Category Archives: නිර්මාණ

තරිඳු මල්ලිගේ කථාව

“අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?”
හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය.
කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි.
.
.
.
මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම දරුවා වූයේ ඔහුය. අප අතරින් වැඩිහිටියන්ට වැඩියෙන්ම කරදරයක් වූයේද ඔහුය.
විටෙක ඔහු ජනේලයක වීදුරුවක් බිදියි, තවත් විටක ආය කටුවක් නවා එයට සබන් කැබැල්ලක් රදවා ඇලෙන් මාළුන් අල්ලයි, තව විටෙක පොඩි එකෙකු සමඟ පොර බඳියි. ඔහු ගැන නිතරම කුමක් හෝ පැමිණිල්ලකි.
“මූ නං යකෙක්.. ඇට්ටරයෙක්”
සියලු වැඩිහිටියන් තරිඳු මල්ලිව හැඳින්වූයේ එලෙසින්ය.
මේ දැඟලිල්ල නිසාම ඔහුව යහපත් කීකරු දරුවෙකු කිරීම උදෙසා, තරිඳු මල්ලිව අසාමාන්‍යය ලෙස සිර කොට, නීති දමා, නිරතුරුව තම ඇස් මට්ටමේ තබා ගැනීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඔහුගේ පියා විසින් පනවන මේ අසාමාන්‍යය නීති අනෙකුත් වැඩිහිටියන්ගේ විවේචනයටද ලක් වූයේ වරක් දෙවරක් නොවේ.
වෙලාවට නැගිටීම, නින්දට යාම මෙන්ම වෙලාවට පාඩම් කිරීමද ඔහුට අනිවාර්‍ය කෙරුනු දෙවල් විය. සෙල්ලම් කිරීමට ඉඩ ලැබුනේ ඉතාම සීමා සහිත කාලයක් පමණි.
බැතිමත් කතොලිකයන් වූ ඔහුගේ මාපියන් ඉරිදාට පල්ලි යාම, දිනපතා යච්නා කිරීම අනිවාර්‍ය කොට තිබුනි.
කෙසේ හෝ, වයසින් වැඩෙත්ම අප එකිනෙකාට වෙන් වන්නට සිදු විය. සියල්ලන්ගෙන් ඈත් වූ මට තරිඳු මල්ලි ගැන ඉඳ හිට හෝ අහන්න ලැබුනේ මගේ අම්මාගෙනි.
“දැන් තරිඳු හරිම හොඳයිලු. පල්ලියෙමලු.. උඹලව තමා බලෙන්වත් පල්ලියකට යවා ගන්න බැරි. අච්චර දඟලපු ළමයා දැන් ශාන්තුවරයෙක් වගේ නිමිලලු. උඹල ඒ ළමය දිහාවත් බලල හැදියන්”
මම පල්ලි නොයන හැම අවස්ථාවකම, ආගමික කටයුත්තක් මඟ හරිනා හැම අවස්ථාවකම අම්මාගෙන් බැණුම් පිට බැණුම් අසන්න වූයේ තරිඳු මල්ලිගේ හොඳ සමඟ මගේ නරක සැසඳීමෙනි. කාලයක් තිස්සේ නොදුටු තරිඳු මල්ලි ගැන අම්මාගෙන් අහපු බැණුම් නිසාම තරහක් ඇති වු අවස්ථා නැතුවා නොවේ.
වසර ගණනක් එකිනෙකාගෙන් වෙන් වී සිටි මට, තරිඳු මල්ලි මීට මාස කීපයකට පමණ පෙර නෑදෑ කෙනෙකුගේ අවමඟුලකදී හමුවූයේ අහම්බෙනි.
