Category Archives: ආගමික

බුදුන් ; ගැහැණියක් නොවන්නේ ඇයි?

මෙය නිතර ඇසෙන ප්‍රශ්නයකි.

මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බවයි. මෙවැනි ප්‍රශ්න වැටෙන්නේ ඉන් දෙවැනි කොටසටය. එනම් තේරුමක් නැති ප්‍රශ්න ගනයටය.

මිනිස් ඉතිහාසයේ මුල පටන් පිරිමියාට යටත්ව අඩු අයිතිවාසකම් ලැබූ ගැහැණියට සම අයිතිවාසකම් ලැබීම ගැන කතිකාවත් ඇති වී තිබෙන වර්තමානයේ ලෝකයේ ප්‍රධාන ආගමක් වන බුදුදහම තුල ගැහැණියට ලබා දී ඇති තත්වය ගැන කියවෙන මෙවන් ප්‍රශ්න සාකච්ඡා කිරීම තේරුමක් නැති දෙයකි.

වෙනත් වචන වලින් කියනවා නම් ඉස්ලාම් ආගමේ ගැහැණියට දී ඇති තැන, කතෝලික/ක්‍රිස්තියානි ආගම් වල ගැහැණියට දී ඇති තැන සාකච්ඡා කිරීම තේරුමක් ඇතත් බුදුදහම තුළ ගැහැණියට ඇති තැන ගැන සාකච්ඡා කිරීම තේරුමක් නැත.

කොටින්ම බුදු දහම ගැන කොහෙත්ම ප්‍රශ්න නොකරන තරමට හොඳය. ප්‍රශ්න කරනවා නම් ඒ අය අනාදිමත් කාලයක සිට පැවත එන බුදුදහම හා බැඳුන අපගේ සංස්කෘතියට හා පුරුෂාධිපත්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කරනා බටහිර එන්.ජී.ඕ වලින් මූල්‍ය ආධාර ලබන ස්‍තීවාදීන් වැනි සමාජයේ මිනිසුන්ගේ මනස දූෂණය කරනා කාලකණ්ණි බටහිර ගැත්තන්ය.

පෙරළා ප්‍රශ්න ඇසීම බටහිරින් පැමිණි පරයන්ගේ ලක්ෂණයකි. බටහිර රටවල ජනමාධ්‍යවේදීන් විසින් දේශපාලකයන් ප්‍රශ්න කරයි. ජනතාව විසින් ජනමාධ්‍ය සහ පාලකයන් දෙකම ප්‍රශ්න කරයි. මාධ්‍ය, ජනතාව පාලකයන් සියල්ලන් එකතු වී ආගම්/දර්ශනයන් ප්‍රශ්න කරයි. පරයන්ගේ හැටි එහෙමය. ගරු කල යුතු දේ නොකල යුතු දේ උන් නොදනිති.

අපේ කම යනු ගරුකටයුතු අයවලුන් කියනා ඕනෑම දෙයක් එහෙයි කියා පිළිගැනීමය. අපේ කම යනු රජවරුන් වැනි පාලකයන් අපගේම මුදල් වලින් ගත් වාහන වලින් රූං ගා යද්දි උන්ට ඉඩදී කාණු වලට බැසීමය. අපේ සිරිත හාමුදුරුවරු බණ කියද්දී අසා හිඳ අවසනදී සාධු කාර දීම මිස ප්‍රශ්න ඇසීම නොවේ. ධර්ම සාකච්ඡාවලදී ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට පහසු ෆුල් ටොස් ප්‍රශ්න පමණක් යොමු කල යුතුය (සැ;යු – ක්‍රමය නොදන්නා අය දොරමඬලාව රූපවාහිනි වැඩසටහන මෙහෙයවන්නා නිරීක්ෂණය කොට ඉගෙන ගන්න)

මා මේ පුල පුලා කියන්නේ එක දෙයකි. එනම් බුදුදහම ඉලක්ක කරමින් අමාරු ප්‍රශ්න නොඇසිය යුතුය. අසනවා නම් ඒ අසන්නේ කාලකණ්ණි නැහැදිච්ච අමනයන්ය.

