මගේ පළවෙනි ලව් එක

කෙල්ලෙක්ට මුලින්ම ලයින් දැම්මේ ඉස්කෝලෙ කාලෙදි.

එතකොටම මට වයස අවුරුදු දහහතයි. කෙල්ල හිටියේ අපේ පන්තියට එහා පන්තියෙ. මා එක්ක බලද්දි ඇඟ පතින් කෙල්ල සෑහෙන පොඩියි. මිටියි. ඒත් ඉතින් හැඟීම් කියන ඒවා තෝරගෙන බේරගෙන ඇති වෙන ඒව නෙමේනෙ. ඉබේ ඇති වෙන දේවල් නෙ.

ඒකිගෙ තිබ්බ අහිංසක හැසිරීමට, බිම බලාගෙන ඇවිදින විදියට, ගොතපු කොණ්ඩෙට, හිනා වෙන විදියට විතරක් නෙමේ කොටින්ම මාව දැක්කම අහක බලන විදියටත් මාරම විදියට ලව් කරන්න ගත්තා දවස් දෙක තුනක් යද්දිම.

දැන් මම කෙල්ලට ලව්. මට තේරෙනවා මම කෙල්ලට ලව් කියල. මට හිතෙනවා අම්මට සිරි මේ මට ඇති වෙලා තියෙන හැඟීමට නේද මේ ලව් එක කියන්නෙ කියල. මාරම ලල් එකක් තිබ්බෙ ඒ ෆීලින්ග් එකේ.

ඉතින් මමත් හරකා වගේ සීන් එක කියනවා මගේ හොඳම යාලුවට. ඌට පෙන්නනවා හා හා පුරා කියල මගෙ හිත මුලින්ම ගිය කෙල්ලව. ඌ කියනවා උගෙ යාලුවට, උගෙ යාලුවා කියනවා උගෙ යාලුවට. කෝම හරි සතියක් යන්න කලින් මුළු සෙක්ෂන් එකම දන්නවා මම මේකිට ලයින් කියලා. සති දෙකක් විතර යද්දි ඉස්කෝලෙ ඉන්න සර්ලා මිස්ලා පවා දන්නවා සීන් එක. ඇයි ඉතින් අපේ සෙක්ෂන් එකේ සර්ලා මිස්ලාගෙම ළමයි කීයක් නම් හිටියද?

දැන් මම කෙල්ලට ලයින් කියල දන්නෙ නැත්තෙ කෙල්ල විතරද කොහෙද. ඒත් මම හිතන්නෙ කෙල්ල සීන් එක දන්නවා කියල. ඉන්ටර්වල් එකේදි මම කෙල්ල දිහා එහෙන් බලනවා, මෙහෙන් බලනවා.. කෙල්ල ඔහේ ඉන්නවා ඉතින්. මං හිතන්නෙ මේකි ලැජ්ජාවට දැක්කෙ නෑ වගේ ඉන්නව කියල. කෝම හරි ඕම ඕම කාලය යනවා මාසයක් විතර.

දැන් මට මේකිව ඕන. අම්බානකට ඕන. පුළුවන් තරම් ඉක්මනින් ඕන. ඒත් මොකාටද වගේ ගිහින් මූණටම යාලුවෙන්න අහන්නත් බෑ. හයිය නෑ. ගට නෑ. ඇත්තම කියනව නම් කොන්ද පණ නෑ.

ලිව්වා කෙල්ලට ලියුමක්. දුන්නා මගේ පන්තියේ ගෑණු ළමයෙක්ට. යාලුවත් පැනල ගත්තා ඉතින් හරිම ආසාවෙන්. මුළු සෙක්ෂන් එකම සීන් එකට මට බොක්කෙන් සපෝට් ඉතින්.

අනේ ලියුම දුන්නලු මෙන්න මේක බණ්ඩා දෙන්න කිව්ව කියල. කෙල්ල ඇහැව්වලු කවුද බණ්ඩා කියන්නෙ කියල. ලියුම ගන්න බෑ කිව්වලු. අනේ ඉතින් වැලේ වැල් නෑනෙ. අර යාලුවා මූණ දික් කරගෙන ලියුම ආයෙම ගෙනල්ලා දුන්නා එයා ගන්න බෑ කිව්වා අනේ කියල. මම කෙල්ලට ට්‍රයි කියල දන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ කෙල්ල විතරයි.

පළවෙනි පරාජය !

