Category Archives: ආගමික

ආදම් සහ ඒවගෙන් අහල කියපන්

දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ. මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)

දාලා කිව්වලුනේ “බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ” කියල

ඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු වෙලා තහනම් ගහේ ගෙඩි කෑවලුනේ.

ඊට පස්සෙ දෙන්නටම හරි වැරැද්ද තේරෙන්න ගත්තලුනේ. තමා හෙළුවෙන් කියල තේරිලා කොළ අතු වලින් විළි වහගත්තලුනේ.(හරි වැරැද්ද තේරෙන්නේ ගෙඩි කෑවට පස්සේ නම් දෙවියන්ට අකීකරු වෙලා ගෙඩි කන එක වැරදියි කියලා ගෙඩි කන්න කලින් තේරුම්ගන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒක ගිහින් දෙවියන්ගෙන් අහපන්)

පස්සේ සීන් එක හොරා වගේ හොරෙන් බලාන හිටිය දෙවියන්වහන්සේට මලපැනලා උයනෙන් අරුන් දෙන්නව එලවල දැම්මලුනේ (මම උඹලට කන්න දෙනව නම් මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයව්!)

ඕකනේ සාරාංශය. ඔයවගේ කතාවක්නේ කියන්නේ (ඇන්ටන් ජෝන්ස්ට එහෙම සිංදුවක් ගහනව නම් මරු කතන්දරේ)

හරි. මේකයි සීන් එක.

දැන් කතාව ඔහොම නම් දෙවියන්වහන්සේ මවල තියෙන්නෙ හරි වැරැද්දවත් මෙලෝ මගුලක්වත් නොතේරෙන පාවී පාවී කකා රිරී ඉන්න නිදහස් කැමැත්ත නැති වයින් කරල තිබ්බම ඔහේ ඇවිදින බෝනික්කො දෙන්නෙක් වගේ ඩබලක්නෙ.

කොටින්ම උන් දෙන්නට හිතන්න බැයි නම්, හරි වැරැද්ද තේරෙන්නෙත් නැත්නම්, නිදහස් කැමැත්තත් නැත්නම් උන් දෙන්නා සමාන වෙන්නේ යකෝ නිකම්ම නිකන් චිම්පන්සි දෙන්නෙක්ට, රිලව් දෙන්නෙක්ට, අස්සයො දෙන්නෙක්ට, කූඹි දෙන්නෙක්ට..නෙ. කොටින්ම නිකම්ම නිකන් සත්තු දෙන්නෙක්නෙ. මිනිස්සු දෙන්නෙක් නෙමේනෙ.

මොකද මනුස්සයා කියන්නේ, මනුස්සයා සත්තුන්ගෙන් වෙන් වෙන්නේ ඌට තමා, තමාගේ හැසිරීම් සහ තමා ජීවත් වන ලෝකය ගැන විචාර බුද්ධියෙන් හිතන්න පුළුවන් නිසානෙ සරලවම.

දැන් එහෙම බලපුවම,

සත්තු වගේ ඔහේ කකා රිරී හිටපු ආදම් සහ ඒවට බුද්ධිය ලබා දෙන තහනම් ගහේ ගෙඩි කන්න කිව්වේ කවුද?
කොටින්ම ඒ පාවි පාවි හිතන්න බැරි වහල්ලු වගේ හිටිය මුග්ධයො දෙන්නට බුද්ධිය ලබා දීලා උන් දෙන්නව නිදහස් කරන විදියට විදියට වැඩ කලේ කවුද?
ඒ සත්තු දෙන්නව මිනිස්සු කලේ කවුද?
ඒ අතින් බැලුවම මනුස්සයාගේ නිර්මාපකයා කවුද?

ඊළඟට,

මේවගේ හිතන්න බැරි පණතියෙන බෝනික්කො දෙන්නෙක් මවල මාරම විකාරරූපී ආතල් එකක් ගනිමින් හිටි දෙවියන් කියන එකාගෙ කැමැත්තට පුකට පයින් ගහලා මේ බෝනික්කෝ දෙන්නව හිතන්න පුළුවන් මිනිස්සු වෙන විදියට වැඩ කලේ යක්ෂයා නම්…

ඔය සීන් එකේදි දෙවියන්වහන්සේ සහ යක්ෂයාගේ හැසිරීම ගත්තම..

ඔය දෙන්නග්ගෙන් දුෂ්ඨයා කවුද?
කළු චරිතය කවුද?
මානසික රෝගී හැසිරීමක් පෙන්වපු එකා මොකාද?
වීරයා කවුද?
සුදු චරිතය කවුද?
සිරාම හැසිරීමක් පෙන්වපු එකා මොකාද?

ප්‍රශ්න ඕයි
ප්‍රශ්න !

මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?

තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්‍රශ්නය අහන්නෙ..

ශාසනය වෙනුවෙන්ය කියල තමාගෙ ජීවිතය ගැනවත් තීරණ ගන්න තරම් මෝරලා නැති පොඩි එකෙක්ව වැඩිහිටියන් එකතු වෙලා මහණ කරනවට උඹ එකඟ නම්,

ඇයි ඔය කියන ශාසනය රැකගන්න උඹට මහණ වෙන්න බැරි? කියන එක වලංගු ප්‍රශ්නයක්ය කියන එක උඹටම තේරෙනවා ඇති.

සමහර විට උඹ කියයි “දැන් මගෙ ජීවිතය යන පාරක් තියෙනව.. මට ඉලක්කයන්, බැඳීම් තියෙනව.. එනිසා මට මහණ වෙන්න බැරිය.. පරක්කු වැඩිය” කියල

දැන් කතාව එහෙම නම්, ඊළඟට එන ප්‍රශ්නය තමා තේරෙන වයසට ඇවිත් ඉන්න උඹට කරන්න බැරි වැඩක් ඇයි නොතේරෙන වයසෙ ඉන්න පොඩි එකෙක්ට කරන්න කියන්නෙ කියන එක.

දැන් හිතහං මෙහෙම

උඹ ඉපදෙද්දිම වෙනත් පාර්ශවයක් විසින් තීරණය කරනවා උඹ මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා ගත කරන්න ඕන ජීවන ක්‍රමය, ඒ උඹට උඹ ගැන තීරණ ගන්න තරම් තේරුමක් නැති වයසකදි. ඒ ජීවන ක්‍රමය උඹ වටා ඉන්න, උඹ දකින, උඹ ජීවත් වෙන සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවන ක්‍රම වලට වඩා සංවෘතයි. කටුකයි. නිරසයි.

දැන් උඹ එන්න එන්න ලොකු මහත් වෙනව. උඹට එන්න එන්න අනිත් මිනිස්සු විඳින මානසික, ශාරීරික සැප පේනවා. වයසෙන් වැඩෙද්දිම අනිත් හැමෝටම වගේ උඹේ ආශාවල් වැඩෙනවා. ඕනෑ එපාකම් වැඩි වෙනවා. උඹ නව යොවුන් වයසට එද්දි උඹටත් යාන්තම් එනවා ආසාවල්, කෙල්ලෙක් එක්ක/කොල්ලෙක් එක්ක කතා කරන්න, තනි වෙන්න, විහිලු තහලු කරන්න, හිනා වෙන්න.. ඒ වයසේ ඉන්න නීරෝගී ළමයෙක් වෙච්චි උඹත් අනිත් උන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්සයෙක් නිසා උඹටත් එනවා ආසාවක්, හැකි සෑම අවස්ථාවකම පුළු පුළුවන් විදියට ලාවට හරි, තමාටම හොරෙන් හරි ජීවිතය චූට්ටක් විඳින්න.

තව පැත්තකින් උඹට හැම වෙලේම මතක් වෙනවා උඹට තියෙන සීමා, මායිම්.. සමාජය උඹෙන් බලාපොරොත්තු වෙන දේවල්. බලාපොරොත්තුවෙන හැසිරීම් රටා.

උන් උඹව සෑහෙන උඩින් තියලා, ඉහටත් උඩින් උඹෙන් දේවල් බලාපොරොත්තු වෙනවා, උන්.

උඹව උඩින් තියලා උන් ඉල්ලන්නේ උඹව, උඹේ ජීවිතය..

නමුත් පොඩ්ඩක් කල්පනා කරල බැලුවම තේරෙනව උඹ නියෝජනය කරන්නේ උන්ගේ ජීවිත වල තියෙන දාහකුත් එකක් වෙච්චි ෆැන්ටසික ආශා වලින් එකක් විතරයි කියන එක

මේ කාරණය ගැන අවංකව හිතල බැලුවොත් තේරෙයි අම්මා තාත්තා සහෝදර සහෝදරියො එක්ක ගත කරන්න තිබ්බ උඹෙ ළමා කාලය විතරක් නෙමේ, සම වයසෙ යාලු මිත්‍රයො එක්ක කෙළිදෙලෙන් සතුටින් සිනහවෙන් ගත කරන්න තිබ්බ උඹේ නව යොවුන් වයස, පෙම්වතියක් එක්ක ආදර සුව විඳිමින් ගත කරන්න තිබ්බ උඹෙ වැඩිහිටි වයස.. මේ ඔක්කොම.. ඒ කියන්නෙ මව් තුරුලෙ හිටපු උඹෙ ජීවිතයම සමාජය විසින් උදුරගෙන උඹව උන්ගෙ දේශපාලන/ආගමික ප්‍රොජෙක්ට් එකක ඉත්තෙක් කරගෙන කියල

දැන් සමහර විට උඹ කියයි පොඩි කාලෙම මහණ කෙරුවට ඒ දරුවා වැඩිහිටියෙක් චුනාම කැමැත්තෙන්ම සිවුර අත ඇරලා සාමාන්‍යය ජීවිතයක් ගත කරන්න පුළුවන් නෙ කියල.

ආයෙත් නැවතිලා පොඩ්ඩක් හිතහන් සිවුර අත ඇරලා අයින් වෙන එක ලේසි දෙයක්ද කියන එක ගැන.