එසේ ප්‍රශ්න නොඅසා සිටින්නට නොදත් කාලකණ්ණි නැහැදිච්ච අමනයන් සිටියි නම් මේ පිළිතුර ඔවුන් වෙතය..

“ගැහැණියකට බුදු විය නොහැක්කේ ඇයි?”

පෙර කී පරිද්දෙන් මෙවැනි ප්‍රශ්න මොළේ කලඳක් ඇති අය අසනා ප්‍රශ්න නොවේ.

බුදුවීමට සැපිරිය යුතු ප්‍රධාන කාරණා අතරට පුරුෂ ලිඟුවක් තිබීම සහ යෝනියක් හා/හෝ තන් දෙකක් නොතිබීම යන කාරණා ඇතුලත් විය යුතු බව ඕනෑම මොළයක් තිබෙනා අයෙක් දන්නා කරුණකි.

බුදුවීමට පෙරුම් පිරීමට හෙවත් බුදුකමට ඇප්ලයි කිරීමට මූලික ලෙස පුරුෂ ලිංගයක් තිබේ දැයි පරීක්ෂාකර බැලිය යුතු බව නොදත් මුග්ධයන් විසින් ස්ත්රීන්ට වාසි සහගත තත්වයන් ඇති කිරීමේ අරමුණින් “ගෑණියෙක්ට ගෑණියෙක් වීම නිසාම බුදුවෙන්න බැරි ඇයි?” වැනි තේරුමක් නැති ප්‍රශ්න අසයි (එම වාක්‍යයේ ‘තේරුමක් නැති ප්‍රශ්න’ වාක්‍ය ඛංඩය වැදගත්ය. අවධානය යොමු කරන්න).

අප කියන ආකාරයට සිටීමට එකඟ වන ගැහැණුන්ට මෙපමණ කාලයක් තිස්සේ ඉතාම වටිනා ‘ගෙදර බුදුන්’ පට්ටමක් ලබා දීමට අපි කටයුතු කලෙමු.

ගැහැණුන් එයින් සෑහීමකට පත් වීමට ඉගෙන ගත යුතුය. ගෙදර බුදුන් පට්ටම ලබා දුන් පසු මොවුන් හදන්නේ තුන්ලොවටම බුදුවන්නට නොහැක්කේ ඇයි කියා අසන්නටය. ලද දෙයින් සතුටු වීම උතුම් ගුණාංගයක් බව කුඩා කල සිටම අපගේ වැඩිහිටියන් අපට ඉගැන්වූ කාරණයකි. එවැනි ගුණාංගයක් වත් නොමැති ගැහැණුන් කෙසේ බුදුවන්නද?

ගැහැණියකගේ වගකීම ගෙදරට වී ළමයෙක් හදාගෙන, බතක් උයාගෙන, ගෙදර වැඩක් පලක් කරගෙන සිටිනු විනා බුදුවීමට යාම නොවේ.

සමාජයේ සිටිය යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය මෙපමණ කාලයක් තිස්සේ යස අගේට අප ගැහැණුන්ට කියා දුන්නා සේ බුදුවීමෙන් පසුව සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය දේශනා කිරීමද පිරිමි අපටම කල හැකිය. ගැහැණුන්ට තියෙන්නේ අප අවබෝධ කරගෙන දේශනා කරන දේවල් දරුවන් නලවමින් පිළිගැනීමය ( සැ; යු – මේ අදහස තේරුම් ගැනීමට අපහසු අයෙක් වේ නම්, ගැහැණුන්ට යනු දරුවන් බිහිකිරීමටම සිටිනා යන්ත්‍ර ලෙස සලකන ඉස්ලාමීය අන්තවාදී අදහස  වෙත අවධානය යොමු කොට තේරුම් ගැනීමට උත්සාහ කරන්න)

