Category Archives: පිරිමි/ගැහැණුකම

මම ගණිකාවක් නෙමේ; ලිංගික බඩුවක්. අවුල්ද?

මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්කරු විශ්වාස කරයි.  යමෙක් උසස් හෝ පහත් යැයි වෙන කළ යුතු වන්නේ එම තැනැත්තාගේ ක්‍රියාවෙන් මිස උත්පත්තිය අනුව නොවේ.

එය එසේ වුවත් ලෝකය කෙතරම් දියුණු යැයි සැළකුවත්, ඈත අතීතයේ සිට වත්මන දක්වාම; තවමත් ලෝකයේ ආර්ථිකය සහ පරිපාලනය සහමුළින්ම පාහේ හසුරුවන්නේ පිරිමියා විසිනි. මෙම කාරණාව ඉතාම හොඳින් තෙරුම් ගෙන ඇත්තේ වෙළඳ ප්‍රචාරකයන්, අලෙවිකරුවන් සහ ඔවුන් විසින් හසුරුවන ලබන (ජඩ) මාධ්‍ය විසිනි. පුරුෂයා සහ පුරුෂ ලිංගය පිනවීම මූලිකවූ වෙළඳ පොළ හැසිරෙන අන්දම පිළිබඳ හසල දැනීමක් ඇති මොවුහු ඉතා සූක්ෂ්මව සහ කල්පනාකරීව තම පණිවිඩය ස්ථානගත කිරීමට දනිති.

මෙහිදි බොහෝ විට සිදුවන්නේ කාන්තාවක (හෝ පුරුෂයෙකුව) මනුෂ්‍යයෙක් ලෙස ස්වභාවික තත්ත්වයෙන් සැළකීම වෙනුවට විරුද්ධ ලිංගිකයන් හට සිය ලිංගික සතුට ලබා ගැනීමේ මෙවලමක් (object) ලෙසට ප්‍රතිනිර්මාණය කිරීමයි (objectification). මෙම ලිංගික මෙවලම්කරණය (sexual objectification) මඟින් පිරිමියා හට කාන්තාවගේ කැමැත්ත ඇත්තේ මෙවැනි පිරිමියෙකුට යැයි ඒත්තු ගන්වති (“No woman ever says no to Winchester”), කාන්තාව හට පිරිමියාගේ කැමැත්ත ඇත්තේ මෙවන් කාන්තාවකටයැයි ඒත්තු ගන්වති.

පෙර පැවසූ ලෙසින් වෙළඳ පොළ ප්‍රධාන ලෙසම හැසිරෙන්නේ (සහ හසුරුවන්නේ) පිරිමියා පිනවීමට බැවින් “බොහෝ විට” ඔවුනගේ ප්‍රචාරණ ව්‍යාපෘති වල මෙසේ ලිංගික මෙවලමක් බවට පත් වන්නේ කාන්තාවයි.
මෙයට සරල උදාහරණ ලෙසින් පසුගිය සමයේ අතිශයින් ජනප්‍රිය වු බටහිර ගීත වල රූප රචන (සහ පද රචනා) සළකා බලන්නැයි මම ඔබෙන් ඉල්ලමි. රොබින් තික් ගේ “Blurred lines” (youtube නැරඹුම්: මිලියන 395) , නිකි මිනාජ් ගේ “Anaconda” (youtube නැරඹුම්: මිලියන 470), ජෙනිෆර් ලෝපෙස් ගේ “Booty” (youtube නැරඹුම්: මිලියන 138)  සහ පිට් බුල්ගේ බොහොමයක් සිංදු මඟින් කාන්තාවගේ නිරුවත සහ ලිංගිකත්වය සිල්ලර ලෙසින් අලෙවි කරන ලදි. මෙම රූප රචනා youtube මඟින් තමා වයස 18 වැඩි බවට දැක්වීමෙන් ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි නිසා, පරිපූර්ණ කාන්තා ශරීර සහ පහත් ලිංගිකත්වය මඟින් නව යොවුන් වියේ පසුවන දරුවනගේ මනසට ලබාදෙන පණිවිඩයද සුබදායක නැත.

(බ්ලොග්කරු විශ්වාස කරනා ලෙසට නිරුවත සහ ලිංගිකත්වය යනු මහා රාත්‍රියේ බිංගෙයක් ඇතුලේ මුළු ලෝකයටම හොරෙන් සැඟවිය යුතු, මඩෝල් දූවේ ඉස්කෝල මහත්තයා මෙන් මඟ හැර ගිය යුතු මහා කුණුහරපයක් නොවේ. එහෙත් එය කලාව, සංගීතය, වෙළඳ ප්‍රචාරණය සහ ක්‍රීඩාව වැනි සෑම දෙයකටම සම්බන්ධකරගෙන බලෙන් ඔබ්බවා උත්කර්ෂයට නැංවිය යුතු මහා මැජික් එකක්ද නොවේ.)

මෙම මානසික බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් යෞවනියන් විසින් පරමාදර්ශී ශරීරය සහ ගතිගුණ හිමි ඇත්තිය වීමට උත්සාහ කරන අතර යෞවනයින් විසින් එවන් කෙනෙකු සිය පෙම්වතිය සේ සොයයි. එම පරමාදර්ශී සුරූපී, කාමුක චරිතය වීම යෞවනියකට ජයග්‍රහණයකි. එවන් යෞවනියක් පෙම්වතියක් කරගැනීම යෞවනයෙකුට ජයග්‍රහණයකි.

ඇමරිකාවේ දරුවන් ආශ්‍රිතව තමන් වයසින් වැඩුනු පසු නියැලීමට අපේක්ෂා කරන රැකියාවන් සම්බන්ධව කරණ ලද සමීක්ෂනයකදී, වයස 10 අඩු දරුවන් ස්ත්‍රී සහ පුරුෂ වෙනසකින් තොරව එක හා සමාන රැකියා සඳහන් කරන ලද අතර,  වයස 13 ~ 18 කාණ්ඩයෙන් ගැහැණු දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරූපණ ක්‍රේෂ්ත්‍රය තම සිහින රැකියාව ලෙසින් සළකුණු කරද්දි පිරිමි දරුවන්ගෙන් වැඩි පිරිසක් ක්‍රීඩා කේෂ්ත්‍රයට අදාල රැකියාවක යෙදීම තම කැමැත්ත ලෙස දක්වන ලදි.

වෙනත් සමීක්ෂණයක දැක්වුනේ කුඩා දැරියන් දස දෙනෙකුගෙන් සත් දෙනෙකු (7/10) විද්‍යා විෂය ප්‍රිය කළත් ඔවුන්ගෙන් සැබෑ ලෙසම විද්‍යාව හදාරන්නේ දස දෙනෙකුගෙන් දෙදෙනෙකු බවයි (2/10).  එසේ පැවසීමට හේතුව ලෙසින් ඔවුන් දක්වන්නේ මාධ්‍ය මඟින් විද්‍යාඥයන් ලෙස බොහෝ විට දක්වන්නේ පිරිමි චරිත නිසා විද්‍යාව “පිරිමින්ගේ දෙයක්” (boys thing) ලෙස සළකන බවයි.

පිරිමියා ප්‍රියකරන්නේ මෙවැනි කාන්තාවන් යැයි මාධ්‍ය මඟින්ම උගන්වන සිහින් සිරුරැති, පිරිණු පියයුරු ඇති, පුළුලුකුලක් ඇති කාන්තාවන් උදේ හවා මාධ්‍ය මඟින් පොදු සමාජයේ මනස වෙත දමා ගසමින් සිටිති. විද්‍යාවෙන් වෙන්වී යන යෞවනියන් සිය පරමාදර්ශී චරිත (role models) බවට පත් කරගන්නේත්, සිහින කුමරියන් කරගන්නේත් මාධ්‍ය මඟින් දමා ගසන මෙම ප්‍රතිරූපයන්ය (“තරු”).

