Category Archives: කාලීන

චෙස්ටර් ගැන කතාවක් නොවේ

දැන් මෙහෙමයි කතාව.

චෙස්ටර් මැරුනනේ.
මට නම් අවංකවම මේ මරණය දැනුනා.
ලින්කින් පාර්ක්ලගේ hybrid theory ඇල්බම් එකේ ඉඳල ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම චෙස්ටර්ගේ නිර්මාණ රසවින්දා.
කලාකරුවන්ගේ මරණ අතරින් මයිකල් ජැක්සන් මැරුණයින් පස්සේ දැනුනේ චෙස්ටර්ගේ මරණය.
මට වගේම සෑහෙන දෙනෙක්ට මේ සිද්ධිය ඔය විදියටම දැනෙන්න ඇති.
ලංකාවෙ වගේම මුළු ලෝකයේම රසික රසිකාවියන්ට.

ඔය මරණයත් එක්කම හැම මගුලකටම දෙපැත්තට බෙදිලා නටන බුකිවාසීන් ආයේ නටන්න ගත්තා.
පිරිසක් මේ මරණය ගැන දුක ප්‍රකාශ කරද්දි තවත් පිරිසක් මේ මරණය උපහාසයට ගත්තා

“චෙස්තර බෙනින්තර මැරිලලු නේද?”
“ලින්කින්පාර්ක් එක තියෙන්නේ කොහේදැයි අයියේ?”
“පාක් එකට අල්ලපු ගෙදර ඇන්ටිගේ සාරියෙන් එල්ලිලා තියෙන්නේ”
“ලින්කින් පාර්ක් එකෙ ගස් වලට වතුර දාපු එකා මලාලු ඊයේ”

ඔය චෙස්ටර් කියන ‘මනුස්සයා’ මැරුණ වෙලේ සමහරු ඒක උපහාසයට ගත්ත විදිය.
ඔය වගේ බුකිවාසීන් දාපු සමහර ‘කිංඩි’ ඉතින් සීමාව පැන්න ඒවා කියල මටත් හිතුනා.
සමහර විට චෙස්ටර් ගැන මම පොඩි එකෙක් කාලෙ ඉඳල හිතේ ලොකු රසිකත්වයක් තිබ්බ නිසා වෙන්න ඇති. සමහර විට විෂාදයට ගොදුරු වුන රෝගීන් ගැන මම ගොඩාක් සංවේදී නිසා වෙන්න ඇති.
සමහර විට තමාට තියෙන එකම විකල්පය සියදිවිනසා ගැනීමය කියන තැනට මනුස්සයෙක් පත් වෙන එක ගැන සෑහෙන අවබෝධයක් තියෙන නිසා වෙන්න ඇති.
එහෙම තත්වයට පත් වෙන මනුස්සයෙක් ගැන දැඩි සහකම්පනයක් මගේ හිතේ මොනයම් හේතුවකට හරි පැලපදියම් වෙලා තියෙන නිසා වෙන්න ඇති.

ඒත් ඉතින් අවුලක් නෑ. අවුලක්ම නෑ.
මම කැමති විදියේ දේවල් විතරක් නෙමේනෙ මිනිස්සු කියන්න ඕන.
ඕනම මගුලක් උපහාසයට ගන්න එක ඉතින් ඒ ඒ අයගේ නිදහස (විදෙස් රටක මෙහෙකාරකම් කරන කාන්තාවක් අන්ත අසරණ අඩියට වැටිලා කේන්තියෙන් මොර ගහන අවස්ථාවකුත් ආතල් ලෝකයක් කරගෙන කැච් ෆ්‍රේස් හදාගත්ත බුකි වාසීන්නෙ ඉතින්. මේව නම් මොනවද?)

මනුස්සයෙක්ගේ මරණයට පවා කිංඩි දැමීමේ නිදහසට මම ගරුකරනවා. ඒ අයිතිය මම පිළිගන්නවා.

හරි. දැන් තමයි මම කියන්න හදන කතාවට එන්නෙ.