වෙනදාට එක තැනක ඉඳගෙන ඉන්න බැරි තරිඳු මල්ලි මුළු ගැන්වී, කාගේවත් මූණවත් බලා කතා නොකරන යටහත් පහත් චරිතයක් බවට පත් වි තිබීම අප සැම පුදුමයට පත් කරනු ලැබීය.
“ඉතින් මල්ලි, කොහොමද?”
“ඉ..ඉ..ඉන්.. ඉන්නව.. අ..අයියෙ”
පෙර මෙන් නොව, තරිඳු මල්ලි දැන් කතා කරන විට ගොත ගසන බව අම්මා මට කියා තිබ්බද ඔහුත් සමඟ කතා කරන තුරු ඒ ගැන මගේ මතකයේ තිබුනේ නැත.
ඔහු කතා කලේ ඉතාම අපහසුවෙනි, වචන එළියට නොඑන අවස්ථාවලදි ඔහු ඇස් පියා ගනිමින් කථා කිරීමට උත්සාහ ගත්තේය.
“මල්ලි දැන් පල්ලියේමලු නේද?”
“නෑ.. නෑ අයියෙ.. ඉස්ස්ස්සර ගි..යා. දැන් වැඩිය යන්නෙ නෑ..”
“කවුද ෆාදර් කෙනෙක් එක්ක ෆිට් එකේ හිටියලු නේද?
“ආ..පෝ.. මිමිනිහ… අඅ..න්තිමට මමල වදයක් වුනා”
“ඒ මොකෝ”
“නීති… දා…න්න ආවා අයියේ. ඕ..න එකටයි එ…පා එකටයි ඔක්කෝටම. දැන් මං පල්ලි යන්නේ නෑ”
“එහෙමද?”
“අයියේ, මං පොඩි දෙයක් අහන්නද? ඔයා ආගම ගැන දන්නවනෙ”
“ගොඩක් දන්නෑ මල්ලි, ටිකක් දන්නවා”
“අයියේ මට නින්ද යන්නෙ නෑ අයියෙ. බයයි.
‘මට දැන් කෙල්ලො ගැන එක එක ඒවා හිතෙනවා අයියෙ”
නව යොවුන් වියේ මුවවිට ආදරය පහුරු ගාමින් සිටින මේ ගැටයා තම දැඩි ආගමික විශ්වාසයන් සහ හිත කිති කවන ආදර හැඟුමන් සමඟ අරගලයක යෙදී සිටියි.
“බයිබලයේ තියෙනවනෙ කෙල්ලෙක් දිහා නරක විදියට බැලුවත් එකයි, එයා එක්ක නිදා ගත්තත් එකයි කියල. ඉතින් මම ටීවී බලන්නෙත් නෑ ඒනිසා. කොහේවත් යන්නෙත් නෑ. කොටට ඇන්ද කෙල්ලො දකිද්දි මට කේන්තියි”
“මට බයයි අයියේ… මට එහෙම දේවල් හිතුන නිසා මං අපායේ යයි කියල”
මේ නව යොවුන් ගැටයා තමන්ගේ අත්දැකීම විස්තර කරනා විට ඔහුගේ අතැඟිලි මිටි ගැන්වේ, ඇස් විශාල වේ.
එදා දඩබ්බර ඇට්ටරයා මේ තරම් බියසුලු ගොත පුද්ගලයෙකු බවට පත් වූයේ ඇයි?
“අනේ අයියෙ. මට නින්ද යන්නේ නෑ.
මම ආසයි මැරුනයින් පස්සෙ මුකුත් නැත්තන්. ඇයි, අපි අතින් වැරදි වෙලා බැරිවෙලා හරි අපායට ගියොත්,, සදාකාලයටම පිච්චි පිච්චි.. දුක් විඳින්න වෙනවා. අයියේ.. සදාකාලයටම”
මා දැන සිටි දඟකාර ගැටයා වෙනුවට දැන් සිටින්නේ බයාදු, ගොතගසන, පෞරෂ හීනභාවයෙන් පෙළෙන තරුණයෙකි
“මල්ලි වෙලාවක එන්න අපි කතා කරමු”