මෙම “තරු” මාධ්‍ය ඉදිරියට පැමිණ තම ශරීරයන් තමාට අවැසි අකාර වලට භාවිත කිරීමේ නිදහස (choice) සහ එලෙස භාවිත කිරීමේ අරුමය විස්තර කරයි. මෙම සුළුතර පිරිසගේ කතා මාධ්‍ය මඟින් අසා සිටින බහුතරයක් වන සාමාන්‍ය යෞවනියන්ද සිහින මවන්නේ ඔවුන් සේ නිදහස් වන්නටය. තමාගේ ශරීරය තමාට ඕනෑ සේ පාලනය කරන්නටය.

පොදු සමාජය විසින් සිය සාර්ථකත්වය තිරණය කෙරෙන ප්‍රධානතම මිම්මක් ලෙස තම ශරීරය භාවිත කරන සහ මෙය මෙසේ යැයි ප්‍රචාරක ව්‍යාපෘතීන් මඟින් මනසට කාවද්දන සන්දර්භයක් තුළ යෞවනියෝ ස්ව කැමත්තෙන්ම එම ගෞරවය සහ සැලකිල්ල ලබා ගැනීමට තමා ලිංගික මෙවලමක් ලෙස විරුද්ධ ලිංගිකයින්ට ඉදිරිපත් කිරීමට පෙළඹෙති සහ එය ලඟා කර ගැනීමට මහන්සි ගනිති. ආලේපන තට්ටු පිට තට්ටු මුහුණේ උලන්නේ එබැවිනි, (බටහිර රටවල) ප්ලාස්ටික් සැත්කම් මඟින් ඇහිබැමි, දෙතොල්, පියයුරු, නිතඹ වැනි ශරීරාංග වෙනස් කරගැනීමට තරුණියන් පෙළඹෙන්නේ මෙහි ප්‍රතිපල ලෙසිනි. මාධ්‍ය මෙහෙයවන්නන් විසින් නිර්ණය කරන ලද පරිපූර්ණ ශරීර (perfect body) තමා සතු නොවීම නිසා බටහිර රටවල යෞවනියෝ මානසික රෝග වලටද ලක් වෙති.

මේ නිසා පොදු සමාජය තුළ ගැහැණියකට වත්මනේ සැලකිලි සහ අවදානය ලබා දෙන්නේ ඇයගේ අනන්‍යතාව, ගතිගුණ, අධ්‍යාපනය, ආකල්ප, ජයග්‍රහණවලට අනුව නොව ඇයගේ ශරීරය මඟින් විරුද්ධ ලිංගිකයින්ගේ ඇස් පිනවීමට ඇති හැකියාවටය. පෙර ලිපියකින් පැවසූ පරදි කිසිදු සුවිශේෂි කලා හැකියාවක් නොමැති කිම් කාඩැශියන් බටහිර සමාජය තුළ “චරිතයක්” එසේත් නොමැතිනම් “තරුවක්” වන්නේ මේ සන්දර්භය තුළය.

තම නිදහස ගැන පරම්බාන එම “තරු” වෘතිමය ලෙස සිය ලිංගිකත්වය විකුණති. වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් වලට පෙනී සිටිති, වෙළඳ සන්නාම ප්‍රවර්ධකයන් (brand ambassadors) වෙති , මුදල් උපයති, සුඛෝපභෝගී ජිවිත ගත කරති. සරලවම ඔවුන් විසින් කරනු ලබන්නේ ඔවුන්වම ලිංගික මෙවලම් සේ භාවිත වන සමාජ ක්‍රමයක මිලියන ගණනින් කෙරෙන ව්‍යාපාර වලට සිය කැමැත්තෙන්ම තමාවම විකිණීමයි.
එක් අතකට ඔවුන් අත්විඳින්නේ සිය ශරීරය තමාට ඕනෑ විදිහට භාවිතා කිරීමේ (විකිණීමේ) පුද්ගල නිදහසයි (personal choice) .

“පුද්ගල නිදහස” පිළිබඳව සාකච්ඡා කිරීමේදි ඉන්දියාවේ දීපිකා පෝඩුකෝන් නම් නිළිය විසින් “වෝග්” ආයතනය වෙනුවෙන් සිදු කළ “My Choice” (මගේ නිදහස) ව්‍යාපෘතියට ඔබගේ අවදානය යොමු කිරීමට මම කැමැත්තෙමි. කාන්තාවන් 99 දෙනෙකු තමන්ගේ අයිතිය හෝ නිදහස පිළිබඳව විවිධාකාරයෙන් දක්වන අදහස් සමූහයක එකතුවක් “My Choice”  විඩියෝවෙන් දැක්වේ.

මෙම ව්‍යපෘතිය තුළ (මෙම ලිපියේ ඉහළින් දක්වු පරිදි) දීපිකා පොදුකෝන් විසින් විස්තර කරණු ලබන්නේ ඇයගේ නිදහසයි, ඇයගේ අයිතියයි (#mychoice).

දීපිකා පොදුකෝන් හට කියවන්නට ලියාදෙන පිටපතේ ඇති පරිදි, ශරීරය නිරාවරණය කර ගැනීම හෝ ආවරණය කර ගැනීම ඇයගේ අයිතියයි (#mychoice), කවුරුන් සමඟ ලිංගිකව එක්වන්නේද නැතිද යන්න ඇයගේ අයිතියයි (#mychoice), විවාහ වීම හෝ නොවීම ඇයගේ අයිතියයි (#mychoice).

ගැහැණියක වේවා පිරිමියක වේවා කවරෙකුගේ පුද්ගල නිදහස හෝ අයිතිය පිළිබඳව කිසිදු විවාදයක් හෝ ප්‍රශ්නයක් බ්ලොග්කරුට නැත. ප්‍රශ්නය වන්නේ දීපිකාලා පවසන “මගේ නිදහස” සහ සැබෑ ඇගේ ” මගේ නිදහස” යන දෙක එකක්ද යන්නයි. සැබෑ ඇයට ඇති මූලීකම ප්‍රශ්නය විවාහයට පිටින් ලිංගිකව එක්වීමට නොහැකිවීම, ඕනෑම වේලාවක ගෙදරට පැමිණීම, ඕනෑම කෙනෙකු සමඟ යහන් ගතවීමට වඩා, තමාව ලිංගික මෙවලමක් (sex toy) ලෙසින් නොව, යන්ත්‍රයක් (washing machine, cooker) ලෙසින් නොව, වෙළඳ භාණ්ඩයක් (show room material) ලෙසින් නොව හැඟීම් දැනීම් ඇති තවත් එක් මනුෂ්‍යයෙකු ලෙසින් පිළිගැනීමක් ලැබීමයි.

එසේම දීපිකාලා දැන හෝ නොදැන ඉටු කරමින් සිටින්නේ ඇයව මෙහෙයවන මාධ්‍ය මුදාලිලාගේත්, අලෙවිකරුවන්ගේත් “My Choice” එක මිස දිනපතා දුක් විදිවිදින සැබෑ ඇගේ “My Choice” එක නොවන බව බ්ලොග්කරුගේ පුද්ගලික අදහසයි.

