Category Archives: ජීවිතය

ඩිවෝස් එක හෙට නෙමේ අද

“පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.
කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්
දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ” ….
අවුරුදු ගාණකට කලින් මම ඩිවෝස් වෙන්න තීරණය කල වෙලාවෙ
හැම වැඩිහිටියෙක්ම වගේ මට කිව්ව කතාව ඕක.

ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.
මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.
අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම තමන්ගේ ජීවන සගයා එක්ක එකට හිටිය කාල සීමාව ගැන කයිවාරු ගහන්නේ මාරම ආසාවෙන්.

“අපි බැන්දේ මේ වයසෙදි.. අපි නම් දැන් කාලෙ උන් වගේ පොඩි දේවල් අල්ලගෙන දික්කසාද වෙන්න හැදුවෙ නෑ.. මරාගෙන හරි එකට හිටියා.. නැත්තන් මෙච්චර අවුරුදු ගාණක් පවුල් කන්න පුළුවන් වෙයිද?”

ඇත්ත.
ගොඩක් වෙලාවට පුදුම කට්ටක් කාගෙන, දත විකාගෙන, තොල හපාගෙන, පුක ඉරාගෙන අවුරුදු ගාණක් ගත කරපු ජීවිතයකට අන්තිමට කියන්න තියෙන්නේ “මම මෙච්චර කාලයක් මේක ඉවසගෙන හිටියා..” කියන එක විතරයි.
ඔය විදියට හිතන ඈයෝ කියන්නෙ ආදර/විවාහ/මිනිස් සම්බන්ධතාවයක වටිනාකම තීරණය වෙන්නෙ ඒ සම්බන්ධතාවය පැවතිච්ච කාල සීමාව මත කියල. ඒ කියන්නෙ පැවැත්ම දිගයි නම් වැඩේ හරි.
පට්ටම සාර්ථකයි !

සුද්දො පොඩ්ඩ බැරි වෙද්දි ඩිවෝස් වෙනව..
ඒත් අපි කට්ට කාගෙන හිතෙන් දුක් විඳ විඳ අවුරුදු තිහ හතලිහ පවුල් ජීවිත ගත කරනව කියන එක අපේ පැත්තෙන් සාර්ථකත්වයේ ලක්ෂණයක් කියලයි ගොඩක් අය කියන්නෙ

ඒත් දික්කසාදය කෙනෙක්ගේ ජීවිතේ නොමැකෙන කළු පැල්ලමක් විදියට දකින, ලොකුම පරාජයක් විදියට දකින, ආර්ථිකව හරි මානසිකව හරි තමාගේ සහකරුවාගෙන් තොරව පැවැත්මක් ගැන හිතන්න බැරි තත්වයක් අස්සෙ විඳවන ජීවිත වල කූඩු වෙලා ලෝකෙට පේන්න හිනා වෙන ජීවිත සාර්ථකයි කියල හිතන්න පුළුවන්ද?

දේපල නිසා එකට ඉන්න…
දරුවො නිසා එකට ඉන්න සිද්ධ වෙලා තියෙන
දෙමව්පියන් නිසා එකට ඉන්න..
වෙන් වෙන්න තියෙන ලජ්ජාව නිසා එකට ඉන්න..
තමාගේ සහකරුවා නැතුව ජීවත් වෙන්න බැරි නිසා එකට ඉන්න..මිනිස්සු කොච්චර ඉන්නවද?

මට හිතෙන විදියට ඒවල වරදක් කියන්න බෑ.
එක එක මනුස්සයට
එකිනෙකාගෙන් වෙනස් නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්.
ඒත්, ආදරය..සතුට..නිදහස..විඳීම හොයන ජීවිත වලට
ඒ වගේ අය තමන්ගේ කුණුවෙච්චි ලෝක අස්සෙ ඉඳගෙන ඇඟිල්ල දික් කරන එකේ තියෙන කුහක කම ගැන කතා නොකර බෑ.

මම දන්න මගේ සමහර යාලුවෝ ගෑණි එක්ක ජීවත් වෙන්නෙ වර්තමානයේ නෙමේ.. අතීතයේ..
ඒ කියන්නෙ උන් බැඳල හිටියට හිතින් ජීවත් වෙන්නෙ අවුරුදු ගාණකට කලින් යාලුවෙලා හිටිය කෙල්ල එක්ක.
ඒ මතකය එක්ක.
තමන්ගේ ජීවිතයේ අසතුට වහගන්නේ අතීතයට ගිහින්.
ඒ ජීවිත වලට වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ.
අතීතයේ හිර වෙලා අතීතයේම ජීවත් වෙලා අතීතයේම මැරිලා ගිහින්.