ඔහුට හැකි විදියකින් මට පුළුවන් උපරිමයෙන් උදව්වක් ඇත්නම් කිරීමට ඒ මොහොතේ ඉටා ගත්තෙමි
.
.
.
.
“ආ අයියේ කෝප්පේ” තරිදු මගේ දැහැන බිඳියි
“මල්ලි, මොකෝ තත්ත්වේ? මොකද හිතන්නේ මම කිව්ව බයිබල් පාඨ ගැන?”
“ඔ..ඔව් අයියේ.. හිතුවා ගොඩක් හිතුවා”
“මට එ..එදා ඉඳල ඔලුවට මා..ර නිදහසක් දැනුනේ. ඒකයි මම අදත් ආවේ පොඩ්ඩක් කතා කරන්න. මට නින්දත් ගියා”
මා නිසා ඔහුට දැනුන වෙනස ගැන ගොත ගසමින් හෝ ඔහු දිළිසෙන දෙනෙත් වලින් සිනහමුසු මුහුණුන් කියන අයුරු දුටු මට එතරම් සතුටක් දැනුන දවසක් මතක් කල නොහැකිය.
“බය වෙන්න එපා මල්ලි. ඕව ඔක්කෝම එක එක අරමුණු නිසා මිනිස්සු ගොතපු කතා. අනික, මම කිව්ව වගේ හැම ආගමකම ඔය අපාය ගැන උගන්නනවා. එහෙම බය වෙන්න ගියොත් අපිට හැම ආගමකම අපාය ගැන බය වෙන්න ඕනනෙ”
ඔහුට අවශ්‍ය වූයේ ඔහු තැතිගැත්මට පත් කල, ඔහුගේ නින්ද අහිමි කල, කොටින්ම ඔහුව සාමාන්‍යය ජීවිතයෙන් නැති කල “අපාය” ගොතන ලද මිත්‍යාවක් බව නැවත නැවතත් තහවුරු කර ගැනීමටය.
හමුවීම් කීපයක් තුල ඔහුට විද්‍යාවෙන් ගත් උදාහරණ ඇසුරෙන් ආගමික මිථ්‍යාවන් ගැන හැකිතරම් පහදා දී අපාය පිළිබඳ බය කෙමින් කෙමින් අඩු කරන්නට මට හැකි වුනි.
.
.
.
.
“අයියේ මම ගිහින් එන්නද?”
සිනාමුසු මුහුණ, නිදහස ලැබූ පරවියෙක්ගේ සතුට
“හරි මල්ලි”
“අහසේ දෙවියෝ නෑ. මතකනෙ?” මේ දිනවල තරුණයන් අතර ජනප්‍රිය වදන් කිහිපය මා විහිලුවෙන් මෙන් ඔහුට පැවසුවෙමි.
ඔහු සිනාසෙයි
“ඇයි? දෙවියෝ නෑ කියලා හිතන්න බයද?”
“ද..දන්නවා.. අ..යියේ.. ඇත්ත .. මොක..ක්ද කියල.. ඒ..ත්.. ඒක.. කියන්..න්න.. බ්බ්බ්..බ්..බ..ය..යි….තා..ම”
දෙවියන් ගැන විශ්වාසය නැති වුවද තවමත් ඔහු දෙවියන්ට එරෙහි යමක් පැවසීමට පවා බියක් දක්වයි
තරිදු වැඩියෙන්ම ගොත ගසන්නේ දෙවියන් නැතැයි කියා සිතන විටය.
බයිබලයට අනුව ශුද්ධාත්මයානන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම කිසිදා සමාව නොලැබෙන පාපයයි.
අහසේ දෙවියෝ නැති ලෝකයක ජීවත් වූවා නම් අද තරිඳු මල්ලි කුමන විදියේ තරුණයෙක් වන්නට තිබුනාද? කුඩා ළමයින්ට අපාය ගැන කියා බිය වැද්දීම කොතරම් අනුවණකමක් දැයි මට සිහිවෙන්නේ තරිඳු මල්ලි නිසාය.

