Category Archives: චරිත

අංකල්

දැන් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුරුදු වෙලා හිටියට ඉස්සර මම ෆිල්ම්ස් බැලුවේ ගෙවල් ලඟ තිබ්බ DVD ශොප් එකෙන් රෙන්ට් එකට අරගෙන.

ඩීවීඩී කඩේ හිටියේ අංකල් කෙනෙක්. මම අංකල්ව හඳුනගද්දි අංකල්ට වයස පනස් පහක් විතර ඇති. මට වයස මං හිතන්නෙ දහහතරක් පහලවක් විතර වෙන්න ඇති මතක විදියට.

ආ.. අමතක වුනා. අංකල්ගෙන් මුලින්ම ගත්තේ DVD නෙමේ. සීටී තැටි. පස්සෙ තමා DVD වලට මාරු වුනේ. ඊටත් කලින් පොඩිම කාලේ ෆිල්ම්ස් බැලුවේ හන්දියේ තිබ්බ පෙරේරා කියන වීඩියෝ ශොප් එකෙන්. ඒකෙන් බැලුවේ DVD වත් සීඩී තැටිවත් නෙමේ VHS තමා. මම තාම ආසම කරන Terminator 2 වගේ ෆිල්ම්ස් බැලුවේ VHS හෙවත් ඩෙක් පීස් වලින්. අම්මගෙන් රුපියල් විසිපහක් ඉල්ලගෙන අම්මගෙම අයිඩෙන්ටි(ටි) කාඩ් එක දීලා තමා ඩෙක් පීස් ගන්නේ.

කොහොම හරි අංකල්ගේ කඩෙන් DVD එකක් ගත්තම රුපියල් පනහයි. දවස් තුනක් තියාගන්න පුළුවන්. අංකල් මගෙන් දඩ සල්ලි නොගත්තට වෙලාවට ගිහිල්ලා දෙන්නේ යුතුකමක් විදියට වගේ. වෙන අයගෙන් පරක්කු වුනාම දඩ ගත්තට මගෙන් ගත්තෙ නැත්තෙ මම අංකල්ගේ නොම්මර එකේ කස්ටර්මර් කෙනෙක් වුනාටත් වඩා ගිහින් කයිය ගගහා ඉඳලා දෙන්නා අතර ඇති වුන ෆිට් එක නිසාමයි.

සමහර විට ඩීවීඩී එකක් ගන්න කියලා ගියාම පැයක් එකහමාරක් කයිය ගගහා ඉඳලා තමා ඩීවීඩී එක අරගෙන එන්නේ. කියවන්න ගත්තම දේශපාලනයෙන් පටන් අරගෙන අන්තිමට මොකෙක්ගෙ හරි ඕපදූපයක් දක්වා කතා කරලා තමයි නවතින්නෙ.

අංකල්ගේ ජීවිතය ගැන විස්තර කිසිම අවුලක් නැතුව මා එක්ක කියද්දි මම කරන්නේ ඔහේ අහගෙන ඉන්න එක. මගේ ප්‍රශ්න අනන්මනන් අංකල් එක්ක කියද්දි අංකල් කලේ මට උපදෙස් දෙන එක. “වෙලාව බලාගන්න, අර හාමුදුරුවන්ව ගිහින් හම්බෙන්න, අර පල්ලියට ගිහින් බාරයක් වෙන්න” වගේ උපදෙස් තමා අංකල්ගෙන් හම්බුනේ (ඔව්, අංකල් පන්සල් පල්ලි දෙකටම යනවා).

ඒ කාලේ අංකල්ට මාරම බිස්නස්. විශේෂයෙන්ම හවස් වරුවේ හය හයාමාර වෙද්දි එහෙම අංකල්ගේ කඩේට ගිහින් ඩීවීඩී එකක් තෝරගන්නවා කියන්නෙ එපාම වෙන වැඩක්. එවෙලාවට පැයක් දෙකක් යනකල් ඇතුලේ පස් හය දෙනෙක්ම ඉන්නවා. ඉතින් නිදහසේ ෆිල්ම් එකක් තෝරගන්න ඕන නිසා මම යද්දි යන්නේ ඒ වෙලාව මඟ ඇරලා.

ඒකාලේ එහෙම බිස්නස් ජයටම තිබ්බට පස්සෙ පස්සෙ තත්වය වෙනස් වුනේ ඩීවීඩී එකක ගාණ අම්බානට අඩු වෙන්න ගත්තම. ඊටත් වඩා හන්දි හන්දි ගානේ හතු පිපෙන්නා වගේ ඩීවීඩී කඩ ඇරෙන්න ගත්තම. තව ඉතින් හැම කමියුනිකේෂන් එකකම ඩීවීඩී විසිපහක් තිහක් එල්ලගෙන විකුණන එක නෝමල්ම දෙයක් වුනා පස්සෙ පස්සෙ.

