Category Archives: නිරා-බණ

මරණීය දණ්ඩනය එපා !

මරණීය දණ්ඩනය යනු යම් පුද්ගලයෙක් විසින් සිදුකල අපරාධයක් නිසා නීතියේ අවසරය සහිතව එම පුද්ගලයාව ඝාතනය කිරීමයි. “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය” යන ස්ථාවරය දරන්නන් විසින් මරණීය දණ්ඩනය සිදු කිරීමේ අරමුණු ලෙස ඉදිරිපත් කෙරෙන කාරණා කිහිපයක් වේ. ඒ අතර අපරාධය සිදු කළ පුද්ගලයාගෙන් සමාජයට සිදුවන හානිය වැලැක්වීම, අනාගතයේ සිදුවන අපරාධ අඩු කිරීම, ඔහු කල අපරාධයට දඬුවමක් නියම කිරීම තුලින් යුක්තිය ඉටු කිරීම වැනි දේ වේ. නමුත් ගැටලුව වනුයේ මෙකී හේතූන් මගින් මරණීය දණ්ඩනයේ අවශ්‍යතාවය පිළිඹිබු කරන්නේද යන්නයි.

අපරාධකරුවෙකු පණපිටින් අල්ලා ගත් පසු ලැබෙන විකල්පයන් නම් ඔහුව ඝාතනය කිරීම හෝ ඔහුව සමාජයෙන් වෙන්කර තැබීමයි. මේ ක්‍රම දෙකෙන්ම පැහැදිලිවම ඔහුගෙන් සමාජයට විය හැකි හානිය සම්පූර්ණයෙන්ම වැලැක් වේ. මෙහිදී සදාචාරාත්මකව සහ මානුශීය අතින් ගත් විට පැහැදිලිම විකල්පය නම් ජීවීතාන්තය දක්වා ඔහුට සමාව දිය නොහැකි කොන්දේසිය යටතේ සිරගත කිරීමයි. මේ විකල්පය අප සතුව තිබියදී මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට හේතුවක් මම දකින්නේ නැහැ. අපරාධකාරයෙක්ට වුවත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපරාධකාරයෙක්ව මැරීම අනුමත කිරීම මිනීමැරීම වැරදි නිසා මිනීමැරීම නොවේද? මිනීමැරීම වැරදිබව පෙන්වීමට, මිනීමැරීම ප්‍රතික්ශේප කිරීමේ අරමුණුන් නීත්‍යානුකූලව මිනීමැරීම සාධාරණද?

මරණීය දණ්ඩනය අනුමත කරන අයගෙන් සියල්ලන් නොවුනත් බොහෝ අය එම මතයේ සිටීමට හේතුව නම් මිනිස් සිතේ පහලවන පලිගැනීම යන හැගීමයි. අදාල පුද්ගලයා නිසා මිනිස් ජීවිත වලට, සමාජයට සිදුවූ හානිය සහ ඔහුගේ හැසිරීම නිසා ඇතිවූ කේන්තිය හේතුවෙන් බොහෝ අය මරණීය දණ්ඩනය අනුමත කිරීමට පෙළබේ. අමානුශික අපරාධයකින් පසු එම අපරාධය සිදුකල පුද්ගලයා ඝාතනය කල යුතු ආකාරය සහ ඝාතනය කිරීමට යොදාගත යුතු නොයෙකුත් ක්‍රම ගැන මිනිසුන් පලකරන අදහස් වලින් මේ බව පැහැදිලි වේ. මෙහිදී ඔවුන්ට අමතක වන දෙය නම් ඔවුන් මොහොතකට හෝ ඔවුන් විසින් පිලිකුල් කරන එම අපරාධකාරයාගේ තත්වයටම නොදැනුවත්වම වැටී ඇති බව. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරණ ගත යුතු බව අමතක නොකල යුතුයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන්නන් ගෙන එන තර්කයක් නම් මරණීය දණ්ඩනය හේතුවෙන් සමජයේ අපරාධ අඩුවන බව. නමුත් සංඛ්‍යා ලේඛන අනුව පෙනීයන්නේ එය අසත්‍යයක් බවයි. උදාහරණයක් ලෙස, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ඇමරිකාවේ ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණයට වඩා වැඩි වීම දැක්විය හැකිය.

මරණීය දණ්ඩනය සාධාරණීකරණය කරන්නන් විසින් ඉදිරිපත් කරන තවත් තර්කයක් නම්, මරණීය දණ්ඩනය හේතුවෙන් අනාගතයේ සිදුවිය හැකි අපරාධ අඩුවන බවයි. නමුත්, මෙහිදී මරණයට ලක්වන අපරාධකරුවා දඩුවම් ලබන්නේ තමා කළ වරදට මෙන්ම අනාගතයේ “විය හැකි වැරදි” වලටය. ඔහුට තමාගේ වරදට අමතරව අනාගතයේ අන් අය අතින් “විය හැකි වැරදි” වලට ද දඩුවම් කිරීමේ සදාචාරාත්මකභාවය ගැන මෙහිදී ගැටලුවක් මතු වේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වනුයේ වැරදි නොකල මිනිසුන් ද මරණීය දණ්ඩනයට නියම වීමට ඇති අවදානම යි. අපරාධ පර්යේෂණ වල සිදු වූ යම් යම් අතපසුවීම් නිසා නිර්දෝෂී පුද්ගලයින්ව වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දඩුවම ලබාදුන් පසු ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු වූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ලැබේ.

මරණීය දණ්ඩනය අනුමත කරන අය සැලකිය යුතු තවත් කරුණක් වන්නේ තමා විසින් තම ආණ්ඩුවට තම රටවැසියන් ඝාතනය කිරීමට “බලපත්‍රයක්” ලබා දෙන බව. බොහෝ අවස්ථාවලදී රැවටීම, තණ්හාව, කෲරත්වය වැනි ලක්ෂණ පෙන්වන ආණ්ඩුවට සහ බොහෝ විට එහි සාමාජිකයින්ට නීත්‍යානුකූලව මිනීමැරීමට සහය ලබා දෙනබව. “දේශද්‍රෝහී වීම” යන චෝදනාව යටතේ මරණ දඬුවම නියම වීමේදී මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර තත්වයට පත්විය හැකියි. මෙහිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වගකීම ලැබෙන්නේ ද රටේ ආණ්ඩුවටයි. රටේ බොහෝ වගකීම් ගැන ආණ්ඩුව ගැන විශ්වාසයක් නොදක්වන අය මරණීය දණ්ඩනය, එනම් අපරාධකාරයාව මරණයට පත් කරන ආකාරය (උදා- විදුලි පුටුව, එල්ලුම් ගහ), නියමිත ක්‍රමයට, මානුශීය ලෙස ක්‍රියාත්මක කිරීම ගැන සම්පූර්ණ විශ්වාසය තබා ඇති අයුරු පුදුම සහගතයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයකට සිදුවන බලපෑම ද නොසලකා හැරිය නොහැකියි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ඇතැම් රටවල සමහර අවස්ථාවන් වලදී යම් අපරාධකරුවෙකු ඝාතනය කරන විට එම ස්ථානයට රැස්වන මිනිසුන් ඔල්වරසන් දෙනු දක්නට ලැබේ.. මිනීමැරීම් සමරන සමාජයක් බිහිවීම මේ තුලින් නොදැනුවත්ව හෝ සිදු වේ.