හාමුදුරු නමක් අමතක කරන්න, අවුරුදු 25ක් විතර එක දිගට කරපු ජොබ් එකක් එකපාර අත ඇරලා වෙනම ජීවන රටාවකට හැඩගැහෙන්න ගිහියෙක්ට කොච්චර අමාරුද?

අනික උඹ එහෙම කිව්වට උඹෙ හෘද සාක්ෂිය දන්නවා සිවුර අතහැරපු කෙනෙක් දිහා සමාජය කොයි තරම් සෘණාත්මක විදියටද බලන්නෙ කියන එක

“එහෙම බැලුවොත් පොඩි ළමයෙක්ව බලෙන් ඉස්කෝලෙ යවන්නත් බැහැ”

ඕක තමයි පොඩි උන්ව බලෙන් මහණ කරන එක වෙනුවෙන් පෙනී ඉන්න උඹේ අවසන් ප්‍රශ්නය. අන්තිම තුරුම්පුව

ඒත් උඹ හොඳාකාරවම දන්නවා පාසැල් අධ්‍යාපනයෙන් වෙන්නෙ දරුවෙක්ට අනාගතයෙදි තමාට කැමති වෘතියක් තෝර ගන්න මූලික අඩිතාලමක් දැමීම පමණක් බව. එහෙම තියාගෙන උඹට බැහැ පැවිදි ජීවිතයට ඇතුලත් කරන එක ඉස්කෝලෙ යාමට සමාන කරන්න. ඒකයි ඇත්ත කතාව.

අන්තිමට කියන්නෙ තියෙන්නෙ එක දෙයයි. කොයිතරම් හොඳ අරමුණකින් වුනත් මව් තුරුලෙ ඉන්න අහිංසක දරුවෙක්ව තමාගෙ අම්මගෙ ආදරය නැති වෙනත් වැඩිහිටියන්ගෙන් පිරුන අවකාශයකට අත ඇරල දානව කියන්නෙ මහා පව්කාර වැඩක්

ඒ නිසයි පොඩි දරුවෙක්ට ඒ දේ කරනවට පක්ෂව හඬනඟන උඹෙන් අන්තිමට අහන්නෙ

මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?

ආගම් වලට උපහාස, අපහාස කිරීම ගැන

ආගමක් යනු කුමක්ද? මේ ප්‍රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. ‘ආගම’ යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්‍යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth claims) කියා හදුන්වන්න පුලුවන්.

‘ආගම’ යන දෙයට කෙතරම් අර්ථදැක්වීම් ඉදිරිපත් කලත් ඒ සියලුම අර්ථ දැක්වීම් වලින් පැහැදිලිවන්නේ ආගම යනු මම ඉහත සඳහන් කල කරුණු ගැන කියැවෙන ‘අදහස්’ මාලාවක් බවයි. එනම් ආගම යනු යම් මාතෘකාවක් ගැන යම් කෙනෙක් හෝ යම් පිරිසක් එකඟවූ, පිලිගන්නා මතවාදයක්.

මිනිස් ඉතිහාසය පුරාම මෙවන් එකිනෙකට විරුද්ධ මත දරන ආගම් ඉතා විශාල සංඛ්‍යාවක් පැවතුනා. වර්තමානයේදීත් පවතිනවා. ඒ එක් එක් ආගම් සහ ඒවායින් කියැවෙන කරුණු/ඉගැන්වීම් දෙස බැලූ විට පෙනීයන්නේ ඒවා සෑම විටම එකිනෙකට විරුද්ධ අදහස් දරණ බවයි.

එක් මාතෘකාවක් ගැන, එකම කාරණයක් ගැන, එකහා සමාන කරුණක් ගැන එකිනෙකට විරුද්ධ අදහස් දෙකක් ඇත්නම්,

ඒ අදහස් දෙකෙන් එකක් පමණක් සත්‍යය විය යුතුයි. අනෙක අසත්‍යය විය යුතුයි. (හෝ)
ඒ අදහස් දෙකම අසත්‍යය විය යුතුයි.

නමුත් කිසිවිටෙකත් අදහස් දෙකම සත්‍යය වන්නේ නෑ.

මේ අනුව ලෝකයේ මෙතෙක් පැවතුන දහස් ගනනක් ආගම් ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන එකිනෙකට විරුද්ධ අදහස් ඉදිරිපත් කර ඇති නිසා,

ඒ ආගම් අතරින් එක් ආගමක් පමණක් සත්‍යය විය යුතුයි. (හෝ)

ඒ ආගම් සියල්ල අසත්‍යය විය යුතුයි.

නමුත් අද සමාජයේ පවතින පොදු සම්මුතියක් නම් මේ ‘ආගම්’ යන අදහස් මාලාවන් (සියල්ලම අසත්‍යය වන හෝ එකක් හැර අන් සියල්ල අසත්‍යය වන) විවේචනයෙන් සහ උපහාසයෙන් තොර, ඒවායින් ආරක්ශාවූ අදහස් ලෙස සැලකීමයි. මිනිසුන් විශාල සංඛ්‍යාවක් ආගම් අදහන මිනිසුන් වීම නිසා තමාගේ ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා කරගැනීමේ අරමුණින් අන් සියල්ලන්ගේ ආගම් වලටත් ඒ අයුරින්ම සැලකීමේ පොදු සම්මුතිය නිසා කල්යත්ම මේ ‘ආගම්’ කියන අදහස් මාලාවන් යම් පිරිසකගේ ‘මතයන්’ එකතුවක් යන කරුණ අමතකවී ගොස් මේ අදහස් ‘ශුද්ධවූ අදහස්’ අයුරින් දැකීම යන තත්වයටම අද පත්වී තිබෙනවා.

එනම් (එකක් හැර හෝ සියල්ලම) අසත්‍යය වන මතවාදයන් එකතුවක් විවේචනයෙන් සහ උපහාසයෙන් තොර මාතෘකා බවට පත්වී ඇත. අප රට වැනි විශාල වශයෙන් ආගමට නැබුරුවූ රටවලදී මේ අදහස් මාලාවන් සාකච්ඡාවටවත් විවෘත වන්නේ නෑ.

නමුත් කිසිම රටක කිසිම සමාජයක මිනිසුන් එදිනෙදා ජීවිතයේදී තම අනෙක් අදහස් දෙස මේ අයුරින් බැලීමට පෙලබෙන්නේ නෑ. දේශපාලනය, ක්‍රීඩා, කලාව, සංගීතය වැනි ඕනෑම මාතෘකාවක් විවේචනයට, ප්‍රශ්න කිරීමට, උපහාසයට විවෘතයි. කිසිම විශේෂ සැලකිල්ලක්, ගරුත්වයක් එම අදහස් වලට ලැබෙන්නේ නෑ. එය යම් මාතෘකාවක් ගැන යම් පුද්ගලයෙක්ගේ මතයක් පමණයි කියන එක ඕනෑම කෙනෙක්ට පැහැදිලියි. නමුත් මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය ගැන කියැවෙන මාතෘකාවකට (ආගම කියන) වෙනස් කල විගසින් සාකච්ඡාව වෙනස් සවභාවයකට පත්වනවා. නීති රීති වලින් ආරක්ෂා වූ, සීමා සහිතව කතාකල යුතු, සාකච්ඡාවට බඳුන් නොකරනවා නම් වඩාත් හොඳ, ආකල්පයක් මිනිසුන්ගේ සිත් තුල නැගෙනවා. සාකච්ඡාව බොහෝවිට එතනින් අවසන් වනවා, ඉදිරියට ගෙන යාමක් සිදුවන්නේ නෑ. නමුත් ඇත්තටම බැලුවොත් සාකච්ඡා කරන්න තිබෙන වටිනාම මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය නොවේද?

මනුශ්‍යයන් දෙදෙනෙක්ට සාකච්ඡා කල හැකි මාතෘකා වලින් උතුම්ම මාතෘකාව “හොඳ, නරක” , “හරි, වැරැද්ද”, “සත්‍යය , අසත්‍යය” යන මාතෘකාව නොවේද ?

වටිනාම මාතෘකාව ගැන අදහස් ප්‍රකාශ කිරීමට වැට කඩොලු අපි විසින්ම දමාගෙන තිබෙන්නේ ඇයි? එක් එක් පුද්ගලයින්ගේ යම් මාතෘකාවන් ගැන තිබෙන අනෙක් අදහස් වලට තිබෙන සැලකිල්ලම නොවේද මේ මාතෘකාවටත් ලැබිය යුත්තේ ?

සෑම අවස්ථාවකදීම වගේ මේ මාතෘකාව ගැන කතා නොකිරීමට හෝ කතා කලත් විවේචනයෙන් හා උපහාසයෙන් තොරව වැට කඩොලු දමා කතා කිරීමට හේතුව නම් මිනිසුන් මේ මාතෘකාව ගැන කතා කරන විට අන් අවස්ථාවලදී දක්නට නොලැබෙන ආකාරයට සංවේදී වීමයි. වෙනත් අවස්ථාවලදී මෙන් විරුද්ධ මතයන් හෝ උපහාසයන් දරා ගැනීමේ හැකියාවක් මේ අවස්ථාවේදී දක්නට ලැබෙන්නේ නෑ. හේතුව කුමක්ද? පැහැදිලිවම ඔවුන් එම විරුද්ධ අදහස් දිහා බලන ආකාරය සහ එම අදහස් බාර ගන්නා විදිහ නිසයි මේ ගැටලුව ඇති වන්නේ. යම් හේතුවක් නිසා ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකිවනවා මේ කතා කරන්නේ තමාගේ මතයක් ගැන මිසක් තමා ගැන නොවන බව. එකග නොවෙන්නේ, ප්‍රශ්න කරන්නේ, උපහාසයට ලක් කරන්නේ පුද්ගලයෙක්ව නොව, අදහසක් බව.

