Category Archives: නිරා-බණ

උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්,

..තවත් දවසක්.

” සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?”

මගේ මිත්‍රයෙක් මගෙන් අහනව

ඒ පැනයට ඔව් හෝ නෑ හෝ කියා සරල පිළිතුරක් තිබුනා නම්..

මගේ මිතුරා මගෙන් “උඹ සිංහල අවුරුද්ද සමරන්නේ කැමැත්තෙන්ද?” කියල ඇහැව්ව නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා.

සිංහල අවුරුදු සමය ! ජනවාරි පළමුදා නව අවුරුදු උදාව.. ! උපන්දිනය …..!

අලුත් දවසක් උදා වෙලා, තවත් දවසක් ගෙවී ගිහින්.. අවුරුද්දක් උදා වෙලා.. තවත් අවුරුද්දක් ගෙවී ගිහින්.

හැමෝම තම තමන්ගේ එදිනෙදා වැඩකටයුතු නවත්තලා, තමාගේ රාජකාරී කටයුතු නවත්තලා සමරන්න සූදානම,

කාලය ගත වීම..!

මේ සැමරීම් තුළ ආගමික හෝ සංස්කෘතික වටිනාකමක් තියෙනව කියල කියවෙනව. එකඟයි. ඒ ගැන විවාදයක් නැහැ.නමුත්, මේ සියල්ලෙන් එළියට ඇවිත් පිටස්තරයෙක් විදියට මේ නාඩගම දිහා බැලුවොත් මොන විදියට පෙනෙයිද?

සමරන එක සාධාරණයි, කාලය ගත වීම නෙමේ. කෙනෙක්ගේ ජීවිතයක මොකක් හරි අරමුණක් ලඟා කර ගන්න එක, කෙනෙක් යම් ඉලක්කයක් ජයගන්න එක, රටක් විදියට යම් ජයග්‍රහණයක් ලබන එක.

මේ සැමරුම් අපේ සංස්කෘතියට විතරක් ආවේණික නැහැ. නමුත් මඳකට නැවතිල හිතල බලමු.

මිනිසුන් පොදියක් එකතු වෙලා කිසිම සාධාරණ හේතුවක් නැතුව සමරනවා, සතුටු වෙනවා. පිටස්තරයෙකු විදිහට මේවගේ සැමරීම් බලාගෙන ඉන්නකොට පේන්නේ සමරන්න දෙයක් නැති ජීවිත ගෙවන මිනිස්සු සතුටු වෙන්න නිසාම බොරුවට හේතු හදා ගැනීමක් වගේ.

තමාගේ දරුවන්, දෙමාපියන්, මිතුරන් එක්ක එකට කාලය ගත කරන්න බැරි මිනිස්සු ඔවුනොවුන් හා එකතුවන්නට ව්‍යාජ හේතු හදාගෙන වගේ. අපේ ප්‍රියයන් හමුවෙන්න, ඔවුන් සමඟ එකට හිඳ කා බී හිනැහෙන්න අපට අවුරුද්දේ එක දවසක් එනකම් බලන් ඉන්න වෙලා නම් ඒකෙන් කියවෙන්නේ අපේ ජීවිත වල හිස් බව නොවේද? අප අපේම ජීවිත වල අතරමං වෙලා බව නොවේද?

අපි ජීවත් වීම පහසු කරගන්න කියල ලඟා කරගන්න හදන ඒ ඉලක්ක වලට, ලබා ගන්න හදන ඒ දේවල් වලට අපේ මුලු ජීවිතම කැප කරලා. අපිට අපේ ජීවිතේ විඳින්න නම් කිසිම තේරුමක් නැති සමාජය සම්මත කරගත්ත දිනයන් උදාවෙනකන් ඇඟිලි ගනින්න වෙලා.