සිය පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකරගැන්ම උදෙසා අමු අමුවේ පෙනී සිටීම (කඩේයාම), සිය රටේ ජනතාවගේ කඳුළු ඔවුන්ටම විකිණීම, නීති විරෝධී ව්‍යාපාර මඟින් සරි කරගත් කළු සල්ලි සුදු කර ගැනීම, මුදල් උදෙසාම අවර ගණයේ නිර්මාණ විකාශනය කරමින් රසාඥතාවන් මොට කිරීම යන කරුණු වලට දැනටමත් වගකිව යුතු අසික්කිත ශ්‍රී ලාංකික ජඩ මාධ්‍යයන්ද ක්‍රමයෙන් ප්‍රේක්ෂක අවදානය ලබා ගැනීමේ පහත් උපක්‍රමයක් ලෙසින් කාන්තා නිරුවත විකීණීමද ආරම්භ කොට තිබෙනු ඉතාම මෑතකදි බ්ලොග්කරු විසින් කරණු ලැබු නිරීක්ෂණයක් (බ්ලොග්කරු රූපවාහිනි රසිකයෙකු නොවන නිසා පෙර සිදුවීම මඟහැරී යන්නට ඉඩ තිබේ.)

මෙම ක්‍රියාව සිදුවන්නේ වැඩසටහන් ඉදිපත් කරන්නියන් හට කලවා නිරාවරණය වන පරිදි කෙටි ඇදුම් අන්දවා ඔවුන් අසුන් වල හිදුවා කලවා වඩ වඩාත් නිරාවරණය වන පරිදි කැමරා කෝණයන් ලබා ගනිමින් ඉතාමත් සිල්ලර මට්ටමිනි. මෙය වරක් දෙවරක් සිදුවන්නක් නොවන් සිතාමතා සතිපතා සිදුවන්නක් බව බ්ලොග්කරුගේ නිරීක්ෂණයයි. උදාහරණ ලෙසින් “Derana Music Online (Yureni)”, “Derana Tea Party with Nehara”, “Hiru TV Niro and the Stars” වැනි වැඩසටහන් දැක්විය හැකිය.

සමහරක් විට මෙම වැඩසටහන් වලට ලිංගිකත්වය උලුප්පමින් පෙනී සිටිම වෙනුවෙන් යුරෙනී නොශිකාට, නෙහාරා පීරිස්ට හෝ නිරෝෂා පෙරේරාට අදාල නාලීකාවලින් ගෙවන්නේ ඉතා ඉහළ මිළක් වන්නට පුළුවන. සමහරක් විට යුරේනී, නෙහාරා හෝ නිරෝෂා එසේ පෙනී සිටින්නේද එය දැන දැන ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් වන්නටද පුළුවන. එනයින් බලන කළ එහි සිදුවන්නේ වෙළඳ පොළේ සිදුවන වෙළඳ ගණුදෙනුවකි.
සරලවම පවසන්නේ නම් තමන්ගේ කලවා හෝ යටි ඇදුම ලෑල්ලේ දමා විකිණීම;

  • යුරේනීගේ choice එකකි “My Choice”
  • නෙහාරාගේ choice එකකි “My Choice”
  • නිරෝෂාගේ choice එකකි “My Choice”

එම “තරු” වල “My Choice” ගැන බ්ලොග්කරුට විවාදයක් හෝ තර්කයක් නැත. ඔවුන්ද කෙසේ හෝ ජීවත් විය යුතුය.

යුරේනී, නෙහාරා හෝ නිරෝෂාගේ කලවා ලෑල්ලේ දමා විකුණා (ජඩ) මාධ්‍යක් මඟින් මුදල් හම්බකර ගැන්මට බ්ලොග්කරු එරෙහි වන්නේ,  පිරිමියාගේ පුරුෂ ලිංගයට ලේ කාන්දු වීම පිණිස ගැහැණිය හසුරුවා, ඇය ලිංගික මෙවලමක් බවට පත් කර තිබීමේ පදනමිනි, මෙම “තරු” තම පරමාදර්ශ කරගෙන විද්‍යාව අතහැර අවිද්‍යාව වැළඳගන්නා දැරියන් පිළිබඳව උපන් සංවේගයෙනි.

විද්‍යාව අතහැරීම හෝ අවිද්‍යාව වැළඳ ගැනීම එම දැරියන්ගේ “My Choice” එකක් බව පිළිගැනීම හැර වෙනින් “choice” එකක් අවසානයේදි බ්ලොග්කරුට ඉතිරිවී නැත.

ලිව්වේ – මාලන් සහ ජේමිස් බණ්ඩා

චීත්තයක් වෙන්න එපා යකෝ

“චීත්තයක් වෙන්න එපා යකෝ”

ඕපදූප කියන හරි ‘ගෑණු වැඩ’ කියල සම්මත වෙච්චි වැඩ කරන හරි පිරිමින්ට ඔහොම කියනව අහල ඇති.

මේ කතාව පිරිමින් විසින් පිරිමින්ට විතරක් නෙමේ, ගැහැණුන් විසින්ම පිරිමින්ටත් කියනව.

මේකෙන් කියවෙන්නෙ ඕපදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය, පිරිමියෙක් වෙලත් (ඒ කියන්නෙ සාපපේක්ෂව පහත් ඒ ගෑණු ලක්ෂණය නැති කෙනෙක් වෙලා ඉපදිලත්) ඒ ලක්ෂණය තියෙන ‘ගෑණියෙක්’ වගේ හැසිරෙන්න ලැජ්ජ නැද්ද කියන එක.

ගැහැණියක් මේවගේ කතාවක් පිරිමියෙක්ට කියද්දි ඒ කතාව ඇතුලෙ හැංගිලා තියෙන දේ පොඩ්ඩක් හිතන්න.

“ගෑණියෙක් වෙන්න එපා මිනිහෝ, ලැජ්ජ නැද්ද?!”

ගැහැණියක් විසින් පිරිමියෙක්ට තමාගේ ගැහැණු කම ආරූඩ කරලා, ඒ ගැහැණුකමින් දමලා ගහනවා පිරිමියාට අපහාස කිරීමේ අරමුණින්.

මෙතනින් කාරණා දෙකක් කියවෙනව

එකක්, පිරිමියා කියන කෙනා ස්වභාවයෙන්ම ගැහැණියට වඩා උසස්ය, ඒ උසස් පිරිමියා ගැහැණියගේ කියල සම්මත වැඩ කරල ගැහැණියකට සමාන වෙන එක පිරිමියා විසින් තමන්ට කරන අපහාසයක්ය කියන කාරණය

දෙවනි එක, ගැහැණියක් විසින් පිරිමියෙක්ට මේවගේ වචන සෙට් එකකින් දමල ගහද්දි ඇය දැනුවත්ව හරි නොදැනුවත්ව හරි තමාගේම ‘ගෑණුකම’ තව කෙනෙක්ට (හෙවත් පිරිමියාට) අපහාස කරන්නම යොදාගන්නවාය කියන එක

(ගත්ත උදාහරණයෙන් කියවෙන්නෙ ඕපාදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය කියල. ඔය ෆේස් බුක් පේජ් හදාගෙන හැමෝගෙම ජීවිත විකුණ විකුණ ලයික් හිඟාකන්නෙ ඔක්කොම ගෑණු වෙන්න ඇති?)