එමෙන්ම, අපරාධකරුවන් අතර සිටින විවිධ මානසික විකෘතිතාවයන් නිසා අපරාධ කිරීමට පෙළඹුන අයව ඝාතනය කිරීම නොවේ අප කළ යුත්තේ. අප විසින් කළ යුතු වන්නේ ඔවුන්ව නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන ඔවුන්ගේ රෝගය සුව කිරීමට උත්සාහ ගැනීමයි. ඔවුන් එම රෝගයන්ගේ ගොදුරු බව අප අමතක නොකල යුතුයි. හැගීම් වලට වහල් නොවී බුද්ධියෙන් විමසා බැලීමට හැකිනම් පෙනී යන්නේ ඔවුන්ට හිමිවිය යුත්තේ අනුකම්පාව බවයි

වැරදි වලට දඩුවම් ලැබීමට සුදුසු බව අපට තීරණය කල හැකි වුවත් ලෝකය සහ මිනිසුන් විදිහට වර්තමානයේ අපේ ක්‍රියාකලාපයන් සහ හැසිරීම දෙස බැලූ විට පෙනී යන්නේ කුමන වරදකට හෝ අල්ලා ගත් මිනිසෙක් ඝාතනය කරන්න පුලුවන්ද කියන එක තීරණය කරන්න පුලුවන් තත්ත්වයක අප නැති බවයි. ප්‍රශ්නය නම් නීතියේ රැහැනට හසුවූ අපරාධකාරයෙක් මරණයට සුදුසුද යන්න නොවේ. නීතියේ රැහැනට හසුවී සමාජයට තවදුරටත් හානියක් නොවන අපරාධකරුවෙක්ව ඝාතනය කිරීමට ශිෂ්ඨ සම්පන්න මිනිසුන් යැයි කියා ගන්නා අපට අයිතියක් තිබේද යන්නයි.

සුදු සහ කළු

ඔය අම්බානක හොඳ එවුන් ඉන්නවා නේද..?

සැබෑ ජීවිතයෙ විතරක් නෙමේ ෆේස් බුක් එකෙත්… ඒ කියන්නේ තමන්ගේ හදවත උනත් ගලවලා දෙන.. හැම වෙලේම හොඳ කියල සම්මත හැසිරීම් විතරක්ම පෙන්නන..සුදුම සුදු පෙරල ගත්තා වගේ ඉන්න චරිත..

අන්න උන්ගෙන් තමයි මචන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන

සුදු සහ කළු මිනිස්සු නැති ලෝකෙක කව්රු හරි සුදෝ සුදෙන් බැබළෙනව නම්.. බොහෝ වෙලාවට වැඩි ඉඩක් තියෙන්නෙ උන් ඒ මවාපාන සුද අමුම අමු ව්‍යාජත්වයක් වෙන්න

උන් තමයි අපිම නොදැනි අපේ බෙල්ල කපලා අපේ අතට දීලා “නියම බෙල්ල නේද?” කියලා අහන්නේ.

මේ ලෝකයේ ශුද්දවන්තයෝ.. සුදු චරිත.. සම්පූර්ණයෙන් හොඳ මිනිස්සු නෑ මචන්

එහෙම අයව පරමාදර්ශී චරිත කරගෙන..

එහෙම අයව හිස් මුදුනේ තියාගෙන වීරයෝ කරගතොත් අවසානයේ ඉතිරු වෙන්නෙ පසුතැවිල්ලක් විතරයි..

එනිසා ඒ ව්‍යාජ සුදට රැවටෙන්න එපා..

සුදු චරිත වලින් පරිස්සම් වෙයන්…!

බොන්න එපා..හැලප අරන් දියන් !

වෙන රටවල වැඩිහිටියන්ට Don’t drink and drive කියද්දි අපේ රටේ උදේ හවා කියන්නෙ “බොන්නම එපා!” කියල.

බොන්නම එපා කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියන සංකල්පයෙන් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටියන් විසින් වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත සමාජ ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න මොනයම් හෝ ආගමකින් හොඳ නරක ගැන ගහන කළු සුදු ඉරි තමාගෙ ජීවිතයට ඔහේ ආදේශ කරගන්න එක නෙමේ.

“බොන්න එපා..බොන්න එපා.. බොන සල්ලි වලින් අසරණ කාට හරි බිබික්කං අරන් දීපං.. කන්න නැති මනුස්සයෙක්ට හැලප අරන් දීපං”

හැම උත්සවයකදිම, හැම සැමරුමකදිම, හැම විශේෂ දිනයකදිම ගාථාව කියනව වගේ ඕක කියවනව.

අපේ රටේ බොන එකම නරක වැඩක්. නොකල යුතු දෙයක්. පාපයක්..

අපේ රටේ ඊනියා ‘හොඳ’ මනුස්සයෙක් වෙන්න අරක්කු ටිකක් කටේවත් නොතියන එක මූලික අවශ්‍යතාවයක්.

අපේ සමාජයේ බොහෝමයක් ආකල්ප වගේම ඔය ආකල්පයෙත් මූලය ආගමිකයි. ආගම සම්බන්ධ කරගන්නෙ නැතුව වැසිකිළියටවත් යන්න බැරි මිනිස්සු ආගම සම්බන්ධ කරනොගෙන හොඳ නරක තීරණය කරන්නෙ කොහොමද? ඒකයි ප්‍රශ්නය

ඉතින් අර ආගමෙන් කියල දීල තියෙන.. හොඳ නරකය කියල තමන් හිතන් ඉන්න දේවල් මුලු ජීවිතයටම.. හැමෝගෙම ජීවිත වලට එහෙමම ඇප්ලයි කරල දානවා

ඒ අනුව පදනම් වෙලා මතවාද හදාගන්නව. මිනිස්සු විනිශ්චය කරනවා. කොන් කරනව, හංවඩු ගහනව.

ගොඩක් අයට අනුව බොන උන් නොබොන උන්ගෙ නොබීමේ අයිතියට ගරු කරන්න ඕන. නමුත් නොබොන උන්ට තමන්ගෙ පාඩුවේ බොන උන්ගෙ අයිතියට ගරු කරන්න තරම් හික්මීමක් නැහැ. හැදියාවක් නැහැ.