තමාගේ හොඳම යාලුවා ඇත්ත ජීවිතයේදී මිනිහා එක්ක මරා ගන්න බව දැන දැන උන් දෙන්නා ෆේස් බුක් එකේ දාන ෆොටෝ එකකට “ලව්ලි කපල්” කියල හාට් එකක් දාන්න ගොඩක් දෙනෙක්ට පුළුවන් උනාට උන් දෙන්නා දික්කසාද වෙන එක ගැන ධනාත්මක විදියට කතා කරන්න ඒ අය ලෑස්ති නෑ.
එහෙම තත්වයක් තිබ්බ බව දැන දැනත් දික්කසාදය දකින්නේ ඒ ජීවිතයේ වැටුන තැනක් විදියට.

කිය කිය හිටපු කතාවට ආයෙම ආවොත්, ගොඩක් දෙනා හිතන්නේ.. ගොඩක් දෙනාට හිතන්න පුරුදු කරල තියෙන්නෙ ආදර සම්බන්ධතාවයකට කෙළවෙන්නෙ ‘වෙන්වීම’ කියන පොයින්ට් එකේදි කියල.

ආදර සම්බන්ධතාවයකට කෙළවෙනවා කියන්නෙ දෙන්නා වෙන්වීම කියල ගොඩක් අය හිතන් හිටියට ඇත්තට එහෙම නෙමේ කියලයි මට හිතෙන්නෙ. දෙන්නාගෙම හරි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි හිතේ දිගින් දිගටම අසතුට පැලපදියම් වෙන එකයි කෙළවීම පටන් ගන්න මොහොත.
එතනදියි රිලේෂන්ශිප් එකකට කෙළවෙන්නෙ.

ඕකෙ අන්තිම ප්‍රතිපලය තමා වෙන් වෙන එක.
කෙල්ලට/කොල්ලට බූට් එක තියද්දි, දික්කසාද වෙද්දි රිලේෂන් එකට කෙළ වෙලා ගොඩක් කල්.

අපි ඔය වෙන් වෙන පොයින්ට් එක මාරම නෙගටිව් දෙයක් විදියට දැක්කට ඇත්තටම ඒක පට්ටම පොසිටිව් දෙයක්.
නිදහස් වීමක්.. අලුත් ජීවිතයකට අඩිය තියන්න අවස්ථාවක් ලැබීමක්.. ගත වුන කාලයේ ලැබුන අත්දැකීම් එක්ක තමන්ට තමන්වම එක්ස්ප්ලෝර් කරන්න අවස්ථාවක් ලැබීමක්..
වෙන් වෙන්න ගන්න තීරණයම පට්ට ධනාත්මක පියවරක්.

ඔය මොහොත සමාජය කියන තරම්ම නෙගටිව්ද?
ට්‍රයි කරන්න පුලුවන් උපරිමේටම ට්‍රයි කරල, බැරිම තැන මිනිස්සු වගේ වෙන් වෙන්න තීරණය කරන එක ඔය තරම් කුජීත දෙයක්ද?

ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.. මිනිස්සුන්ගේ ජීවිත වල ආඩම්බර වෙන්න ඕන මොනවටද, ලජ්ජා වෙන්න ඕන මොනවටද කියන එක තීරණය කරන්නෙ සමාජය.
ඒ කියන්නේ මිනිහෙක්ගේ ආඩම්බරය සහ ලජ්ජාව (pride and shame) තීරණය කරන නිර්ණායක නියම කරන්නේ සමාජය විසින්.
ඒ අනුවයි සමාජය කියන්නේ “අවුරුදු හත අටක ලව් අෆෙයාර් එකක් නවත්තන එක… දික්කසාද වෙන එක ජීවිතයේ අසාර්ථක ලැජ්ජා වෙන්න ඕන කාරණයක්” කියල

නමුත් සමාජයෙන් දීල තියෙන නිර්ණායක ප්‍රශ්න කරල..
ඒවයේ තියෙන ගොබ්බ කම තේරුම් අරගෙන ඒවට පයින් ගහල දාලා..
තමන්ගේ වටේ ඉන්න උන් තමන් ගැන හිතන දේ අනුව තමන්ගේ පුද්ගලික තීරණ නොගන්න මට්ටමට එන්න පුළුවන් නම්..
ඔය ඔක්කොමල්ලට මැද ඇඟිල්ල පෙන්නලා විඳවන ජීවිතයක් වෙනුවට විඳින ජීවිතයක් හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙයි
අසතුට වෙනුවට සතුට හොයාගෙන යන්න පුළුවන් වෙයි.

ඒකට ඉතින් ගට තියෙන්න ඕන.

“මම අනිත් අය මම ගැන හිතන දේ ගනන්  ගන්න කෙනෙක් නෙමේ”

කියල ෆේස් බුක් එකේ බොරුවට එක එක පේජ් කාරයෝ හදපු ෆොටෝ ශෙයාර් කරල විතරක් නම් ඒ දේ කරන්න මේ කපේදි පුළුවන් වෙන එකක් නෑ.

සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ !

සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.

පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල “පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ” පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?

කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්‍රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම..

මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් “මිනිස්සුන්ට ජීවත් වෙන්න” අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල…..

ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.

අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..

ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්‍රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල.

අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.

ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..

මේ සටහනික් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.

කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්‍රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා කියල..

ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ. එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්. ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම.. ඔව්.. අපි හැමෝටම.. සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..

කරන්න ඕන තේරුම් ගැනීම මිසක විනිශ්චය කිරීම නෙමේ..

අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..

ඒක මහා අමානුෂික පහත් වැඩක්..

ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්.. ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්.. ඉස්සරහට ඇවිත්.. අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !

ප/ලි – දුකාගේ අඩවියේ පලවූ මේ ලිපිය මෙම සටහනට උත්තේජනයක් විය.

කාලය මැවු වෙනසක අරුමේ

යාලුවෝ..

ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්‍ර සතුටක්.

අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි… වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්

මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට හමුවෙලා වෙන් වෙලා යන අය. ඉස්කෝලෙන් අවුට් වුනාම, රස්සාව කරන තැන මාරු වුනාම, යන කෝච්චිය මාරු කලාම.. ඉබේම නැති වෙලා යන සබඳකම් තමයි ඔවුන් එක්ක තියෙන්නෙ.

අනිත් කොටස තමයි යාලුවො කියන්නෙ.

යාලුවො අතර තියෙන්නේ හැඳුනුම්කමකට එහා ගිය බැඳීමක්. ඉස්කෝලෙන් එළියට ආවාය කියල,, රස්සාව තැන මාරු වුනාය කියල,, සමාජ මට්ටම් වෙනස් වුනාය කියල,, නැති වෙලා නොයන සබඳකමක්..

ඒකයි යාලුකම කියන්නෙ

ගොඩක් අය අඳුරන මිනිස්සුන්ව යාලුවෝ කියල පටලගන්නවා. ඔය දෙකොටසම එකක් කියල හිතනව. ඒ අයට අන්තිමේදි ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි.

ඒ වගේ මටත් හිටිය යාලුවො සෙට් එකක්. මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමකින් බැඳුන මානුෂීය බැඳීමකුයි අපි අතරෙ තිබුනෙ.

ඉස්කෝලෙ කාලෙදි වගේම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු ගාණක් ගතවෙනකල් නොබිඳී තිබ්බ යාලුකම ඒ විදියටම හැමදාම තියෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව වුනේ.. ඒ යාලු කමට එහා ගිය සහෝදරත්වයේ බැම්ම කිසිදාක බිඳිල යන එකක් නෑ කියන එකයි අපේ ප්‍රාර්ථනාව වුනේ.

අපි ඒ කාලෙ අනාගතය සැලසුම් කල හැටි තවමත් මතකයි. ගෙයක්, වාහනයක්, දරුවො එක්කෙනෙක් දෙන්නක් ඉන්න පුංචි පවුලක්, හොඳ ජොබ් එකක්..

..ඒ ඔක්කොම ඇතුලේ අපේ යාලුකමට සතියට සති දෙකකට සැරයක්වත් පුංචිම පුංචි ඉඩක්..!

නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඒ හීන හොයාගෙන යන අතරේ ඔක්කොටම කලින් ඇති වුන අපේ ඒ යාලුකමට තියෙන ඉඩ ඇහිරිලා ගිහින්.

ඉස්කෝලෙ කාලෙ උපරිම නිදහසක්, සැහැල්ලුවක් අත්විඳපු යාලුවෝ එක එක්කෙනා පවුල් වෙලා. වගකීම් දහසක් මැද්දෙ හිර වෙලා. දවසින් දවස ගෙවිල යන ජීවිතේ පවුල් ප්‍රශ්න, දරුවන්ගෙ වගකීම් අස්සෙ අසරණ වෙලා. ඉන් එහාට ලෝකය දිහා හැරිලා බලන්නවත් තියෙන ඉඩ නැති වෙලා ගිහින්. හැඳුනුම්කමකින් එහාට ගිය අපේ ඒ යාලුකමට අපේම ජීවිත අස්සේ ඉඩ ඇහිරිලා ගිහින්

ජීවිතය හොයාගෙන යන ගමනෙදි අපේම ජීවිත අපට නැති වෙලා.

යථාර්තය විසින් හීන කුඩුපට්ටම් කරල දාන්නේ මෙහෙම වෙන්නැති. හීන කොච්චර ලස්සන වුනත්, අවංක වුනත් යථාර්තය ගොඩක් වෙලාවට ඊට වෙනස්.

මේ කෙටි සටහනට අවසානයක් නැහැ. මොකද අපේ යාලුකමේ කතාව තවමත් අවසන් නැති නිසා. එනිසා මේ ගැනම වගේ ලියවුන අපි හැමෝම දන්න ගීතයක් සඳහන් කරමින් මේ සටහන මෙතනින් අවසන්(?) කරනවා.

“සුළගේ ලෙලෙනා මල් සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ”