්සර් කරන්නෙත් නෑ, රිප්ලයි කරන්නෙත් නෑ. අපේ අම්මලටයි අක්කලටයි එකදිගට කෝල් කරනවලු. දැන් නම් වදයක් වෙලා තියෙන්නෙ”
 
“ඉතින් සිම් එක මාරු කරහංකො. ප්‍රශ්නෙ ඉවරයිනෙ.”
 
“සිම් එක මාරු කරන එක නම් කරන්න පුලුවන්. ඒත් මම මාරු කරන්නෑ”
 
“ඇයි ඒ?”
 
“බෑ අනේ”
 
“මහේෂ්ව ෆේස් බුක් එකෙන් අයින් කලානෙ?”
 
“ඒත් නෑ”
 
“ඇයි අයින් නොකලෙ?”
 
“මට පෙන්නන්න ඕන ඌටයි උගේ එවුන්ටයි මම ඌ නැතුව හොඳින් ඉන්නව කියල. මම ගිය සතියෙ ගිය ට්‍රිප් එකේ ෆොටෝස් දැම්මා ඌට පේන්න. මම කොටට ඇඳන් ගියේ ට්‍රිප් එකම. මහේෂ් කැමති නෑනෙ මම කොටට අඳිනවට. මම ප්ලෑන් කරන් ඉන්නෙ ලබන මාසෙ බැංකොක් යන්න තව යාලුවො හතර දෙනෙක් එක්ක. ඒකෙ ෆොටෝසුත් දානවා ඕකට පේන්න”
 
“ඇයි එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ?”
 
“මම කිව්වෙ.. මට ඕන ඌට රිද්දන්න?”
 
“ඇයි ඒ ඌට රිද්දන්නෙ? ඔයිට වඩා හොඳ නැද්ද ඌව අල්ලගෙන ඇවිත් අතපය ටික බැඳලා දාලා කට්ටකින් ඇනලා ඇනලා වදදීලා මැරුවනම්.. එතකොට ගොඩාක් රිදෙයිනෙ.. ඒකනෙ උඹට වෙන්න ඕන?”
 
“නෑ….. එහෙම නෙමේ..”
 
“උඹ ඌ උයපු කෑම කෑවෙ නැද්ද? ඌ එක්ක තුරුල් වෙලා නිදාගත්තෙ නැද්ද? එහෙම උඹත් එක්ක කාලයක් ජීවිතය බෙදාගත්ත මනුස්සයට රිද්දල උඹ බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආතල් එකක්ද? තරහ වෙන්න එපා මචන් කිව්වට. උඹ දැන් ඌ විඳවනව බලාගෙන උඹ පස්සෙ බල්ලෙක් වගේ එනව බලාගෙන ගන්නෙ මහ අමන ආතල් එකක්..”
 
“උඹ කියන්නෙ දැන් මං මොකක්ද කරන්න ඕන?”
 
“මම උඹට කරන්න ඕන දේ කියනව නෙමේ. උඹ බබෙක් නෙමේනෙ. මං කිව්වෙ උඹ දැන් කරන දේ ගැන මට හිතෙන දේ.. උඹ ඌව අත ඇරියා කිව්වට උඹ ඌව අත අරින්න හිතලවත් නෑ. උඹ තාම හිතන්නෙ ඌ ගැන. උඹ මේකප් දාගෙන සෙල්ෆි ගහන්නෙ ඌට පේන්න. ඒ ෆොටෝ ෆේස්බුක් දාන එක ගැන හිත හිත. උඹ ට්‍රිප් යන්නෙ ඌට රිද්දන්න. ඇඳුම් අඳින්නෙ ඌට රිද්දන්න. කොටින්ම උඹෙ ඔලුවෙ දවසම ඉන්නෙ ඌ. ඉතින් කොහොමද උඹ කියන්නෙ උඹ ඌව අත ඇරියා කියල?”
 
මගේ මිතුරිය තොල හපාගෙන ඇස් වල එකතු වෙමින් ඇති කඳුලු එළියට නොපෙන්වීමට මහත් උත්සාහයක් දරමින් සිටින බව දුටු මම කතාව නැවතුවෙමි.
 
මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.
 
යම් දිනකදී අදහස්, සිතුම් පැතුම් සහ අවශ්‍යතා වල නොගැලපීම් නිසා ඔබේ ප්‍රියයාට සමුදීමට තීරණය කිරීම වරදක් නොවේ. දෙදෙනාගෙන් කෙනෙක්ට එසේ දැනෙනවා නම් වෙන්වීමට තීරණය කිරීම දෙදෙනාගේම අනාගතය වෙනුවෙන් ගත හැකි සුදුසුම තීරණය වන අවස්ථා බොහෝ ඇත. මෙවන් සිදුවීම් වලින් ඉස්මතු වන අවලස්සනම දෙය වන්නේ වෙන් වීම නොවේ, වෙන් වෙන ආකාරයයි.
 