බොන එක විතරක් නෙමේ, ඕනම දෙයක් සීමාවක් නැතුව.. ලිමිට් එකක් දන්නෙ නැතුව කරනව නම් ඒක නරකයි තමයි. වෙන්න ඕන තමාට සතුටක් හම්බවෙන ඒ මොක හරි වැඩේ සීමාව මොකක්ද කියන එක තීරණය කරගන්න පුළුවන් ජනතාවක් බවට පත් වෙන එක මිසක බොන එකටයි වැසිකිලි යන එකටයි, හැමිනෙන එකටයි, හැම දේකටමයි ආගමික හරි වැරදි ඇප්ලයි කරලා “තිත” තියන්න හදන එක නෙමේ.

ඇත්ත. ජීවිතය විඳින්න බොන්නම ඕන නැහැ තමයි. නමුත් ඒක සමහරුන්ට ජීවිතය විඳින තවත් එක ක්‍රමයක්. වෙනත් කෙනෙක්ට දැනෙන ඒ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ නිදහසට ගරු කරන්න කෙනෙක් තුළ අපි හිතනවට වඩා විනයක් තියෙන්න ඕන

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනව වගේ ඉන්න ටික කාලෙ ජීවිතය විඳින්න එක එක මිනිහා එක එක ක්‍රම හදාගන්නව. ඉඳල හිටල අඩියක් ගහන එක එයින් එකක්.

වෙන කෙනෙක්ගෙ ආතල් එකෙන් තමාට හානියක් නැත්නම්, බලපෑමක් නැත්නම්.. කවුරු හරි තමාට කරදරයක්, හානියක් නොවෙන විදියට උගෙ ආතල් එක ගන්නව නම් අහක ඉන්න කවුරුත් ඒක ගැන වදවෙන්න බණ දෙසන්න ඕන නැහැ.

තමා නොබී ඉද්දි එක එකා ඇවිත් “බීපං බීපං” කියල දෙසන එක වගේම තමයි මනුස්සයෙක් මොකක් හරි සමරන්න හරි මොන හේතුවකට හරි අඩියක්හ ගහන්න හදදදි “බොන්න එපා යකෝ බොන්න එපා යකෝ ” කිය කිය කියවන එක

ආයෙම කියන්නම්, නොබොන එකාට නොබොන්න අයිතියක් තියෙනව වගේ තමා. බොන එකාට බොන්නත් අයිතියක් තියෙන්න ඕන කන් කරච්චලයක් නැතුව.

කතාව ඒ තරම්ම සරලයි. බොන්න ඕන උන් නොබොන උන්ට කරදරයක් නොබී බීපං. නොබොන උන් බොන උන්ට බණ දෙසන්නෙ නැතුව තම තමාගෙ ආගමක් දහමක් අදහගෙන ඉඳපල්ල

එච්චරයි. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්

ධනාත්මක චින්තන talks

හිතට සහනයක් දෙන ධනාත්මක චින්තන talks. 
මේවායින් ප්‍රයෝජන නැත්තේමත් නෑ. 
එකක් තමා මේවා කියෝලා, දැකලා, share කරලා ගන්න ආතල් එක. ඒක එක ප්‍රයෝජනයක්. හැබැයි ඒ ආතල් එක එතනින් ඉවරයි.
හරියට අර ලබන අවුරුද්දේ මුල ඉඳලා මම Jim යනවා, ඇඟහදා ගන්නවා, සල්ලි ඉතුරු කරන්න ගන්නවා වගේ plan කරලා අවුරුද්දේ මුල් දවස ආවම ඒවා නොකර ආයේ කල්දාන්නේ. 
අන්න ඒ ප්ලෑන් කිරිල්ලයි මේවා share කරලා ගන්න ආතල් එකයි සෑහෙන්න සමානයි.  
අනික් ප්‍රයෝජනේ තමා, 
ඇත්තටම මේ මොකක් හරි ඉලක්කයක් පස්සේ දුවන අයට මේවගේ ධනාත්මක වදන් පොඩි push එකක් වීම. 
ඇත්තටම ඉලක්ක පස්සෙ දුවන උන් මේවා දැක්කත් නැතත් ඒ ඉලක්ක පස්සෙ දුවනවා. මොකද ඒ ඉලක්ක පස්සේ දුවන්න උන්ව පොළඹවපු හේතු සහ අරමුණු මේ වගේ ධනාත්මක චින්තන වචන ටිකකට ලඝු නොවන ඊට වඩා සෑහෙන බරක් ගැඹුරක් තියෙන දේවල් නිසා.
මේවායින් වෙන්නේ පොඩි පුෂ් එකක් ලැබෙන එක. 
හරියට හැතැම්ම ගාණක මැරතන් එකක් දුවන එකෙක්ට වතුර පනිට්ටුවක් වදිනවා වගේ. 
අධිෂ්ඨානයෙන් දුවන එකා දුවන්නේ කොහොමත් දිනන්න. 
වතුර ගැහැව්වත් නැතත්. 
ඒත් වදින වතුර පනිට්ටුව ඌට ධෛර්‍යක්, ඌ ඒක ශක්තියක් කරගන්නවා. 
හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, මැරතන් එක දුවලා ඉවර වුනාම ලැබෙන තෑග්ග මොකක්ද කියන එක. 
මැරතන් එක දිනලා බලාපොරොතු වෙන්නෙ මොකක්ද කියන එක. 
ඕක ඉතින් කෙනා අනුව වෙනස් වෙනවා. 
නමුත් දිනුම් කණුවක් නොපෙනෙන, නිමක් නැති, මැරිලා වැටුනාම විතරක් ඉවර වෙන මැරතන් එකක් දුවනවට වඩා හොඳයි එක තැන නැවතිලා ආතල් එකේ නින්දක් දාන එක. 
ඒත් එහෙම නැවතිලා relax එකේ ඉන්න එසේ මෙසේ පොරකට බෑ. ඒක කරන්න එසේ මෙසේ පොරක් නොවන පොරක්ම වෙන්න ඕන.
මොකද එහෙම නැවතිලා ඉන්න උන්ට වටේ ඉන්න උන් කිංඩි දානවා, පාච්චල් කරනවා. මැරතන් එක දුවන උන් හදන්නේ හැමෝමව ඇදගෙනම දුවන්න.
දුවන්නේ නැති කෙනෙක්ට පැවැත්මක් නෑ.
ඒ විදිහටයි තරඟයේ නීති නිර්මාණය වෙලා තියෙන්නෙ.
ඔය හති දදා මැරෙනකල් දිවිල්ල නවත්තලා පොඩ්ඩක් relax වෙන ක්‍රම හොයන්න සමහරු ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙනවා. 
දැන් ඔය අපේ රටේ තියෙනවාය කියන බෞද්ධාගමේ නිර්මාතෘ ඉදිරිපත් කලෙත් හති දදා දිවිල්ල නවත්තලා ඔන්න ඔය relax වෙන method එකක් වෙන්නැති.
මොනව වුනත් කමක් නෑ, 
අපි ඔක්කෝමල්ලා දුවමු..
හතිදදා දුවමු.
එක රැයින් HIT වෙමු..
උත්සාහ කරමු..
HIT උනයින් පස්සේ…?
.
.
.
ආයේ දුවමු ඕයි !