බල්ලන් මෙලොවට එන්නේ බව් බව් ගාමින් මිනිසුන්ව ආරක්ෂා කිරීමටය, ඔටුවන් මෙලොවට එන්නේ කාන්තාරයේ ඇවිදිමින් මිනිසුන්ට ප්‍රවාහනය සැපයීමටය, අලින් මෙලොවට එන්නේ දන්ත ධාතුව වඩම්මමින් පෙරහැරේ යාමටය, හරක් මෙලොවට එන්නේ ජීවිත කාලයේම මිනිසුන්ට බැලමෙහෙවරකම් කොට ජීවිත අවසානයේ ‘අනේ අපේ කිරි අම්මා’ කියා මිනිසුන්ගෙන් අසා ගැනීමටය (මේ තත්වය ගෙදර බුදුන් පට්ටමට සමාන වන අයුරු මෙනෙහි කරන්න), කුකුලන් මෙලොවට එන්නේ රෝස් චිකන් එකක් වී මිනිස් දිවට රසය සැපයීමටය.. ඒ අයුරින් ගැහැණිය මේලෝකයට එන්නේ දරුවන් බිහිකරමින් දරුවන් ආදරය කිරීමට මිසක බුදු වීමට නොවේ.

“යුරෝපීය ගෑනුන්ට ගැළපෙන දේවල් අපේ රටේ මේ ආසියාතික ගෑනුන්ට ගැළපෙන්නෙ නෑ. අපේ රටේ ගෑනුන්ට ඡන්ද බලේ ලැබුණොත් ගෙදර තියෙන සාමය සමාදානය නැතිභංග වෙලාම යාවි. එයාල ගෙදර රණ්ඩුකාරියන් බවට පත්වේවි. මං කැමැති නෑ ඔය මෝඩ වැඩේට. ගැහැණිය ඉන්න ඕන ළමයි බලාගන්න, පවුල ආරක්ෂා කරගන්න. ඡන්ද බලය දීලා දේශපාලනයට ගත්තොත් වෙන්නේ පවුල් සංස්ථාව බිඳ වැටෙන එක”

ඒ කියන්නේ මම නොව, දැනුම් තේරුම් ඇති අපගේ ජාතික වීරයෙක් වන සර් පොන්නම්බලම් රාමනාදන්ය. එතුමා එසේ කියා තිබියදී පව් කියා අප ගැහැණුන්ට ඡන්ද බලය ලබා දී තිබෙද්දිත්, ඒත් මදි කියා ඇයි අපට බුදුවෙන්න බැරි කියා අසන්නේ ගැහැණුන්ගේ තියෙන ආත්මාර්ථකාමය නිසාය. (සැ;යු – ඔක්කොම ගැහැණුන් බුදුවෙන්න පෙරුම් පුරන්න ගත්තොත් මෙලොව ළමයි බිහිවීම නැවතී මිනිස් ජාතිය වඳවී යාමේ තර්ජනයට මුහුණ පෑ හැක)

ගැහැණු නම් දරුවන්ය, දරුවන් නම් ගැහැණුය. ඒ සම්බන්ධය ගසට පොත්ත මෙනි. (සැ:යු – කැමැත්තෙන් දරුවන් නොහදනා ගැහැණුන් මේ ලෝ තලයේ නැත) ඒ හැටිය. එදත් එහෙමය අදත් එහෙමය. හෙටත් එහෙමය. ධර්මතා කියන්නේ ඒවාටය.

පිරිමියාට දරුවන් බිහි කල නොහැකිය. දරුවන් බිහි කල හැක්කේ ගැහැණුන්ටය. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැකිය. පිරිමින්ට හිටගෙන මුත්‍රා කල හැක, ගැහැණියට නොහැක. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැක. (සැ;යු – ඒ බෞද්ධ අපේ ලොජික්ය)

එම නිසා කොච්චර සාර සංඛේය කල්ප කාලයක් පෙරුම් පිරුවද, සිත කොච්චර දමනය කරගත්තද අදාල පුද්ගලයා කාන්තාවක් නම් බුදුවීම උදෙසා ආපසු හැරී ගොස් පිරිමි ආත්මයක් ලබා ගෙන ආ යුතුය. (සැ:යු – සිත හරියටම දමනය කර ගත හැක්කේ පුරුෂ ලිඟු ඇත්තන්ට පමණි)