අප්සරා

ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත.

“බොන්නෙ නැද්ද?”

මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.

මම අමාරුවෙන් වචන ගලපමින් යමක් කියන්නට උත්සාහ කලෙමි. නමුත් මගේ ඔලුව කිසිදා නොදැනුන බරකින් වසාගෙන තිබුනි. ගලපාගත යුතුය, වචනයක්.. කුමක් හෝ… වචනයක්.

මට ඇසීමට දාහක් දේ තිබෙන බව හැඟුනද යමක් කල්පනා කරගත නොහැක්කා සේය.

“උඹ කවද්ද අප්සරා එක්ක මේ සම්බන්දෙ පටන් ගත්තෙ?”

තවමත් බාගයකට වඩා පිරී තිබුන පෙප්සි වීදුරුවෙන් උගුරක් ඔහු පානය කලේය.

පෙප්සි? අප්සරා ආස ස්ප්‍රයිට් වලට.. අපි දෙන්නා හැමදාම බිව්වේ ස්ප්‍රයිට්.. ඒ අප්සරා ආස නිසා

මම මටම කියා ගත්තෙමි,

“උඹ දන්නවනෙ කතාව දැනටමත්. අප්සරා මට කිව්ව උඹට හැමදේම කිව්වයි කියල. උඹ එක්ක සම්බන්ධෙ නවත්තන්න සති දෙක තුනකට කලින් තමයි මම අප්සරාගෙන් යාලු වෙන්න ඇහැව්වෙ”

මේ අවලමාට ගාණක් නැතුව කියාගෙන කියාගෙන යන හැටි. මගෙ අප්සරාව.. මගේම අප්සරාව මගෙන් උදුරගෙන..!

මා සිතේ තිබුන දුක, කෝපයකින් සහ වෛරයකින් වැසී යයි. මොහු මේ ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇත්තා සේ අප්සරාවද සැහැල්ලුවට ගෙන විය යුතුය. පර බල්ලා! අප්සරාට මා කලාක් මෙන් කිසිවෙකුත් කෙදිනකවත් ආදරේ නොකරනු ඇත. අප්සරා එය නොදන්නවා වුනාට එය මට සහතිකය.

අප්සරා මගේ.. ඒකි මගේම විතරයි

කෝපය ඉවසාගෙන ආපු කාරණාවට බැස්සෙමි. මේවෙලෙ කලබල වීම නුවණට හුරු නැත. අප්සරාගේ කැමැත්ත මා වෙත නැවත ලබා ගත් පසු මූ ගැන මට බලාගත ඇහැකිය.

“මං උඹට කෙළින්ම කියන්නම්. මම අද උඹට එන්න කිව්වෙ මේකෙ දෙකෙන් එකක් බේරගන්න. කොටින්ම දෙකෙන් එකක් නෑ. තියෙන්නෙ එකයි. අප්සරා මගෙ කෙල්ල. අපි ලව් කරන්න අරං දැන් අවුරුදු හතරකටත් වැඩියි. මුලින්ම ඒලෙවල් ක්ලාස් යද්දි අපි දෙන්නා යාලු වුනේ. උඹ දන්නව ඇතිනෙ. ඔය ජොබට යන්න කලින් මම කිව්වා අප්සරාට. ඒත් මම ඒකිව විශ්වාස කරලයි යැව්වෙ. ඒත් ඒකි ඒ විශ්වාසය කැඩුවා. කැඩුව නෙමේ කඩන්න සිද්ධ වුනා. මොකද උඹ ඒකිව රවට්ටගෙන. මගෙ අහිංසක කෙල්ලව රවට්ටගෙන. මචන්, මටයි අප්සරාටයි හිටිය විදියට ඉන්න දියන්. අපි මේ ප්‍රශ්නය දුර දිග යවන්නෙ නැතුව ගොඩින් බේර ගමු”

මම එක හුස්මට කියාගෙන කියාගෙන ගියෙමි. අවසන් වචන ටික පිටවුනේ වෙව්ලන ස්වරූපයකිනි. කේන්තිය නිසාද දුක නිසාද මම නොදනිමි.

මගේ අප්සරාව වෙන එකෙක්ගෙන් මට ඉල්ලන්න වෙලා.. අවන්හලේ ජනේලයෙන් පිටත අහස බැලුවෙමි. වළාකුළු නැති හවස් අහස..අවට පරිසරයට එක් කලේ මූසල කාලකණ්ණි බවකි.