කාටූනය උපුටා ගත්තේ ගප්පියාගේ පිටුවෙනි

වීරයා මරපං

තරඟය පවතින්නේ ශ්‍රීලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

ජයග්‍රහණය සඳහා ශ්‍රීලංකා පිලට ලකුණු හයක් අවශ්‍යයි, ඉතුරු වෙලා තියන්නේ පන්දු තුනයි.

පන්දුවට පහර දීමට පිටියට එන්නේ නවක තරුණ ක්‍රීඩකයෙක්. නම, සචිත්‍ර සේනානායක

ඔහු මුහුණ දෙන පළමු පන්දුව, ශ්‍රීලංකා පිලේ අවසන් පන්දු තුනෙන් පළමුවැන්න.

සචිත්‍ර අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්. මෙච්චර තියුණු අවස්ථාවකදි ඔහු අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්..

මා ඇතුළු නරඹන්නන්ගේ ප්‍රතිචාරය අමුතුවෙන් කිව යුතු නෑ

නරඹන්නො සියල්ලම වගේ “එකක් දාලා අනිත් එකාට හරි ගහන්න දියන් මෝඩයො”… කිය කිය හිතින් බනිද්දි දානවා ඊළඟ පන්දුව..

හයේ පාරක්…! ලකුණු 6යි..!

මැච් එක දිනුම්.

අන්තිමට ඇවිත් ෆොර්වර්ඩ් එකක් අල්ලලා ඊළඟ බෝලෙට හයේ එකක් ගහපු සචිත්‍ර හැමෝගෙම වීරයා වුනා…

තරඟයේ ජයග්‍රහණයට වඩා මගේ හිත ගත්තේ සවිත්‍ර එක පන්දුවෙන් ‘මෝඩයා’ ගෙ ඉඳල ‘වීරයා’ වුන සිද්ධියට

බැරි වෙලා හරි සචිත්‍ර ගහපු පාර බවුන්ඩ්‍රි ලයින් එකේදි උඩපන්දුවක් විදියට ගිහින් සචිත්‍ර අවුට් වුනා නම්.. මොකක් වෙන්න තිබ්බද?

ඒ ක්‍රීඩකයා අන්තිම මොහොතේ ෆොර්වර්ඩ් එකක් අල්ලපු අමු මෝඩයෙක් විදියට හැමෝම දකියි.. රටම දවස් දෙක තුනක් ඌට බනියි පළු යන්න.

ඒ අතින් බලද්දි මෝඩයා වීරයෙක් වෙන්නත්, වීරයා මෝඩයෙක් වෙන්නත් තියෙන්නෙ කෙස් ගහක වෙනසක් විතරයි.(ඒ කතාව පිළිගන්න අමාරු නම් පොඩ්ඩක් අහල බලන්න සරත් ෆොන්සේකගෙන්, ඒ කතාව බොරුවක්ද කියල)

“වීරයා”

වීරයා කියන සංකල්පය සාපේක්ෂයි.. පුද්ගලානුබද්ධයි.

කෙනෙක්ගේ වීරයා තවත් කෙනෙක්ගේ දුෂ්ඨයා වෙන්න පුළුවන්.

වීරයො විතරක් නෙමේ, “වීරයෝ, මෝඩයෝ සහ මෝඩ වීරයෝ” වගේ හැම ජාතියෙන්ම කට්ටිය ඉන්නවා, පොඩ්ඩක් අවධානයෙන් ඇස් ඇරල බලන්න විතරයි තියෙන්නෙ

මොකක් හරි හේතුවක් නිසා වීරයෙක් නිර්මාණය වුන ගමන්ම, ඉන් එහාට දකින්න පුළුවන් වෙන්නෙ වීරයා මත්තෙ නැහෙන ආගමික හැසිරීමක් මිසක බුද්ධිමය හැසිරීමක් නෙමේ

එතන ඉඳන් වීරයා කියන සංකල්පය රකින්න ඕන.. තමාගේ වීරයාගේ නම, ප්‍රතිරූපය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ වෙනුවෙන් සටන් කරන්න ඕන..

වීරත්වයට ඔසවනු ලැබූ වීරයා නැමති සංකේතය රැකෙන්නෙ එතකොටයි.

නමුත්, සාමාන්‍ය මට්ටමට උඩින් මනුස්සයෙක්ව වීරයෙක් කියල තිබ්බ ගමන්ම වෙන්නෙ ඒ සංකල්පය වෙනුවෙන් මරාගන්න වුනත් සූදානම් අනුගාමිකයො ටිකක් ඇති වෙනව කියන එක. වීරයා නැමදීම තුළින් සමාජීය/සංස්කෘතික/දේශපාලන ගැටුමක් ඇති වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.

අන්තිමට වීරයාගේ ක්‍රියා/ඉගැන්වීම්/නියම කිරීම් යට ගිහින් මතු වෙන්නේ ඒ ‘වීරයා’ වෙනුවෙන් පෙනී ඉන්න අන්ධානුගාමිකයින් පිරිසක් විතරයි.

වීරයෝ සාපේක්ෂයි. වගේම භයානකයි. වීරයා කියන සංකල්පයට ඒකයි මම කැමති නැත්තෙ. ලේ, ඇට, මස්, නහර වලින් හැදුන මිනිස්සුන්ව සාමාන්‍ය තත්වයන්ගෙන් උඩට උස්සලා වීරත්වයක් ආරෝපනය කරලා වන්දනා කරන්න ඕන නැහැ. ක්‍රියා, අදහස්, සංකල්ප එක්ක ගනුදෙනු කලාම ඇති.

මම ආයෙම එනවා මුලින් කියපු කතාවට..මෝඩයා වීරයෙක් වීමේ කතාවට

මතක තියා ගන්න,

“වීරයා සහ මෝඩයා අතර වෙනස කෙස් ගහකටත් වඩා කුඩායි”

ඒකයි මචන් මං කියන්නෙ,

“වීරයා මරපං” කියල

දිව්‍යලෝකයේ wifi නැත්තෙ ඇයි?

හැම ආගමකම දිව්‍යලෝක නිර්මාණය කරල තියෙන්නේ ඒ ඒ කාල වල තමන් ‘සැප’ කියල හිතන් හිටිය දේවල් අතිශෝක්තියෙන් දැක්වීම මඟින්.

ඒ නිසා ඔය ඒ ඒ කාලවල සැපවල් වර්තමානයට ගෙනත් දැම්මම ඒවායේ තියෙන මැජික් ගතිය නැති වෙලා යනවා.

එතන තියෙන්නෙ ආගමිකයන් නොදකින නොගැලපීමක්.

උදාහරණයකට ක්‍රිස්තියානි දිව්‍යලෝකය (ස්වර්ගය) ගමු.