මේ කතන්දර දැක්කාම මට එකපාර ඔලුවට ආවේ මෙහෙම දෙයක්.
“මේ මැරුණ මනුස්සයා වෙනුවට මුං සංවේදී වන පොරක් මැරිලා මම ඔහොම කින්ඩි දැම්ම නම් මුන් මොනව නොකියයිද?”

හොඳම උදාහරණයකට ගන්න පුළුවන් මේ අය කරේ තියාගෙන ඉන්න ආගමික නායකයෙක්ව.
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් මම මහනායක කෙනෙක් ගැන පෝස්ට් එකකදි ඔහුගේ නම අගින් ස්වාමින්වහන්සේ කියල නොදැම්මා කියල බුකිය ඇවිලුන හැටි.
දැන් ඉතින් තත්වය ටිකක් වෙනස් (කාලය මැවු වෙනසක් අරුමේ)
පොයින්ට් එක තමා.
නම විතරක් කිව්වා කියල අච්චරම මේ අය සංවේදි වෙලා බබ්බු ටිකක් වගේ නැටුවා නම්, ඔය මහනායක කෙනෙක් හරි, රහත් වෙලා හිටියය කියල සැලකෙන මෑත ඉතිහාසයේ ජීවත් වුන පොරක් ගැන හරි, කොටින්ම මේ අයගේ ආගමික නායකයන්ගේ මරණය ගැන හරි, ඔය විදියට උපහාසයෙන් කතා කලා නම් මේ අයට ඒ දේ ඉවසන්න තරම් පරිනතභාවයක් තියෙයිද කියන කතාව.

 ගොඩක් දෙනෙක් ආදරය කරන මනුස්සයෙක් මිය ගියාම කින්ඩි දාන්න පුළුවන් නම් මේ අය තමාගේ “උත්තමයො” කියල හිතන් ඉන්න පොරවල් ගැන දාන කින්ඩි දරා ගන්න බැරි ඇයි?

ගායකයෙක් හා ආගමික නායකයෙක් සමාන කරනවා නෙමේ. ආ සොරි. ගායකයෙක් හා ආගමික නායකයෙක් සමාන කරනවා තමා.
චෙස්ටර් අමතක කරමු.
ගායකයෙක් හරි, නළුවෙක් හරි, දේශපාලකයෙක් හරි, සමාජ සේවකයෙක් හරි, මොකෙක් හරි සමාජයේ යම් පිරිසක් ගෞරව කරන/ආදරය කරන කෙනෙක් ගැන.. කොටින්ම උන් මලාම උන්ගේ මරණය ගැන කින්ඩි දාන එක වරදක් නෙමේ නම් මුන්ගේ මහලොකු ආගමික නායකයො ගැන කින්ඩි දාන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

මුං ඒ වගේ අවස්ථාවලදී ගේන බොරු පුහු හිස් තර්ක වල සතපහක බරක් නෑ කියන එක ඔප්පු වෙන්නේ මේ වගේ අවස්ථා වල උන්ම පෙන්නන හැසිරීම් වලින්.
මුංට ඕන නැති හරි වැරැද්දක් නෑ.
මුංට ඕන මුං කැමති විදියට මුං ජීවත් වෙන ලෝක පාලනය කරන්න.

ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඉන්න අතිමහත් බහුතරයක් ආගමික හැතිකරේ ඔහොම තමයි.
ඕක තමයි උන්ගේ කුහකකමේ හෙළුව.

කින්ඩි දැමීම හෙවත් උපහාසය ගැන මුන්ම හදාගත්ත මුන්ගේම හිස් නීති රීති වලංගු වෙන්නේ මුං සංවේදී තැන් වලට විතරයි.

ඉතින් ඒකයි මුන් සංවේදි වෙන තැන් වලට හැකි උපරිමයෙන් ගහන්න ඕන කියල මම පුද්ගලිකව හිතන්නෙ.

මුං සංවේදී දේ උපහාසයට ලක් වෙන අවස්ථා වලදි කුණුහරප කියන අන්තවාදී ගොබ්බයන්ටයි
ඒ අවස්ථා වලදී කින්ඩි දැමීමේ අනවශ්‍යභාවය සහ අරමුණු ගැන ප්‍රශ්න කර කර බණ දේශනා කරන්න එන නිදහස් මතධාරීන් කියල කියාගන්න උන්ටයි කියන්න තියෙන්නේ එක දෙයයි.