ප/ලි – මේ තේරුමක් නැති ප්‍රශ්න ඇසීම මෙයින් නැවතිය යුතුය. මෙවන් තේරුමක් නැති දේ ගැන සටහන් ලිවීමට ගත කරන වටිනා කාලය ගිහියන්ටත් වඩා අන්ත විදියට පිස්සු බල්ලන් සේ හැසිරෙන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා සාධාරණීය කරනය කිරීමට යෙදවූවා නම් මීට වඩා ප්‍රයෝජනවත්ය. දැන් මොකෙක් හෝ පැමිණ “පිරිමියාට පමණක් බුදුවිය හැකි බුදුදහමේ නිර්මාතෘ වන බුදුන්වහන්සේ විසින් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට එකවර අවසර නොදුන්නේ ඇයි?” වැනි ප්‍රශ්නයක් ඇසුවොත් නාථ දෙවියන්ගේ ආධාරයෙන් ලිපිනය සොයා ගෙන විත් අපි බෞද්ධයන් වශයෙන් විෂ ඝෝර සරපයා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා සරපයාට මෙත් වඩනා ආකාරයට දෙකේ දෙකේ පොල්ලක් රැගන මෙත්වැඩීමට අකමැත්තෙන් වුවද සිදුවන බව සඳහන් කරමු.

තෙරුවන් සරණයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා*

*කොන්දේසි සහිතයි

පව් අසරණයො

සමහර අය හිතන් ඉන්නවා
බුදුදහම කියන්නේ
තමා දකින දේ පාලනය කිරීමය කියල
නමුත් 
බුදුදහම කියන්නේ 
තමා දකින දේ
පාලනය කිරීම නොව
තමාගේ සිත පාලනය කරගන්න එකය
සිත දමනය කරගන්න එකය කියල
ඒගොල්ලන්ට තේරෙන්නෙ නැහැ
සිත පාලනය කරගන්නව වෙනුවට
ඒ ගොල්ලො කරන්න හදන්නෙ
ඇහැට පේන දේ 
පාලනය කරන එක
ඒක බුදුදහමේ ක්‍රමය නෙමේ
තලෙයිබාන් ක්‍රමය කියල
ඒගොල්ලො දන්නෙ නැහැ
හිතේ තියෙන වනචරකම
පාලනය කරගන්න බැරි නිසා
ඒගොල්ලො හදන්නේ
ඇහැ දකින දේ පාලනය කරන්න
ගෑණුන්ගෙ කකුල්
කලවා
බුරි
වහන්න දඟලනවා
තමාගෙ වනචරකමට
තමා තුළම තියෙන
බය නිසා
මේ වගේ අයගේ
සිල්වන්තකම
ගෑණු බුරියක් නිසා
කුඩු වෙලා යන
බිත්තරයක් වගේ
දුර්වලයි
බුදුන්ටත් වඩා බෞද්ධ
මේ අයගේ සිල්වන්තකමට
කෙළවෙලා යන්නේ
ගෑණු ශරීර නිසා
එනිසා 
නිවන්දකින්න නම්
හිත දමනය කරගන්න කලින්
ගෑණු තහනම් කරල 
ඉන්න ඕන
ඒකයි ඔවුන්ගෙ
තලෙයිබාන් බුද්ධාගම
ගෑණු කකුල් දැක්කම
ධාතු පහවෙන 
ඔවුන්ගේ අසරණකමට 
මක්කරන්නද
පව්
අසරණයො