ක්‍රිස්තියානි දිව්‍යලෝකය තියෙන්නේ සදාකාලයටම. ඇතුළු වුනොත් ඇතුල් වුනාම තමයි. ආයෙ ඒමක් නෑ. තමාගෙ ප්‍රියයන් සදාකාලික අපායක දුක් විඳිනවා බලබල සදාකාලික, ඒකාකාරී අත්දැකීමකටම ඔවුන් හිර වෙනව.

ඊළඟට, ඔය ක්‍රිස්තියානි දිව්‍යලෝකය එක්ක බැඳුනු ‘සදාකාලය’ කියන සංකල්පයේ බැරෑරුම්කම හිතා ගන්නවත් බැරි තරම්. මම වෙන තැනක දැක්ක උදාහරණයකින් මේ ‘සදාකාලය’ පැහැදිළි කරන්න උත්සාහ කරන්නම්.

හිතන්න සූර්‍යයා තරම් විශාල ඝන යකඩ ගෝලයක් තියෙනවාය කියල. හැම අවුරුදු සියයකට සැරයක්ම පක්ෂියෙක් තමාගේ අත්තටු දෙකෙන් එකක් ඒ ඝන යකඩ ගෝලයේ ගෑවෙන විදියට ඒ අසළින් පියාසර කරනවාය කියල හිතන්න. අවුරුදු සියයකට සැරයක් පක්ෂියාගේ අත්තටුව වැදී ඒ ඝන යකඩ ගෝලය ගෙවිලා නැති වෙලා යන්න ගත වෙන කාලය ‘සදාකාලයේ’ පළමු දවස යැයි හිතන්න.

අන්න ඒ තරම් භයානක, දීර්ඝ කාලයක් තමයි සදාකාලය කියන්නෙ. හිතන්න එතරම් කාලයක් එක තැනක හිර වෙලා ඉන්න වුනොත්, ඒ තැන දිව්‍යලෝකය වුනත්..

කතෝලික විශ්වාසයට අනුව කතෝලික දිව්‍යලෝකය (ස්වර්ගය) කියන්නෙ දුහුල් සළු වලින් සැරසිලා, එහා මෙහා ගමන් කරමින්, දෙවියන්ට ප්‍රසංශා කරමින් ඉන්න තියෙන තැනක්.

ඒ ඒකාකාරී බව නිසාම සදාකාලයේ පළවෙනි දවසෙදිම ස්වර්ගය අපායක්ම වෙන බව පොඩ්ඩක් හිතල බැලුවම තේරෙයි.

කතෝලික දහම නිර්මාණය වුන කාලයේ තිබ්බ ‘සැප’ විඳිමින්/විඳවමින් දිව්‍යයලෝකයක සිර වෙන්නයි වෙන්නෙ.

ඔය තියෙනවයි කියන සැප විඳල විඳල අවසානයේ දෙවියන්ගෙන් අහන්න වෙන්නෙ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්..

“දෙවියනි, දිව්‍යයලෝකයේ wifi නැත්තෙ ඇයි?”

මිනිසා විසින්ම ‘සැප’ විඳිමේ බලාපොරොත්තුවෙන් නිර්මාණය කර ගත්ත ඒ දිව්‍යයලෝකය කියන සංකල්පයේ තියෙන බැරෑරුම්කම/භයානක කම ඕකයි

මේ වචන වලින් ප්‍රවේසම් වන්න

“…..ලේ, අධ්‍යාපනය, නිදහස, සිංහල, දෙමළ, දරුවා, හාමුදුරුවො, දේශය, මව්රට, රණවිරුවා….”

සමහර වචන අස්සේ හැංගිලා තියෙනවා අපි නොහිතන තරමේ ‘බරක්’

ඔය වගේ වචන තමයි කපටින් යොදාගන්නේ සාමාන්‍යය මිනිස්සුන්ගේ චින්තනය පාලනය කරන්න.. හෘද සාක්ෂිය තමාට ඕන විදියට නටවන්න.

උදාහරණයක් ගමු.

“අද හවස දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් නිසා පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට”

ඔය තියෙන්නෙ නිවුස් එකක් ලියන්න පුළුවන් විදියක්. ඔය නිවුස් එකම විශේෂණ පද එක්ක මෙහෙම දැම්මොත් ඇත්ත පණිවිඩය වෙනුවට කොහොම පණිවිඩයක් යාවිද?

ආයෙම බලන්න

“අද හවස දෙමළ සහ සිංහල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී දෙමළ පිරිස විසින් සිංහලයන් දෙදෙනෙකුව තියුණු අවි වලින් කපා කොටා ඝාතනය කොට ඒ මළ සිරුරු බිම දිගේ ඇදන් ගොස් අසළ තිබූ ගඟකට විසිකර ඇත”

වචන කිහිපයක් එකතු කල පමණින් පුද්ගලික ආරවුලක් නිසා හටගත් ගැටුම සමාජය තුළ වෙනම තලයකට ගෙනියන්න පුළුවන්.

කලින් ප්‍රවෘතිය වුනත් අර මම කලින් කිව්ව විශේෂණ පද දාලා වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ චින්තනයක් කියවන්නාගේ මනස තුළ නිර්මාණය කරනවා. වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ මානසිකත්වයක් කියවන්නාගේ මනස තුළ ඇති කරනවා.

“අපි පෙනී ඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්”

වගේ සටන් පාඨයක් ලේසියෙන් පැහැදිළි තර්කයෙන් වුනත් බිඳ දාන්න අමාරු ඒ නිසයි.

ඔය වැනි වචන අස්සේ මුල් බැසගෙන තියෙන සංකල්ප කියන්නේ පාලකයන්ට ජනතාවගේ මනස පාලනය කරන්න තියෙන tools විදියට ගන්න පුළුවන්.

ඒ වචන වලින්, සංකල්ප වලින් පරිස්සම් වෙන්න ඕන ඒකයි..

මොනව වුනත් අදාල දේටයි අදාල නැති දේටයි “මේක සිංහලබෞද්ධ රට යකෝ”.. “නිදහස් අධ්‍යාපනය වෙනුවන් මැරෙනව යකෝ”.. “‘අත දරුවෙක්ට’ ‘සාහසික’ ලෙස පහර දීලා යකෝ”.. “හාමුදුරු කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගනින්”.. “මොනව වුනත් ‘සිවුර’ට ගරු කරපිය”.. “රණවිරුවන්ව කුණු අදින්න දාලා”

වගේ කතා ඇහෙද්දිම.. කියවද්දිම.. අර බර වචන ටික අයින් කරලා දෙකෙන් තුනෙන් හතරෙන් බෙදලා.. පෙරලා ප්‍රවෘතියේ නියම පණිවිඩය ගන්න නම් ටිකක් බුද්ධිමත් වෙන්න ඕන, වගේම ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි.

යමක් කියවද්දි තමාට මුලින්ම එන හැඟීම පාලනය කරන්න යොදාගන්න කපටින් පාවිච්චි කරන මේ වගේ උගුල් වලට අහු වෙන්න එපා.