තත්වය ඔහොම වෙනස් වෙද්දි කවුරුත් කැමති වෙන්නෙ නෑනෙ රුපියල් පනහක් දීලා ඩීවීඩී එකක් බලලා දවස් තුනකින් ආයේ ගිහින් දෙන්න. ඊට වඩා හැම අතින්ම හොඳයිනෙ රුපියල් හැත්තෑවක් අසූවක් දීලා ඩීවීඩී එක තියාගන්නම ගන්න එක. එනිසා වෙන්න ඇති පස්සෙ අංකලුත් ඩීවීඩී රෙන්ට් කරන එක නවත්තලා විකුණන්න ගත්තා. එකක් රුපියල් අසූවට.

ඉස්සර හන්දියේ තිබ්බ එකම ඩීවීඩී කඩේ හිමිකාරයා අංකල් නිසා බිස්නස් නැගලා ගියාට දැන් අංකල්ගේ කඩේ පාලුවට ගිහින්. හන්දියේ දැන් ඩීවීඩී කඩ හතරක්ම තියෙනවා. එයින් එකක් පට්ට කොලිටියට වැඩේ කරනවා. ෆිල්ම් එකක් රිලීස් වුන ගමන්ම බඩු තියෙනව කඩේ. ෆයිනල් කොපිය කියල ශුවර්. ඒ විතරක් නෙමේ කඩේ බිත්ති හතර පුරාම බිම ඉඳල උඩටම ඩීවීඩී එල්ලල තියෙන්නෙ. නිකන්ම නෙමේ, සුපර්හීරෝ ෆිල්ම්ස් වෙනම, ෆැන්ටසි ෆිල්ම්ස් වෙනම, ඇක්ෂන් ෆිල්ම්ස් වෙනම, හොරර් ෆිල්ම්ස් වෙනම, අලුත්ම රිලීස් වුන ඒවා වෙනම, ටීවී සීරීස් වෙනම.. ඔය වගේ. විකුණන්න තියෙන්නෙත් මාරම පට්ට ෆිල්ම්ස් කලෙක්ශන් එකක්. චාලි චැප්ලින්ගේ ඒවයේ ඉඳල..ඔස්කාර් ගහපු ඒව දක්වාම ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනවා පොට් එකේ.

කොටින්ම මමත් දැන් ඩීවීඩී එකක් සල්ලි දීලා ගන්නව නම් යන්නේ ඒ කඩේට තමා.

අන්තිමට මම අංකල්ගේ කඩේට යන්න ඇත්තේ දැනට අවුරුදු දෙකකට විතර කලින්.

කතා කරන්නවත් කවුරුත් නැතිව හිටිය ජීවිතේ එක කාලයක මට හිටිය එකම මිත්‍රයා, නෑදෑයා වුන අංකල් දැන් රස්නේ නිසා ශර්ට් එකේ බොත්තම් දෙකක් තුනක් ඇරගෙන ඔහේ ඉඳගෙන උඩ බලාගෙන ඉන්නව කඩේ පහුකරගෙන යනගමන් දකිද්දි පොඩි දුකක් දැනෙන්නේ නැතුවත් නෙමේ.

කොච්චර වුනත් අදත් මාව දැක්කම අර විඩාබර ගතිය එකපාරම අමතක වුනා වගේ මූණ හිනාවෙන් පුරවගෙන අතවන්න්නේ ඉස්සර වගේමයි.

මෙච්චර අවුරුදු ගාණක් ආශ්‍රය කරලත් තාම මම අංකල්ගේ නම දන්නැති එකයි පුදුමම වැඩේ. ඒ වගේම තමා අංකල් මගේ නමත් දන්නෙ නැතුව ඇති.

මෙච්චර කාලයක් ගිහිනුත් අංකල්ගේ නම නොදන්නවා වුනාට, මට නම් තාමත් අංකල්ගේ නම අංකල්ම තමා.

මුරලිගේ අයිතිය වෙනුවන්

මුරලි මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් නෙමේ. ඇත්තම කියන්නම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ මම අකමැතිම ක්‍රීඩකයෙක් මුරලි.. නෑ… එහෙම නෙමේ.. ලංකාවෙ කණ්ඩායමෙන් මම අකමැතිම මනුස්සයෙක් මුරලි. මම සචින් තෙන්දුල්කාර්ට වඩා බ්‍රෙන්ඩන් මැකලම්ට කැමතියි වගේ, මුරලිට වඩා මම චමින්ද වාස්ට කැමතියි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලංකාවෙ කණ්ඩායම වෙනුවෙන් මෙච්චර කඩුළු ගත්ත, ලෝක පූජිත අග්‍රගන්‍ය ක්‍රීඩකයා වෙච්චි මුරලිට අකමැති ඇයි කියල. ඒක අකමැත්තක් කියල හඳුන්වනවට වඩා විශේෂ කැමැත්තක් නැති කමක් කියල හැඳින්වුවොත් හරි.