ඇත්තටම මෙතන තිබෙන්නේ විවේචනය හා උපහාසය දිහා බලන විදිහේ ප්‍රශ්නයක්. පහත ලින්ක් එකේ එක් පරීක්ශනයක් ගැන සදහන් වනවා. එම පරීක්ශනයෙන් ලැබෙන එක් නිගමනයක් අප මේ කතා කරන විශයට අදාලයි. පහත ලින්ක් එකෙන් දැක්වෙන්නේ එම පරීක්ශනයයි.

http://srilankanatheists.wordpress.com/2013/05/16/294/

එම පරීක්ශනය ගැන කියවන විට ඔබට පෙනෙයි දුබුරු පාට ඇස් ඇති ලමුන් තමාට ” දුබුරු පාට ඇස්” කියා අමතන විට එය අපහාසයක් ලෙස භාරගත් බව. එයට හේතුව නම් වෙනයම් කෙනෙක් විසින් ඔවුන්ගේ මනසට දැමූ ආකල්පයක් නිසා ඔවුන් එසේ තමාට ‘දුබුරු පාට ඇස්” කියා වෙන කෙනෙක් ඇමතූ විට එය ඔවුන් විසින් අපහාසයක් ලෙස භාරගත් නිසයි. නමුත් ඒ කතාව කිසිම ලෙසක අපහාසයක් ලෙස භාරගත යුතු කතාවක් නොවේ. තේරුමක් රහිත කතාවක්. නමුත් එයින් පෙනීයන්නේ යමෙක් යම් දෙයක් භාරගන්නා විදිහ, හිතන විදිහ මෙවන් නිශ්ඵල ගැටලු ඇතිවීමට හේතුව බවයි. කෙනෙක් තමාට තරහ ඇති කරනයම් ප්‍රකාශයක් (offend) වන දෙයක් තෝරා ගත් විට එය කොතරම් තේරුමක් නැති දෙයක් වුනත් විශාල ප්‍රශ්න ඇති කරනවන්නක් බව පැහැදිලියි.

ආගම ගැන කතාකරන විටත් මේ දෙය මේ ආකාරයෙන්ම සිදුවනවා නොවේද ? මේ ගැටලුවට හේතුව මිනිසුන් විසින් මේ මාතෘකාව ගැන කතා කරන විට අර දුබුරු පාට ඇස් තිබූ ලමයින් ලෙස හැසිරීම නොවේද? ඔවුන් එය බාර ගත්තේ නැතිනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එය බාර ගත යුතුත් නෑ, මොකද අය පුද්ගලිකව එල්ල කරන ප්‍රහාරයක් නොවේ, තම මතයන්ට එල්ල කරන ප්‍රහාරයක් නිසා. නමුත් කිසියම් හේතුවක් නිසා ඔවුන් අනෙක් මාතෘකාවලදී offend නොවීමටත් ආගම ගැන කතා කරන විට offend වීමටත් තෝරාගෙන තිබෙනවා, හරියට අර දුබුරු පාට ඇස් තිබෙන ලමයින් වගේ.

මිනිසුන් තේරුම් ගත යුතුයි තමා යම් දෙයක් හරියි කියල සිතුව පමණින් අනෙක් අය එයට එකග විය යුතු නැති බව. මෙයට ආගම හොදයි කියා තමා සැලකීම සහ ‘ආගම විවේචනයෙන්, උපහාසයෙන් තොර විය යුතුයි’ කියන තමා දරණ මතයත් ඇතුලත් බව තේරුම් ගත යුතුයි. තමා එසේ සිතුව පමණින් අන් අය එසේ සිතන්න ඕනෙ කියල කියන්න බෑ.

නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ‘විවේචනය කිරීමේ අයිතිය සහ උපහාසයට ලක් කිරීමේ අයිතිය’ ඇතුලත් බව අමතක නොකල යුතුයි. තමාට කේන්ති යන නිසා තවකෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට උත්සාහගන්නන් නොකියා කියන්නේ, තමාට තමාගේ හැඟීම් පාලනය කරගත නොහැකි නිසා අන් අය ඔවුන්ගේ කටවල් වසාගෙන සිටිය යුතු බව නොවේද? සමාජයක ජීවත් වන විට තම හැඟීම් පාලනය කරගත නොහැකි අය ‘වැඩිහිටියන්’ ලෙස හැදින්විය හැකිද?

මගේ මිත්‍ර කුමාර සංකල්ප විසින් ඉදිරිපත් කල අදහසක් පහත දැක්වේ.

අප සමාජය තුළ ඓහිකවාදී ස්ථාවරයට පහර වදින විවිධ මතයන් ඉදිරිපත් වීම සුලභ හා සාමාන්ය දෙයකි.. එලෙස ඉදිරිපත් වන මතයන් අතරින් කිහිපයක් වනුයේ,
1. රජය විසින් යම් ආගමකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතුය.
2. රජය විසින් ආගම් විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍යය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ ආගම් හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති යම් ආගමක නීති හා ගැටේ නම් ආගමික නීතින්ට මුල්තැන දිය යුතු ය. (උදා – 1/ හැදුනුම්පත සදහා ගනු ලබන ඡායාරූපය සදහා මුහුණ නිරාවරණය කළ සිටිය යුතු ය. නමුත්, ”ආගමික නිදහස” යටතේ හිජාබයෙන් මුහුණු ආවරණය කරගෙන හැදුනුම්පත සදහා වන ඡායාරූපයට පෙනී සිටිය හැකි ය. 2/ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබදව වන නීති රජයේ ඉඩම් තුල අනවසර ලෙස සෑදූ බුදුපිළිම වලට අදාල නොවේ.)
ඉහතින් සදහන් කළ මතයන් යුක්තිසහගත යැයි බොහෝ දෙනා පිළිගනු ලැබේ. අදේවවාදය (atheism) වැනි නිර්-ආගමික ස්ථාවරයක සිටින බොහෝඅය පවා මෙයින් එකක් කෙරෙහි හෝ අනුවේදනයක් ඇති අය වන්නට පුලුවණි. නමුත්, ඉහත සදහන් මතයන් ඇත්තටම සාධාරණීකරණය කර ඇති ඒවාද? ඒ පිළිබද විමසා බැලීම පිණිස පහත චිත්ත පර්යේෂණයේ නියැලෙන්න.
ඉහත වාක්යියන්ගේ “ආගම්” යන වචනය වෙනුවට “දේශපාලන පක්ෂ” යන යෙදුම ආදේශ කරන්න. එලෙස ආදේශ කළවිට අපට ලැබෙනුයේ,
1. රජය විසින් යම් දේශපාලන පක්ෂයකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතු ය.
2. රජය විසින් දේශපාලන පක්ෂ විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍යය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ දේශපාලන පක්ෂ හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති දේශපාලන පක්ෂයන්ගේ නීති හා ගැටේ නම් දේශපාලන පක්ෂ වල නීතින්ට මුල්තැන දිය යුතු ය.
ආගමික භක්තිකයින් ද ඇතුලු සෑම දෙනාම පාහේ මෙම වාක්‍යයන් හා එකග වීමට ඇති සම්භාවිතාවය ඉතා අල්ප ය. උදාහරණයක් ලෙස, විවේචනය යනු ප්‍රජතාන්ත්‍රික සමාජයක යහපත් අංගයකි. එමෙන්ම, උපහාසය යනු කථන නිදහසේ මූලික අංගයකි. එබැවින්, යම් දේශපාලන පක්ෂයක් කොතරම් කාරුණික පක්ෂයක් වුවත් එම පක්ෂය විවේචනයට හා උපහාසයට නිර්මුක්ත වන්නේ නැත. නමුත්, මෙම වාක්‍යන්ට එරෙහි වන අතරම මේ වාක්‍යය්න්ගේම ”ආගමික වර්ෂන්”’ වලට එකග වීමේ හේතුව කුමක්ද?

සමහර කොටස් දරන මතයක් නම් ආගම විවේචනය සහ උපහාසයට ලක්කිරීම වැරැද්දක් නැති වුනත් ‘අපහාසය’ වැරදි දෙයක් බව. මෙහිදී නැගන ගැටලුව නම් විවේචනය, උපහාසය සහ අපහාසය වෙන් කරගන්නා මිම්මක් නොමැති වීමයි. දැඩි ආගම් භක්ත්කයෙක් ඔහුගේ ආගමට එකඟ නොවන ඕනෑම ප්‍රකාශයක් ඒ ආගමට කරන අපහාසයක් ලෙස භාරගැනීමට පුලුවන්. එවන් උදාහරණ ඉතිහාසයේ ඕනෑ තරම් දක්නවට ලැබුනු බව සියල්ලන් දන්නා දෙයක්. ‘උපහාසය සහ අපහාසය’ අතර වෙනස එක එක්කෙනා එක එක ආකාරයට මනින දෙයක්. එය පුද්ගලයා අනුව වෙනස් වනවා. එනිසා අන් අයගේ කතාකිරීමේ නිදහසට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කිරීම හැර වෙනත් විකල්පයක් නෑ.

ආගම් අදහන මිනිසුන් විසින් ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාස වලට අනුව සමාජයන් පාලනය කිරීමට ගන්නා උත්සහය නවතන තුරු, ඔවුන්ගේ විශ්වාස සහ ඇදහිලි නිසා අන් අයගේ ජීවිත වලට වන බලපෑම නතරකරන තුරු, ඔවුන්ගේ විශ්වාසය සහ ඇදහිලි ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට පමණක් සීමා කරගන්නා තුරු, “ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා වියයුතුයි” යන ප්‍රකාශය කිරීමටවත් ඔවුන්ට සදාචාත්මක අයිතියක් නෑ.

මිනිසුන් තමතමන්ගේ “ආගම්” පුද්ගලික අදහස් සහ සංකල්ප වශයෙන් පමණක් සලකනවා නම් ඒ ගැන විවේචන කිරීමේ ලොකු අවශ්‍යතාවයක් මතුවන්නේ නෑ. නමුත් ගැටලුව නම් මේ “ආගම” යන දෙය පුද්ගලික විශ්වාස වලට පමණක් සීමා නොවීමයි. මුලු සමාජයක් පාලනය වන රීති මෙන්ම අප රට වැනි සෙකියුලර් ක්‍රමයක් දක්නට නොලැබන රටවල නීති පවා මේ “ආගම” යන සංකල්පය මත ගොඩ නැගීම නිසා මෙය අනිවාර්යෙන්ම සාකච්ඡාවට, විවේචනයට, සහ උපහාසයට විවෘත විය යුතුයි. අන් සෑම අදහසක්, මාතෘකාවක් වගේම. ඕනෑම දෙයක් සමාජයේ ප්‍රසිද්ධියට , සමාජයේ ඉදිරියට, සමාජයට බලපාන දෙයක් බවට පත්වූ විට එයට එකම සැලකිල්ල ලැබිය යුතුයි. දේශපාලනය, සිනමාව, සංගීතය, ක්‍රීඩා සහ ආගම වැනි සියලුම දේ.