හෙණම අවුල් ඉතින්. ගෙදර ඇවිත් ගත්තා ගිණි පෙට්ටිය. පිච්චුවා ලියුම. ආයෙම ඕකිගෙ මූණවත් බලන්නෑ කියල හිතාගත්තා ලෙසටම.

ඕම හිතින් පොර ටෝක් දාගෙන ආයෙම ඉස්කෝලෙ ගියාට දවස් දෙකතුනක් යද්දි ඉන්නම බෑ අරකිව දකිද්දි. ලව් එක ඉතින් ආයෙ ආයෙ මෝදු වේගෙන වේගෙන ඇවිත් මගේ පොරසිටියට දැම්මා කෙළෝලම.

පටන් ගත්තා ආයෙම ගේම. දැන් ඉතින් කොල්ලා ෆුල්ම අධිෂ්ඨානයෙන් කෙල්ලව දාගන්න වැඩ.

ඉස්කෝලෙ එද්දි මඟ ඉන්නවා.. ඒකි අහක බලාගෙන යනවා. ඉන්ටර්වල් එකට ඒකිගෙ පන්තිය ගාවට ගිහින් ලයින්පාර දානවා.. ඒකි අහක බලාගෙන ඉන්නවා. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කට්ට අව්වේ මේකි එනකල් බලාගෙන ඉන්නවා… ඒකි අහක බලාගෙන යනවා.

මූණ දිහා ඇස් කොණකින්වත් නෑ බලන්නෙ මේකි ! ආඩම්බරකාරි !

හරියන්නේ නෑ වැඩේ කියල හිතල ඕම මාස හයක් හතක් ගියායින් පස්සෙ කොල්ලා ගන්නවා අර තිබ්බේ නැති ගට හිතට. වෙලාවක් බලලා බලලා ගියා හම්බෙන්න කෙල්ලව. පළවෙනි පාරට කෙල්ලක් ඉස්සරහා බල්ලෙක් වෙන්න යන බව දැන දැන කොල්ලා යනවා දැන් කෙල්ල ගාවට. වෙව්ල වෙව්ල ගැහි ගැහී ගියා කෙල්ල ඉස්සරහට.

“මේ.. පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද?”

“සොරි. බෑ”

දෙවනි පරාජය !

අප්පා…. ඈත ඉඳන් ආසාවෙන් බලාන හිටිය යාලුවෝ රෑනටම පේන්න ඇති මගේ මූණේ වෙනස. රෙදි නැතුවා සේ දැම්මා ආපහු රිවස් ගියරයට. මූණ එල්ලගෙනම ගියා ඉතින් යාලුවෝ ගාවට. එවෙලේ යාලුවෝ දුන්නේ කිසිම දවසක අමතක නොවෙන සප් එකක්.

දැන් වැඩේ ෆුල්ම අවුල්. ඒත් හිතේ තියෙන ලව් එක නම් දවසෙන් දවස වැඩි වෙනවා මිසක අඩුවක් නම් නෑ. ඕම ඕම ආවා අපි ඉස්කෝලේ යන අන්තිම දවස.

මේක තමා මගේ ලාස්ට්ම චාන්ස් එක.

මුළු දවසම ෆුල් ෆන් එකේ යාලුවෝ පිස්සු කෙළකෙළ අන්තිම දවස සැමරුවත් මගේ හිතේ තිබ්බෙම අද මම කෙල්ලගෙන් අහද්දි මේකි මොනව කියයිද කියන එක. මං මෙච්චර කල් පස්සෙන් ආව නිසාවත් හා කිව්වොත්. එකම එක අවස්ථාවක් මට දෙන්න ඒකිට හිතුනොත්..

හරි. ඉස්කෝලෙ ඉවරයි. අවසාන වතාවට අපි ගෙදර යන වෙලාව. කෙල්ල යනවා කෙල්ලගෙ යාලුවත් එක්ක ඉස්සරහින්. මම දුවගෙන දුවගෙන ගිහින් හිටගත්තා කෙල්ල ගාවින්.

“නිරාෂා.. මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද? එක විනාඩියක්??”

“බෑ”

තුන් වෙනි පරාජය හෙවත් මාරම පරාජය !

මගේ ඒකපාර්ශ්වික ප්‍රථම ප්‍රේමය පොඩ්ඩ පොඩ්ඩ මගෙන් ඈත් වෙලා නැත්තටම නැති වෙලා යන හැටි පාර අයිනේ ගල් වෙච්චි පිළිමයක් වගේ මම බලාගෙන ඉන්න ඇති.

