Category Archives: වත්පොත

ජීවිතය කියන්නෙ ෆේස් බුක් නෙමෙයි

ෆේස් බුක් එක.. එහෙම නැත්නම් මුහුණු පොත..

අපි හැමෝගෙම වගේ ජීවිත වල කොටසක් වෙලා.

ඒත්, අපි මොහොතකට කල්පනා කරල බැලුවද අපි උදේ ඉඳන් හවස් වෙනකල් ෆේස් බුක් එකේ ඉඳං මොනවද කරන්නෙ කියල

මං කතා කරන්නෙ ගෑණු පිරිමි මල් පලතුරු ශෙයාර් කරන්න ෆේස් බුක් එන අයවත්, තමා කන කෑම එක.. යන ට්‍රිප් එක ෆොටෝ ගහල දාන්න ෆේස් බුක් එන අයවත් නෙමේ

මං කතා කරන්නෙ දවස පුරා බුකියෙ ඉඳගෙන දේශපාලනය, ආගම, සමාජය ගැන සංවාද කරන අය ගැන

මට හිතෙන්නෙ වර්චුවල් අවකාශයක් වෙච්චි මේ මුහුණු පොතේ කාලය වැය කරමින් අපි වහගන්න හදන්නේ අපේම සැබෑ ලෝකයේ ජීවිත වල තියෙන මොකක් හරි හිස් කමක් කියල

දැන් උදාහරණයකට මාවම ගත්තොත්, ලෝකය දකිද්දි මගෙ හිතට එන අදහස් බෙදාගන්න, කතා කරන්න මට හරියන යාලුවො දෙතුන් දෙනෙක් මගෙ සැබෑ ජීවිතේදි හිටිය නම් බොහෝ වෙලාවට මම ෆේස් බුකියේ දැන් තරම් ඇක්ටිව් ඉන්න එකක් නැති වෙන්න තිබ්බ

මගෙ හිතට එන අදහස් එළියට දාගන්න සැබෑ ජීවිතේ ඉඩක් නැති එක මගෙ ජීවිතේ හිස් කම වෙන්න ඇති. මම ඒ හිස් කම ෆේස් බුකිය හරහා පුරවගන්න හදනව වෙන්න ඇති

ඒ වගේම ඊගෝ කේස් තියෙන අය.. හීනමානයෙන් පෙළෙන අය.. කාලය ගෙවා ගන්න විදියක් නැති අය..

වගේ එක එක ප්‍රශ්න අස්සෙ.. උවමනාවල් අස්සෙ ඉන්න මිනිස්සු මේකෙ ඉඳගෙන උදේ හවස ලෝකෙ වෙනස් කරන්න පොර ටෝක් දෙනව (මමත් ඇතුළුව)

දැන් එහෙම ලෝකෙ වෙනස් කරන ටෝක්ස්.. ලෝකය කියවන ටෝක්ස් අස්සෙ.. අපි අපිවම කියවගන්න එක මඟ හැරිලා වෙන්න ඇති

අපිට සැබෑ ජීව්තේ අම්මෙක් තාත්තෙක්, බිරිඳක්, පෙම්වතියක්, රස්සාවක් තියෙද්දි මේ බුකිය අස්සට කොහොම හරි රිංගන්න දඟලන්නෙ එසේ මෙසේ ලේසි පාසු උවමනාවකට නෙමෙයි කියල මට නම් හිතෙන්නෙ. ඒක අපි තුළ තියෙන අපි හිතනවටත් වඩා ලොකු අවශ්‍යතාවයක් වෙන්න ඇති

එක දවසක් රෑ ලයිට්ගිය වෙලේ ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වුන වෙලාවක මම දැක්ක එක්කෙනෙක් දාල තියෙනව එයාගෙ ගෙදරත් ලයිට් නෑ කියල.  අඩුම ගානේ ලයිට්ගිය වෙලාවෙවත් කාලකණ්ණි වගේ ෆේස්බුක් එන්නෙ නැතුව තමාගේ පවුලේ අය එක්ක කතාබහ කරල හිනා වෙලා ඉඳහල්ලකො කියලා.

ඒ ස්ටේටස් එක දාල තිබ්බෙත් ලයිට් ගිය වෙලේ.. ෆේස් බුක් එකේ..