මුරලිගෙ කඩුළු ටික අයින් කරල.. දක්ෂතාවය අයින් කරල ගත්තම මහත්මා ගතියෙන් යුක්ත ක්‍රීඩකයෙක් මම දැක්කෙ නෑ

මම දැක්කේ පිටිය මැද කඩුළු පිපාසයෙන් පෙළෙන මනුස්සයෙක්ව. ඒ කඩුළු පිපාසය ලංකාවෙ කණ්ඩායමේ වාසියට වැඩකලාට ඔහුගේ හැසිරීම, විනය පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් එතන හිටියෙ නැහැදිච්ච අමනුස්සයෙක්. ඒ මම දැක්ක හැටි

මුරලිගෙ පන්දුවකට ලබුන උඩපන්දුවක් බැරි වෙලා හරි අත ඇරුනොත් මුරලි පන්දුව දාද්දි හදාගන්න යක්ෂ මූණම තමාගේ කණ්ඩායමේ සගයා වෙත එල්ල කරන්නේ පෙනන විදියට පරුෂ වචනයෙන් බැන වදිමින්.

එහෙම හැසිරීමක් පෙන්නන, එහෙම විනයක් නැති කෙනෙක් මගේ ඇහින් විශිෂ්ඨයෙක් නෙමේ. ක්‍රීඩාවෙ විශිෂ්ඨයෙක් වෙනව කියන්නෙ පිත්ත හතර අතට වනන එකවත්, පන්දුව කඩුල්ල දිහාට යවන එකවත් විතරක් නෙමේ.. ඉන් සෑහෙන එහාට ගිය දෙයක්, මම හිතන විදියට.

මුරලිගේ ඒ ඇටිටියුඩ් එක ලංකාවෙ වාසියට වැඩ කලේ ඔහු පන්දු යවන්නෙක් නිසා කියලයි මට හිතෙන්නෙ. බැරි වෙලාවත් ඔහු පිතිකරුවෙක් වුනා නම් අපට දකින්න හම්බෙන්නෙ ඉනිමෙ අන්තිම බෝලෙට පුළුවන් තරම් ලකුණු ගන්න බලනවා වෙනුවට තමාගෙ ශතකය වෙනුවන් එකක් දාන සචින් තෙන්දුල්කාර් කෙනෙක්. සචින්ගෙ තිබ්බ ආත්මාර්ථකාමිබව මුරලිගෙන් මම දැක්කා, තමාගෙ වැරදි ගැන පමණක් කියමින් අනික් කණ්ඩායමේ හොඳක් කිසිම විටෙක කියන්න කට ඇරෙන්නෙ නැති රිකී පොන්ටින්ග් ගේ තියෙන කුහක කම මුරලිගෙන් මම දැක්කා, ඒකයි මගේ නිරීක්ෂණය.

මුරලිගෙ කුහක කම කිව්වෙ මේකට..මතක විදියට මුරලි කඩුළු 400 ගත්ත දවසෙ හරි මුරලිගෙ අන්තිම තරඟෙදි හරි (හරියටම මතක නෑ) පැවතුන උත්සවයේදී මුරලි ස්තූති කරපු අයගෙ නම් ලිස්ට් එකේ අර්ජුන රණතුංගව මඟ හැරුනේ හිතාමතාද වැරදිලාද කියල මම දන්නෙ නෑ. නමුත් ඒක වැරදීමක් වුනත්, ඒක ලොකු වැරැද්දක්. අර්ජුනගෙ නම අමතක වෙන්න තරම් මුරලි බබෙක් නොවන බව මම හිතන නිසායි, මම කියන්නෙ එවෙලෙ ඒ සඳහන් කිරීම අමතක කල එක මහා කුහක කමක් කියල. මුරලිට අර්ජුනගෙ නම අමතක වෙන්න විදියක් හිතාගන්න පුළුවන්ද?

දැන් මම මුරලි ගැන මෙහෙම කිව්වට.. ඕස්ට්‍රේලියාව නෙමේ වෙන ඕනම රටක් වෙනුවන් තමාගෙ සේවය කැමති ආකාරයකට දෙන්න මුරලිට තියෙන අයිතිය නොදැක ඉන්න හේතුවක් නැහැ. මොකද ක්‍රීඩකයෙක් කණ්ඩායමකට ක්‍රීඩා කිරීම, වෙනයම් විදියකින් සේවය ලබා දීම ඇතුලේ තියෙන යථාර්තය සහ ඒ ක්‍රීඩකයා ඇතුලෙ හැංගිලා ඉන්න මනුස්සයාගෙ අයිතිවාසකම් වෙනුවෙන් පෙනී ඉන්න ඒ කෙනා මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවිය යුතු නිසා.

කතාව ඒකයි. මුරලි මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවුනට.. ඔහු වෙනුවෙන් පෙනී ඉන්නෙ ඒකයි.

වීරයා මැරිලා..පිය සටහන් මැකිලා..