අප්සරා මගේ ! මගෙ හිත ඇතුලෙන් ඇගේ නම දෝංකාර දෙයි

ක්ෂණයකින් මගේ හිත අතීතයට දිව යයි. මම අප්සරාව දුටු පළමු මොහොත. මගේ ජීවිතයේ මම ආසම මොහොත..! අප්සරා මට කැමැත්ත දුන් දවස..මම අප්සරාට මුලින්ම අර දුන්න පෙන්ඩන්ට් එක..මම අප්සරාට පළමු හාදුව දුන්න මොහොත.. ඊට මාස ගාණකට පස්සෙ මුලු ලෝකයෙන්ම වෙන්ව අප දෙදෙනා තනි වූ හැටි.. එතනදි අප්සරා ඇගේ හැමදේම මා වෙනුවෙන් පූජා කල හැටි.. ඇය මගේම වුන හැටි..ඉන් සතියකට විතර පස්සෙ අප්සරාගෙයි මගෙයි පළවෙනි රණ්ඩුව.. ඉන් පසු මම අප්සරාව මඟ හැරුන හැටි.. මම පළවෙනි වතාවට අප්සරාට අත උස්සපු දවස.. මම ඇයව අත් හරින බවට තර්ජනය කල හැටි..අප්සරා හඬමින් මගෙ පස්සෙන් ආපු හැටි.. මම යාලුවන් එක්ක වෙනම ලෝක වල විනෝද වෙද්දි ඇය තනි වූ හැටි..

මගෙ ඔලුව පුපුරන්න වගේ දැන් නම් ! කෙසේ හෝ මතකයන්ගෙන් මිදිය යුතුව ඇත. මේ මගේම අප්සරාව නැවත මගේම කරගන්න තියෙන මගේ අන්තිම අවස්ථාව විය හැකිය.

මම ඔහුගේ මුහුණ බැලුවෙමි. ඔහු තවමත් නිහඬවය

“මොකද දැන් උඹ කරන්නෙ? කතා කරහන්. උඹ කැමතිද මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න?”

අවසානයේ ඔහු නැවතත් සිය හඬ අවදි කලේය

“මචං, මට උඹත් එක්ක කිසිම අවුලක් නෑ. උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්. අනික උඹ මේක මෙහෙම ෆේස් ටු ෆේස් කතා කරල බේරගන්න එන්නයි කියල කිව්වම මට පුදුම හිතුන. අප්සරා උඹ ගැන කියල තිබ්බ ඒවත් එක්ක. මොකද උඹ හැම වෙලේම ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් ගේමලු නේද?”

ඔහු කතා කරන්නේ මඳ සිනහවකින් මුව පුරවාගෙනය.

“මට අප්සරා හැමදේම කිව්වා මුල ඉඳලම. උඹල යාලු වෙච්චි එකේ ඉඳල උඹල උඹ ඒකිට සලකපු හැටි, ලව් කරපු හැටි, ගෙවල් එක්ක කේස් දාගත්ත හැටි, උඹ ඒකිට ගහපු හැටි, නීති දාපු හැටි ඔක්කොම.. ඒව විතරක් නෙමේ.. උඹ දැන් මහලොකුවට වටේ කිය කිය යන්නෙ උඹ ඒකි එක්ක නිදාගත්තයි කියල. ඒකත් අප්සරා මට කියලයි තියෙන්නෙ”

මගේ ඇඟ කිළිපොලායනු දැනුනි. මම ගහන්න සිටි අවසන් තුරුම්පුව ඔහුම මා ඉදිරියේ දෙකේ කොළේට දැමුවේය.