නැත්තන් වෙන්නෙ “පළමුවත් ‘මව් බිම’.. දෙවනුවත් ‘මව් බිම’.. තෙවනුවත් ‘මව් බිම'”.. වගේ හිස් වචන කියන කපටින්ට “කලගුණ” සලක සලක ඉන්නයි.

ලේ…!

කතරගම යද්දි කට වරද්දගන්න එපා !

කතරගම වන්දනාවේ යමින් හිටි බස් එකක් ත්‍රීවීල් එකක ගැටිල මාරක රිය අනතුරක් වුනාය කියල නිවුස් වල දැක්කා.

ඒ එක්කම මට මතක් වුනේ මම කතරගම ගිය අන්තිම වතාවෙ ඔය වගේම අනතුරක් ගැන මගේ නැන්දා කියපු දෙයක්

“කතරගම යද්දි කට වරද්ද ගන්න හොඳ නෑ.. අනිවාර්‍යෙන් ඔය කට්ටිය කට වරද්දගන්න ඇති ඔහොම දෙයක් වෙන්න”

මට ඒ කතාව ඇහුනම මතක් වුනේ ඔය කාරණාව ගැන උපුල් ශාන්ත සන්නස්ගල කිව්ව කතාවක්. මට මතක විදියට මෙන්න මෙහෙම දෙයක් ඔහු කිව්වේ..

“කඳුකර පලාතක බස් එකක මිනිස්සු පිරිසක් වන්දනා ගමනක යනව කියල හිතන්න. එකපාරම නොහිතූ විදියට බස් එක අනතුරකට ලක් වෙලා බස් එක පෙරලෙනවා හෙලකට.. දැන් මෙහෙම පෙරලෙද්දි බස් එකේ මිනිස්සු පොඩි වෙලා, චප්ප වෙලා මැරෙනවා කියල හිතන්න. ඔය අතරේ බස් එකේ හිටිය පොඩි ළමයෙක් ජනේලයකින් එළියට විසිවෙලා පඳුරක හිර වෙනවා. ඒ නිසා ඒ ළමයාගේ ජීවිතය බේරගන්න ලැබෙනවා. ඔය සිද්ධිය ගැන අහන අය කියයි කට වරද්ද ගත්ත හින්දයි ඔය අනතුර වුනේ.. ළමයාගේ පිනට ළමයා බේරුනාය කියල….”

“.. දැන් ආයෙම හිතන්න ඔය පලාතටම යනව කියල ජම්බෝල පිරිච්ච ලොරියක්. ඒ ලොරියත් කලින් බස් එක වගේම අනතුරට ලක් වෙලා අර හෙලින්ම පෙරලෙනව. දැන් මෙහෙම පෙරලෙද්දි ලොරියෙ තිබ්බ ජම්බෝල ගෙඩි ටික පොඩි වෙලා, චප්ප වෙලා විනාශ වෙලා යනව කියල හිතන්න. ඒත් මේ පාර ළමයෙක් වෙනුවට ජම්බෝල ගෙඩියක් ජනේලයෙන් එළියට විසිවෙලා පඳුරක හිරවෙනවා කියල හිතන්න..

දැන් ඒ අනිත් ජම්බෝල ගෙඩි විනාස වුනේ ඒවා වන්දනා ගමන යන අතරතුර කට වරද්ද ගත්ත නිසාද. අනිත් ජම්බෝල ගෙඩිය බේරුනේ ඒ ජම්බෝල ගෙඩියෙ පින නිසාද?”

ඔන්න ඕකයි කතාව

කල කම් පල දීම

“එදා සරත් ෆොන්සේකාව බිම ඇදගෙන ගිය මේජර් සුමිත් තමන්ගේම ගෙදර තමන්ගේම බාල්කයක් ඔලුවට කඩන් වැටිලා රෝහලේ. කලකම් පල දෙනවා කියන්නෙ මේවාට තමයි”

ඔය බුකියෙ ශෙයාර් වුන පෝස්ටුවක්.

ඒ කියන්නෙ බාල්කය කඩන් වැටුනෙ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්ත නිසාද? බැරි වෙලාවත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තෙ නැත්තන් බාල්කෙ කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් එදා මේ මේජර් කෙනෙක් වෙනුවට වෙන මේජර් කෙනෙක් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තා නම් බාල්කෙ වැටෙන්නෙ ඒ මේජර්ගෙ ඔලුවටද? ඔය සිද්ධි දෙකේ සම්බන්ධයක් ඇත්තටම තියෙනවද?

පැටලිලි ගොඩයි.

මේක පැහැදිළිවම ඉතාම පහත් දේශපාලන ඇරියස් කවර් කරගන්න හදපු පෝස්ට් එකක් වුනාට මේකට පදනම් වෙච්චි චින්තනය අපේ සමාජයට අලුත් දෙයක් නෙමේ.

“ඇස් පනාපිට කලකම් පලදීමේ” තියරිය.. අර දිට්ඨදම්මවේදනීය කර්මයද මොකක්ද කියන්නෙ.. අන්න ඒක..

ආගමිකව ගත්තාම ඔය තියරියෙ හරි වැරැද්ද මොක වුනත් ඔහොම අදහසක් අපේ සමාජයේ මුල් බැසගෙන තියෙන බව රහසක් නෙමේ.

කෙනෙක්ට ස්වභාවික විපතක්, අවාසනාවන්ත සිද්ධියක්, අභාග්‍යයක්, කරදරයක් වුනාම.. ඒ කෙනාගේ ජීවිතය හරි ජීවිතයේ යම් ක්‍රියාවකට හරි ඒ සිද්ධිය සම්බන්ධ කරල සතුටු වෙන එක… එහෙම නැත්නම් “මේක උනේ අරක නිසාය”,”මෙහෙම වුනේ එදා අරෙහෙම කල නිසාය” කියල හිතන එක…

එතනින් කියවෙන්නෙ යම් අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න ඒ අය සුදුසුය කියන හැඟීමක්. යම් කෙනෙක්ට යම් අභාග්‍යයක් වුනාම ඒ දෙය සිද්ධ වුන එක සාධාරණය වගේ සිතිවිල්ලක්.

සමහර අවස්ථා වලදි කුඩා දරුවන්ට පවා කරදර වුනාම දෙමාපියන්ගෙ වැරදි වලට ඒක සම්බන්ධ කරනවා දැකලා ඇති

“ඕකුන්ට ඔහොම වුනේ මහ උන්ගෙ වැරදි නිසා”,”දෙමව්පියන්ගෙ කරුම ළමයින්ට කරගහන්න වෙලා”

මොන පදනමකින් ආවත් ඒ සිතිවිල්ල හරිම අමානුෂිකයි.