දක්ෂතාවය යනු එකකි. තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම යනු එකකි.

අද්විතීයත්වය යනු එකකි. තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම තවත් එකකි.

අසමසම වීම යනු එකකි. තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවත් එකකි.

අසාහය වීම යනු එකකි. විවේචන ඉදිරියේ මාන්නයෙන් ඔලුව ඉදිමුවා ගත් උද්දච්ඡ බක පණ්ඩිතයකු සේ හැසිරීම තවත් එකකි.

ඕනම අයකුගේ දක්ෂතාවය ඇගයීමට අප පසුබට නොවන්නේ අප තුළ කුහකත්වයක් නොමැති නිසාද දක්ෂයා දක්ෂයා ලෙස හඳුනා ගෙන ඒ සත්‍යට මුහුණ දීමට අපට හැකියාව  ඇති නිසාද විය හැකිය.

අප මහා දක්ෂයෝ නොවිය හැක, අද්වීතීයයෝ නොවිය හැක, අසමසමයෝ නොවිය හැක, අසාහයයෝ නොවිය හැක. අප එසේ යැයි අප විසින් අපව හඳුන්වා ගන්නේද නැත.

එහෙත් අන් අයගේ විවේචන දරා ගැනීමට නොහැකි, අන් අයගේ හැකියාවට ඊර්ෂ්‍යා කරන, අන් අයගේ කකුළෙන් අදින අසමසම හැකියාවකින් යුක්ත වූවෙක් සිටියි නම් ඇත්තටම එය මහත් අවාසනාවකි. ඔහුගේ හැකියාවට වඩා ඒ නොහැකියාව ගැඹුරුය. එම අඩුව ඔහුගේ දක්ෂතාවය ලැබීමේ වාසනාවට වඩා අවාසනාවක්ය.

මේ කියන්නේ සිය ලේඛන හැකියාවෙන්, ත්‍රීව විචාරයන්ගෙන්, නොසැලෙන විවේචනයන්ගෙන් සයිබරය ආලෝකවත් කල සයිබර් ක්‍රියාකාරිකයකු ගැනය. බ්ලොග් රචකයකු ගැනය. බ්ලොග් කලාව ආලෝකමත් කල බ්ලොග් සංස්කෘතියේ පුරෝගාමියෙක් ගැනය.

අප ඒ කාලයේ පටන් ඔහුගේ ලිවිලි රස වින්දෙමු. ඔහුගෙන් ඉගෙන ගත්තෙමු. ඔහු තුළින් ලිවීමට ප්‍රබෝධයක් ලදිමු.

ඒ කාලය තුළද ඔහු තුළ දක්නට තිබූ ඔහුගේ හැකියාවටත් වඩා ලොකු ඉගෝව නොසලකා හැරියෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු ප්‍රකට කල දක්ෂතාවයට අප ඇලුම් කල නිසාවෙනි.

නමුත් දැන් බ්ලොග් ලිවීමට නැවතීමේ තිත තබා ඇති ඔහු මුහුණු පොතේ තම සැබෑ ප්‍රොෆයිලයෙන් සැරිසරමින් එකල ඔහු කලාක් මෙන් වර්තමානයේ සයිබරයේ ක්‍රියාකාරීවන ක්‍රියාකාරීන්ව හෑල්ලුවට ලක් කිරීම දිගින් දිගටම කරන ආකාරයක් දක්නට ලැබුනි.

කාලයක් තියුණු ලෙස ඔහුගේ අදහස් ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් බ්ලොග් ලියූ ඔහු හිටිහැටියේම යම් හේතුවක් නිසා සිය බ්ලොග් අඩවිය මකා දැමූ බව දන්නෝ දනිති. එය ඔහුගේ නිදහසය. ඒ සියල්ල අපට ප්‍රශ්නයක් නැත. නමුත්, දැන් ඔහු අන් අයගේ අදහස් ප්‍රකාශනය මහත් ප්‍රශ්නයක් කරගෙන ඇත. ගැටළුව ඇත්තේ එතනය.

ඔහු තව දුරටත් සයිබරයේ ක්‍රියාකාරී නොවීම ඔහුගේ තීරණයකි. අප එයට ගරු කල යුතුය. විටින් විට ආපසු ලියන්නැයි අහිංසක ඉල්ලීම්ද කලද ඔහු ලිවීම නැවැත්වීමට ගත් තීරණය අප ප්‍රශ්නයක් කර ගත්තේ නැත.

ඒවගේම අපගේ ලිවීම ඔහුට ප්‍රශ්නයක් කර නොගත යුතු බවද අකමැත්තෙන් වුවද සඳහන් කල යුතුය.

මන්ද, කලක් සයිබර් ලේඛනයේ පුරෝගාමියෙකු වූ ඔහුට නොවැටහුනාට නිහඬව සිටීමට වඩා හැකි පමණින් හඬක් නැඟීම, කතා කිරීම, ලිවීම, බංකුවේ එහා පැත්තේ හිඳගෙන සිටිනා නාඳුනන මිනිසා සමඟ සංවාදයක යෙදීම වටිනා බැවිනි.