මේ ලිංගිකත්වය හා බැඳුන භූමිකා අපේ හිත් වල කොයිතරම් තදින් මුල් බැහැලද කියනව නම් ගැහැණියකට සමාන කිරීම පිරිමියා සලකන්නේ තමාට කරන අපහාසයක් විදියට. තමාගේ සෝ කෝල්ඩ් ‘පිරිමිකමට’ කරන අභියෝගයක් විදියට. ඒ අතින් ගැහැණියකට වඩා පිරිමියෙක්ට තියෙනවා ලොකු පීඩනයක්, ඒ තමා උපතින් තමාට හිමි වෙච්චි ගැහැණියට සාපේක්ෂව උසස් ස්ටේටස් එක හෙවත් පිරිමිකම ආරක්ෂා කරගන්න එක

“ගෑණියෙක් වෙන්නෙ නැතුව මෙහෙ වරෙන් යකෝ”, “පොන්නයෙක් වෙන්න එපා යකෝ..පැනහංකො.. පිරිමියෙක් නේද?”, “කොල්ලෙක් නේද, බත් ටිකවත් ඉවර වෙන්න කන්න බැයිද?”

පිරිමිකම රැකගැනීම අභියෝගය!

යාලුවෝ එක්ක විනෝද චාරිකාවක් ගියාය කියල හිතන්න. එතනදි ඔබට කලින් යන යාලුවෝ පස් දෙනාම අඩි ගණනක් පළල වලක් වටෙන් යන්නෙ නැතුව වල උඩින් පැන්නාය කියල හිතන්න. වල වටෙන් යන්න පුළුවන් කම තියාගෙනත් වල උඩින් පැන්න ඔවුන් කරපු දේ නොකර වඩා සුරක්ෂිත විදියට අනවශ්‍ය අවධානමක් ගන්නෙ නැතුව ඔබ වල වටෙන් යන්න යදද්දිම..

“පොන්නයෙක් වෙන්න එපා යකෝ.. පැනහංකො ගෑණියෙක් නොවී.. ජංගි කෑල්ලක් නොවී පැනහන් යකෝ”

යාලුවො පස් දෙනාම අනිත් පැත්තෙ ඉඳගෙන කෑගහනව. පැහැදිළිවම වටෙන් යන්න පුළුවන්කම තියෙද්දි.. තමාගේ පිරිමිකම අභියෝගයට ලක් වෙලා..

මොකද කරන්නෙ?

මිනිස්සු වුන අපට සමාජය විසින් ලිංගිකත්වය මත පදනම් වුන භූමිකා නියම කරලා ඒ භූමිකාවල් වලට අනුව ක්‍රියාකරන්න, හැසිරෙන්න කියල නියම කරනව. අපි ඒ විදියට හැසිරෙන්නෙ නැති අවස්ථාවලදි අපිට අභියෝග කරනව,පීඩනයට පත් කරනව.

ඊළඟ පාර තමාට ගෑණියෙක් නොවී යමක් කරන්න කිව්වම “මම ගෑණියෙක් නෙමේ, පිරිමියෙක්. ඒත් උඹ වගේ මෝඩයෙක් නං නෙමේ” කියල සුදුසු දේ කරන්න. දෙපාරක් හිතන්න.

ඔය ලණුව කාලා පිරිමි කීදෙනෙක් නම් මොන තරම් ගොං වැඩ කරල ඇද්ද?.. තමාගෙ පිරිමිකම ඔප්පු කරන්න ගිහින් කී දෙනෙක් ඉල්ලං පරිප්පු කාලා ඇද්ද?

ජෙන්ඩර් රෝල්ස් එක්ක එන ඔය පීඩනය, වගකීම, හැමෝම කන ලණුවක්. ඔය ලණුව චුවිංගම් එකක් වගේ හප හප ඉන්නෙ නැතුව දැන්වත් එළියට විසි කරලා දාන්න

තමාගෙ පිරිමිකමට අභියෝගයක් වෙද්දි අවුල් වගේද? අපහාසයක් වගේද?

පිරිමිකමට අභියෝග එල්ල වෙන එක අපහාසයක් විදියට බාර ගන්න එපා. ඒක නෙමේ අපහාසෙ,

තමාගේ පිරිමිකම නැතුව යයි කියල බයට මොළේ කළඳක් නැති මෝඩයෙක් වගේ වැඩ කරන එකයි ලොකුම අපහාසෙ !

නැතුව ගෑණියෙක් වෙලාවත් පිරිමියෙක් වෙලාවත් පොන්නයෙක් වෙලාවත් සමලිංගිකයෙක් වෙලාවත් ඉපදෙන එක නෙමේ.

පිරිමිකමේ අභියෝගය !

අපි නොකිය හිටියට ඔය සෝ කෝල්ඩ් “පිරිමිකම” කියන ස්ටේටස් එක රැකගෙන ඉන්න එක ගෑණුන්ට තියෙන “ගෙදර බුදුන් අම්මා” ස්ටේටස් එක රැකගෙන ඉන්නව තරම්ම අමාරු වැඩක්. ඒ තරමටම සුදුසුකම් සපුරාගෙන ඉන්න ඕන “නියම පිරිමියෙක්” කියන ලේබලය රැකගෙන ඉන්න.
හිතවතෙකුගෙ මරණගෙදරකදි ඇහෙන් වැටෙන කඳුළක් පිටකරගන්න, සංවේදී අවස්ථාවකදි ඒ හැඟීම පිටකරන්න.. විඳින්න, අනතුරක් දැනෙන අවස්ථාවකදි ඉදිරියට එන්න. ගහකට තාප්පයකට නගින්න, හදිසි වලියකදි පෙරමුණ ගන්න..
ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් වගේ නොවෙන්න..
“මොකද බං අඬන්නෙ… කෙල්ලෙක් වගේ”, “අපෝ බං ගහකටවත් නැගගන්න බැරිද? පිරිමියෙක්ද?”, “මොකද බං හැංගෙන්නෙ. පිරිමියෙක් නේද?”, “බීහං යකෝ.. ගෑණියෙක් වගේ කොකා කෝලා බිබී ඉන්නෙ නැතුව”, “නියම පිරිමියෙක් නම් සිගරට් බොන්නෙ නෑ”
පුරුෂලිඟුවක හිමිකාර බවට කරන අහියෝගයක් තුළින් මොළයේ ක්‍රියාකාරීතවය අඩපන කරලා, ඕනම බුද්ධිමතෙක්ට කියලා ඕනම ගොං වැඩක් කරගන්න හිතන තරම්ම අමාරු වෙන එකක් නෑ.
පිරිමිකමේ මහා පවුරට එල්ල වෙන පරම අභියෝගය තමා මෙන්න මේ වචන කිහිපය..
“…පොන්නයෙක් වෙන්නෙ නැතුව !…”
ඔය වචන කිහිපයට පිරිමි මොළයකට කරන්න පුළුවන් බලපෑම සුළුපටු නෑ.
“නෑ නෑ..මම පොන්නයෙක් නෙමේ..මම පිරිමියෙක්.. මගෙ පිරිමිබව ඔප්පු කරන්න මොකක්ද මම කරන්න ඕන !”….ඕක තමා හිත ඇතුලෙන් නැඟෙන පිරිමි කම රැකගැනීමේ උවමනාවේ දෝංකාරය
ගැහැණියකට වගේම පිරිමියාටත් ඒ ජෙන්ඩර් රෝල් එක රඟපාන්න සමාජයෙන් නියම කරන එක පොදුයි. එක අතකට ඔය ‘නියම පිරිමිකම’ කියන ජෙන්ඩර් රෝල් එක සමාජයෙන් ඔටුන්නක් වගේ පැළැන්දෙව්වට ඒක සමාන වෙන්නෙ ඔටුන්නකට වඩා අං තට්ටුවකට..
“පැනහං බං… අනිත් උන්ට පුළුවන් නම් උඹ ඇයි වටෙන් එන්නෙ? පැනහං යකෝ.. පොන්නයෙක් වෙන්නෙ නැතුව”
මොකද කරන්නෙ?
“හරි මචං මං පොන්නයෙක්. නිකන් පැනලා අඬු කඩාගන්න මට ඕන නැහැ. මම පොන්නයෙක් වගේ වටෙන් එන්නම්”
ද?
නැත්නම් පිරිමිකම ඔප්පු කිරීමේ අභියෝගය බාර අරගෙන වටෙන් යන්නෙ නැතුව වල උඩින් පනිනවද?
මොකද කරන්නේ?
ඕකයි පිරිමිකමේ අභියෝගය.. ඕකයි තේරීම..!
ඔබේ පිරිමිකම අභියෝගයට ලක් වුනාම මොකක්ද තෝරාගන්නා තේරීම. මොහොතක් හිතල බලන්න.