තමන්ගේ ජීවිතයේ එක් යුගයක තමන්ගේ සෙවනැල්ල මෙන් හිඳ.. තමන් හා සමඟ සතුට, කඳුල බෙදාගෙන.. තමන්ගේ දිවියට අරුතක් එක් කරමින් මුළු ලොවටම වඩා තමන්ගේ ළඟින්ම සිටි තමන්ගේ ප්‍රියයාගෙන් කුමක් හෝ අවාසනාවන්ත හේතු සමුදායක් මුල් කරගෙන වෙන්වී යාමට තීරණය කිරීමෙන් පසු,
 
ඔහුගේ/ඇයගේ කඳුළු වලින් තමන්ට සතුටක් දැනෙනවා නම්..ඔහුගේ/ඇයගේ වේදනාවෙන් තමන්ට තෘප්තියක් ලැබෙනවා නම්..
 
තමන් කාලයක් විඳි ඒ අත්දැකීම් වල, හසරැල් වල, හෙලූ කඳුළු වල වටිනාකමක් තිබේද? කාලයක් ආදරය කල දෙදෙනෙක් වෙන් වූ පමණින් ඒ අත්දැකීම් වල වටිනාකම අලු දූලි වී නැතිවී යායුතුද?
 
මෙවන් මිනිසුන් තම ජීවිත පුරා පවත්වාගන්නා මානුෂීය සබඳතා වල තේරුම මොකක්ද?
 
බොහෝ ආදරවන්තයන් ජීවත් වෙන්නේ තමාගේ ප්‍රියයාට තමන් සතු දේපලකට මෙන් සලකමින් ඒ මනුෂ්‍යයාව අයිතිකරගෙන ඔහුව/ඇයව පාලනය කිරීමේ අරගලයකය. ඔහුව/ඇයව තමන්ට රිසිසේ වෙනස් කරගන්නට දතකමින් ඔහු/ඇය තුළින් තමන්ගේ මනසේ සිටින කොහේවත් නැති මනුස්සයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. තමන්ගේ සිතුම් පැතුම් අනුව නැටවෙන පඹයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. ඒ මනුෂ්‍යයා තුළින් තමන්ගේ අණට කීකරු වන බලු පැටියෙක් තනා ගැනීමේ අරගලයකය.
 
බොහෝ දෙනා ආදරය කරනවා කියා හඳුන්වන්නේම ඒ අරගලයයි. එකිනෙකාව පාගා ගැනීමේ සටනයි.
 
දෙපාර්ශවයෙන්ම සිදුවන ඔය අරගලය දෙදෙනාම හෝ එක් අයෙක් පරාජය වූ පසු තමන්ගේ ප්‍රියයාව ලෝකයේ සිටිනා පහත්ම මනුෂ්‍යයෙක් සේ සලකා ඔහුව තමන් විනිශ්චකාරයා වන උසාවියක චූදිතයා බවට පත් කොට ඔහුගෙන් පළිගැනීමේ ආශාවෙන් ඔහුව වේදනාවට පත් කිරමින් තිරිසනුන් සේ හැසිරීම ‘වෙන් වීම’ ලෙස හඳුන්වයි.
 
ඔය අන්ත දෙක අතර මැද තැනක ඇති මානුෂීය සබඳතාවයක් යනු ඔවුනට නොවැටහෙන අමුතු මොකක්දෝ එකකි.
 
තමන්ගේ නොගැලපීම් තේරුම්ගෙන, වෛර කිරීම වෙනුවට දරා ගැනීම තුළින් මනුස්සයන් සේ එකිනෙකාට සමුදීමටවත් නොහැකි නම් එවන් ආදරයක ඇති වටිනාකම කුමක්ද?
 
තමන්ගේ ප්‍රියයාට තමන්ගෙන් තොර පැවැත්මක් ඇති ස්වාධීන මනුස්සයෙකුට සේ සලකන්න. සමුදීමේදී තමන්ගේ ප්‍රියයා හා සමඟ ගෞරවාන්විත මනුස්සයෙකු සේ කටයුතු කරන්න.
 
තමන් හා සමඟ කාලාන්තරයක් එක්ව හිඳ තමන්ගේ ජීවිතයට අර්ථයක් එක් කල මනුස්සයෙකුට, මනුස්සයෙකු සේ සමුදීමට තරම් පරිනත බවක් නැති මිනිසුන් අතර ඇතිවන මානුෂීය සබඳතා තේරුම් ගැනීමට එවන් තිරිසන් ඇස් වලින් ලෝකය දකින තිරිසනකු හැර මානුෂීය ඇසින් ලෝකය දකින මනුස්සයෙකුට නම් නොහැකිය.
 
මගේ මිතුරියව ඊයේ දිනයේදී මට නැවත හමුවිය.
 
ඇය තවමත් ඇය අතහැරියා යයි කියන ඇයගේ සැමියාව ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කොට නැත.
 
මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.