හුකහන් මහත්වරුනි.

ප/ලි – මේක චෙස්ටර් ගැන කතාවක් නෙමේ. චෙස්ටර් රිලේට් වනවා මදි වගේ නම් සමාජයේ යම් පිරිසකගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙච්ච වෙනත් චරිතයක් ආදේශ කරගෙන මේ සටහන නැවත කියවන්න.

මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.
මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවා

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.
මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!

– පැරණි සටහනකි

අල්ලා නමඳින්න පාර වැසීම

ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස තිබිය යුතුය. ඒ වෙනකෙක්ගේ නිදහසට
බාධාවක් නොවන අයුරින්ය. පුද්ගලයෙකුට ආගමක් ඇදහීමට සහ තමන් කැමති ආගමික වතාවත්වල යෙදීමට ඇති අයිතියට සමාන අයිතියක් තවත් පුද්ගලයෙකුට ආගමක් නොඇදහීමට සහ ආගමික වතාවත් වලින් වෙන්ව සිටීමටද ඇත.

මීට දවස් කිහිපයකට පෙර යම් පිරිසක් විසින් සිය ආගමික වතාවත් පාරක් මැදට පැමිණ සිදු කිරීම නිසා එම සිද්ධියේ හරි වැරැද්ද ගැන කතිකාවතක් ඇති විය.

එම පිරිස මුස්ලිම් පිරිසකි. දැනගන්නට තිබෙන පරිදි පුද්ගලික අවකාශයක කල නොහැකි ජුම්මා නැමදුම නමින් හඳුන්වන ඉස්ලාම් ආගමික නැමදුමක යෙදීමට පල්ලියේ ඉඩ මදි වීමය මේ සිද්ධියට හේතු වී ඇත්තේ.

පිරිස මුස්ලිම් වීම, ජුම්මා නැමදුම පල්ලියේම සිදුකල යුතුවීම, පල්ලියේ ඉඩමදි වීම යන කාරණා මෙහිදී අනදාලය.

යම් පිරිසකට තමන්ගේ ආගමික වතාවත් වල යෙදීමේ යම් ගැටළුවක් හෝ අපහසුතාවයක් තිබේ නම් එය ඔවුන්ගේ ප්‍රශ්නයකි. එය ඔවුන් විසඳා ගත යුත්තේ අනෙක් මිනිසුන්ට බාධාවක් නොවන අයුරිනි. මෙහිදී මෙම පිරිස තෝරාගෙන තිබෙන්නේ තනිකරම ආත්මාර්ථකාමි විසඳුමකි. මන්ද, ඔවුන් මුහුණ දුන් ප්‍රශ්නය විසඳා ගන්නට කියා මොවුන් කර ඇත්තේ ප්‍රශ්නය විසඳීම නොව, අහක සිටිනා මිනිසුන් මතද සිය ප්‍රශ්නය පැතිරවීමය.

ආගමික වතාවත් හේතුවෙන් මේ රටේ මිනිසුන්ගේ ජනජීවිතයට සැලකිය යුතු මට්ටමක බාධාවක් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ.

අපට කොහේ ගියත් ආගමය. ඔක්කෝටම වඩා ලොකු ආගමය. අනෙකාගේ නිදහසටත් වඩා ලොකු අපේ ආගමික ආතල් එකය. ඒ අපේ හැටිය. එනිසා අපට මේ මුස්ලිම් පිරිස වෙත පමණක් ඇඟිල්ල දිගු කල නොහැකිය. සිද්ධි වශයෙන් එළියට පැමිණියද මේවා සංස්කෘතික කාරණාය. අපේ දුර්වලකම්ය.

කෑමේ බීමේ සිට ජනතාව පාලකයන් පත් කර ගැනීම දක්වාද පාලකයන් ජනතාව පාලනය කිරීම දක්වාද අපට වැදගත් එකිනෙකාගේ ආගම්ය. ඕනම දෙයක් ආගමික සළුවකින් ඔතා පැමිණේ නම් අපි ඕනම පරිප්පුවක් කන්න සූදානම්ය.