බඩුව



“මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?”
කාලයකට කලින් ඇහිච්ච කතාවක්.
බඩුව, වේසි, ගණිකාව.. මේ වචන පාවිච්චි කරල නැති කෙනෙක් මේ සටහන කියවන අය අතර නැහැයි කියල ඔට්ටුවක් උනත් අල්ලන්න බැරි කමක් නැහැ.
ලේ, ඇට, මස්, නහර වගේම සතුට, කඳුළ, දුක, බලාපොරොත්තු වලින් නිර්මාණය වුන මනුස්සයෙක්ට බඩුව වගේ වචනයකින් ආමන්ත්‍රණය කරද්දිම ඒ මනුස්සයාව අමානුෂීකකරණයට (dehumanize) ලක් වනවා. ඒ වගේ වචනයකින් ප්‍රකාශ කෙරෙන්නේ මනුෂ්‍යයෙකු ගැන හැඟීමක් වෙනුවට මෙවලමක් ගැන හැඟීමක්.
සමාජයෙන්ම නිර්ණය කරන මේ ‘හොඳ කෙල්ල’ කියන චරිතයෙන් ‘බඩුව’ වෙනස් වෙන්නේ කොහොමද කියන එක හිතල බලන්න වටින කාරණයක්.
ගැහැණියකගේ ගෞරවය සහ අවමානය තීරණය කෙරෙන ඔය අන්ත දෙක වෙන් කෙරෙන්නේ කොහොමද කියන එකට තියෙන්නේ සංකීර්ණ පැහැදිළි කිරීමක් නෙමේ.
ස්ත්‍රියගේ භූමිකාව විදියට සමාජය විසින් නිර්ණය කරන රාමුවට මෙපිටින් සිටින ගැහැණුන් හොඳ ගැහැණුන් වෙද්දි ඒ රාමුවට එපිටින් සිටින ගැහැණුන් නිතැතින්ම බඩු බවට පත් වෙනවා
අපේ සමාජයෙන් පිළිගන්නා හොඳ කෙල්ල කියල හඳුන්වන චරිතය මොනවගේ කෙනෙක්ද?
අපේ සමාජය හොඳ කෙල්ලෙක් විදියට හඳුන්වන්නේ හිමීට කතා කරන, අතින් කටවහගෙන හිනාවෙන, කකුළ් දෙක ලං කරල ඉඳගන්න, පොත් ටික පපුවට තුරුළු කරන් බිම බලාගෙන ඇවිදින, අත් දෙක බැඳගෙන රිටක් කෙළින් හිටෝලා වගේ බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්න, කොල්ලෙක්ගෙ උදව්වක් නැතුව මල් පෝච්චියක්වත් තනියෙම උස්ස ගන්න බැරි, උඹ බං කියන්නෙත් කුණුහරපයි කියලා හිතාගෙන ඉන්න, ‘පුක’ කිව්වත් අයියෝ ඌයි ගාන, විහිලුවක් කලාම කටවහගෙන චූ බරේ වගේ දෙපැත්තට ඇඹරි ඇඹරි බයිට් වෙන, එකට එක කියන්නෙ නැති, හයියෙන් කතා කරන්නෙ නැති, හයියෙන් හිනා වෙන්නෙ නැති, වයස 18 පැන්නයින් පස්සෙත් හැම දේටම තාත්තගෙයි කොල්ලගෙයි මිනිහගෙයි අවසර ඉල්ලන, තමාට ඕන දේ කරන්න කලින් ‘අරයා මොනවා කියයිද, මෙයා මොනවා හිතයිද, ගමේ අය මොනවා නොකියයිද’ කිය කිය කල්පනා කරන, ජීවිතේට පුරුෂ ලිංගයක් අල්ලලා තියා දැකලවත් නැති, කොල්ලෝ එක්ක යාලුවෙලා රවුම් ගහන්නෙ නැති, රූම් යන්නෙ නැති, බයික් පදින්නේ නැති, රෑ පාටි වලට යන්නේ නැති, ටැටූ ගහල නැති, බියර් අරක්කු සිගරට් බොනව තියා ඒවයේ ග‍ඳවත් ඉවසන්න බැරි, කොටට අඳින්නේ නැති, වැඩිය කොල්ලෝ ආශ්‍රය කරන්නෙ නැති, යාලුවෝ එක්ක ට්‍රිප් යන්නේ නැති, හවස හයෙන් පස්සෙ ගෙදරින් එළියට බහින්නේ නැති..අර සමාජයෙන් දුන්න ‘කෙල්ල’ ගේ චරිතය රඟපාන හිරේ වැටිච්චි “ගැහැණු” මනුස්සයෙක්ට..
අන්න එහෙම කෙනෙක්ට තමයි අපේ සමාජයේ පිරිමියා ‘හොඳ කෙල්ලෙක්’ කියන ගෞරව නාමය පිරිනමන්නෙ.
පිරිමියාගේ ඔලුවේ ජීවත් වෙන ඒ ෆැන්ටසික ගැහැණිය කියන භූමිකාවට පයින් ගහපු ගමන් ගෑණියෙක්ගේ හොඳ නමට කෙළ වෙලා යනව. මොකද පිරිමින්ට අනුව ගැහැණියකට අයිතියක් නෑ තමාගේ ඔලුවේ තියෙන ඒ ෆැන්ටසිය කුඩු කරන්න. ඒ ගැහැණිත තමාගේ ජීවිතේ නැති කෙනෙක් වුනත්.
ඒත් ඇත්තටම බඩුවක් වෙලා පාවිච්චියට ලක් වෙලා තියෙන්නේ කවුද කියන එකත් හිතල බලන්න වටින කාරණයක්
තමන්ව වෙන පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න දෙන ගැහැණියක්? විවාහයට පෙර තමාගේ කන්‍යාභාවය අහිමි කරගත්ත ගැහැණියක්? තමාගේ පියාට, සැමියාට අවනත නැති ගැහැණියක්? විවාහ නොවී වෙනත් පිරිමියෙක් එක්ක එකට ජීවත් වෙන ගැහැණියක්? මුදල් වලට තමාගේ ශරීරය, වටිනාකම, ආත්මගරුත්වය විකුණන ගැහැණියක්?
දිගින් දිගටම හිතාගෙන යද්දි තේරෙනව මේක මහා අවුලක් ජාලයක් බව.
ඇත්තටම පිරිමියා ඉස්සරහා පාවිච්චි වෙන්නෙ කවුද?
තමා කැමති පිරිමියෙක් එක්ක තමා කැමති විදියට යහන්ගතවන ගැහැණියක්ද , තමාගෙ පියා තෝරලා දෙන තමා අකමැති පිරිමියෙක් එක්ක නිදාගන්න ගැහැණියද? ජීවිතේ එක එක කාලයන්ගේ පියා/සැමියා වේශයෙන් එන පිරිමි අනසක ඉදිරියේ යටත් වෙලා ඒ අයට ඕන විදියට පාවිච්චි වෙන ගැහැණියද බඩුව, එහෙම නැත්නම් තමාගේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන තමාගේ තීරණ ස්වාධීනව ගන්නා ගැහැණියද?
මුදලට තමාගේ ගැණුම්කරුවා ඉස්සරහා තමාගේ ශරීරය පාවිච්චියට ලක් කරන්න ඉඩ දෙන කාන්තාව වේසියක් වෙලා, මාසෙ අන්තිමට හම්බෙන පඩියක් වෙනුවෙන් මාසය පුරා අසීමිත විදියට පාවිච්චි වෙන, ආත්මගරුත්වය බලලට දාලා නිවාඩුවක් ගන්න පවා තම ආයතනයේ ප්‍රධානියා ඉදිරියේ නැමෙන, ප්‍රමෝෂන් එකේ ඉඳලා සියලුම දේට ඔහුට *ක දෙන මිනිසුන් පාවිච්චියට ලක් වෙන බඩු නොවන්නේ කොහොමද?
ඔය බඩුව, වේසිය කියන වචන කිසිම තේරුමක් නැති හිස් වචන වෙන්නේ ඒ නිසයි.
ඔය වචනය අස්සෙම තියෙන්නේ සමාජය විසින් කාන්තාව පාලනය කරන්නට දාපු නාස් ලණුවක්
නමුත් නියම පෞරෂයක් තියෙන පුද්ගලයෙක්ට අනෙකාට අපහාස කිරීම තුළින් ඒ කෙනාව පාලනය කරන්න තටඹන්න අවශ්‍ය වෙන්නේ නෑ. හේතුව, කෙනෙක්ගේ නිදහස ඉදිරියේ ඒ පුද්ගලයාගේ පෞරෂයට හානියක් නොවන නිසා
මේ විදියට හිතන ගොඩක් පිරිමි හිතන්නෙ තමාගෙ අණසකට අවනත නොවන ගැහැණියක් කියන්නේ තමාගේ පිරිමිකමට අභියෝගයක් කියල. ඒ නිසයි මොන ක්‍රමයකින් හරි ස්වාධීන, නිදහස් ගෑණුන්ව මෙල්ල කරන්න හදන්නෙ
ඒ අතින් කාන්තාවකට බඩුව, වේසිය කියල කියන්නේ කිසිම පෞරෂයක් නැති නපුංසකයො. ස්වාධීන කාන්තාවක් ඉදිරියේ බිඳ වැටෙන පෞරෂයක් තියෙන කෙනෙක්ගේ මහා ලොකු පිරිමිකම මොකක්ද?
මේ ගැන වත්පොතේ මිතුරියක් කියල තිබ්බා ලස්සන කතාවක්
“අපේ සමාජයෙ පිරිමියාට කිසිම ලැජ්ජාවක් නැතුව කාන්තාවකට බඩුව, වේසිය කියන්න පුළුවන්. ඒත් ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නේ සෑහෙන අමාරුවෙන් ලැජ්ජාවෙන්”
බඩුව, වේසිය කියල අපේ සමාජයේ බහුලව භාවිතා කෙරෙන මේ වචන දෙකේ පුරුෂ ලිංගික පද මොනවද? එහෙම ඒවා තියෙනව නම් ඒවා එච්චර භාවිතා වෙන්නෙ නැත්තේ ඇයි කියන එක පොඩ්ඩක් හිතල බලන්න වටිනවා.
කොහොමත් පිරිමියෙක් නම් කිසිම ගෑණියෙක්ට,
ඔව්.. කිසිම ගෑණියෙක්ට
බඩුවක්.. වේසියෙක්
කියලා අගෞරව කරන්නේ නැහැ
එහෙම කරනවා නම් ඒ කරන කෙනා
පිරිමියෙක් නෙමේ
පෞරෂයක් නැති නපුංසකයෙක්
එච්චරයි !

