තමා ඉදිරියේ තමන්ගේ විවාහපත් දරුවන් පවා ඔවුන්ගේ සහකරුවන්/සහකාරියන් සමඟ ආදරයෙන් හැසිරීම අපේ වැඩිහිටි පරපුරට රුස්සන්නේ නැහැ.
තමන්ගේ විවාහපත් දරුවන් වුනත් එකිනෙකාට ළඟින් හිඳ ගැනීම, කරට අතදාගෙන සිටීම, එකෙක්ගේ ඔඩොක්කුවේ අනෙකා හිඳ ගැනීම, කම්මුල් සිපගැනීම තබා ඔලුව අතගෑමවත් තමන්ගේ ඉදිරියේ සිදු කිරීම ඔවුන් සලකන්නේ නිර්ලජ්ජිත හැසිරීමක් විදියටයි.
“ලව් කරන්න ඕන්නම් උඹල කාමරේට ගිහින් දොර වහගෙන කරගනින්”
එකිනෙකා කෙරේ ලයාන්විත බවක් දැනවෙන විදියට හැසිරීම, ආදරය හැඟෙන අයුරින් හැසිරීම සිදුවිය යුත්තේ පුද්ගලික අවකාශයක පමණක් බවයි මේ වැඩිහිටි පරපුරේ අදහස. මලපහ කිරීම, සංසර්ගය කිරීම මෙන්ම ආදරය කිරීමද පුද්ගලික අවකාශයක පමණක් සිදුවිය යුතු බව සිතනා ඔවුන් සභාවක ආදරයෙන් හැසිරෙන යුවලක් දුටු විට එය හඳුන්වන්නේ නැහැදිච්ච හැසිරීමක් විදියට.
වැඩිවියට පැමිණ විවාහපත් දරුවන් ගැන එසේ සිතනා ඔවුන්, එම දරුවන් කුඩා කාලයේදී ඔවුන් ඉදිරියේ හැසිරෙනේද ඒ ආකාරයටයි. තම දරුවන් ඉදිරියේ එකිනෙකාට කිසිම ආකාරයක ආදරය ප්‍රකාශ කෙරෙන අන්දමට නොහැසිරීමට වගබලා ගන්නේ එයින් තම කුඩා දරුවන් නරක් වේය යන හැඟීම නිසා.
දරුවන් ඉදිරියේ සහ ප්‍රසිද්ධියේ ආදරය දැනවෙන පරිදි හැසිරීමෙන් වැලකුණත් මේ වැඩිහිටියන්ට අනුව තම දරුවන් ඉදිරියේ වාද කිරීම, බැන ගැනීම සහ රණ්ඩු කිරීම නම් සාමාන්‍යය දෙයක්. විවාහපත් දරුවන් තමා ඉදිරියේ රණ්ඩු සරුවල් කිරීමද ඔවුන් සලකන්නේ සාමාන්‍යය දෙයක්, පවුල් ජීවිතයේ කොටසක්, ඉවසිය හැකි දෙයක් වශයෙනුයි.
මේ ආකල්පය දරන දෙමාපියන් යටතේ හැදී වැඩෙන කුඩා දරුවන් දකින්නේ එකිනෙකා කෙරේ ආදරය දක්වන්නට මැලිවන, නමුත් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කිරීමට මැලි නොවන මව්පියන් දෙදෙනෙක්. දරුවෙක්ට වඩාත් ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇත්තේ දෙමාපියන් එකිනෙකා කෙරේ ආදරයෙන් සිටිනු දැකීමෙන් බවත්, තම දෙමාපියන් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කරගැනීම පමණක් දැකීමෙන් දරුවාට අයහපත් බලපෑමක් සිදු කරන බවත් තේරුම් ගැනීමට ඔවුන්ට දැනුමක් නැහැ.
මහ රෑ අන්ධකාරයේ කාමරයේ දොරගුළු දමාගෙන ආදරය නොකරන්න. සිර කොට ඇති ආදරය නිදහස් කරන්න. තම දරුවන්, දෙමාපියන්, පවුල ඉදිරියට ආදරය ගෙන එන්න. ආදරය කිරීම කුණුහරපයක් විදියට නොදකින්න.
තම සහකරුවා/සහකාරිය කෙරේ ආදරය දැක්වීම තම දරුවන් හා දෙමාපියන් ඉදිරියේ සිදු නොකල යුතු කුණුහරපයක් නොවේ. පුද්ගලික අවකාශයට සීමාකල යුත්තේ ආදරය දැක්වීම නොව, එකිනෙකා හා ගැටෙන අවස්ථාය.
එනිසා ගැටීමට දොරගුළු දමන්න. ආදරය අගුළු හැර නිදහස් කරන්න.