සංවාදය, සාකච්ඡාව, අදහස් හුවමාරුව සහ හිංසාව අතර තේරීමක් ඇති යුගයක පළමු විකල්පයට යාම දෙවැන්න වැළකීමට සුදුසුම ක්‍රමය වන බැවිනි.

ඒ සාකච්ඡා සිදුවන්නේ ඒසී කාමරයක ටයි කෝට් දමාගෙනද, තේ කඩයක ප්ලේන්ටියක් රස විඳින ගමන්ද.. ඒ අදහස් ලියවෙන්නේ සිගරට් කොළයකද, නිකන් පොත් පිංචකද, සයිබරය තුළද, සිළුමිණ පත්තරේටද කියන එක එතරම් වැදගත් නොවන්නේ එබැවිනි.

ප/ලි – පළමුව, 

අදාල පුද්ගලයා කවුරුන්ද යන්න දන්නෝ දනිති. මෙහිදී ඔහුගේ නම සඳහන් නොකලේ සයිබරයේ ඔහු පතල නමින් පැමිණ මේ සටහනට ප්‍රතිචාර දැක්වීමට නොහැකි බව දන්නා නිසා ඉන්  ඔහුට වන අසාධාරණය ගැන සිතා මිසක වෙන හේතුවක් නිසා නොවේ. 

දෙවනුව,

මේ ලියා තිබෙන්නේ මගේ අතිජාත මිත්‍රයා මාලොන් සමරේ ගැන නම් නොවේය. ඌ එදත් මගේ බොක්කය, අදත් මගේ බොක්කය, හෙටත් මගේ බොක්කය. මේ කියන්නේ කවුරුන් ගැනද කියා දන්නෝ දනිති. කරුණාකර නොදන්නෝ එක එකා ඈඳාගෙන උපකල්පනයන් නොකරන්න.

අනෝමා, නදීෂා සහ සනී ලියෝන්

අනෝමා ගැන නිහිංසා ලියල තිබ්බ සටහනක් කියවන්න ලැබුනා

සටහන අවසානයේ නිහිංසා ඉතුරු කරල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්, නිගමනයක් වෙනුවට
නිගමනයක් වෙනුවට ප්‍රශ්නාර්ථයක් !
මම ඒකට කැමතියි.
මට හිතෙන්නේ මිනිස්සුන්ව කියවන්න උත්සාහ කරනවට වඩා මිනිස්සු සමාජයට ඇති කරන බලපෑම කියවන්න උත්සාහ කරන එක සාධාරණයි කියල.
මොකද, මනුස්ස ජීවිතයක් කියන දේ ඒ තරම්ම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ඉස්සරහා ඒ කියවීම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
අනෝමා කියන චරිතය කතාබහට ලක් වෙන්නේ මුහුණු පොත හරහා එළිබසින ඇයගේ අසාමාන්‍ය(?) ක්‍රියාකාරීත්වය හේතුවෙන්.
විටක ඇගේ අදහස් සටහන් ආකාරයෙන් ඉදිරිපත් කිරීම මඟිනුත් විටෙක ඇගේ අඩනිරුවත නිරාවරණය කිරීම මඟිනුත් ඇය සමාජයේ කතාබහක් ඇති කරනවා
සමහර විට අනෝමා කරන්න උත්සාහ කරන්නේ තමාගේ නිරුවත හරහා සමාජයට යම් විදියක අභියෝගයක් කරන්න වෙන්න ඇති.

“මරු වැඩේ තමයි කාය වර්ධනය පෙන්වන්න පිරිමි අයට පුළුවන් වුණාට අපිට බැහැ.ඇයි ? පිරිමි අයට under wear එක පිටින් මස් පිඬු ප්‍රදර්ශණය කරන්න පුළුවනි.ඒත් කාන්තාවන් එහෙම කරනකොට ඒක මට නම් වස කැතයි.පිරිමින්ව අපි අනුකරණය කරනවා වගේ.ඉතින් මම කැමරා ශිල්පියාට කිව්වා මේ විදිහට පින්තුරු ගනිමු කියලා.කාන්තාව අයෝමය වුණත් සෞන්දර්යාත්මක විය යුතුයි.”