මීට කලින් වෙනත් තැනක මේ මාතෘකාව ගැනම කෙටියෙන් මම ඉදිරිපත් කල අදහසක් උපුටා දක්වමින් මේ සටහන අවසන් කරන්නම්.

“කෙනෙක්ට යම් විශ්වාසයක්, ආගමක් ඇදහීමට තිබෙන අයිතියට ගරු කරනවා, නමුත් ඔහුගේ එම විශ්වාසයට හෝ ආගමට ගරු කරන්නේ නෑ”

තවත් සරලව කියනවා නම්, ඉන්දියවෙ මිනිස්සු හරකට වදිනවා.එහෙම කොටසක් ඉන්නවා. මම ඔවුන්ගේ ඒ හරකට වදින්න තියෙන අයිතියට ගරු කරනවා. එයට කිසිම විරුද්ධත්වයක් නෑ. විරුද්ධ වෙන්න අයිතියකුත් නෑ මට බලපෑමක් නැති නිසා. නමුත් මම ඒ හරකට ගරු කරන්න යන්නේ නෑ අනෙක් අය හරකට වැන්දා කියල. මම හරකට “හරක්වහන්සේ” කියන්න යන්නෙත් නෑ. හරක එද්දි මගේ හිස්වැසුම ගලවන්නේ නෑ. මම හරකට කියන්නේ හරක කියල.හරකට සලකන්නේ හරකට වගේ. ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ගේ මිසක් මගේ නෙමේ. හරකට වැදල ඔවුන්වගේ හරකගේ මුත්‍රා ඔලුවෙ ගා ගන්න යන්නේ නෑ. හරකගේ මු‍ත්‍රා ශුද්ධවූ මුත්‍රා කියල ඔලුවේ ගාගන්න එකාට මූ නම් නියම මෝඩයෙක් කියල හිනා වෙන්නත් මම පසුබට වෙන්නේ නෑ. මොකද මම හිතන විදිහට ඔහු කරන්නේ උපහාසයට, සිනහවට ලක් විය යුතු ක්‍රියාවක් නිසා.”

ඔවුන්ට හරකා උතුම් උනාට මට ඌ හරකෙක්.”–

හාමුදුරුවො බණ ටෝකින්ග්


අද පෝය

භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස.

ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක.

ඒ කිව්වෙ පූජකයන් හරි භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මූදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක් වීම.

ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මනුස්සයෙක්ට මෝඩයෙක් වෙන්නත් අයිතිය තිබිය යුතු නිසා සහ මිනිස්සුන්ට මෝඩ වැඩ කිරීමට තියෙන අයිතිය වෙනුවන් අපි පෙනී සිටිය යුතු නිසා. මොකද හැමෝටම ‘නිදහස්’ මිනිස්සු වෙන්න කියලා බල කරන්න බැහැ. එනිසා කැමති අයට කැමති මහදැනමුත්තෙක්ගේ උපදෙස් අරගෙන ඒවා ‘තමාගේ’ ජීවිතය තුළ පිළිපදින්න පුළුවන්, අනිත් අයට හානියක් හරි බලපෑමක් හරි නොවන විදියට.

අවුල තියෙන්නේ තමා මහදැනමුත්තෝ කියල හිතාගෙන ඉන්න අය කිව්ව පළියට හැමෝටම ඒ පඬිවදන් අනුගමනය කරන්න කියලා බලකරන්න යන එකෙයි, සමාජයේ නීති සහ රීති වගේ දේවල් ඒ පඬිවදන් මත පදනම් වෙමින් හදන්න, පවත්වාගෙන යන්න හදන එකෙයි.

හරි නම් වෙන්න ඕන පණ්ඩිතයෙක්ගේ පඬිවදන් උපුටා දක්වමින් ඒ වදන් පණ්ඩිතයෙක්ගේ කටින් ආපු ඒවා නිසාම එහෙම කරන්න ඕනෑය කියන එක නෙමේ.. අවංක සංවාදයකින්, බුද්ධිමත් කරුණු දැක්වීම් වලින්, තර්කානුකූලව ඉදිරිපත් කෙරෙන විචාර වලින් නිගමන වලට එන එකයි (ඕක ඉතින් ලොවෙත් නොවෙන එකත් වෙනම කතාවක්)

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, යම් පූජකයෙක් හෝ භික්ෂුවක් යම් දෙයක් ගැන තමා පිළිගන්නවා (කියල කියන) ආගම හරි දර්ශනය තුළින් ඒ ඉගැන්වීම් හුවා දක්වමින් කතා කරන එක සාධාරණයි. මොකද ඒක ඔවුන්ගේ ජොබ් එක. ඔවුන්ගේ පැවැත්ම රඳාපවතින්නේ ඒ මත.

දැන් මෙහෙම උදාහරණයක් ගමු. මිනීමරන එකෙන් වැළකිය යුතුය, මිනීමැරුවොත් ඒකේ පළවිපාක මෙහෙමය කියලා ආගමික ඉගැන්වීම් හුවා දක්වමින් ඒවා තමාගේ අනුගාමිකයන්ට කියලා දෙන එක සාධාරණයි (මිනීමරන්න යන අයට පිරිත් නූල් බඳින එක ඉතින් වෙනම කතාවක්)

ඒත් ගෑණු අය කොටට අඳින්න හොඳ නැහැ, මොකද සංස්කෘතියට කෙළවෙන නිසා වගේ කතාවක් භික්ෂුවක් කියනවා නම් හරි නම් ඒක එච්චර සීරියස් ගන්න ඕන කතාවක් නෙමේ.

මොකද ගෑණු කොටට ඇඳීම හෝ නොඇඳීම කියන එක ගැන කතිකාවත ඇතිවෙන්න ඕන ආගමික පදනමකින් නෙමේ. ඒක ගැන කතිකාවත එන්නේ වෙනස් පදනමකින්. එතනදි භික්ෂුවගේ මතය සමාන වෙන්නේ තවත් එක් පුද්ගලයෙකුගේ මතයට පමණයි. (ඔන්න බුදුහාමුදුරුවො කියල තියෙනවා නම් කොටට අඳින්න එපා කියලා ඒ බණ පදය කටපාඩමින් ඇදලා අරින් එකත් වෙනම කතාවක්, ඒත් මම දැනුවත්ව එහෙම දෙයක් කියලා නෑ, බැරි වෙලාවත් එහෙම කියලා තියෙනවා නම් වෙන උදාහරණයක් ගමු ඈ)

තව එකක් ඔන්න ඔහේ කියලා දාන්නම්, අද බුදුබණ කියන එක පත්වෙලා තියෙන්නේ සමාජයේ තියෙන තවත් එක බොරු ෂෝ වලින් එකක් ගානට. බණ කියන උන් බණ කියන්නේත් බොරුවට, බණ අහන උන් බණ අහන්නේත් බොරුවට. කියන උන්වත් අහන උන්වත් දෙගොල්ලොම බණ පිළිපදින්නේ නැහැ. පිළිපදින්න උවමනාවකුත් නැහැ. කට්ටිය සෙට් වෙලා “අනේ අපේ බුදුන්ගේ දර්ශනය කොච්චර නම් සිරාද? මාරද?” බුදුබණ වෙනුවන් හයියෙන් සාධුකාරයක් දෙන්න බලන්න කිය කිය සාධුකාර දෙනවා. ආතල් එකක් ගන්නවා. එච්චරයි. (නේද?)

හරියට ජිම් එකක් ඉස්සරහට ගිහින් එළියට වෙලා “අනේ මේ ජිම් එක මාරයි. ව්‍යායාම කරන බඩු හෙම ඔක්කෝම ගානට තියෙනවා. නියමයි ඈ” කිය කිය එළියට වෙලා ඉන්නවා වගේ වැඩක්. ජිම් එක සිරා නිසා ජිම් එක ආරක්ෂා කරගන්න කිය කිය එළියේ ඉඳගෙන මරා ගන්නවා වගේ වැඩක්.

අන්තිමට බල්ද්දි ජිම් එක ඇතුලේ ව්‍යායාම කරන්න බල්ලෙක්වත් නෑ. මකුළුදැල් බැඳිලා, පාළුවට ගිහින්. කට්ටිය එළියේ ඉඳගෙන ජිම් එක ගැන ගුණ වයනවා. ඔන්න ඔහොම සීන් එකක් තමා අද වෙලා තියෙන්නෙ.

ගිහියෝ හාමුදුරුවරු වෙන්න හදද්දි හාමුදුරුවරු ගිහියෝ වෙන්න හදනවා. 

මොනවා වුනත් හදිසියේ හරි බුදුන්වහන්සේ අද වෙන දේවල් දැක්කා නම්.. තමාගේ භික්ෂු ශාසනයේ ඈයෝ නිවන් මග සොයනවා වෙනුවට, තමන් සාර සංඛේය කල්ප බර ගානක් පට්ටම කට්ටක් කාලා හොයාගත්තු දර්ශනය ගිහියන්ට දේශනා කරනවා වෙනුවට, කොහේදෝ තියෙන රටවල්.. ජාතීන්.. සංස්කෘතීන් වලට ‘ඇලිලා’ මෝහයෙන් අන්ධ වෙලා සමහර ගිහියන්ටත් වඩා චාටර් තත්වයට වැටිලා ඉන්න හැටි දැක්කා නම්.. උන්වහන්සේ එතනම හාර්ට් ඇටෑක් එකක් හැදිලා ඔන් ද ස්පොට් පිරිනිවන් පාන එක නම් බුදුම ශුවර් බවත් කියන්නෝන (පොඩි විහිලුවක් විතරයි.. දෙන මැසේජ් එක ගන්න. කේන්ති යනවා නම් උපේක්ෂාව ප්‍රගුණ කරන්න.. ඒ ක්‍රමය සංකීර්ණ වැඩිනම් හොඳ හුස්මක් අරගෙන එකේ ඉඳලා දහයට ගනින්න)

නිදහස් චින්තනයේ සරණයි

2015 මාර්තු 10 ලියූ සටහනකි.