ලෝකය ගැන අම්බ විචාර දෙන අපි, අපිම මේ ෆේස් බුක් එකේ ඉඳගෙන කරන දේ ගැන කේස් ස්ටඩි එකක්.. විචාරයක් කලොත් ඒ විචාරය මොන වගේ වෙයිද?

දැන් බලන්න මම මේ පෝස්ට් එකෙනුත් කරන්නෙ අපි ගැන හෙණ ටෝක් එකක් ෆේස් බුක් එකටම අත ඇරල දාන එක..

අපි ෆේස් බුකියට ඇබ්බැහි වෙලා ඉන්න එක ගැන මම ටෝක්ස් දෙන්නෙත් ෆේස් බුකියටම ඇවිල්ල

මේ පෝස්ට් එක අස්සෙත් හැංගිලා තියෙන අයිරනිය ඒකයි..

2015 දෙසැම්බර් 14 දිනදී මුහුණු පොතේ පලකරන ලද සටහනකි

ෆේස් බුක් ලයික් වලින් ජීවිත බේරා ගැනීම

“ප්රාර්ථනාව බලසම්පන්නයි ඔබත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න”

තරුණියක් හදිසි අනතුරකට මුහුණ දීම නිසා එකතැන් වෙලා. ඇයගේ පින්තූරයක් එක්ක ශෙයාර් වෙන පෝස්ට් එකක උඩින් දාලා තිබ්බා ඔහොම. පුළුවන් තරම් ලයික් කරන්නලු, ශෙයාර් කරන්නලු, සුවය ප්‍රාර්ථනා කරන්නලු.. එතකොට ඇය ඉක්මනින් සුව වෙයිලු.

මේවට තමයි අධිසදාචාරවාදී දුහුල් සළු වලින් තමාගේ හෙළුව වහගන්න දතකන මැටි වහන්සේලාගේ සුචරිතවාදී ගොන් පාර්ට් කියන්නෙ

මීට ටික කාලයකට කලින් මුලින්ම මම දැක්කේ ඕකේ කතෝලික වර්ෂන් එක.

‘මේ අසරණ දරුවා වෙනුවෙන් ලයික් කරන්න’, ‘ආමෙන් කියල ටයිප් කරන්න’, ‘පිළිකාව එක්ක සටන් කරන මේ දරුවාට ලයික් කීයක් ගන්න පුළුවන් වෙයිද?’

කිය කිය දෙවියන්ගේ අවධානය අරගෙන දෙන්න ෆේස් බුක් ලයික් බොත්තම පාවිච්චි කරන්න හදනවා මොළේ කළඳක් නැති මෝඩ මන්දබුද්ධිකයො ටිකක් වගේ.

දෙවියන්වහන්සේයි ජේසුයි දෙපැත්තට වෙලා ලැප් ටොප් දෙකක් ඇරගෙන ෆේස් බුක් එක දිහා බලන් ඉන්නව ඇති ලයික් ගාන ගණන් කර කර

චේතනාව හොඳ ඇති. ඒක ඇත්ත. නමුත් මේ විකාර වලින් කරන්නේ තමා කිසිම කෙනෙක්ට කිසිම විදියකට උදව්වක් නොකරන ගමන්.. උදව්වක් කලාය කියල හිත සනසගන්න එක. තමා විසින් තමාගේම පිටට තට්ටු කරගෙන ‘උඹ මාර හොඳ මිනිහෙක්’ කියල කියවගන්න එක.

හවසට ගෙදර ඇවිදින් ෆෑන් එක ඉස්සරහා වාඩි වෙලා ලැප් ටොප් එකත් දාගෙන ඒකේ ඉඳන් ලයික් බොත්තම ඔබ ඔබ, ශෙයාර් බොත්තම ඔබ ඔබ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ක්‍රමයක් තියෙනවා කියල කියන ෆේස් බුක් පෝස්ට් දකිද්දි කොච්චර නම් ආතල්ද?

කොච්චර නම් ලේසියිද මනුස්සයෙක්ව වැටිල ඉන්න තැනින් ගොඩ ගන්න.. ලයික් එකක් දාන්න විතරයි තියෙන්නෙ. ආමෙන් කියන්න විතරයි තියෙන්නෙ.. ප්‍රාර්ථනාවක් කරන්න විතරයි තියෙන්නෙ.