තමාගේ ශරීරය මඟින් සමාජයට ඇය කරන්න උත්සාහ කරන අභියෝගය ගැන අනෝමා කියල තිබ්බේ එහෙම,
අනෝමා කරන්න උත්සාහ කරන මේ අභියෝගයම, මෑත කාලයේ කරපු අනෙක් චරිතය තමයි නදීෂා හේමමාලි.
“ගණිකා වෘතිය කියන්නෙත් වෘතියක්. අපි ඒකට ගරු කරන්න ඕන. ගණිකා වෘතිය නැත්නම් මේ රටේ සමහරුන්ට පිස්සු හැදිල”
නදීෂා කිව්ව ඒ කතාව අස්සෙ හැංගිලා තියෙනවා පුරුෂලිංගයකින් පාලනය වෙන සමාජයේ සුචරිතවාදී පිරිමින්ට අමු අමුවේ කෙරෙන අභියෝගයක්.
ස්ත්‍රියගේ අසම්මත හැසිරීම ඉස්සරහා සමාජයේ තියෙන වෙව්ලිල්ලට අභියෝග කරන එක අතින් අනෝමාට වඩා බලපෑමක් නදීෂා හේමමාලිගෙන් වෙනව කියල මම හිතනව.
ඒ අතින් මම නදීෂට ආසයි.
ඒත් ඒ ආසාවම මට අනෝමා ගැන ඇති වෙන්නෙ නැහැ. සමහර විට නිදීෂයි අනෝමයි දෙන්නා නිරූපනය කරන්නේ ගැහැණියකගේ ජීවිතයේ අවස්ථා දෙකක් නිසා වෙන්න ඇති.
නදීෂා තරුණයි, ලස්සනයි, කටකාරයි, සරාගියි, කාමුකයි. ඒ තුළින් නදීෂාට පුළුවන් සමාජය දෙදරවන්න.. එක හාදුවකින් !
නමුත් ඒක අනෝමට කරන්න පුළුවන් වුනාද කියන එක ප්‍රශ්නයක්. මොකද කලින් කිව්ව නදීෂාගේ ඒ ලක්ෂණ එකක්වත් අනෝමා තුළ (දැන්?) නැහැ.
ගොඩක් අයට අනුව අනෝමා කියන්නේ කාට හරි කියලා තමා අඩනිරුවතින් ඉන්න හැටි කැමරා ෆෝන් එකකින් ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් එකේ දාන නාකි ගෑණියෙක් විතරයි. ඒනිසා වෙන්නැති නදීෂාට තියෙන කැමැත්ත මට අනෝමා ගැන නැත්තෙ.
මොනව වුනත් සුචරිතවාදී පින්වතුන්ගෙන් පිරුන සමාජයට නදීෂලා, අනෝමලා ඕන. මේ සමාජයේ නදීෂලා, අනෝමලා ඕන තරම් ඉන්නවා. නමුත් සමාජයට දරා ගන්න බැරි මේ අය එලියට එද්දි. සමාජය විසින් මේ අයට නියම කරල තියෙන සීමාව කඩාගෙන එළියට එද්දියි මිනිස්සු බලන්නෙ අඳුරේ සිටිය යුතු මේ අය එළියට ඇවිල්ලා මොකද කියල.
ඔය සුචරිතවාදීන් තනි වුනාම උන්ගේ ඇඟේ අමාරුව නැති කරන සනී ලියෝනි ලා ප්‍රසිද්ධ සමාජය ඉස්සරහා වේසියෝ විදියට හංවඩු ගැහෙන්නේ ඒනිසයි.
කිසිම සුචරිතවාදියෙක්ට නදීෂලව, අනෝමලව නැති කරන්න ඕන නැහැ. ඒගොල්ලන්ගේ සුචරිතවාදය රැකගන්න නදීෂල අනෝමල වගේ චරිත විතරක් නෙමේ සනී ලියෝන්, ජෙනා ජේමර්සන් වගේ ඊනියා නරක චරිත අවශ්‍යයි. මොකද ඔය සුචරිතවාදීන්ගේ සුචරිතවාදී බව රැඳෙන්නේ නදීෂලට, අනෝමලට, සනීලට සාපේක්ෂව. ඒ වගේ ගෑණුන්ව අඳුරේදී සිහින කුමරියන් කරගන්න ගමන් එළියේදී ප්‍රතික්ෂේප කිරීමත් උන්ගේ සුචරිතවාදී බවේ රංගනයේම කොටසක්. (නදීෂා, අනෝමාව සනී ලියෝන්ට සමාන කලා නෙමේ)

ආයෙත් අනෝමා ගැන කතාවට ආවොත්, අනෝමාට එයා කරන්න හදන මොකක් හරි දේ මේ විදියට නැතුව වෙන විදියකින් කරන්න තිබ්බා කියලත් හිතෙනව.