අනිත්‍යය ; ඔච්චරම අවුල්ද?

හැමදේම අනිත්‍යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති.

සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්.

හැමදේම අනිත්‍යය බව ඇත්ත. වෙනස්වන සුළු බවත් ඇත්ත. නැසෙන සුළු බවත් ඇත්ත.

ඒත් ඒ අනිත්‍යය බව නිසාම මිනිසාට විඳිය හැකි සියලු රසයන්, අත්දැකීම්, හැඟීම්, ඵල රහිතද? තේරුමක් නැද්ද?

රසවත් ආහාර වේලක් ගද්දි දැනෙන රසය ඵල රහිතයි, මොකද ඒ රසවත් බව අනිත්‍යය නිසා; දීර්ඝ කාලයක් කැපවීමෙන් තමා ජීවිතයේ ලබන ජයග්‍රහණයක සතුට ඵල රහිතයි, මොකද ඒ සතුට තාවකාලික නිසා; මිහිරි සංගීත නාදයක් කණවැකෙද්දි දැනෙන ඒ හැඟීම ඵල රහිතයි, මොකද ඒ හැඟීම තාවකාලික නිසා.

ඔහොම කතාවක් නෙ කියන්නෙ

ඔය සංකල්පය ගොඬනැගෙන්නෙම යමක වටිනාකමක් තිබෙන්නට නම් ඒ හැඟීම තාවකාලික නොවිය යුතුය කියන පදනම මත.

ඔය සංකල්පය ඇතුලෙම තියෙන්නෙ, තාවකාලිකත්වයට සීමා නොවූ, සදාකාලික වූ සැප බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු වෙන සදාකාලික සැප නොලැබීයාම තුළින් හටගන්නා ඉච්ඡාභංගත්වයක්. ලෝක යථාර්තය, ඒ කියන්නෙ තාවකාලික බව ඒ අයුරින්ම බාර ගැනීමට තියෙන අසමත්කමක්.

ඇයි රසවත් ආහාරයක් අනුභව කරන කෙනෙක්ට දැනෙන ඒ රසවත්බව තේරුමක් තියෙන්න බැරි, ඒ රසවත් බව තාවකාලික වෙලා?

රසවත් බවේ තේරුමක් තියෙන්න, ඒ රසවත් බව සදාකාලික වෙන්නම ඕනද? රසවත් ආහාරයක් ගැනීමේ අත්දැකීම ඵල සහිත දෙයක් වෙන්න ඒ ආහාරය පුටුවක් උඩ ඉඳගෙන සදාකාලිකවම කකා ඉන්න ඕනද?

ඕකයි ඔතනදි නැඟෙන ප්‍රශ්නය.

නමුත් ඇත්තටම හිතල බැලුවොත්, යථාර්තය එක්ක ගනුදෙනු කරන්න මීට වඩා හොඳ සංකල්පීය දැක්මක් අපිට හදාගන්න බැයිද?

රසවත් කෑම එකක් කන එකෙන් ලැබෙන ඒ රසය තාවකාලික නිසාම තමයි එහි වටිනාකමක් තියෙන්නෙ.

තමාගේ ජීවිතයේ විඳිනා හැම සතුටකම පසුපස ඇති යථාර්තය, හෙවත් තාවකාලික බව නිසාම ඒ දේවල් වලට එකතු වන්නේ වටිනාකමක් මිසක අර්ථ ශුන්‍යය බවක් නෙමේ.

හිතන්න.

තමා තමාගේ දරුවාව වඩා ගන්නා අවසාන අවස්ථාවක් කවදා හෝ උදාවෙනවා. තමා තමාගේ මවගේ, පියාගේ කටහඬ අහන අවසාන අවස්ථාවක් තියෙනවා. තම බිරිඳගේ, සැමියාගේ සිනහව දකිනා අවසාන අවස්ථාවක් තියෙනවා.

අවසාන අවස්ථාව බවද නැද්ද කියා නොදැන, එහෙම අවස්ථාවක් ඇති බව ගැන අවබෝධයෙන් තම දරුවාව වඩා ගනිද්දි, සිප ගනිද්දි, ඒ මානුෂීය හැඟීමට එකතු වන්නේ අසීමිත වූ වටිනාකමක් නොවේද?

ඒ තාවකාලික බව නිසාම, සීමිත බව නිසාම, මිනිස් අත්දැකීම් වල වටිනාකම තව තවත් වැඩි නොවනවා නොවේද?

තම මව, පියා කවදා හෝ මියයන බවේ යථාර්තයට මුහුණ දීමට තියෙන හොඳම ක්‍රමය ඔහු සමඟ/ඇය සමඟ ඇති බැඳීම නැති කර ගැනීමද? එසේත් නැතිනම් ඔහුත් සමඟ/ඇයත් සමඟ ගතකිරීමට ඇති කෙටි කාලයේ ඇති අසීමිත වටිනාකම තේරුම්ගෙන, ඒ අනුව කටයුතු කොට කවදා හෝ ඔවුන් මියයාමේ යථාර්තයට බුද්ධිමත් මනුෂ්‍යයෙකු සේ මුහුණ දීම නොවේද?

මෙවන් මතවාද බොහෝමයකට තියෙන්නේ ආගමික මූලයන්.

සමහර ආගම් වල මිනිස් ජීවිතය අවසන් වීමෙන් පසු එළඹෙනවා යැයි කියන සදාකාලික ජීවිතයක් උදෙසා මේ ජීවිතයේ කලයුතු කැපකිරීම්, පනවා ගත යුතු සීමාවන් ගැන උගන්වනවා. ඒවා තම අනුගාමිකයින්ව මානසිකව සිරකූඩු වල දැමීමෙන් සදාකාලික වූ සැපතක බලාපොරොත්තුවක් ලබා දෙනවා. මරණින් පසු තියෙනවාය කියල ඔවුන් උපකල්පනය කරනා ජීවිතයක් වෙනුවෙන්, පවතින බව සැබවින්ම දන්නා මේ ජීවිතයේ අරුත නැති කරගන්නවා.

ඒ සදාකාලික සැපතක් බලාපොරොත්තුවෙන්.

තවත් ආගම් වල සදාකාලික සැපතක් නොලැබීමේ දුකෙන්, හෙවත් සැපත තාවකාලික වීමේ ඉච්ඡාභංගත්වයෙන් ස්වභාවික වූ මිනිස් හැඟීම් සෘණාත්මක ලෙස අර්ථ දක්වනවා.

මේ සියල්ල සදාකාලික වූ සැපත කියන සංකල්පය හා බැඳුනු මිනිස් වියරුවේ ප්‍රතිඵල.

නමුත් මරණින් පසු සදාකාලික සැපතක් සොයා යාම වෙනුවට, මේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නන් කවදා හෝ ‘මේ ජීවිතයේ’ ගැටළු වලට සැබෑ විසඳුම් සොයා ගනීවි.

මොකද ආගමික පසුබිමකින් එන ප්‍රශ්න බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන්නෙ මරණින් පස්සේ තියෙනවා ඇතියි කියල උපකල්පනය කරන ජීවිතයකදී ඇතිවිය ‘හැකි’ ප්‍රශ්න වලටයි.

ඔවුන්ගේ ප්‍රශ්නය මරණින් පසු ජීවිතයයි.

මරණින් පසු ජීවිත ගැන ඉගැන්වෙන ආගම් මොහොතකට පසෙක තැබුව හොත් තේරුම් යාවි,ප්‍රශ්නය වන්නේ මරණයවත්, මරණින් පසු ජීවිතයවත් නොව, මරණයට පෙර අප ගත කරනා අපගේ මේ ජීවිත බව. වටිනාකම ඇත්තේ මරණින් පසු එහා ලෝකයක නොව, මේ ලෝකයේ අපට ලැබී ඇති අප මේ ගත කරනා ජීවිත වල බව.

ප/ලි – ආගමික ඉගැන්වීම් පිළිබඳ මෙහි සඳහන් කරුණු පදනම් වන්නේ පොදු සමාජයේ ඒවා ගැන බහුලව භාවිතා වන අර්ථදැක්වීම් අනුව මිස, ඒ ඒ ආගම් වල නියම අර්ථදැක්වීම් යයි ඒ ඒ ආගමික බහුශ්‍රැතයන් අතර ඇතිවන ශාස්ත්‍රීය කතිකාවන් මත නොවන බව කරුණාවෙන් සලකන්න. මෙහි සඳහන් ආගමික ඉගැන්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් සාවද්‍යය යැයි යම් ආගමික බහුශ්‍රැත පඬිවරයෙක් සිතයි නම්, මා ඔහුට යෝජනා කරන්නේ එම තමන්ගේ ආගමේ නිවැරදි ඉගැන්වීම් පිළිබඳව තමන්ගේ ආගමිකයන්ව දැනුවත් කරන ලෙසය. ඒ පඬිතුමාගේ අර්ථ දැක්වීම පොදුවේ භාවිතා වන අර්ථ දැක්වීම බවට පත් වූ පසු ලියවෙන මෙවැනි සටහන් වල එම අර්ථ දැක්වීම ගැන ලියැවෙනු ඇත. මන්ද, මා උනන්දු යම් ආගමික පුස්කොල පොත් තුල ඇති දේවල සත්‍ය/අසත්‍යය භාවයට වඩා ඒ ආගමික ඉගැන්වීම් වල සමාජයේ භාවිතය ගැන නිසාය.

ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා…

මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා.

තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා.

ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ.

21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්‍යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්‍රියාකරන්නේ තර්කානුකූලව.