මෙරු

ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?
මිනිස් බුද්ධියෙන්, තර්කයෙන්, විද්‍යාවෙන් එල්ල කෙරෙන මරුපහරවල් ඉදිරියේ වැටි වැටී හරි ආගමික විශ්වාස තවමත් නොසැලී, නොවැටී තියෙන්නේ අපේ සිතේ ඉතිරි වෙලා තියෙන මේ බලාපොරොත්තුව නිසා කියල කවුරු හරි කිව්වොතින්
ඔබ මොකක්ද දෙන උත්තරය?
ජීවිතයේදී කියපු කරපු හොඳ දේවල් වලට කවදා හරි හොඳ ප්‍රිතිඵලයක් මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි…. ජීවිතයේදී නරක කියපු කරපු මිනිස්සුන්ට කවදා හරි ඒවායේ විපාක මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි,
තවත් ලෝකයක්.. තවත් ජීවිතයක්.. ගැන
තියෙන ඒ බලාපොරොත්තුව….!
සුළු පටු එකක් නෙමේ.
ඒ වෙනුවෙන් කීදාහක් මිනිස්සු ජීවත් වෙන්න ඇද්ද? කීදාහක් මිනිස්සු සටන් කරන්න ඇද්ද? එකිනෙකා මරාගන්න ඇද්ද? ජීවිත පූජා කරන්න ඇද්ද?
මිනිස්සු කැමති වෙයිද කිසිම කෙනෙක් කිසිම විදියකින් කවදා හරි ඒ බලාපොරොත්තුව තමාගෙන් උදුරගන්නවට?
ඒ බලාපොරොත්තුව මායාවක් විතරක් නම්.. ඒ බලාපොරොත්තුව මිත්‍යාවක් විතරක් නම්..??
මොනව වුනත්.. මරණින් පස්සේ තියෙනවාය කියලා ‘බලාපොරොත්තුවෙන’ මේ ජීවිතයට.. පැවැත්මට.. අනික් හැම දේකටම වගේ නියම වෙලා තියෙනවා මිලක්.. කරන්න සිද්ධ වෙලා තියෙනවා කැප කිරීමක්
එක එක ආගම් වල, එක එක විශ්වාසයන්ට අනුව නියම කරනවා එක එක ජීවන ක්‍රම.. ඒවා එකිනෙකින් පරස්පරවිරෝධී වෙනකොට එකිනෙක අතර ගැටීම වළක්වන්න බැහැ..
ඒ නිසයි ඒ ගැටීමේ ප්‍රතිඵල විදියට ලක්ෂ ගණනින් මිනීකඳු ගොඩ ගැහිල තියෙන්නෙ. ලේ ගංගා ගලල තියෙන්නෙ.
අවුරුදු දස දහස් ගණනක් මුළුල්ලේ බලාපොරොත්තුවේ ‘මිල’ මනුස්සයා ගෙව්වේ එහෙමයි.
මරණින් පස්සේ තියෙන.. තියෙනවාය කියලා හිතන ඒ ආලෝකය පස්සේ මෙරු රැළක් වගේ දුවනවා.. බලාපොරොත්තුවෙන් !
අපි මොහොතකට එමු ඔබයි මමයි ජීවත් වෙන සැබෑ ලෝකයට
මේ මට ටික කාලයකට කලින් යාලුවෙක් කියපු කතාවක්
“යාලුවගේ ගමේ හිටපු වයසක අම්මා කෙනෙක් පන්සලට ගිහින් කාලෙකට කලින් නැති වුන ඇගේ සැමියාට පිං පතල පන්සලට දානයක් දෙන්න හිතාගෙන. එහෙම ගිය ඇයට පන්සලේ හාමුදුරුවෝ කියල තියෙනවා පන්සලට දානේ එපා, සිමෙන්ති කොට්ට දෙක තුනක් ගෙනල්ලා දෙන්න කියල. වයසක අම්මා ඒකට කැමති වෙලා නෑ. ගෙදර දානේ උයලා බෙදාගෙන