අනෝමා, නදීෂා සහ සනී ලියෝන්

අනෝමා ගැන නිහිංසා ලියල තිබ්බ සටහනක් කියවන්න ලැබුනා

සටහන අවසානයේ නිහිංසා ඉතුරු කරල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්, නිගමනයක් වෙනුවට
නිගමනයක් වෙනුවට ප්‍රශ්නාර්ථයක් !
මම ඒකට කැමතියි.
මට හිතෙන්නේ මිනිස්සුන්ව කියවන්න උත්සාහ කරනවට වඩා මිනිස්සු සමාජයට ඇති කරන බලපෑම කියවන්න උත්සාහ කරන එක සාධාරණයි කියල.
මොකද, මනුස්ස ජීවිතයක් කියන දේ ඒ තරම්ම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ඉස්සරහා ඒ කියවීම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
අනෝමා කියන චරිතය කතාබහට ලක් වෙන්නේ මුහුණු පොත හරහා එළිබසින ඇයගේ අසාමාන්‍ය(?) ක්‍රියාකාරීත්වය හේතුවෙන්.
විටක ඇගේ අදහස් සටහන් ආකාරයෙන් ඉදිරිපත් කිරීම මඟිනුත් විටෙක ඇගේ අඩනිරුවත නිරාවරණය කිරීම මඟිනුත් ඇය සමාජයේ කතාබහක් ඇති කරනවා
සමහර විට අනෝමා කරන්න උත්සාහ කරන්නේ තමාගේ නිරුවත හරහා සමාජයට යම් විදියක අභියෝගයක් කරන්න වෙන්න ඇති.

“මරු වැඩේ තමයි කාය වර්ධනය පෙන්වන්න පිරිමි අයට පුළුවන් වුණාට අපිට බැහැ.ඇයි ? පිරිමි අයට under wear එක පිටින් මස් පිඬු ප්‍රදර්ශණය කරන්න පුළුවනි.ඒත් කාන්තාවන් එහෙම කරනකොට ඒක මට නම් වස කැතයි.පිරිමින්ව අපි අනුකරණය කරනවා වගේ.ඉතින් මම කැමරා ශිල්පියාට කිව්වා මේ විදිහට පින්තුරු ගනිමු කියලා.කාන්තාව අයෝමය වුණත් සෞන්දර්යාත්මක විය යුතුයි.”