ඔහු දැන් ආදි කාලයේ වගේ ගස් (බෝධිය), ගල් (මක්කම, දාගැබ්, ප්‍රතිමා, පිළිම), ඇට කෑලි (නොයෙකුත් ශාන්තුවරුන්ගේ ශරීර කොටස්, දන්ත ධාතු, කෙස්) වගේ දේවල් වලට වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කරන්නේ එහෙම නෑ. තමාගේ ගෝත්‍රයේ හෝ රටේ නායකයාට (උදාහරණ සඳහන් නොකරමි), පූජකයන්ට (භික්ෂූන්ට) උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කරන්නේ එහෙම නෑ. මොකද මිනිසා තුළ සිටි ඒ හැඟීම් වලට වහල් වුන ප්‍රාථමික ගෝත්‍රිකයා වෙනුවට දැන් ඉන්නේ මනසින් දියුණු ශිෂ්ඨයෙක් නිසා.

ඒ අතින් ශතවර්ෂ ගාණකදී මිනිසා ගෝත්‍රිකයාගේ ඉඳලා ශිෂ්ඨයා දක්වා ලබල තියෙන ඒ දියුණුව විශ්මිතයි.

ඒ විතරක් නෙමේ, ආදි කාලයේ සදාචාරය කියන දේ සීමා වුනේ තමාගේ ගෝත්‍රයට පමණයි. මිනිසුන්, ගැහැණුන්, ළමුන් මරන එක ඔවුන් වැරැද්දක් ලෙස සැලකුවේ ඒ මිනීමැරුම තමාගේ ගෝත්‍රය තුළ සිදුවන තාක් පමණයි. වෙනත් ගෝත්‍ර වල මිනිසුන්ව, ගැහැණුන්ව හෝ ළමුන්ව ඝාතනය කරන එක වැරැද්දක් ලෙස ඔවුන් දැක්කේ නෑ. සදාචාරය පදනම් වුනේ තමා අයත් ගෝත්‍රය මතයි.

ඔහොම තත්වයක් තිබුන එදා වගේ නෙමේ අද. උදාහරණයක් වශයෙන් ගත්තාම සුනිල් රත්නායක කියන මිනීමරු සෙබළා විසින් කුඩා දරුවෙක්ගේ ගෙළ කපලා මරා දාපු බව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල සිද්ධ වුන නඩුවිභාගයකින් ඔප්පු වුනාම කිසිම මනුස්සයෙක් ඔහුගේ ඒ ක්‍රියාව සාධාරණීයකරනය කරන්න ඉදිරිපත් වුනේ නෑ.

මොකද ශිෂ්ඨත්වයට පා තබා තියෙන අපේ සදාචාරය ගැන අවබෝධය ගෝත්‍රය, දේශසීමා, හමේ පාට වැනි පටු සීමා මත පදනම් නොවන නිසා.

අපි ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පැමිණ ඇති නිසා.

ඒ විතරක් නෙමේ, ආදි කාලයේ ගෝත්‍රිකයා තමා අයත් රැහේ කෙනෙක්ට තමා නොදන්නා රෝගයක් එහෙම වැළඳුනාම ඒ කෙනාව රැහෙන් වෙන් කරනවා. කොන් කරනවා. නැත්නම් ගහලාම පන්නලා දානවා.

මොකද ගෝත්‍රිකයාට ලෙඩ රෝග පිළිබඳ අවබෝධයක් තිබුනේ නැති නිසා.

වර්තමාන තත්වය එහෙම නෙමෙයි. වර්තමානය තොරතුරු තාක්ෂණය සතර දිග්භාගයේ පැතිරුන යුගයක්. මේ යුගයේ මිනිසා ඒ තාක්ෂණය යොදාගෙන මිනිසාට හානිකර ලෙඩ රෝග පිළිබඳ දැනුම ලබා ගන්නවා. බෝ වෙන අයුරු, ලෙඩ රෝගයක් වැළඳුන විට නිසි ක්‍රියාමාර්ග ගන්නා අයුරු ඉගෙනගන්නවා.

හදිසියේ කුඩා ළමයෙක්ගේ පියාට එහෙම එච්.අයි.වී රෝගය වගේ හැදුනා කියල දරුවාව කොන් කරන්න එහෙම යන්නෙ නෑ. දරුවාගේ අයිතිවාසකම් නැති කරන්න එහෙම යන්නෙ නෑ. කොන් කරනවා වෙනුවට කරන්නේ දරුවාව වැළඳගන්න එක. මොකද ශිෂ්ඨත්වයට සමගාමීව ඔහු ලැබූ දියුණුව සහ අවබෝධය නිසා.

දැන් කොහේවත්, විශේෂයෙන් අපේ රටේ එහෙම ගෝත්‍රිකයෝ විදියට හිතන, වැඩකරන මිනිස්සු එහෙම නෑ.

අපේ රටේ ඉන්නේ ශිෂ්ඨ විදියට වැඩ කරන ශිෂ්ඨයෝ. වසර දහස් ගණනකට කලින් ජීවත් වුන ගෝත්‍රිකයෝ විදියට වැඩ කරන ගෝත්‍රිකයෝ නෙමේ.

ඔන්න ඔහොමයි අපි ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පරිනාමය වෙලා තියෙන්නේ.

ඒ වෙනස ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන

අපි තේරුමක් ඇතුවම ආඩම්බර වෙන්නේ ඒ නිසයි මිතුරනි. අපගේ ශිෂ්ඨකම ලෝකයටම පෙන්නන්න උදේ හවහ අපි ගැනම කයිවාරුගහ ගන්නේ ඒනිසයි.

අපි ගැන ආඩම්බරයි නම් ශෙයාර් කරන්න මිතුරනි. ආඩම්බරයි නම් ශෙයාර් කරන්න.

සිංහලබෞද්ධයාගේ හෙළුව

උපතින් කවුරුත් බ්‍රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්‍රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු.

ඒත් බුදුන්ටත් වඩා බෞද්ධ ලංකාවෙ සමහර සිංහලබෞද්ධයෝ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ට උපතින් හම්බුන සිංහලකමයි බෞද්ධකමයි නිසාම ඒ අයට රටේ වෙන ජාතීන් ආගම් වල මිනිස්සුන්ට වඩා උසස් තැනක්, විශේෂ වරප්‍රසාද හම්බෙනව කියල

ඒ අතින් මේගොල්ලො වැඩියෙන් සමාන වෙන්නෙ සුදුඅධිපතිවාදීන්ට (White Suprimict) මිසක බුදුන්ගේ අනුගාමිකයන්ට නෙමේ

මේ සිංහල බෞද්ධ ‘ස්ටේටස්’ එක සමාජයෙනුයි සංස්කෘතිය්නුයි ඉබේම උරුම වෙනව මිසක කවුරුත් ඒක මහන්සි වෙලා ලබා ගන්න දෙයක් නෙමේ.
ඒක අහම්බයක් මිසක මහන්සි වෙලා ලබා ගන්නා තත්වයක් නෙමේ.
මේ නිකන් හම්වෙන ස්ටේටස් එකෙන් මේගොල්ලෝ උරුම කරගන්නවා තමා වැදගත්ය කියන හැඟීමක් (sense of importance)

තමා ඉන්නේ තමාගේ රටේය..වැඩි අයිතිය මටය, මේ ඉන්නේ තමාගේ බිමේය..වැඩි අයිතිය මටය, මේ බිමේ අයිතිකාරයෝ තමාගේ පරපුරය.. වැඩි අයිතිය මටය

මේකයි ඔවුන්ගේ මානසිකත්වය

මේ අය මේකට ඇබ්බැහි වෙන්නේ මත්ලෝලියෙක් මත්කුඩු වලට ඇබ්බැහි වෙනව වගේ. මේ නිකන් ලැබෙන ආතල් එක තමාගේ අනන්‍යතාවයේම කොටසක් කරගන්නව ඒක නැතුව පොළවෙ පය ගහල ජීවත් වෙන්න බෑ වගේ.

මේ වැදගත්කම නැතුව යනවා කියන එක හරි මේ වැදගත්කම වෙන කෙනෙක්ටත් ලැබෙනවා කියන එක හරි මේ මීනිස්සුන්ව වෙව්ළලා, දාඩිය දාලා, කලන්තේ දාලා වැටෙනව වගේ දෙයක්

හන්දියේ කඩේ තම්බියායි, තමාගේ ගෙදරට යන පාරේ පදිංචි වෙලා ඉන්න දෙමළයි, තමාගේ ගේ ඉස්සරහින් ඉරිදට පල්ලි යන කතෝලිකයොයි… තමාට ‘සමානයෝය’ කියලා හිතන එකත් මේ අයට ලොකු අවුලක්, තර්ජනයක්, වින්නැහියක් !

සිංහල බෞද්ධයා සහ ඒ ලේබලය රහිත අය එක සමාන ලෝකයක උදේට නැගිටලා තමාගේ දින චරියාවේ යෙදෙන එක ගැන මේ අයට හිතන්නවත් බැ.

ඒ විතරක් නෙමේ, තමාගේ අණසකට යටත් නොවිය යුතු ගැහැණියක්, තමාගෙ පදයට නටන්නේ නැති බිරිඳක්, තමා දැක්කාම ඇඹරිලා බිම බලාගන්නෙ නැති කෙල්ලෙක්, තමාට අභියෝගයක් කරන්න පුළුවන් පෞරෂයක් තියෙන ස්‍තියක් කියන මේ ඔක්කෝම මේ “සිංහල බෞද්ධ පිරිමියා” තුළ තියෙන භීතිකා..

ඒ නිසයි සිංහල බෞද්ධ ‘දෙයක්ය’ කියන ලේබලය ඇලවුන ඕනම දෙයකට එල්ල වෙන මතවාදීමය අභියෝගයක් හරි, සිංහල බෞද්ධ කියලා කියවෙන ඕනම දෙයක පැවැත්මට එල්ල වෙන තර්ජයක් හරි, සිංහල බෞද්ධ කියලා කියන දෙයක ‘වෙනසක් ගැන’ කියවෙන යෝජනාවක් හරි ඉස්සරහා මොවුන් කඩු කිණිසි අතට අරගෙන මර ලතෝනි දෙන්න පෙළඹෙන්නෙ.