අපි සතුටු වෙන්න කලින් දින නියම කරගන්න ඕනේ තත්වෙක ඉන්නේ, අපි ගමේ ඉන්න දෙමාපියන් බලන්න යන්න සමාජයේ සම්මත කරගත්ත දිනයක් එනකන් අවුරුද්දක් තිස්සේ බලන් ඉන්නවා, දුර පලාත් වල රැකියා වලට ගිය පියවරු තමාගේ දරුවන් බලන්න මේ දිනය උදාවෙනකන් ඇඟිලි ගැනගැන ඉන්නවා…

අපි අපේ ජීවිත වලම හිරකාරයෝ වෙලාද?

තවත් පැත්තකින්, සමාජය විසින් කලින් නියම කරන දිනයක සතුටු වෙන එක හරියට අනිවාර්‍යයෙන් කල යුතු වගකීමක් වගේ වෙලා. හැමෝම කරන නිසා කරන්න ඕන දෙයක් බවට පත් වෙලා.. දින නියම කරගෙන සතුටු වෙන එක !

ඒක නිකන් හරියට මිනිස්සුන්ට සතුටු වෙන්න ඕනෙ වෙලාවයි සතුටු නොවී තමාගේ අධික ලෙස කාර්‍ය බහුල වෙලා තියෙන ජීවිත වල හිරවෙලා ඉන්න ඕනෙ වෙලාවයි තුන්වන පාර්ශවයක් විසින් නියම කරල දීල වගේ.

නව වසරක උදාව, උපන්දිනය.. මේ සියල්ලම පොදි බැඳගෙන සමරන එකෙන් අඩු වැඩි වශයෙන් පෙන්වන්නේ හැඟීම් දැනීම් ඇති ජීවීන් වන අපි යාන්ත්‍රික සමාජ ක්‍රමයක කොටස් කාරයන් වෙලා තියෙන බවද?

තව මාස කීපයකින් එන මගේ උපන්දිනය මට මතක් වෙනවා

“මම මෙලොවට බිහි වෙච්චි කාලය අවුරුද්දකින් වැඩි වෙලා.. මම මේ ලෝකයේ ඉන්න තියෙන කාලය අවුරුද්දකින් අඩු වෙලා.. දැන් මම මේක සමරන්න ඕන. මම මේ ලෝකයට ඉපදිලා නිශ්චිත දවස් ගානක් ගිහින්.. දැන් මම ඒක ගැන සතුටු වෙලා සමරන්න ඕන.. එහෙමද?”

එහෙම සමරන එක සාමාන්‍යයයි. සමරන්නෙ නැති එක අසාමාන්‍යයි. එහෙමද?

කොටසක් තමාගේ සතුට කියන අත්දැකීම ගන්න මේවගේ දිනයන් එනකන් බලාගෙන ඉන්න අතරේම තවත් කොටසක් මේ දිනයන් සැමරිය යුතු නිසාම සමරන්න පෙළඹිලා. කොටින්ම අවුරුදු, නත්තල් වගේ අවස්ථා ලෝකෙට ණය වෙලා සමරන මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවද?

‘අහවල් දවසේ, අහවල් වෙලාවේ, අහවල් විදිහට උඹ සතුටු වෙන්න ඕනේ.. ෆන් ගන්න ඕනේ..මේ දේ කරන්න ඕනේ’ කියලා කවුරු හරි කිව්ව පලියට, නියමයක් තිබ්බ පලියට එහෙම කරන්න අපි ප්‍රෝග්රෑම් කරනු ලැබූ රොබෝ වරුද, හැඟීම් දැනීම් තියෙන පණ ඇති මිනිසුන්ද?

අවංකව හිතද්දි අලුත් අවුරුදු සැමරුම්, උපන්දින සැමරුම් ගැන හිතෙන්නේ එහෙමයි.

ඒත් කෙනෙක් අවංක සිතින් අවංකව සුභ පැතුමක් එක් කලාම මම කියන මනුස්සයාගෙ හිතේ තියෙන මේ අවංක සිතිවිලි ටික මෙහෙමම කියල දාන එක නරුම වැඩක් ! ඒකෙ දෙකක් නැහැ..