මොක වුනත් මම අනෝමාගේ හැසිරීම තුල දකින්නේ මොකක්දෝ නොගැලපීමක්.
මේ මගේ නිරීක්ෂණයක් මිසක විනිශ්චයක් නෙමේ. අනෝමාව විනිශ්චය කරන්න මම යන්නේ නෑ. මම අනෝමා ගැන මොනවද දන්නෙ. එයාගේ අරමුණු, එයාගේ මානසිකත්වය ගැන දන්නේ එයාමයි. සමහර විට එයාවත් දන්නෙ නැතුව ඇති.
එහෙම බලද්දි හිතෙනවා අපි දන්නවද අපේ අරමුණු, අපේ මානසිකත්වය ගැන කියල
අර සින්දුවකත් තියෙන්නෙ
“ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ.. අපි කවුරුද…”
සමහර විට අනෝමා එයා කවුද කියල තාම හොයනව ඇති.. අපි, අපි ගැන හොයනව වගේම

මාලිංග

ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට ක්‍රිකට් ගහන මිනිස්සු හෙවත් ක්‍රිකට් කණ්ඩායම) තමාගේ රස්සාව තුළ සාර්ථක වෙද්දි අපි ඔහුට/ඔවුන්ට ආදරය කරන්න ගන්නවා. මොකද ඔවුන් අපේ රට නියෝජනය කරද්දි ඔවුන් ලබන ජයග්‍රහණ අපත් ලබන ජයග්‍රහණ නිසා. ඔවුන් ජයග්‍රහණ ලබද්දි අපේ රටට කීර්තියක් ලැබෙන නිසා.
ඇත්ත. ඒත් ඒ මොනව වුනත්, බොටම් ලයින් එක තමයි.. මේ කට්ටියම වෘතියක් විදියට ක්‍රීඩා කරන අය කියන එක. ඒක තමයි යථාර්තය. ඒ යථාර්තය අවුල් වගේ නම් ප්‍රශ්නය තියෙන්නේ ඒ යථාර්තය තමාගේ ඔලු අස්සේ තේරුම් බේරුම් කරගන්න බැරි අයගෙ මිසක ක්‍රීඩකයන්ගේ නෙමේ, . (මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් තමන්ගේ වැටුප ගැන ක්‍රිකට් ක්‍රීඩකයන් මතු කල ආන්දෝලනය. හරියට අපේ දොස්තරලා, දුම්රිය සේවකයන් වගේ තමා ; ඇයි ක්‍රිකට් නොගැහැව්වා කියල ඒ මිනිස්සු කරන්නේ ජාතික සේවයක් නෙමෙයිද?)
අනිත් මිනිස්සු වගේම වෘතියක් කරන මේ ක්‍රීඩකයන් කරන්නේ සේවයක්ය, රට වෙනුවෙන් යුතුකමක්ය, අපි මෙච්චර කල් අව්වේ පිච්චි පිච්චි මැච් බලපු එකට කලගුණ සැලකිය යුතුය.. වගේ ලොවෙත් නැති සදාචාරවාදී ටෝක්ස් දාන අය හිටියට ඒ ටෝක්ස් දාන අයගෙයි මේ ක්‍රීඩකයන්ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම.. දෙගොල්ලොම නෙමේ හැමෝම බලන්නේ තමාගේ වාසිය, තමා ගොඩයන්න.
මතකද මීට කලින් කතාවක් තිබ්බා කාර් එකක් දෙනවා නම් අරවින්ද ගහනවා කියල? සනත් ජයසූරිය සොසේජස් කෑවා, සංගක්කාර ඇන්ලීන් බිව්වා. ඔව්.. ඔක්කොම සල්ලි වලට.
මේ හැම ක්‍රීඩකයෙක්ම තමාට පුළුවන් උපරිම මුදල තමාට සෙල්ලම් කරන්න පුළුවන් කෙටි කාලයෙදි හොයා ගන්න අතරේ පුළු පුළුවන් විදියට මිනිස්සු ඉස්සරහා තමාගේ භූමිකාව ගානට රඟපෑවා.. ඔව්.. හරියට දේශපාලකයො වගේ.. කැමරාව ඉස්සරහ ලස්සනට කතා කරනවා. හිනා වෙනවා. අත වනනවා.. ඒ අස්සේ පුළුවන් උපරිම ගාන හම්බ කරනවා
මාලිංග කියන චරිතය වෙනස් වෙන්නෙ ඔතනදි. මාලිංග ප්‍රතික්ෂේප කරනවා ඔය මිනිස්සු සනසන භූමිකාව රඟපාන එක. මාලිංගට සතපහක වැඩක් නැහැ, අනිත් උන් මාලිංගට දෙන චරිත සහතිකය ගැන. සමහර විට මාලිංගගේ ජීවිතයේ අවස්ථාවක ඔය ‘අනික් උන්’ එකෙක්වත් මාලිංගට නොහිටිය නිසා වෙන්න ඇති (මොකක් ගැනද කියන්නේ කියල දන්නෝ දනිති)
කොහොම හරි, අනිත් ක්‍රීඩකයනුත් කරන මේ සල්ලි හෙවිල්ල.. මාලිංග කරන විදිය නිසා මාලිංග දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ආතල් කුඩු වෙනවා.