මොකද ඒ ඔක්කොම “තමාගෙ”, “තමාට” කෙළවන්න එන, “තමාගේ” වැදගත් කියන හැඟීමට (sense of importance)එකට කෙළවන්න එන දේවල් විදියට පේන නිසා

මෙහෙම එන යෝජනා, වෙනස්කම්, අභියොග තර්කානුකූල කාලීන දේවල් වුනත් ඔවුන් ඒවා එක හෙළා ප්‍රතික්ශේප කාරනව, මොකද.. ඔවුන්ට අනුව එතන සිද්ධ වෙන්නේ සිංහල බෞද්ධ කියන පැකේජයටම කෙරෙන අභියෝගයක් නිසා, හෙවත් තමන්ට කරන අභියෝගයක් නිසා

උදාහරණයක් ගමු

ඔය “සිංහල බෞද්ධ පිරිමියෙක්” ඉඩමක් මිලදී ගන්න ගියාම ඔහු කීයටවත් මුල් තැන දෙයිද හැමවෙලේම ලවුඩ්ස්පීකරෙන් බණ, පිරිත් දාන පන්සලක එහා පැත්තේ ඉඩමක් මිලදි ගන්න?

වෙන ඉඩමක් ගන්න හැකියව තියෙද්දි කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් දාන පන්සලක අල්ලපු වැටේ ඉඩමක් සල්ලිදීලා ගනියිද?

පොඩි එකාගෙ විභාගෙ? අසනීප වුන වයසක අම්මගේ විවේකය? මහන්සි වෙලා ඇවිත් පොඩ්ඩක් උදේ වෙනකල් නිවාඩු දවසේ නිදාගන්න තියන උවමනාව?

මේ ඔක්කෝම හැම මනුස්සයෙක්ටම මගේ මෙයාටත් තියෙනව

ඒ නිසා කරන්නේ වෙන තැනකින් ඉඩමක් අරගෙන ඒ ඉඩමේ ඉඳන් පන්සලේ ලවුඩ්ස්පීකරේ දාන එකට සහය දිදී කඩුව අතට ගන්න එක !

අන්න ඒකයි සිංහල බෞද්ධ පිරිමියාගේ මතවාදී නපුංසක කම

අන්න ඒ නිසයි ඒ වගේ අය එක්ක කවදාවත් අවංක සංවාදයක යෙදෙන්න බැරි

ඒ අයගේ උවමනාව මනුස්සයෝ විදිහට එකිනෙකාට සහයෝගයෙන් අන්‍යන්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන එකිනෙකාගේ සුභසිද්ධියට නිදහසට අයිතීන්ට ගරුකරන සමාජයක් බිහි කරම එකවත් ඒ වෙනුවෙන් කටයුතු කරන එක නෙමේ

තමාගේව අනිත් ජාතීන් ඉස්සරහ පොරක් බවට පත් කරන තමාගේ ප්‍රියතම අධිපතිමතවාදය වෙනුවෙන් පෙනී ඉන්න එක, ඒක ආරක්ෂා කරන එක, ඒ වෙනුවෙන් කඩුකිණිසි හරි අතට ගන්න එක

මේ පිස්සු ඉහට ගහපු අය ‘කොහේවත් යන’ දෙමළෙක්, තම්බියෙක්, ගෑණියෙක්, මානව අයිතිවාසකමක්, නිදහසක් වෙනුවෙන් තමාගේ ‘පොර’ ආතල් එක නැති කරගන්න කවදාවත් කැමති වෙන්නේ නෑ

ටික දවසකට කලින් සමලිංගික්ත්වය ගැන සංවාදයකදි මගේ මිත්‍රයෙක් කියපු උපහාසාත්මක කතාවක් මේ..

ප්‍රශ්නය – ලංකාවේ සමලිංගික විවාහ නිතීගත කලාම සිංහල බෞද්ධයාට නැතුව යන්නේ මොකක්ද?

පිළිතුර – ආතල් එක යකෝ ආතල් එක !

ඕක තමා සිංහලබෞද්ධ(තනිවචනයකි) මානසිකත්වයකින් පෙළෙන අය ඉන්න තත්වයේ සාරාංශය

ඕක තමා සිංහලබෞද්ධයාගේ හෙළුව
මතවාදී නපුංසකකම
ආතල් එක
සහ
මාන්නය

ඔවුන් දකින ලෝකයේ තියෙන සිංහලබෞද්ධ නොවන සියලූම දේ ඔන්න ඔය මාන්නයට යටයි

ඒකයි ඔවුන් සමඟ කවදාවත් සාර්ථක අවංක සංවාදයක යෙදෙන්නවත්, ඔවුන් සම‍ඟ අත්වැල් බැඳගෙන යහපත් සමාජයක්වත් ගොඬනගන්න බැරි..

ප/ලි – ඉහත සටහනේ සිංහලබෞද්ධයා යනුවෙන් සියලුම සිංහල බෞද්ධයන් ගැන අදහස් නොකරන බවත් සිංහලබෞද්ධ(තනිවචනයකි) යනුවෙන් සයිබරයේ පොදුවේ භාවිතා වන කුලකයක් පමණක් අදහස් කරන බවත් සලකන්න.

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”

මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි.

නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.

“If You Meet the Buddha on the Road, Kill Him.”

ඇලීමේ ආනිසංස දේශනා කල බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ තම එදිනෙදා ජීවිතයේ ලෞකික සැපසම්පත් වලට අමතරව ‘බුද්ධ’ යන සංකල්පය සමඟද තදින්ම ඇලී සිටිති. බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.

බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහලබුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.

බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.

වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති.

තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව බුදුරදුන් ඉගැන්වූවා යයි මා අසා තිබේ. තමන් වහන්සේ දෙසූ ධර්මය සසරින් එතරවීම පිණිස පහුරක් මෙන් යොදා ගැනීම මිස, කර තබා ගෙන යෑම නො කළ යුතු බව බුදුරදුන්ගේ ඉගැන්වීම බව සඳහන්ය.

“ධර්මය කියන්නේ පහුරක් පමණය. ගඟින් එගොඩ ගිය පසු පහුර බිම තැබිය යුතුය”

නමුත් තමා බුදුන් සරණ ගිය උන්ය කියා ගන්නා බෞද්ධ අනුගාමිකයන් අද කරන්නේ මීට හාත්පස වෙනස් දෙයකි.

ඔවුහු ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.

පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය.

ගෞතම බුදුන් නම් විශිෂ්ඨ දර්ශනවාදියාගේ ඉගැන්වීම් ආගමික රාමුවකට කොටු කිරීමේ ප්‍රතිපලය මෙයයි.

ඉන් සිදු වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම් වල හරය සහ ගැඹුර ග්‍රහනය කර ගැනීමට තියෙන හැකියාව මොට වී ඔහුගේ ඉගැන්වීම් වල සැබෑ අරුත මඟ හැරීයාමය.

අවසානයේ සිදුව ඇත්තේ ගෞතම බුදුන් නම් ඒ විශිෂ්ඨ දර්ශනවාදියාව මල්මාලා වලින් සරසා හඳුන්කූරු සුවඳ දුම් පිරි කාමරයක සිර කොට, පුද පූජා පැවැත්වීමට තිබෙන තවත් ආගමික සංකේතයක් බවට පත් වී තිබීමය.

වර්තමාන ලෝකයට බුදුදහම මඟින් උකහා ගත යුතු යමක් වේද එය තේරුම් ගත හැක්කේ ආගමික ඇදහිල්ලෙන් නැඟෙන අන්ධ භක්තියෙන් නොව ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය විමර්ෂණාත්මක බුද්ධියෙන් විමසීමෙන්ය.

සුවඳ දුම් පිරි බුදුකුටියකට සිරකරනු ලැබුව වැඳුම් පිදුම් කිරීමට ඇති ආගමික සංකේතයක් බවට පත් වී සිටින ගෞතම බුදුන්ව ඉන් නිදහස් කොට ඔහුගේ මුවින් නික්මුන ඉගැන්වීම් ඔස්සේ අප බුද්ධිය මෙහෙයවීම වැදගත් වන්නේ එබැවිනි.

ප/ලි – 2016 ජනවාරි 25 දින ලියූ පැරණි සටහනකි

කල කම් පල දීම

“එදා සරත් ෆොන්සේකාව බිම ඇදගෙන ගිය මේජර් සුමිත් තමන්ගේම ගෙදර තමන්ගේම බාල්කයක් ඔලුවට කඩන් වැටිලා රෝහලේ. කලකම් පල දෙනවා කියන්නෙ මේවාට තමයි”

ඔය බුකියෙ ශෙයාර් වුන පෝස්ටුවක්.

ඒ කියන්නෙ බාල්කය කඩන් වැටුනෙ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්ත නිසාද? බැරි වෙලාවත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තෙ නැත්තන් බාල්කෙ කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් එදා මේ මේජර් කෙනෙක් වෙනුවට වෙන මේජර් කෙනෙක් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තා නම් බාල්කෙ වැටෙන්නෙ ඒ මේජර්ගෙ ඔලුවටද? ඔය සිද්ධි දෙකේ සම්බන්ධයක් ඇත්තටම තියෙනවද?

පැටලිලි ගොඩයි.

මේක පැහැදිළිවම ඉතාම පහත් දේශපාලන ඇරියස් කවර් කරගන්න හදපු පෝස්ට් එකක් වුනාට මේකට පදනම් වෙච්චි චින්තනය අපේ සමාජයට අලුත් දෙයක් නෙමේ.

“ඇස් පනාපිට කලකම් පලදීමේ” තියරිය.. අර දිට්ඨදම්මවේදනීය කර්මයද මොකක්ද කියන්නෙ.. අන්න ඒක..

ආගමිකව ගත්තාම ඔය තියරියෙ හරි වැරැද්ද මොක වුනත් ඔහොම අදහසක් අපේ සමාජයේ මුල් බැසගෙන තියෙන බව රහසක් නෙමේ.