ඔන් ද ස්පොට් බඩු බනිස් වෙලා ඔක්කොම ලෙඩ රෝග සුවපත් වෙනවා, ලෙඩ්ඩු හොඳ වෙනවා, කොරු ඇවිදිනවා, අන්ධයන්ට පෙනීම ලැබෙනවා, පිළිකා සනීප වෙනවා.. හරිම ජොලි වැඩේ !

මනුස්සයෙක්ට කරන්න මීට වඩා බූරු වැඩ තවත් තියෙනවද?

කාටවත් සතපහක උදව්වක් නොකරම උදව් කලා කියල හිතාගෙන සැනසෙන එක.. එහෙම උන්ට කියන්න තියෙන්නේ අර මර්වින්තුමා කියපු කතාවම තමයි

“අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්….”

ලයික් වලින් ජීවිත බේරගන්න හදන එඩිතර කරුණාබර දයාවන්ත ගොං යක්කු !

එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න !

ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති විඳින්න පටන් අරන්.

සීමා රහිත ඩිජිටල් ලෝකයක සීමා රහිත නිදහසක් භුක්ති විඳින ගමන් ඔවුන් ඩිජිටල් ලෝකයක් තුළ වැරදි කරන්න අරගෙන. ඒ වැරදි කැමරා, ජනමාධ්‍යය, සමාජ ජාලා ඔස්සේ රූපමය විදිහට, හඬපට විදිහට, ඡායාරූප විදිහට, වචන විදිහට සයිබර්ගත වෙන්න අරගෙන.

ඒ අවකාශය තුළම කල්ලි ලෙස සංවිධානය වෙමින් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පටන් අරගෙන.

ඒ සියලුම දේවල් බොහෝ විට නැති කරන්න බැරි, වෙනස් කරන්න බැරි දත්ත විදිහට ගබඩාවෙන්න අරගෙන.

සමාජය විසින් සභ්‍යත්වය සහ ශිෂ්ඨත්වය කියන බැමි වලින් බැඳල තියෙන සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි අදහස් සයිබරය නම් වර්චුවල් රියැලටියේදී කිසිම බයක් සැකක් නැතුව නිදහස් කරල දාන්න මේ දෙපිරිසම පෙළඹිලා.

සැබෑ ජීවිතයේදී දැඩිලෙස විවේචනයට ලක් වෙන හැසිරීම් වල කිසිම බයක් සැකක් නැතුව සයිබරයේදී නිරත වෙන්නෙ ඒ අනුවයි.

සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන.

තමාගේ ජීවිතයේ සිද්ධ වුන වැරැද්දක්, අතපසුවීමක්, මෝඩකමක්, අවාසනාවන්ත සිද්ධියක් සිය කැමැත්තෙන් හරි නොදැනුවත්වම හරි සයිබයෙන් කෙළවර වුන ඒ වැරැද්දේ උරුමක්කාරයා හොය හොය යන්නේ වෘකයෙක් ගොදුරක් හොයා යනවා වගේ.

මහ පොළවෙදි කෙනෙක්ගේ මුහුණට කියන්න බැරුව හිර කරගෙන ඉන්න දේවල් වර්චුවල් රියැලටිය යොදාගෙන ඔවුන් නිදහස් කරගන්නවා. විශේෂයෙන්ම නළු නිළියන්, සැබෑ ජීවිතයේදී තමාගෙන් දුරස් වූ සමාජයේ කැපි පෙනන චරිත වටා රොක් වෙමින් සයිබරයේදී රිසි සේ තම සිතැඟි ඉෂ්ඨ කරගන්නවා.

කාලයකට පෙර තරුණ පිරිස් කණ්ඩායම් විදිහට හවසට ගමේ බෝක්කුවක් ළඟ එක් රැස් වෙලා එතැන පසුකර යන මිනිස්සුන්ට, කාන්තාවන්ට, තරුණියන්ට උසුළු විසුළු කලා වගේම ඒ අවශ්‍යතාවයම අද සමහර පිරිස් හවසට සයිබර් බෝක්කුවක කල්ලි ගැසී සිදු කරගන්නවා.

නමුත් සයිබර් බෝක්කුවෙන් මිනිස් ජීවිත වලට ඇතිකරන බලපෑම ලේසියෙන් නැති වෙලා යන එකක් නෙමේ.

සයිබරයේදී අදාල තැනැත්තා/තැනැත්තිය පීඩනයට පත් වෙන්නේ මුළු සමාජයක් ඉදිරියේ. ඔවුන් මුහුණ දෙන දේ දත්ත වශයෙන් ගබඩා වෙනවා. බොහෝ විට ජීවිත කාලයකටම. සයිබරයේ උසුළු විසුළු කරමින් ගන්නා සතුට මේ වෘක කල්ලි වලට තාවකාලික වුනත් පීඩනයට පත් වන පුද්ගලාගේ සැබෑ ජීවිතයට ඉන් ඇතිවන්නේ සුළුපටු බලපෑමක් නෙමේ.

පසුගිය වසරේදී මුහුණු පොතේ සිය ඡායාරූපයක් පල වූ වරදට(?) තමාගේ පාසැලේ විදුහල්පතිතුමා විසින් මුළු පාසැල ඉදිරියේම ප්‍රසිද්ධියේ අපහාස කරල දඬුවම් කිරීම නිසා ඇති වුන ලැජ්ජාව සහ සිත් තැවුල හේතුවෙන් සියදිවි හානිකරගත් අහිංසක පාසැල් ශිෂ්‍යාව වෙනූෂා පිළිබඳ මතකය මෙතනදි අවධි කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී ඒ අසරණ දැරියට සිදුකල අසාධාරණය වෙනුවෙන් විදුහල්පති තුමාට එරෙහිව සමාජජාලා වල ක්‍රියාකාරීන් මහා හඬක් නැඟූබවද ඔබට මතක ඇති.

අහිංසක වෙනූෂාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරපු, ඇයට අපහාස කරපු විදුහල්පතිට විරුද්ධ වුන ඒ සයිබරයේම, ඒ සයිබර් ක්‍රියාකාරීන්ම මිනිස් ගොදුරු අල්ලාගෙන සයිබරය නම් වේදිකාවට නග්ගල.. සමාජයම ඉදිරියේ ලැජ්ජාවට පත් කරල, අපහාස කරල, මිනිස් හප බවට පත් කරන එක සැබෑම උත්ප්‍රාසයක් නෙමේද? සැබෑම කුහක කමක් නෙමේද?

ඔවුන් සහ ඒ නරුම විදුහල්පතිගේ හැසිරීම වෙනස් වන්නේ කුමකින් ද?

සයිබර් කල්ලි වල උසුළු විසුළු සහ අපහාස නිසා දිවිතොරගත් වෙනූෂාලා ගැන විදෙස් රටවලින් දැනටමත් වාර්තා වෙලා තියෙද්දි අපේ හැසිරීම් ගැන සහ අපේ හැසිරීම් වෙනත් මිනිස් ජීවිත වලට එල්ල කරන බලපෑම් ගැන මීට වඩා සෑහෙන වගකීමකින් කටයුතු කල යුතුයි.

සයිබරයේදී කල්ලි ගැහෙමින් අනිත් මිනිස්සුන්ව අපහාසයට ලක් කිරීම, ලජ්ජාවට පත් කිරීම විනෝදාංශයක් කරගත්, ඒත් හිතන්නට සිහි බුද්ධියක් තවමත් ඉතිරි වෙලා තියෙන අය තමාගේ ක්‍රියාකලාපය ගැන වරක් දෙවරක් නෙමේ සියවරක් සිතාබලන්න ඕනෙ.

මොකද තමාගේ පහත් වින්දනයේ මිල කවදා හරි අහිංසක මිනිස් ජීවිතකට ගෙවන්න සිද්ද වීමේ ඉඩක් තියෙන නිසා.

ඒවගේම තමාගේ හැසිරීම් නිසා අනිත් අයගේ ජීවිත වලට වෙන බලපෑමේ හරි වැරැද්ද ගැන සිතා බලන්න බුද්ධිය මුහුකුරා නොගිය මන්ද බුද්ධිකයන්ගේ මේ සයිබර් කල්ලිවාදයට එරෙහිව සියලුම සයිබර් ක්‍රියාකාරීන් පෙළ ගැසිය යුතුයි.