මට මතක් වෙනව මගේ යාලුවගේ ප්‍රශ්නය

“සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?”

හොඳ හිතින් දෙන හොඳ ප්‍රාර්ථනාවකට හොඳ හිතින් ප්‍රතිචාරයක් දෙන එක මනුස්සකමක්..

“ඔව් මචන්.. මම සිංහල අලුත් අවුරුද්ද සමරනවා”

මම ඔහුට කියනවා. එහෙනම්..මගේ මිතුරාට විතරක් නෙමේ..

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන ඔක්කෝටම..

සුභ අලුත් අවුරුද්දක් වේවා !

මෙරු

ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?
මිනිස් බුද්ධියෙන්, තර්කයෙන්, විද්‍යාවෙන් එල්ල කෙරෙන මරුපහරවල් ඉදිරියේ වැටි වැටී හරි ආගමික විශ්වාස තවමත් නොසැලී, නොවැටී තියෙන්නේ අපේ සිතේ ඉතිරි වෙලා තියෙන මේ බලාපොරොත්තුව නිසා කියල කවුරු හරි කිව්වොතින්
ඔබ මොකක්ද දෙන උත්තරය?
ජීවිතයේදී කියපු කරපු හොඳ දේවල් වලට කවදා හරි හොඳ ප්‍රිතිඵලයක් මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි…. ජීවිතයේදී නරක කියපු කරපු මිනිස්සුන්ට කවදා හරි ඒවායේ විපාක මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි,
තවත් ලෝකයක්.. තවත් ජීවිතයක්.. ගැන
තියෙන ඒ බලාපොරොත්තුව….!
සුළු පටු එකක් නෙමේ.
ඒ වෙනුවෙන් කීදාහක් මිනිස්සු ජීවත් වෙන්න ඇද්ද? කීදාහක් මිනිස්සු සටන් කරන්න ඇද්ද? එකිනෙකා මරාගන්න ඇද්ද? ජීවිත පූජා කරන්න ඇද්ද?
මිනිස්සු කැමති වෙයිද කිසිම කෙනෙක් කිසිම විදියකින් කවදා හරි ඒ බලාපොරොත්තුව තමාගෙන් උදුරගන්නවට?
ඒ බලාපොරොත්තුව මායාවක් විතරක් නම්.. ඒ බලාපොරොත්තුව මිත්‍යාවක් විතරක් නම්..??
මොනව වුනත්.. මරණින් පස්සේ තියෙනවාය කියලා ‘බලාපොරොත්තුවෙන’ මේ ජීවිතයට.. පැවැත්මට.. අනික් හැම දේකටම වගේ නියම වෙලා තියෙනවා මිලක්.. කරන්න සිද්ධ වෙලා තියෙනවා කැප කිරීමක්
එක එක ආගම් වල, එක එක විශ්වාසයන්ට අනුව නියම කරනවා එක එක ජීවන ක්‍රම.. ඒවා එකිනෙකින් පරස්පරවිරෝධී වෙනකොට එකිනෙක අතර ගැටීම වළක්වන්න බැහැ..
ඒ නිසයි ඒ ගැටීමේ ප්‍රතිඵල විදියට ලක්ෂ ගණනින් මිනීකඳු ගොඩ ගැහිල තියෙන්නෙ. ලේ ගංගා ගලල තියෙන්නෙ.
අවුරුදු දස දහස් ගණනක් මුළුල්ලේ බලාපොරොත්තුවේ ‘මිල’ මනුස්සයා ගෙව්වේ එහෙමයි.
මරණින් පස්සේ තියෙන.. තියෙනවාය කියලා හිතන ඒ ආලෝකය පස්සේ මෙරු රැළක් වගේ දුවනවා.. බලාපොරොත්තුවෙන් !
අපි මොහොතකට එමු ඔබයි මමයි ජීවත් වෙන සැබෑ ලෝකයට
මේ මට ටික කාලයකට කලින් යාලුවෙක් කියපු කතාවක්