“මට ඒ කිසි දේකින් වැඩක් නෑ. ඒකිව දැක්කම මට ආස හිතුන. මම දවස් තුන හතරක් කතාබහ කලා.. මම ඒකිගෙන් යාලු වෙන්න ඇහැව්වා. එච්චරයි. ඒකි හිටියේ ප්‍රශ්න ගොඩක. උඹ ඒ ප්‍රශ්න වලට ඒකිට සහනයක් වෙනව වෙනුවට, උඹත් ඒ ප්‍රශ්න වලින් එකක් වෙලයි ඉඳල තියෙන්නෙ. උඹ ඒකිට නීති දාලා, බැඳලා අමුතු සතෙක් විදියට තියන් ඉන්න හදල තියෙන්නෙ. කල් යන්න යන්න උඹ ඒකිව ගනන් අරන් නැහැ. ඒකි උඹේ පස්සෙන් ආවත්. අපි එකට වැඩ කරන නිසා කතා කරන්න හම්බෙන හැම වෙලේම කිව්වෙ ප්‍රශ්නමයි. මම කලේ ඇහුම්කන් දෙන එක. උඹ කොල්ලො කීදෙනෙක් එක්ක ගේම් දාගෙන තියෙනවද ඒකි නිසා. කිසිම හේතුවක් නැතුව. ඒත් දැන් උඹ මගෙන් ඒකිව ඉල්ලන්න ඇවිත්. මොකද උඹ දන්නවා සතෙක් වගේ වැඩ කරල මේ ප්‍රශ්නේ මා එක්ක විසඳගන්න උඹට බෑ කියල..”

ඔහු කියාගෙන කියාගෙන ගියේය.

මම ආවේ මූට කතා කරල ප්‍රශ්නෙ බේරගන්න. මූ කරන්න හදන්නෙ මට තෙල ගහන එක.

“අනේ මචන් ප්ලීස්, තේරුම් ගනින්. මට ඒකි නැතුව ජීවත් වෙන්න බෑ. මගෙ අතින් වැරදි වුනා තමයි. ඒත් මම ඒකිට එදා කිව්වා ඒ ඔක්කොම හදාගන්නවා කියල”

ඔහු හිස වැනුවේ මං කියනා කිසිම දෙයක් ඔහුට වැදගත්කමක් නැතුවා සේය.

“මං යනව. උඹට ඕන නම් අප්සරා එක්ක හම්බෙලා ආයෙ අන්තිම වතාවට කතා කරහන්. මට අවුලක් නෑ. “

“මං කතා කරල වැඩක් නෑ. මං කියන්න තියෙන හැම දේම කිව්වා. ඒකි හිත වෙනස් කරන්නේ නෑ.. උඹටම විතරයි මේක විසඳන්න පුළුවන්. උඹත් කොල්ලෙක් නේද? පොඩ්ඩක් හිතහන් උඹ මේ කරන වැඩේ ගැන”

ඔහු පුටුවෙන් නැගිට්ටේය. අපේ කතාව මෙතනින් ඉවරද? අප්සරාගෙයි මගෙයි කතාව මෙතනින් ඉවරද??

මම කෝපය, දුක මිශ්‍ර හැඟීමෙන් ඔහුට අවසාන වචනය කිව්වේ ආයාචනාත්මක ස්වරයෙනි. මේ තරම් අසරණ බවක් මගේ මුළු ජීවිතයටම දැනී නැත.

“මචං මට ඒකිව නැතුව ගියේ උඹ නිසා”

“නෑ මචන්, උඹට ඒකිව නැතුව ගියේ උඹ නිසා”

ඔහුගේ පෙප්සි වීදුරුව හිස්ව ඇත.

අප්සරා ආස පෙප්සි වලට නෙමේ, ස්ප්‍රයිට් වලට.

මෙපමණ වෙලා එළියට පනින්න වැර දරමින් සිටි කඳුළු බිඳුව අවසානයේ මා දෙනෙතින් මිදි පොළෝ තලය සිපගත්තේය.

පණුවාටත් ඊරිසියයි මම

යාළු කරගෙන

ලස්සනම ලස්සන කෙල්ලෙක්ව
කැතම කැත කොල්ලෙක්

හොඳ ඇපල් කන්නෙම පණුවො !

අච්චර කැත පණුවා
යාළු කරගත්තා කෙල්ලව
පණුවෙක්ටත් කුඩා උඹව
ලස්සන කෙල්ලෙක්ට පෙනෙයිද?

බැරි වුනා උඹට
පණුවෙක්වත් තරම් වත් වෙන්නට

“ඵල ඇති රුකටමලු ගල් ගහන්නේ”

කතාව මතකද?

ගනිං මචන් ගල..
ගහපන් මචන් ගහට
හූල්ලපන් මචන් බලාගෙන

පණුවාටත් කරපන් මචන් ඊරිසියාව