එහෙම නැතිනම් සයිබර් ක්‍රියාකාරීන් වෙච්චි අපට වෙන්නෙ මේ කාලකණ්ණි විනෝදය නිසා ආයේ නිවැරදි කරන්න බැති වැරැද්දක් වුනයින් පස්සෙ ඒ ගැන කවි, රචනා, සටහන් ලියන්න.

එනිසා සයිබරය නැමති දැලි පිහියෙන් සෙල්ලම් කරන මෙම වඳුරන්ට එරෙහිවීමේ වැදගත්කම පරක්කු වෙන්න කලින් සියල්ලන් තේරුම් ගත යුතුයි.

ලයික් දැමිල්ල



අනේ ඔය යන ගමන් මටත් ලයික් එකක් දාගෙන යන්න.. ලයික්..ලයික්..ලායි..ක්..ලා..ආ…ආ..ඊ..ඊඊඊ…ක්

අප සියල්ලන් දන්නා වත්පොතේ ‘ලයික්’ බොත්තමෙන් සිදුකරන්නේ යම් පෝස්ටුවකට හෝ ඡායාරූපයකට අපගේ කැමැත්ත පළකිරීම වුවද ඒ කැමැත්ත පළකිරීමට තිබෙන ලයික් බොත්තමේ තේරුම් බොහෝමයකි. පහත ඇත්තේ ඉන් කිහිපයකි. පාඨකයන් සතුව වෙනත් තේරුම් ඇත්නම් කමෙන්ට් තීරුවේ සඳහන් කිරීමට මැලි නොවන්න.

අනංග ලයික් – තමා ප්‍රිය කරන ගැහැණු ළමයාට ඇති කැමැත්ත ඇගේ මූණට ගොස් පැවසිමට කොන්ද පණ නැති කෙනෙක් වේ නම් ඇය පෝස්ට්/ෆොටෝ එකක් දමනා තුරු ගල්ඉබ්බෙක් සේ බලා හිඳ පෝස්ට් එක දැමූ පළමු තත්පරයේම දමනා ලයික් අනංග ලයික් නම් වේ. තමා යමෙකුට හිතෙන් ලව් කරනා බව හැඟවීමට මෙම ලයික් වර්ගය යොදාගත හැක.

බලෙන් ලයික් – මේ වර්ගය බොහෝ විට භාවිතා කරන්නේ ගැහැණු ළමුන්ය. තමාගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කල පසු එවෙලේම ලොග් අවුට් වී ගෙදර ඉන්නා අනිත් උන්ව ඇදගෙන විත් උන්ට කියා බලෙන් දමා ගන්නා ලයික් වර්ගය ‘බලෙන් ලයික්’ නමින් හඳුන්වයි. මීට අමතරව දුරකථන ඇමතුම් මඟින් සහ ෆේස් බුක් මැසේජ් මඟින් තම මිතුරු මිතුරියන්ගෙන් බලකොට මෙම ලයික් වර්ගය ලබා ගත හැක.

පණ්ඩිත ලයික් – මෙලෝ යකෙකුට නොතේරෙන මහප්‍රාණ පෝස්ට් එකක් දුටු විට එය ඔබට තේරෙන බව සියල්ලන්ට පසක් කර දී ඔබ මහා පඬියෙකු බව අන් අයට හැඟවීමට මෙම ලයික් වර්ගය යොදාගත හැක. (අවැසි නම් ‘100%ක් එකඟයි සහෝ’ වැනි කමෙන්ටුවක් දැමීමෙන් ඔබගේ පඬිකම වඩාත් තහවුරුවේ)

මිත්‍රශීලී ලයික් – මෙම ලයික් වර්ගය තමා යමෙක් ගැන ඇති කුළුපග බව හැඟවීමට යොදාගතහැක. තමාගේ යාලුපිට් එක වැඩි කර ගැනීමට නම් මිතුරා දමන ඕනෑම මන්දබුද්ධික පෝස්ටුවකට හෝ සඟ දැමූ රිලාමොටෙකු සේ සිටින ඕනෑම ෆොටෝ එකකට වුවද නොපැකිල ලයික් කිරීමට අමතක නොකරන්න.

රැල්ලට යන ලයික් – යම් පෝස්ට් එකක් බුකියේ හැමෝම හිටු කියා ශෙයාර් කිරීම නිසා හෝ හිටු කියා ලයික් කිරීම නිසා තමාද ලයික් කිරීම මේ නමින් හඳුන්වනු ලැබේ.