ඇවිත් හාමුදුරුවෝ කීපනමකට පූජා කරලා වැඳලා යනවා වගේ සතුටක් සිමෙන්ති කොට්ට කීපයක් ගෙනත් දුන්නාම වයසක අම්මා කෙනෙක්ට නොලැබෙන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. බේරෙන්න බැරි තැන හාමුදුරුවෝ වයසක අම්මට කියල සිමෙන්ති කොට්ට ගේන්නේ නැතුව ඒ වෙනුවට දානේ ගෙනාවොත් ඒ වයසක අම්මා මැරුණ දවසක ඇයට පිං දෙන්නෙ නෑ කියල”
ජීවිතේ සැඳෑ සමය ගත කරන, මරණින් පස්සේ ජීවිතය යහපත් කරගන්න එක තමාට ඉතිරි වෙලා තියෙන එකම බලාපොරොත්තුව වෙච්චි වයසක මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කොයි තරම් නම් ලේසිද?
මේ වයසක මිනිස්සු මරණින් එහා ජීවිතයට ගෙනියන්න පින් රැස්කරගන්න දඟලන්නේ හරියට විභාගයක් අතලඟ කලබලෙන් පාඩම් කරන පොඩි ළමයි ටිකක් වගේ
මේ පින් පොරයට මිලක් නියම කෙරෙන (ආගමික) ව්‍යපාර ඒ වටා ගොඬගැහෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට
අහවල් උත්තමයාගේ ගහක්, ප්‍රතිමාවක්, විහාරයක් වඳින්න කියල කවුරු හරි කියන වචනයක් පිළිගෙන අල්ලපු රටට බුරුතු පිටින් පොරකකා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන යන්නේ මේ පින් අකවුන්ට් එක වැඩි කරගන්නයි
අපි කවුද ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ප්‍රශ්න කරන්න? කෙනෙක්ට එහෙම අහන්න පුළුවන්
ඒ ගමන්ම තවත් කෙනෙක්ට අහන්න පුළුවන් හදි හූනියම්, අංජනම් බැලිලි, වශී ගුරුකම් විතරක් නෙමේ මිනිස්සු රවට්ටන ව්‍යාපාර සහ මේ පිං විකිණීම අතර වෙනසක් තියෙනවද කියලත්
මිනිසාව මෙපමණ කල් ජීවත් කරවපු බලාපොරොත්තුව සහ අන්ධ විශ්වාසය අතර වෙනස හරි හැටි තේරුම් බේරුම් කරගන්නකම් ඔය දෙකේම මිල අපිට මිනිස් හැඟීම් වලින්, ලේ ගංගා වලින්, මිනී කඳු වලින් ගෙවන්න වේවි.
මගේ ප්‍රියතම ඉංග්‍රීසි කතා මාලාවක කියවෙන මේ කතාවෙන් සටහන අවසන් කරන්නම්
“The ontological fallacy of expecting a light at the end of the tunnel, well, that’s what the preacher sells, same as a shrink. See, the preacher, he encourages your capacity for illusion. Then he tells you it’s a fucking virtue. Always a buck to be had doing that, and it’s such a desperate sense of entitlement, isn’t it?” – Rust Cohle ; True Detective