මේ කතාවෙ තවත් පැත්තක් තියෙනව

වසර 2012 දී ඉන්දියාවේ දිල්ලි නගරයේ සිද්ධ වුන ජ්‍යෝති සිං ගේ සමූහ දූෂණය ගමු. එතනදි සිද්ධ වුනේ බස් රථයක් තුල ගමන් කල යුවලක තරුණයාට පහර දීලා මිනිසුන් හය දෙනෙක් විසින් තරුණියව සමූහ දූෂණයට ලක් කරල ඇයව මරල දාපු එක.

මේ වගේ සිද්ධි වලදි තරුණිය ගැන ඇති වෙන කණගාටුව නිසා ඇහෙන්න පුළුවන් කතා පොඩ්ඩක් හිතන්න

“ඕකුන්ට හෙණ ගහන්න ඕන.. ආත්ම ගාණක් ඔය කල විදියටම ඔය තිරිසන්නු දූෂණය වෙලා මැරෙන්න ඕන”

ඔතනදි එන්නෙත් අර කලින් අදහසෙම අනිත් එක. කරපු වැරැද්දකට අනාගතයෙ දඬුවම් ලැබිය යුතුය කියන එක.

ඒත් ඒ චින්තනයට අනුවම අනිත් පැත්තට හිතල බැලුවොත්, දූෂණය වෙච්චි තරුණිය දූෂණය වුනේ මීට පෙර ආත්මයක/භවයකදි ඇය විසින්ම සිද්ද කරල තියෙන මේ වගේම මහා දරුණු අපරාධයක ප්‍රතිපලයක් විදියට වෙන්න ඕන. ඒකත් කලකම් පලදීමක් වෙන්න ඕන. මේ අයගෙ චින්තනයට අනුව ගත්තොත් “මෙහෙම වුනේ එදා වෙන කෙනෙක්ට අරෙහෙම කල නිසාය” කියල සතුටු වෙන්නයි වෙන්නෙ හරියටම බැලුවොත්.

ඒකයි ඔය චින්තනයේ අවුල.

මනුස්සයෙක්ට දුකක්, කරදරයක්, අකරතැබ්බයක් වුනාම ඒක ඒ මනුස්සයාගේ වැරදි කියල තමන් හිතන් ඉන්න දේවල් වලට සම්බන්ධ කරල සතුටු වෙන එක ඇතුලේ හැංගිලා තියෙන අමානුෂික ඇත්ත ඕකයි.

මීට පස්සෙ ආගමික පදනමකින් ආවත්.. ඔය වගේ සිතිවිලි ඔලුවට එද්දි දෙපාරක් ආයෙමත් හිතන්න.

මොකද ඔය විදියට හිතන්න ගියොත් මේ ලෝකේ දුක් විඳින හැම කෙනෙක්ම, දුක් විඳින හැම අවස්ථාවක් ගැනම මනුස්සයො විදියට අපට කණගාටුවෙන්න..දුක් වෙන්න.. ඉඩක් ඉතිරි වෙන එකක් නැති වෙයි

සවනි මගේ මං සවනිගෙ

ඉස්කෝලෙ යන කාලෙ මෝඩ වැඩ නොකරපු කවුරු හරි ඉන්නවද?

ඉස්කෝලේ යන කාලේ තමා අතින් වෙච්චි වැරැද්දක්, කරපු ගොං කමක් අල්ලගෙන මුලු පන්තියම.. මුළු සෙක්ෂන් එකම.. මුළු ඉස්කෝලෙම මාස ගාණක්, අවුරුදු ගාණක්, මුලු පාසල් කාලයෙදීම තමාට නමක් දාලා බයිට් කලා නම්.. කාඩ් එකක් වැදුන නම්.. අන්තිමට තමාව අනිත් අය හඳුනාගන්නා අනන්‍යතාවය විදියට කාඩ් එක පාසල් ජීවිතය පුරාම භාවිත වුනා නම්..

පොඩි කාලේ මුළු ඉස්කෝලෙම ඉස්සරහා වේදිකාව උඩදි තමාව කකුල පැටලිලා වැටුන එක..පහ-හය වසරේදී පන්තියේදී චූ ගිය එක.. එහා පන්තියේ කොල්ලෙක් එක්ක ගේම ඉල්ලලා අන්තිමට කෙල්ලො ඉස්සරහ අම්බානට ගුටි කාපු එක..

තමා අතින් වෙච්චි ඒ වැරැද්ද.. තමා කල ඒ ගොං කම.. හැමෝගෙම බයිට් එක වුනා නම්.. ඒ කාලෙ තිබ්බ තමාගේ ඒ පුංචි මානසිකත්වයට ඒක කොහොම බලපායිද? තමාගේ චරිතය ගොඬනැඟෙන්න හැමෝගෙන්ම චාටර් වෙන එක, බයිට් වෙන එක, තමාට වඩා ලොකු පන්ති වල අයියලා ගෙන් බුලි වෙන එක.. කොහොම බලපායිද?

අපි හැමෝටම වගේම මේ ලියන මටත් තිබ්බා එහෙම අතීතයක්..

මං ඉස්කෝලෙ යන කාලෙ/ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් ටිකෙ කරපු වැඩ.. සමහර ඒව කොච්චර පිස්සු වැඩ වුනත් සුන්දර මතකයන්.. ඒවගේම තමා සමහර ඒවා මතක් වෙද්දිත් ලැජ්ජයි..

කාලෙන් කාලෙට මටත් තිබ්බා එක එක අමාරු.. හැම කොල්ලෙක්ට වගේම. කාලයක් Backstreet Boys  බෝයිස් පිස්සුවක්.. ඒ කාලෙ කලේ ටීවී එකේ රිමෝර්ට් එක මයික් එක වගේ තියාගෙන අරුන්ගේ සින්දුවක් දාලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් උන්ගෙ සින්දු වලට කටහොලව හොලව නටන එක.. ඒ අටේ පන්තියෙදි විතර.. ඊට පස්සෙ මයිකල් ජැක්සන් පිස්සුව.. ජැක්සන්ගෙ මූන් වෝක් එක,සයිඩ් ග්ලයිඩ් එක.. පුරුදු වුනා පුක ඉරාගෙන.. ඊටත් පස්සෙ ක්‍රිකට් පිස්සුව..

තවත් කාලයක් තිබ්බා අමුතුම පිස්සුවක් හැදුන.. ඒ අවුරුදු 18-19 විතර වෙද්දි. නාහෙට අහන්නෙ නැති වයස.. මට මතකයි ඒ කාලෙ මම එළියට බහින්නෙ ඩෙනිම ගහල, තද රතු පාට ටීෂර්ට් එක ඇඳලා යට කරල, කිලෝ දෙකක් විතර බර බෙල්ට් එකක් දාලා, කොණ්ඩේ ස්පයික් කරලා.. (දැන් වගේ නෙමේ, එකින් එක ස්පයික් කරන්නෙ.. පැය කාලක් විතර යනව කොණ්ඩෙ හදන්නම).. අතේ ඇඟිලි හය හතකට මුදු දාලා..