අවුරුදු දෙක තුනක් යනකල් විතර මාරම කුජීත හැඟීමක් ආවේ ඔය පළවෙනි ලව් එක ගැන මතක් වෙන වාරයක් වාරයක් ගානේ.

ඒත් ඊට පස්සේ ආදරය කරලා, ආදරය විඳලා, ආදරෙන් පැරදිලා, ආදරෙන් පරිප්පු කාලා, ගැලපෙනම ආදරය හම්බෙලා, ආදරය කියන්නෙ මොකක්ද කියල තේරීගෙන එන වයස වෙද්දි ඒ පළවෙනි ලව් එක මතක් වෙද්දි දැනුනේ හරිම සොඳුරු හැඟීමක්.

දැන් ඒ කෙල්ල බැඳලා මං හිතන්නෙ. ළමයි ඉන්නවද දන්නෑ. මොනව වුනත් දැන් හිතෙනවා ඒ කෙල්ල මා එක්ක යාලු නොවුන එක හොඳයි කියල.

ඒක පාර්ශ්වික වුනත් ප්‍රේමය ගැන හම්බෙච්චි ඒ පළවෙනි අත්දැකීම නම් කවදාවත් අමතක නොවන එකක්.

මේවා කියන්න මොකටද ලැජ්ජ වෙන්නෙ.. කාටද මෙහෙම අත්දැකීම් නැත්තෙ.. නේ? 😉

13 responses to “මගේ පළවෙනි ලව් එක

  1. මරු බන්…එහෙම කියුවේ උඹට හොඳ වැඩේ වුනේ වගේ අදහසකින් නෙවෙයි, කතාව අමුවෙන්ම ලියලා තියෙන නිසා. කියුවත් වගේ ඔහොම අත්දැකීම් නැත්තේ කාටද. මමත් මාස ගනනක් ට්‍රයි කරලා කෙල්ලෙක් සෙට් ගත්තා. වැඩේ දිව්වේ සති දෙක තුනයි. සැලෙන්න එපා. හරියන ලව සෙට් වෙනවාමයි. ජය වේවා !

    Like

  2. ඔවා හැමෝටම පොදුයි මචන්…ගැලපෙනම කෙනාව හම්බෙලා ආපහු හැරිල ඔය කාලෙ දිහා බලනකොට පට්ට. මම නම් කියාගන්ඩ බැරිව හිටපු පලවෙනි ලව් එක මේ ලඟදි බ්ලොග් එකේ ලියල ඒ කෙල්ලට ලින්ක් එක යැවුවා…

    https://thadiya1.blogspot.com/2017/08/1.html

    Like

  3. කාටද මෙහෙම අත්දැකීම් නැත්තෙ.. නේ?

    Like

  4. මුලින් ම හිත ගිය කෙල්ලට ට්‍රයි කරලා, ඒ මුලින් ම ට්‍රයි කරපු කෙල්ල හා කියලා, සෙට් වෙලා, ලව් කරලා, වැඩේ දිගටම ඇදිලා ගිහිල්ලා, ඒ කෙල්ලවම කසාද බැඳලා ජීවත්වෙන මිනිස්සු ගැන අනේ පව් කියලා හිතෙන්නේ නැද්ද?

    Like

  5. හරියන ලව් එකක් සෙට් වෙලා තියෙන්නෙ බං. එනිවේ තැන්කූ

    Like

  6. එලම කිරි. බ්ලොග් පෝස්ට් එක කියවන්නම් මචන්

    Like

  7. ඒකෙ ඉතින් හොඳ සහ නරක පැති දෙකක් තියෙනවා. බලන විදිය අනුව තමා ඉතින්. තමාගේ අත්දැකීම ගැන තමා සතුටුයි නම් ඉතින් එච්චරයි. නේද?

    Like

  8. මට මේක මතක් උනේ නැහැනේ මේ වෙනකල්…

    යෞවන ආදරේ හරියටම කියවෙන සින්දුව විදියට මට හිතෙන්නේ මෙන්න මේක…. පොඩ්ඩක් බලන්නකෝ

    Like

  9. කෝ? සිංදුවේ නමවත් ලින්ක් එකවත් දාන්න ඉතින්

    Like

  10. Mouse over to මෙන්න මේක…. text in the previous comment.

    Like

Leave a comment