මොකද මිනිස්සු හිතන් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා කියන්නේ ඒගොල්ලෝ වගේ නොවිය යුතු කට්ටියක් කියල. සල්ලි වලට මුල් තැන දෙන්න ඕන නැති කට්ටියක් කියල. තමාගෙ වාසියට වැඩ කරන්න ඕන නැති කට්ටියක් කියල. මොකද, මිනිස්සු මේගොල්ලන්ව ‘මිනිස්සු’ කියන සාමාන්‍ය ස්වභාවයෙන් උඩින් තියල පරමාදර්ශී චරිත කරගෙන ඉන්න නිසා.
සමහරු කියනවා මාලිංගට ලංකාවෙ අත දුන්න අය නැත්නම් අද මාලිංග තාම බීච් එකක සොෆ්ට් බෝල් ගගහ ඉන්න නිකම්ම නිකන් කොල්ලෙක් කියල. කතාව ඇත්ත. ඒත් එහෙමය කියලා මාලිංග මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන්න ඕනය කියනවා නම් ඒක මහා කුහක කතාවක්. මොකද, කවුරුත් ඇවිත් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න මාලිංග කොළුවව දැකලා “අනේ මේ දුප්පත් කොල්ලාව මම අරගෙන ගිහිල්ලා මුළ ඉඳලා මූට බෝල් කරන හැටි කියල දීලා, මූට ක්‍රිකට් උගන්නලා මූව දුප්පත් කමින් මුදවගන්න ඕනේ” කියල මාලිංගව ගෙනාවා නෙමේනෙ. කවුරු හරි හඳුනගත්තා මාලිංගටම ආවේණික ඔහුගේ දක්ෂතාවය, ඔහු ඒ දක්ෂතාවය ඔපමට්ටම් කරන්න ඇති. හරියට මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ. නැතුව ගල් කෑල්ලක් අරගෙන ගල් කෑල්ලට ආදරේට මැදලා මැදලා ඒක මැණිකක් කරන්න බෑනෙ.
කොහොම හරි මාලිංග ලෝක ප්‍රසිද්ධ ක්රීඩකයෙක් වුනා. ඔය ගමනට මාලිංගට සියගණනක්, දහස් ගණනක් මිනිස්සු උදව් දෙන්න ඇති. අන්තිමට මාලිංග තැනකට ගියා, රට වෙනුවෙන් සෙල්ලම් කලා. මාලිංගට ඒකට පඩියක් ලැබුනා. මාලිංගට ඕන නම් ඉන් එහාට වෙන පාරක යන්න, ඒක මාලිංගගේ තීරණය. ඒ අස්සේ අර මාලිංගට උදව් කරපු අය කියනව නම් “තෝ මැරෙනකල් අපිට ණය ගෙවපිය” කියල, ඒක ඊට වඩා කුහක කමක්.
තවත් පිරිසක් ඉන්නවා ක්‍රිකට් මැච් එකක් බලන්නෙවත් නැති.. මේගොල්ලන්ට අනුවත්, හැමෝම මුල් තැන දෙන්න ඕන රටට.. ! (අම්මගෙ රෙද්ද තමා, තමා ගන්න පඩිය වගේ තුන් හතර ගුණයක පඩියක් එක්ක මේ රටේම ඉඳගෙන වෙන රටක කම්පැනියක වැඩ කරන්න හරි, වෙන රටකට හරි යන්න හම්බුනොත් බලාගන්න පුළුවන් රට වෙනුවන් පරිත්‍යාග කරන හැටි)
මාලිංග කරන්නේ මේ හැමෝගෙම ආතල් කුඩු කරන එක..මේ මෝඩ මිනිස්සුන්ගේ හීන කුඩු පට්ටම් කරලා ඒවායේ තාප්පයේ මුලටම කෙළින එක.. !
ඒකයි ගොඩක් දෙනා තමා නොකරන ඒ කැපකිරීම මාලිංගත් නොකලම, මාලිංග එක්ක උරණ වෙන්නේ..
මොකද තමා මාලිංගට ආදේශ කරපු.. තමා ළඟත් නැති ඒ ගතිගුණ ටික..හැම දේටම වඩා රටට ආදරය කරන, සල්ලි වලට වැඩ නොකරන, අවංක, හරිම හොඳ චරිතය බොරුවට හරි රඟපාන එක මාලිංග ප්‍රතික්ෂේප කරපු නිසා
දැන් කට්ටියගේ ආතල් කුඩු වුනා ඇති නම් ඔය ඔලුව උඩින් තියන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ව බිමින් තියන්න.
ඒ මිනිස්සුත් අපි වගේම මිනිස්සු කියල පිළිගන්න. ආතල් කුඩු වුන එකේ වැරැද්ද මාලිංගගේද තමාගෙද කියල ආයෙම හිතල බලන්න.
මීට පස්සෙ එක එකාව ඔලුව උඩ තියාගෙන උන් තමාගේ ආතල් කුඩුකලයින් පස්සේ උන්ට බනින්න එපා. ඊට වඩා හොඳයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමාගේ ගොන් කමට තමාටම බැන ගන්න එක.