අද මහ සිකුරාදා

ලොව පුරා කතෝලිකයන් සිය ශාස්තෲවරයා වන ජේසුස්වහන්සේගේ කුරුසපත් වීම සමරණ දිනය. උන්වහන්සේ මනුෂ්‍ය සංහතියේ පාප උදෙසා සිය කැමැත්තෙන් වධ වේදනාවට ලක් වෙලා මරණයට පත් වුනාය කියන සිද්ධිය සමරණ දවස.
මනුෂ්‍යයාගේ නිර්මාපකයා කියන සියලු බලැති දෙවියන්වහන්සේට මනුෂ්‍යයාගේ පාප උදෙසා මිනිස් බිලි පූජාවක් නැතුව සමාව දෙන්න නොහැකි ඇයි කියන එක ලොව පුරා බිලියන 2.4ක් කතෝලිකයන්ගෙන් කීදෙනෙක්ට හිතෙනවද කියන එක හිතන්න වටින දෙයක්.
සානුකම්පාවෙන් අසීමිත දෙවිකෙනෙක්ට කල හැකි උතුම්ම ක්‍රියාව වන්දියක් රහිතව සමාව දීම නොවේද කියන එක මෙතනදි අහන්න පුළුවන් සාධාරණ ප්‍රශ්නයක්
සෑම ආගමක් වගේම බයිබලය මූලික කරගෙන නිර්මාණය වූ ඒබ්‍රහමික ආගම් නිසා ඒ ඒ කාල වල තිබ්බ සදාචාරාත්මක සම්මුතීන් ධනාත්මක ලෙස පරිනාමයට ලක් වුනා. ‘ඒක දෙවි’ (monotheism) සංකල්පය ඔස්සේ ගොඬනැගුන ඒබ්‍ර්හමික ආගම් වලට පෙර කාලයේ පැවතුන polytheism හෙවත් බහු දේවවාදී පේගන් ආගම් වල සම්ප්‍රදාය වුනේ ඔවුන් අදහන දෙවිවරුන් වෙනුවෙන් ‘මිනිස්’ බිලි පූජා ලබා දෙන එක. බයිබලයේ පැරණි ගිවිසුමේදී එය ‘සතුන්’ බිලි පූජා විදියට ලබා දෙන ආකාරයට වෙනස් වුනා.
මොනවා වුනත් ක්‍රිස්තියානි ආගම ගොඬනගන්න මොවුන්ට ඒ කාලයේ සදාචාරාත්මක වටිනාකම් අනුව උවමනා වුනා බිලි පූජා වලින් උතුම්ම බිලි පූජාව හෙවත් පරම කැපකිරීමක්(Ultimate sacrifice) වටා ක්‍රිස්තියානියේ(හෝ කතෝලික) පදනම ගොඬගන්න
ඒ අනුවයි මනුෂ්‍ය වේශයෙන් පැමිණි දෙවියන් මිනිසා වෙනුවෙන් ‘බිලිපූජාවක්’ විදියට පූජා වෙන සංකල්පය නිර්මාණය වෙන්නෙ
අපි වර්තමානය ගැන කතා කලොත් ඇත්ත කතාව තමයි, කතෝලිකයන් මේ සමරන්නේ මනුෂ්‍ය බිලි පූජාවක් බව.. ඔවුන් සමරන්නේ කෙනෙක්ගේ රුධිරය ගලා යෑමක් බව. ඇත්තටම මෙතනදි ඔවුන් ජේසුස් වෙනුවෙන් කණගාටු වුනාට ඇත්තටම ඔය රුධියෙන් පිරුනු මිනිස් බිලිපූජාව නැතුව ඔවුන්ට ආගමක් ඉතිරි වෙන්නේ නෑ.
මේ සංකල්පය වර්තමාන සදාචාරාත්මක රාමුවල් තුලට දාලා බැලුවම පෙනෙන්නේ අතිශය පිළිකුල් සහගත අමානුෂික සම්ප්‍රදායක්.
මනුෂ්‍යෙක්ගේ ලේ මතින් බිහි වුන සංකල්පයක්, බිලි පූජාවක් ලෙස මනුෂ්‍යයෙක් වධබන්ධනයට ලක් කොට මරණයට පත් කිරීමේ සිද්ධියක් උත්කර්ෂවත් කිරීමක්, ඒ මනුස්සයාගේ ලේ සංකේතාත්මකව පානය කිරීමක්..
මේ සියලූම වතාවත් 21වන ශතවර්ෂයට නොගැලපෙන කල් ඉකුත් වූ පේගන් සම්ප්‍රාදයන් ලෙසයි පෙනෙන්නෙ
නමුත් කතෝලික/ක්‍රිස්තියානි අනුගාමිකයන්ට ඔය කාරණා කිසිදා ප්‍රශ්නයක් වුනේ නෑ. වෙන්නෙත් නෑ.
හරියට වතිකානුව තුළ සිදුවී වතිකානුව විසින්ම සඟවා පසුව හෙළිවූ කුඩා දරුවන් ලිංගිකව අපයෝජනය කිරීම් වතිකානුව සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට ප්‍රශ්නයක් නොවනවා වගේ.
[ජේසුස් ගැන නිර්මාණය වුන චිත්‍ර්පට සියල්ල අතරින් අතිශය හිංසාකාරී චිත්‍රපටය වන Passion of the Christ චිත්‍රපටය කතෝලිකයන් තදින් වැළඳගෙන මිලියන ගණන් ආදායම් වාර්තා තැබීම පසුපස ඇති ලේ පිපාසිත මානසිකත්වත ගැන වෙනම අවධානය යොමු කිරීම වටිනවා]
ඔවුන්ගේ ඉල්ලුමට අනුව සැපයුම ලැබෙනවා නම්, එතනින් එහාට සදාචාරයක්, සාධාරණයක් කතෝලිකයන්ටවත්/ක්‍රිස්තියානින්ටවත් ඕන නෑ
අවශ්‍ය වන්නේ ඉල්ලුමට අනුව සැපයුම ලැබීම පමණයි