තමාගේ ශරීරය මඟින් සමාජයට ඇය කරන්න උත්සාහ කරන අභියෝගය ගැන අනෝමා කියල තිබ්බේ එහෙම,
අනෝමා කරන්න උත්සාහ කරන මේ අභියෝගයම, මෑත කාලයේ කරපු අනෙක් චරිතය තමයි නදීෂා හේමමාලි.
“ගණිකා වෘතිය කියන්නෙත් වෘතියක්. අපි ඒකට ගරු කරන්න ඕන. ගණිකා වෘතිය නැත්නම් මේ රටේ සමහරුන්ට පිස්සු හැදිල”
නදීෂා කිව්ව ඒ කතාව අස්සෙ හැංගිලා තියෙනවා පුරුෂලිංගයකින් පාලනය වෙන සමාජයේ සුචරිතවාදී පිරිමින්ට අමු අමුවේ කෙරෙන අභියෝගයක්.
ස්ත්‍රියගේ අසම්මත හැසිරීම ඉස්සරහා සමාජයේ තියෙන වෙව්ලිල්ලට අභියෝග කරන එක අතින් අනෝමාට වඩා බලපෑමක් නදීෂා හේමමාලිගෙන් වෙනව කියල මම හිතනව.
ඒ අතින් මම නදීෂට ආසයි.
ඒත් ඒ ආසාවම මට අනෝමා ගැන ඇති වෙන්නෙ නැහැ. සමහර විට නිදීෂයි අනෝමයි දෙන්නා නිරූපනය කරන්නේ ගැහැණියකගේ ජීවිතයේ අවස්ථා දෙකක් නිසා වෙන්න ඇති.
නදීෂා තරුණයි, ලස්සනයි, කටකාරයි, සරාගියි, කාමුකයි. ඒ තුළින් නදීෂාට පුළුවන් සමාජය දෙදරවන්න.. එක හාදුවකින් !
නමුත් ඒක අනෝමට කරන්න පුළුවන් වුනාද කියන එක ප්‍රශ්නයක්. මොකද කලින් කිව්ව නදීෂාගේ ඒ ලක්ෂණ එකක්වත් අනෝමා තුළ (දැන්?) නැහැ.
ගොඩක් අයට අනුව අනෝමා කියන්නේ කාට හරි කියලා තමා අඩනිරුවතින් ඉන්න හැටි කැමරා ෆෝන් එකකින් ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් එකේ දාන නාකි ගෑණියෙක් විතරයි. ඒනිසා වෙන්නැති නදීෂාට තියෙන කැමැත්ත මට අනෝමා ගැන නැත්තෙ.
මොනව වුනත් සුචරිතවාදී පින්වතුන්ගෙන් පිරුන සමාජයට නදීෂලා, අනෝමලා ඕන. මේ සමාජයේ නදීෂලා, අනෝමලා ඕන තරම් ඉන්නවා. නමුත් සමාජයට දරා ගන්න බැරි මේ අය එලියට එද්දි. සමාජය විසින් මේ අයට නියම කරල තියෙන සීමාව කඩාගෙන එළියට එද්දියි මිනිස්සු බලන්නෙ අඳුරේ සිටිය යුතු මේ අය එළියට ඇවිල්ලා මොකද කියල.
ඔය සුචරිතවාදීන් තනි වුනාම උන්ගේ ඇඟේ අමාරුව නැති කරන සනී ලියෝනි ලා ප්‍රසිද්ධ සමාජය ඉස්සරහා වේසියෝ විදියට හංවඩු ගැහෙන්නේ ඒනිසයි.
කිසිම සුචරිතවාදියෙක්ට නදීෂලව, අනෝමලව නැති කරන්න ඕන නැහැ. ඒගොල්ලන්ගේ සුචරිතවාදය රැකගන්න නදීෂල අනෝමල වගේ චරිත විතරක් නෙමේ සනී ලියෝන්, ජෙනා ජේමර්සන් වගේ ඊනියා නරක චරිත අවශ්‍යයි. මොකද ඔය සුචරිතවාදීන්ගේ සුචරිතවාදී බව රැඳෙන්නේ නදීෂලට, අනෝමලට, සනීලට සාපේක්ෂව. ඒ වගේ ගෑණුන්ව අඳුරේදී සිහින කුමරියන් කරගන්න ගමන් එළියේදී ප්‍රතික්ෂේප කිරීමත් උන්ගේ සුචරිතවාදී බවේ රංගනයේම කොටසක්. (නදීෂා, අනෝමාව සනී ලියෝන්ට සමාන කලා නෙමේ)

ආයෙත් අනෝමා ගැන කතාවට ආවොත්, අනෝමාට එයා කරන්න හදන මොකක් හරි දේ මේ විදියට නැතුව වෙන විදියකින් කරන්න තිබ්බා කියලත් හිතෙනව.

මොක වුනත් මම අනෝමාගේ හැසිරීම තුල දකින්නේ මොකක්දෝ නොගැලපීමක්.
මේ මගේ නිරීක්ෂණයක් මිසක විනිශ්චයක් නෙමේ. අනෝමාව විනිශ්චය කරන්න මම යන්නේ නෑ. මම අනෝමා ගැන මොනවද දන්නෙ. එයාගේ අරමුණු, එයාගේ මානසිකත්වය ගැන දන්නේ එයාමයි. සමහර විට එයාවත් දන්නෙ නැතුව ඇති.
එහෙම බලද්දි හිතෙනවා අපි දන්නවද අපේ අරමුණු, අපේ මානසිකත්වය ගැන කියල
අර සින්දුවකත් තියෙන්නෙ
“ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ.. අපි කවුරුද…”
සමහර විට අනෝමා එයා කවුද කියල තාම හොයනව ඇති.. අපි, අපි ගැන හොයනව වගේම

දීපිකා වගේ ඇඟක් හදාගන්නේ කොහොමද

“මම අද ඩයට් අනේ.. වැඩිය මුකුත් කන්නෙ නෑ.. දවල්ට චූට්ටක් කාලා, රෑට මුකුත්ම නොකා නිදාගන්නවා.. ඇඟ හදාගන්න ඕනි අනේ. ෆිගර් එක..”
ඕනම කෙනෙක් ව්‍යායාම් කරනවා නම් ඒක නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඉතාම හොඳ දෙයක්. කෑම පාලනය කරන එකත් හොඳ දෙයක්. ඒත් කෙට්ටු වෙන්න කියල නොකා ඉන්නව නම් අන්තිමට නවතින්නේ නැති ප්‍රශ්න ඇති වෙලා.
යහපත් ශරීරයක් හදාගන්න නම් කරන්න ඕන නොකා ඉන්න එක නෙමේ, කෑම පාලනය කරන එක. සමබර ආහාර වේලක් ගන්න එක.
ඩයට් කරනවා කියල නොකා ඉන්න ලෙඩේ ගොඩක්ම තියෙන්නේ ගෑණු ළමයින්ට. හේතුව තමා මේගොල්ලන්ට ඕනේ ලස්සන ෆිගර් එකක්. දැක්කාම කොල්ලො කොර වෙලා යන ඇඟක්.
සාධාරණයි. තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය දිනාගන්න කවුරුත් කැමතියි. හොඳ පෙනුමකින් ඉන්න කවුරුත් කැමතියි.
ඒත් මේ තරුණ/තරුණියන් මවාගෙන ඉන්න ශරීරය ඇත්තටම ප්‍රයෝගිකව හදාගන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන් එකක්ද?
ඊට කලින් හිතන්න ඕන මේ අය මවාගෙන ඉන්න මේ අංගසම්පූර්ණ පර්ෆෙක්ට් බොඩි එක මේගොල්ලන්ගේ ඔලුවලට ආවේ කොහෙන්ද කියන එක
ඔය අයිඩියල් බොඩි ඉමේජ් එක කියන එක තරුණ/තරුණියන්ට මවලා දෙන්නේ මාධ්‍යය/චිත්‍රපට/සංගීත ක්ෂේත්‍ර වලින්. ඔතනදි ඔය බොඩි ඉමේජ් එක මාර්කට් කරන්න ගොඩක් වෙලාවට යොදාගන්නේ වෘතිය මට්ටමේ නිරූපිකාවන් හෝ නළුනිළියන්. ඒ අයගේ රැකියාවම තමා ඇඟ හදාගන්න එක. ඒ අයගේ ආදායම තීරණය වෙන්නේම ඒ අයගේ පෙනුම මත.
ඒ වගේ නළුනිළියන් නිරූපනනිරූපිකාවන් යොදලා නිර්මාණය කෙරෙනවා “සෙක්සි ලස්සන කෙල්ල” කියල ස්ටෑන්ඩර්ඩ් එකක්. කත්‍රිනාගේ වගේ සුදු හමයි, ප්ර්‍රිය්ංකාගේ ලෑල්ල වගේ බඩයි, කරීනාගේ වට්ටක්කා ගෙඩිය වගේ පස්සයි, බිපාෂාගේවගේ පියයුරු දෙකකුයි.. වගේ ලස්සන සෙක්සි කෙල්ලෙක්ට තියෙන්න ඕන අංගෝපාංග ටිකක් නිර්මාණය කරලා මාර්කට් කරනවා.
ඔය මාර්කට් එකෙන් ඉලක්ක කරන්නේම පිරිමින්ව. ලොකයේ සියයට අනූවකට වඩා වැඩි වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, චිත්‍රපට, නිර්මාණය කෙරෙන්නේ පිරිමි මනස ඉලක්ක කරගෙන.
ඒ අනුව මෙතනදි පිරිමියාට හදල දෙනවා පර්ෆෙක්ට් ඇඟක් තියෙන සර්වසම්පූර්ණ කෙල්ලක්. වෙන ලෝකෙකින් ගෙනත් තියලා වගේ.
ඔතනදි තමයි තරුණියෝ මේ ලණුව අරගෙන රස කර කර කන්න පටන් ගන්නෙ. මේගොල්ලන්ටත් ඕන වෙනවා අර “ලස්සන සෙක්සි කෙල්ල” වෙන්න. එහෙම වෙලා ඒ බොඩි එක හොයන පිරිමින් ඉස්සරහා තමාට වටිනාකමක් හදාගන්න.
නමුත් ගොඩක් අයට තේරෙන්නේ නෑ ඕක අමුම අමු මිත්‍යාවක් කියන එක. නළුනිළියන් නොවන සාමාන්‍ය තරුණියන්ට ඒ වගේ ඇඟවල් හදාගන්න බැහැ, සහ එහෙම කරන්න ඕනත් නැති බව.
ඔය නිසා තමයි දකින දකින තැන කෙල්ලෝ පුකවල් හිරවෙන්න ලෙගින්ස් ඇඳගෙන, ඇඟේ හැඩය ඉස්මතු වෙන්න ඇඳුම් ඇඳගෙන, කට්ට අව්වේ මේකප් දාගෙන, කෝච්චිය අල්ලන්න පවා හීල්ස් දාගෙන  දුවන්නේ..
මේ කියන්නේ ලස්සන ඇඟක් තියෙන එකවත්, ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න එකවත් නරකයි කියලවත් නෙමේ. නමුත් මනුස්සයෙක්ගේ වටිනාකම ඒ මනුස්සයාගේ බඩේ හැටියෙනුයි, තන්දෙකේ හැටියෙනුයි, පුකේ හැටියෙනුයි මනිනවා නම් ඒක සමාජයක් විදියට එච්චර හොඳ දෙයක් නෙමේ.
මනුස්සයෙක්ට රෝල් role model ලා හිටියට කමක් නෑ. නමුත් ඒ role model ලව තෝරලා බේරලා හරියට තෝරගන්න එක වැදගත්. තමාගේ role model විදියට ඉන්නේ ලස්සන ‘ඇඟක්’ තියෙන නිළියෙක් නම්, නළුවෙක් නම්.. එතන පොඩි අවුලක් තියෙනවා නේද?
එහෙම කියලා තරබාරු විරූපී ගෑණු වෙන එක කමක් නෑ කියනවා නෙමේ
ගෑණු වේවා පිරිමි වේවා තමාගේ කෑම පාලනය කරලා නිරෝගී විදියට ඉන්න එකයි සුදුසු.
හැබැයි එහෙම ඉන්න හැම කොල්ලාටම සික්ස් පැක් එකක්වත්, හැම කෙල්ලටම ලෑල්ල වගේ බඩකුත් තියන්න ඕන නම් නැහැ

ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම

කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්.
මම ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ නමවත් දන්නෙ නෑ.
මේක විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික…නෙමේ.. අන්තර්ජාල යාලුකමක්.
කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්.
හැමදාම උගෙයි මගෙයි කතාවල් (හෙවත් චැට්) ඉවර වෙන විදියේ පොඩි අවුලක් තිබ්බා. අවුල ඌට නෙමෙයි, මට.
අවුල තේරෙයි ඒ ඉවර වෙන විදිය කියෙව්වොත්,
මම – අඩෝ, මම කැපෙනවා එහෙනම්.
ඌ – එල මචෝ. පස්සෙ වෙලාවක චැටකට සෙට් වෙමු.
මම- අම්බානට බඩිගිනියි බන්, කෑවෙත් නෑ තාම. මම ගියා ඒනම්
ඌ – පල පල.. ගිහින් කාපන්.. ගෑණි උයපු කෑම
මම – ගෑණි නෙමේ යකෝ.. අම්මා.. අද මහ ගෙදර ඉන්නෙ
ඌ – කවුරු වුනත් එකයි යකෝ. කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ ගෑණු උයන කෑම. ඇයි උඹට උඹ කන ඒවා උයාගන්න බැයිද?
මම – පල *ත්තෝ යන්න. මම කැපුනා. බඩිගිනියි
ඌ – එල. පස්සෙ සෙට් වෙමු.
ඔන්න ඔය වගේ දෙබසකිනුයි කතාබහ අහවර වෙන්නේ හැමදාම වගේ.
“ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම”
අවාසනාවට ඌ කියන්නේ ඇත්ත කතාවක්. ඇයි මට මම කන කෑම උයාගෙන කන්න බැරි? අඩුම ගානේ නෝනා මහත්තයා එක්ක කෑම උයන වැඩේ බෙදාගෙනවත් කරන්න බැරි?
මොකද ගෙදර ජීවත් වෙන්නේ අපි දෙන්නම.. අනිත් වැඩ කරන්නේත් අපි දෙන්නම.. ඇයි උයන එක විතරක් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්නේ?
අර මූසලයා මගේ ඔලුවට දාපු කතාව දැන් මාස ගානක් තිස්සේ ඔලුවේ වැඩ..
කෝමෙන් කෝම හරි අද ආවා වයිපරේ වැඩ ඇරිලා ගෙදර.. කිසි දවසක තේකක්වත් හදලා නැති, හදන්න දන්නේත් නැති මම තීරණය කලා වයිපරෙත් එක්ක උයන්න, එකට.. දෙන්නම එකතු වෙලා..
පැයක් විතර ගියා. දෙන්නට කන්න ජාති හතරයි බතුයි.
අද අර මගේ කාලකණ්ණි (හො‍ඳම) යාලුවට පිං සිද්ධ වෙන්න තිබ්බා උයන්න පුරුදු වෙන එකේ පළවෙනි පියවර.
මටත් උයලා ඉවර වුනයින් පස්සේ දැනුනේ මාර සතුටක්.
අර ඇමරිකල් පිල්ම් වල පෙන්නන්නේ ජීවිතේ පලවෙනි පාරට ස්කයි ඩයිවින් කරලා පොළවට ලෑන්ඩ් කරපුවාම ඒ මිනිස්සු සතුටින් ඉපිළෙන හැටි..
අන්න ඒ වගේ සතුටක්.. ජීවිතේ පළවෙනි පාරට.. ගෙදරම තිබ්බ කුස්සියට ගිහින්.. මගේ ප්‍රියම්භිකාවියට උයන්න උදව් කල සතුට..
සතුට හොය හොය හතර අතේ දිව්වට ගෙදර කුස්සියෙත් තිබිලනේ යකෝ සතුට .
මෙච්චර කල් මම නොදැක්කට..
ඔව් ඉතින් දකින්න කුස්සිය පැත්ත පලාතෙ යන්න එපායැ.
මේ වගේ යාලුවෝ ආශ්‍රය කලාම වෙන්නේ මේ වගේ අනපේක්ෂිත දේවල් තමා. මේවා අපිට හොඳ පාඩම් !
ප/ලි – කුස්සියට ගොස් ප්‍රියම්භිකාවියට උයන්න උදව් වීම සහ ඊයේට යෙදුනු ලෝක කාන්තාදිනයද මොකක්ද අහවල් එක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සලකනු මැනවි.