මට මතක් වෙනවා මුලින්ම මගෙ හිත ගිය කෙල්ලට මං ලියල දුන්න ලියුම.. පෙර කරපු පිනක් නිසාද මංද කෙල්ල බෑ කියල ලියුම ගත්තෙ නෑ.. ඒ ලියුම කියෙව්ව නම්.. ඒ තරම්ම බොළඳයි.. අද වෙනකල් ඒ ලියුමෙ තිබ්බ දේවල් දන්නෙ මම විතරයි..

ඇයි දැන් මම මේ ඔක්කොම කියන්නෙ? කියන්නෙ මේනිසයි.. මේ හැමෝම.. දැන් බුකියෙ ඉන්න අවුරුදු 20-40 වයස් සීමාවේ ඔක්කොටමල්ලා ඔය වගේ ගොං වැඩ කරල ඇති.. හැමෝගෙන්ම තමන් හංගන් ඉන්න.. එහෙම නැත්තන් ළඟම යාලුවො දෙතුන් දෙනෙක් විතර දන්න… සමහර රහස් කාටවත් කියන්න එපා කියල යාලුවන්ට නොවැඳ වැඳපු අවස්ථා එහෙම ඇති.. අපි හැමෝටම

ඒත්, වාසනාවට හරි අවාසනාවට හරි.. ඒ කාලෙ අපිට තිබ්බෙ නෑ කැමරා ෆෝන්.. ස්මාර්ට් ෆෝන්.. අයි පෑඩ්.. ලැපක් කියල එකක් දැකලවත් තිබ්බෙ නෑ මයෙ හිතේ..

පොඩ්ඩක් හිතන්න.. අපිට ඒ කාලෙ.. කැමර ෆෝන් එකක් තිබිලා අපි ඔය කරපු ගොං වැඩ.. දැන් අපි හැමෝගෙන්ම හංගගෙන රහස් විදියට රකින ඒ පිස්සු වැඩ.. අපේම යාලුවෙක් අතින් හරි.. අපේම අතින් හරි රෙකෝර්ඩ් වෙලා තිබ්බ නම්… ඉන්ටර්නෙට් එකේ වයිරල් ගියා නම්..

තත්පරයක් අරගෙන හිතන්න..

මං මේ දවස් වල දකිනවා පොඩි උන්.. කැප් දාගෙන.. මාල දාගෙන (ඒව මාල නෙමේ, දම්වැල්).. රැප් කරනවා.. ලොකු උන් වෙන්න හදනවා.. කෙල්ලන්ට ලව් කරනවා… ස්ටේටස් දානවා..

ඒව දකිද්දි මට මතක් වෙන්නේ මටත් එහෙම කාලයක් තිබ්බ කියල .. මටත් තිබ්බ නම් කැමරා ෆෝන් එකක්… කොණ්ඩේ ස්පයික් කරගෙන පිස්සු කෙලපු මම මගෙ ෆොටෝ එකක් අරගෙන ෆේස් බුක් නොදා ඉඳියිද? මම පිස්සුවෙන් වගේ ලව් කරපු කෙල්ල (අර මට තුන් පාරක්ම බෑ කියපු කෙල්ල.. ඒකි තමා) ගැන කියල ෆේස් බුක් එකේ බොළඳ ස්ටේටස් නොදා ඉඳියිද? ඒකි බෑ කියපු වෙලේ අඬන ස්ටේටස් එකක් නොදා ඉඳියිද මගෙම අඬන මූණ තියෙන ෆොටෝවක් එක්ක…? කවුද දන්නේ? ඒ කාලෙ කල ගොංකම් හැටියට.. එහෙම නැත්නම්..අර කෙල්ලට ලියපු ලියුම කොහෙන් හරි ලීක් වෙලා යාලුවෙක් ඒක ෆොටෝ ගහල ෆේස් බුක් දැම්ම නම්..ඊට හොඳයි වහ කාල මැරෙන එක..

හැමෝටම ඔය වගේ අත්දැකීම් ඇති.. දැන් ආයෙම එන්න වර්තමානයට.. දැන් ඉන්න පොඩින් උනුත් අපි වගේම තමා.. ගොං වැඩ කරනවා.. ලොකු උන් වෙන්න හදනවා.. පොරවල් වෙන්න හදනවා.. උන් හිතන් ඉන්නෙ ලෝකෙට ලොක්කො උන් කියල.. ඉක්මනට කොල්ලෙක් වෙන්න/පොරක් වෙන්න/තදයෙක් වෙන්න පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ. ඉතින් උන් එහෙම වෙන්නය කියල තියන දේවල් කරනවා..

වැඩිහිටියො වෙලා ඉන්න අපි දැන් මොකක්ද කරන්නෙ?.. අර ඉස්කෝලෙ ඒලෙවල් උන් පොඩි එකෙක් කරපු ගොං වැඩක් අල්ලගෙන.. ඌව ඉන්ටර්වල් එකේදි අල්ලගෙන බයිට් කරන සෙට් එකක් වගේ සයිබරය පුරා පොඩි උන්ව බයිට් කරනව..

ඒකෙන් පොඩි එකාට වෙන බලපෑම.. ඌට ඉස්කෝලෙදි, පන්තියෙදි, ටියුෂන් ක්ලාස් එකේදි වදින කාර්ඩ්, ඇති වෙන ලැජ්ජාව.. ඒ අහිංසක පොඩි එකා සයිබරයෙදි බයිට් වෙන හැටි.. සැබෑ ජීවිතේදි බුලි වෙන හැටි.. අපිට සත පහකට වැඩක් නෑ..

අපිට ඕන එක දෙයයි.. අපේ ආතල් එක..

කමක් නෑ මචන්.. උඹලා උඹලගෙ ආතල් එක ගනිල්ලා.

ඒත් එකක් මතක තියා ගනින්, උඹලටත් ඔහොම කාලයක් තිබ්බ. උඹලත් පිස්සු කෙළිය.. ගොංකම් කලා.. ඒත් එකම දේ.. දැන් කාලෙ පොඩි උන්ට වගේ උඹලගෙ අතේ කැමරා ෆෝන් තිබ්බෙ නෑ

එහෙම තිබ්බ නම් සමහර විට.. දැන් උඹල පොඩි උන් බයිට් කරනව වගේ..සමාජයක් ඉදිරියේ, උඹල බයිට් උනා නම්.. අද උඹල වෙනස්ම විදියේ මිනිස්සු වෙලා නතරවෙන්න තිබ්බා. ඒ කටුක අත්දැකීමත් එක්ක..

උඹලට ලෝකෙ තියෙන හැම දේම නරකයි.. ඒත් උඹලට ආතල් එකක් හම්බෙනව නම්.. ඕන බලු වැඩක් හොඳයි උඹලට..

පොඩ්ඩක් තමාගෙ අතීතයට ගිහින්, දැන් උඹල බයිට් කරන අහිංසක පොඩි එවුන්ගේ ඇහෙන් ලෝකය දිහා බලහන්..

එතනදි සමහර විට, උඹලට උඹලවම හම්බවෙයි !