“යාලුවගේ ගමේ හිටපු වයසක අම්මා කෙනෙක් පන්සලට ගිහින් කාලෙකට කලින් නැති වුන ඇගේ සැමියාට පිං පතල පන්සලට දානයක් දෙන්න හිතාගෙන. එහෙම ගිය ඇයට පන්සලේ හාමුදුරුවෝ කියල තියෙනවා පන්සලට දානේ එපා, සිමෙන්ති කොට්ට දෙක තුනක් ගෙනල්ලා දෙන්න කියල. වයසක අම්මා ඒකට කැමති වෙලා නෑ. ගෙදර දානේ උයලා බෙදාගෙන ඇවිත් හාමුදුරුවෝ කීපනමකට පූජා කරලා වැඳලා යනවා වගේ සතුටක් සිමෙන්ති කොට්ට කීපයක් ගෙනත් දුන්නාම වයසක අම්මා කෙනෙක්ට නොලැබෙන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. බේරෙන්න බැරි තැන හාමුදුරුවෝ වයසක අම්මට කියල සිමෙන්ති කොට්ට ගේන්නේ නැතුව ඒ වෙනුවට දානේ ගෙනාවොත් ඒ වයසක අම්මා මැරුණ දවසක ඇයට පිං දෙන්නෙ නෑ කියල”
ජීවිතේ සැඳෑ සමය ගත කරන, මරණින් පස්සේ ජීවිතය යහපත් කරගන්න එක තමාට ඉතිරි වෙලා තියෙන එකම බලාපොරොත්තුව වෙච්චි වයසක මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කොයි තරම් නම් ලේසිද?
මේ වයසක මිනිස්සු මරණින් එහා ජීවිතයට ගෙනියන්න පින් රැස්කරගන්න දඟලන්නේ හරියට විභාගයක් අතලඟ කලබලෙන් පාඩම් කරන පොඩි ළමයි ටිකක් වගේ
මේ පින් පොරයට මිලක් නියම කෙරෙන (ආගමික) ව්‍යපාර ඒ වටා ගොඬගැහෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට
අහවල් උත්තමයාගේ ගහක්, ප්‍රතිමාවක්, විහාරයක් වඳින්න කියල කවුරු හරි කියන වචනයක් පිළිගෙන අල්ලපු රටට බුරුතු පිටින් පොරකකා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන යන්නේ මේ පින් අකවුන්ට් එක වැඩි කරගන්නයි
අපි කවුද ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ප්‍රශ්න කරන්න? කෙනෙක්ට එහෙම අහන්න පුළුවන්
ඒ ගමන්ම තවත් කෙනෙක්ට අහන්න පුළුවන් හදි හූනියම්, අංජනම් බැලිලි, වශී ගුරුකම් විතරක් නෙමේ මිනිස්සු රවට්ටන ව්‍යාපාර සහ මේ පිං විකිණීම අතර වෙනසක් තියෙනවද කියලත්
මිනිසාව මෙපමණ කල් ජීවත් කරවපු බලාපොරොත්තුව සහ අන්ධ විශ්වාසය අතර වෙනස හරි හැටි තේරුම් බේරුම් කරගන්නකම් ඔය දෙකේම මිල අපිට මිනිස් හැඟීම් වලින්, ලේ ගංගා වලින්, මිනී කඳු වලින් ගෙවන්න වේවි.
මගේ ප්‍රියතම ඉංග්‍රීසි කතා මාලාවක කියවෙන මේ කතාවෙන් සටහන අවසන් කරන්නම්
“The ontological fallacy of expecting a light at the end of the tunnel, well, that’s what the preacher sells, same as a shrink. See, the preacher, he encourages your capacity for illusion. Then he tells you it’s a fucking virtue. Always a buck to be had doing that, and it’s such a desperate sense of entitlement, isn’t it?” – Rust Cohle ; True Detective