අනේ සුවීට් ලයික් – බල්ලෝ/පූසෝ/හූනෝ/හැකරැල්ලෝ/මීමින්නෝ/මල්/පාසි/පෙඳ වැනි ෆොටෝ වලට කෙල්ලන් දමනා ලයික් මේ නමින් හැඳින්වේ.

පැණි ලයික් – සාමාන්‍ය ගැහැණු නමකින් හෝ ‘මෝඩ එළුච්චි’ වැනි නමකින් ඇති ප්‍රරොෆයිලයකින් අප්ලෝඩ් වන ඕනෑම පෝස්ට් එකක් හෝ නාද්දි, කද්දි, බොද්දි, රෙද්දි ගසා දමන ඕනෑම ෆොටෝ එකක් වටා ඇඹලයෝ සේ රොක් වෙමින් දමන ලයික් පැණි ලයික් නම් වේ.

බලු ලයික් – තමා සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නවතා දැමූ එක්ස්-පෙම්වතිය පසුපස බල්ලෙක් සේ යන පොරක් නම්, ඒ කෙල්ලගේ ෆොටෝ වලට ලයික් දමා ‘කවදාවත් නැ අපි හමු වන්නේ ..මට යන්නට බැ මතකෙන් ඔබගේ ‘ යන පණිවිඩිය ලබා දීමට බලු ලයික් වර්ගය භාවිත කල හැක.

අමතක නැති ලයික් – තමා කාලයක් හමුනොවූ මිතුරෙක්ට ඔහු/ඇය ගැන තවමත් තමාට අමතක නැති බව හැඟවීමට මෙම ලයික් වර්ගය ප්‍රයෝජනවත් වේ.

අපි ගේම නෑ ලයික් – කාලයක් තිස්සේ බුකියේ මරාගත්ත සතුරෙක් වේ නම්, හෝ හිත යටින් තරහා බුකියේ යමෙක් වේ නම් ඔහුගේ පෝස්ට් වලට ලයික් දමා ශේප් න්‍යාය අනුගමනය කිරීමෙන් “අපි ගේම නෑ” යන මැසේජ් එක දීම උදෙසා මේ ලයික් වර්ගය භාවිතා වේ.

උඹට එකයි මට එකයි ලයික් – මෙම ලයික් වර්ගය වැටෙන්නේ සහයෝගයෙන් ගසා ගන්නා නොනිල ‘ පිටකසා ගැනීම්’ නැමැති ගිවිසුම් යටතටය. උඹ මගේ ඒවට ලයික් දාහන්, මම උඹේ ඒවට ලයික් දාන්නම්.. යනු ඒ ගිවිසුම වේ. දෙතුන් වතාවක් ක්‍රියාත්මක කල පසු දිගටම පවත්වාගෙන යා හැක

කට උත්තර නැති ලයික් – බුකියේ ඇතිවන විධද්ද, අතිපණ්ඩිත, බරපතල සංවාද වලදි අනෙකා විසින් තමාට කටඋත්තර නැති වන සේ දිග හෑල්ලක් කොටා පෝස්ට් එකක් දැමූ විට “මම ලයික් එකක් දැම්මා. පස්සේ උත්තර දෙන්නම්” කියා සොයා ගත නොහැකි සේ අතුරුදන්වී සිය ආත්මගරුත්වය බේරා ගැනීම උදෙසා මෙම ලයික් වර්ගය භාවිත කල හැක.

හැමෝටම ලයික් – කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හැමෝගෙම හැම මළදානෙටම ලයික් දැමිල්ල ‘හැමෝටම ලයික්’ නමින් හැඳින්වේ.

සිරා ලයික් – මේ සියල්ලටම අමතරව තමා යම් දෙයක් ඉගෙනගත්, සැමට ප්‍රයෝජනවත්, මින් පෙර නොසිතූ අලුත් අදහසක්, හිතට වැදුන සිරා පෝස්ට් වලට දමන ලයික් හඳුන්වන්නේ මේ නමිනි

මෙහි සඳහන් වන්නේ ලයික් දැමීම මිස ලයික් ගැනීම ගැන නොවේ. ලයික් ගැනීම මීට වඩා සෑහෙන සංකීර්ණය. එය පසුවටය. 😉