Category Archives: එදිනෙදා ඇහෙන මෝඩ කතා

එදිනෙදා ඇහෙන මෝඩ කතා #1

“හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා” 

මම මහින්දව විවේචනය කරනවා ඇහිලා අද ඔෆීසියේ කෙනෙක් කිව්ව කතාවක්. කතාව ඉතින් හොඳයි. තවත් හොඳයි ඒක අමු මෝඩ කතාවක් නොවුන නම්.

ඔතන මහින්ද වෙනුවට හිට්ලර් වගේ චරිතයක් ආදේශ කලා නම් කතාවේ අවුල ඉතාම සරලව තේරුම්ගන්න පුළුවන් දෙක වසරේ ළමයෙකුට හරි.

කෙනෙක්ගේ ක්‍රියාකලාපයේ හරි වැරැද්ද ඇගයීමට ලක් කරන්න හරි විවේචනය කරන්න හරි ප්‍රකාශය කරන්නා සතු “අධිකාරී බලයේ” ප්‍රමාණය සාධකයක් නෙමේ.

මොකද එහෙම වුනොත් පොල් පොට්, සදාම් හුසේන්, මාඕ සේතුං, ඇඩෝල්ෆ් හිට්ලර්, ජෝසෆ් ස්ටාර්ලින් වගේ චරිත කිසිම කෙනෙක්ට විවේචනය කරන්න අයිතියක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ වගේ පුද්ගලයන් දරපු බලයට සාපේක්ෂව, ඒ පුද්ගලයන් මිනිස් ඉතිහාසයට කල බලපෑමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ වගේ චරිතයකුත් හාල්මැස්සෙක් කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නිසා.

ඔය ගැන පැහැදිළි කරන්න ඔය වාක්‍යය කිහිපයම ප්‍රමාණවත්. ඒත් තව ටිකක් ලියන්නමයි හිතෙන්නෙ. ඒ නිසා මේ ටිකත් එකතු කරනවා.

යම් පද්ධතියක ‘අධිකාරී බලය’ නියෝජනය කරන කොටස, ඒ බලය දැරීම නිසාම ඊට වඩා බලය අඩු අය විසින් විවේචනයට ලක් නොකරන්න හේතුවක් කරගන්නවා නම් ඒ වගේ අය හඳුන්වන්න පුළුවන් අවනත, කීකරු බලු කුක්කන් විදියට. එහෙම නැත්තන් කොන්ද පණ නැති නිවටයන් විදියට.

“හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා” කියන කතාවේ අවුල තවත් තේරෙයි මේ චින්තනයම වෙනත් සන්ධර්භයකට ආදේශ කරල බැලුවොත්.

රජතුමා ඇවිත් ගෙදර දුවව උස්සන් ගියත්

“අනේ ඉතින් රජතුමාගෙ කැමැත්තනෙ, මං කවුද ඒක වැරදියි කියන්න..”

කියන චින්තනයම තියෙන කෙනෙක් විසි එක්වන සියවසට ගෙනත් අත ඇරියම තමා ඔය හාල්මැසි කතා වගේ ඒවා කියවෙන්නෙ.

මේ වගේ අයගේ චින්තනය සාරංශගත කරන්න යොදාගන්න පුළුවන් එක වචනයයි

“මෝඩ වහල්ලු”…

(ආ.. වචන දෙකයි නෙහ් 😉 )