“අරගොල්ලොත් කරන්නෙ.. අපි විතරයැ?”

සියල්ලන් තමන්ගේ ඒ විකාරරූපී ක්‍රියා සාධාරණීයකරනය කරන්නේ එසේය. කවුරුන් හෝ ඒවා ප්‍රශ්න කල විට කරන්නේ වෙනකෙක් වෙත ඇඟිල්ල දිගු කිරීමය. හොරෙන් සීනි කෑ සහෝදරයන් දෙදෙනෙක්ගෙන් මව ප්‍රශ්න කරද්දි වරදින් බේරීමට යයි සිතා එකෙක් එනෙකාට ඇඟිල්ල දිගු කරන්නාක් මෙනි.

මෙම සිද්ධියට පක්ෂව අදහස් දක්වන්නන්ගේ ප්‍රධානතම තර්කය නම් පෙරහැරවල්, දන්සැල්, තොරණ් වලට පාරවල් අවහිර වන බවද එනිසා මෙවැනි සිද්ධි නොසලකා හැරිය යුතුබවය.

එම කතාව සම්පූර්ණයෙන්ම සත්‍යක් නොවේ. කිසියම් අවස්ථාවක පාරක් වැසීමට උවමනා නම් අදාල පාර්ශව නීතිය ඉදිරියට ගොස් නීත්යේ අවසරය ලබා ගත යුතුය. යමක් නීත්‍යානුකූලව කරන්නේ එසේය. අනෙක, පෙරහැරවල් තියෙන්නේ අවුරුද්දට සැරයක් පමණි. පාරවල් මැද තොරණ් ගසන්නේ නැත.

එමහින් කෙරෙන්නේ බෞද්ධයන්ගේ ක්‍රියා මත සුදුහුණු ගෑමක් නොවේ. කවුරු කලද වැරැද්ද වැරැද්දමය. කිසිම හේතුවක් නැතිව බෞද්ධ ආතල් එකක් නිසා නුවර පාරක් දවස් 365ම වසාගෙන සිටින බව මෙහිදී අපට අමතක කල නොහැක.

පෙර සඳහන් කලා සේ ආගමික වතාවත් වල යෙදීම වරදක් නොවුවද තමන්ගේ ආගමික විශ්වාසයන් හෝ ඇදහිලි හෝ වතාවත් නිසා ජනසමාජයක එදිනෙදා කටයුතු වලට බාධාවක් වනවා නම්, එය ගැටළුවකි.

හැමදාම වැරදි කරමින් නිදහසට කාරණා ලෙස අනෙක් අයගේ වැරදි දැක්වීම රටක් වශයෙන් සිදුකලා දැන් ඇතිය. මුස්ලිම් රටවල සියලු දේට වඩා ආගමික වතාවත් වලට මුල් තැන දෙන බව අපි දනිමු. මෙහිදී මා මිත්‍රයෙක් පැවසුවේ එරටවල් වලදී පාරවල් අවහිර කරගෙන යාතිකා කරන අවස්ථාද ඇති බවයි.

වුන දේ වෙලා ඉවරය. නීතිය විසින්ද එම අවස්ථාවේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. කෙසේ හෝ මෙවන් දේ නැවත සිදුනොවන බවටද සිදුවුවහොත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක විය යුතු බවද පැහැදිළි කරුණකි.

රටක් වශයෙන්, ජාතීන් වශයෙන් ආගමේ සීමා, වෙනත් මිනිසුන්ගේ ජීවිත වලට බාධා කිරීමේ සීමා ගැන අවබෝධයක් ඇති කරගැනීම වැදගත්ය.

බොහෝ දෙනා කතා කරන ආගමික සහජීවනය යනු කුමක්ද කියා මා හරියටම දන්නේ නැත. කුමක් වුවද ආගමික සහජීවනය යනු “මම වැරදි කරද්දි උඹ සද්ද නැතුව හිටිං උඹ වැරදි කරද්දි මම සද්ද නැතුව ඉන්නම්” යනුවෙන් එකිනෙකා සමඟ සම්මුති වලට එළඹීම නොවේ.