කෙනෙක්ට ස්වභාවික විපතක්, අවාසනාවන්ත සිද්ධියක්, අභාග්‍යයක්, කරදරයක් වුනාම.. ඒ කෙනාගේ ජීවිතය හරි ජීවිතයේ යම් ක්‍රියාවකට හරි ඒ සිද්ධිය සම්බන්ධ කරල සතුටු වෙන එක… එහෙම නැත්නම් “මේක උනේ අරක නිසාය”,”මෙහෙම වුනේ එදා අරෙහෙම කල නිසාය” කියල හිතන එක…

එතනින් කියවෙන්නෙ යම් අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න ඒ අය සුදුසුය කියන හැඟීමක්. යම් කෙනෙක්ට යම් අභාග්‍යයක් වුනාම ඒ දෙය සිද්ධ වුන එක සාධාරණය වගේ සිතිවිල්ලක්.

සමහර අවස්ථා වලදි කුඩා දරුවන්ට පවා කරදර වුනාම දෙමාපියන්ගෙ වැරදි වලට ඒක සම්බන්ධ කරනවා දැකලා ඇති

“ඕකුන්ට ඔහොම වුනේ මහ උන්ගෙ වැරදි නිසා”,”දෙමව්පියන්ගෙ කරුම ළමයින්ට කරගහන්න වෙලා”

මොන පදනමකින් ආවත් ඒ සිතිවිල්ල හරිම අමානුෂිකයි.

මේ කතාවෙ තවත් පැත්තක් තියෙනව

වසර 2012 දී ඉන්දියාවේ දිල්ලි නගරයේ සිද්ධ වුන ජ්‍යෝති සිං ගේ සමූහ දූෂණය ගමු. එතනදි සිද්ධ වුනේ බස් රථයක් තුල ගමන් කල යුවලක තරුණයාට පහර දීලා මිනිසුන් හය දෙනෙක් විසින් තරුණියව සමූහ දූෂණයට ලක් කරල ඇයව මරල දාපු එක.

මේ වගේ සිද්ධි වලදි තරුණිය ගැන ඇති වෙන කණගාටුව නිසා ඇහෙන්න පුළුවන් කතා පොඩ්ඩක් හිතන්න

“ඕකුන්ට හෙණ ගහන්න ඕන.. ආත්ම ගාණක් ඔය කල විදියටම ඔය තිරිසන්නු දූෂණය වෙලා මැරෙන්න ඕන”

ඔතනදි එන්නෙත් අර කලින් අදහසෙම අනිත් එක. කරපු වැරැද්දකට අනාගතයෙ දඬුවම් ලැබිය යුතුය කියන එක.

ඒත් ඒ චින්තනයට අනුවම අනිත් පැත්තට හිතල බැලුවොත්, දූෂණය වෙච්චි තරුණිය දූෂණය වුනේ මීට පෙර ආත්මයක/භවයකදි ඇය විසින්ම සිද්ද කරල තියෙන මේ වගේම මහා දරුණු අපරාධයක ප්‍රතිපලයක් විදියට වෙන්න ඕන. ඒකත් කලකම් පලදීමක් වෙන්න ඕන. මේ අයගෙ චින්තනයට අනුව ගත්තොත් “මෙහෙම වුනේ එදා වෙන කෙනෙක්ට අරෙහෙම කල නිසාය” කියල සතුටු වෙන්නයි වෙන්නෙ හරියටම බැලුවොත්.

ඒකයි ඔය චින්තනයේ අවුල.

මනුස්සයෙක්ට දුකක්, කරදරයක්, අකරතැබ්බයක් වුනාම ඒක ඒ මනුස්සයාගේ වැරදි කියල තමන් හිතන් ඉන්න දේවල් වලට සම්බන්ධ කරල සතුටු වෙන එක ඇතුලේ හැංගිලා තියෙන අමානුෂික ඇත්ත ඕකයි.

මීට පස්සෙ ආගමික පදනමකින් ආවත්.. ඔය වගේ සිතිවිලි ඔලුවට එද්දි දෙපාරක් ආයෙමත් හිතන්න.

මොකද ඔය විදියට හිතන්න ගියොත් මේ ලෝකේ දුක් විඳින හැම කෙනෙක්ම, දුක් විඳින හැම අවස්ථාවක් ගැනම මනුස්සයො විදියට අපට කණගාටුවෙන්න..දුක් වෙන්න.. ඉඩක් ඉතිරි වෙන එකක් නැති වෙයි

ඇඳ ළඟ බණ පිරිත් ගීතිකා යාතිකා

“ශුද්ධාත්මෙනි.. ශුද්ධාත්මෙනි.. වඩින් ශුද්ධාත්මෙනි….”

ඒ මීට සති කිහිපයකට කලින් පාස්කු දවස් වල පල්ලියේ ගීතිකා දාලා තිබ්බ හැටි. ගමටම ඇහෙන්න. 

අද පෝය.. එකෙම අනිත් එක.. ගමටම ඇහෙන්න බණ/පිරිත් දාලා.

මේක දැන් පන්සල්, පල්ලි, මුස්ලිම් පල්ලි ඔක්කෝටම පොදු කාරණාවක් වෙලා.

මේ ගැන ඒ අයගෙන් ප්‍රශ්න කලොත් ඕකට සාධාරණ උත්තරයක් තියෙයි කියල හිතන්න අමාරුයි. මොකද ගොන් තකතීරු වැඩක් බුද්ධිමත් උත්තරයකින් සාධාරණීයකරනය කරන්න බැහැනෙ. පිරිත් බණ, ගීතිකා යාතිකා අහන්න කැමති අයට ඒ සිද්ධස්ථාන ඇතුලට ගිහින් ඒවා අහන්න පුළුවන්කම තියෙද්දි ඇයි තම තමන්ගෙ ගෙවල් වලට වෙලා ඉන්න ගමේ අනෙක් මිනිස්සුන්ට තමාගේ ආගමික වතාවත් බලෙන් අස්සවන්නේ කියන එකට දෙන්න බුද්ධිමත් උත්තරයක් තියෙයිද?
ඕකෙන් යම් මට්ටමකට තමාගේ ආගමික අධිකාරී බලය පෙන්නන බව ඇත්ත. ඒත් මේ ලවුඩ්ස්පීකර් රෝගය දැන් අපේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා කියලයි පේන්නේ. ආගමික යාතිකා ගමටම ඇස්සවීම ඒකේ එක කොටසක් විතරයි.
ඊයේ උදේ බස් එකේ ගමනක් යන්න වුනා. බස් එකේ දාලා ටීවී එකක්. ටීවී එකේ සංගීත ප්‍රසංගයක්. සංගීතයට කෙල්ලෝ නටනවා. (ඇත්තටම ඒවට නැටුම් කියන්න බැහැ. ව්‍යායාම කරනවා කිව්ව නම් වඩාත් නිවැරදියි) මහ දවල් පිච්චෙන තරමට රස්නෙ, බස් එකේ කට කපලා සෙනඟ, පාර පුරා ට්‍රැෆික් එක, ඒ අස්සේ බස් එක දෙවනත් වෙලා කණ පැලෙන්න සංගීතය. අන්තිමට බස් එකෙන් බහිද්දි ඔලු කැක්කුම හැදිලා බහින්න වුනේ.
බස් එකේ ගියත්, විවාහ උත්සවයක් වුනත්, මොකක් හරි සැමරුම් උත්සවයක් වුනත් රතිඤ්ඤ දාලා, බෙර ගහලා රටටම ලෝකෙටම ඇහෙන්න සමරන සංස්කෘතියක් අපට තියෙන්නෙ.
අනිත් මනුස්සයාට බලෙන් සින්දු අස්සවන, බලෙන් බණ අස්සවන, බලෙන් ගීතිකා අස්සවන, අපේ සතුට සහ භක්තිවන්තකම අනිත් මනුස්සයාට බලෙන් පෙන්නන සමාජක්‍රමයක ජීවත් වෙන මිනිස්සු අපි
පොඩ්ඩක් හිතන්න තමන් නිදාගන්න යදද්දි අල්ලපු ගෙදර මනුස්සයා කණ ළඟට ඇවිත් සින්දු කියනවා කියල, නැත්නම් පන්සලේ හාමුදුරුවෝ ඇඳ ගාව ඉඳගෙන මහ හයියෙන් කණට කරල පිරිත් කියනවාය කියලා.. අන්න ඒ වගේ දෙයක් අනුමත කිරීමක් තමයි අපි මේ සමාජයක් වශයෙන් කරන්නෙ
අලුත උපන් බිළිඳෙක්, විවේකය අවශ්‍ය වයසක මවක් පියෙක්, නින්ද අවශ්‍ය රෝගියෙක්, මහන්සි වෙලා රාජකාරි කරලා පහුවදා උදේ ආපහු වැඩට යන්න උදෙන්ම නැගිටින්න බලාපොරොත්තුවෙන් නින්දට යන මනුස්සයෙක්…
මේ හැමෝගෙම සාමාන්‍යය ජීවිත අවුල් වියවුල් කිරීමක් කරන්නේ ඔවුන්ගේ ජීවිත අස්සට බලෙන් රිංගන්න යාමෙන්.
මනුස්සයෙක්ට පුද්ගලික අවකාශයක් (Personal Space) තියෙනවා, තියාගන්න අයිතියක් තියෙනවා කියන එක තේරුම් ගත යුතුයි ශිෂ්ඨ සමාජයක ජීවත් වෙන ශිෂ්ඨ මිනිස්සු විදියට
තමාගේ ආතල් බලෙන් අනිත් මිනිස්සුන්ගෙ ඇඟේ ගහන එක සංස්කෘතික ලක්ෂණයක් වෙලා තියෙනවනම් එතන පැහැදිළිවම අවුලක් තියෙනවා. එතනින් පෙනෙන්නේ අනිත් මනුස්සයාගේ ජීවිතයට තමාට අතදාන්න පුළුවන් සීමාව ගැන සමාජයක් විදියට අපේ තියෙන අනවබෝධය. වෙනත් මනුස්සයෙක්ගේ නිදහසට ගරුකිරීමක් ඒ නිදහස තේරුම් ගැනීමක් ගැන සමාජයක් වශයෙන් අපේ තියෙන නොසැලකිල්ල.
ඔලුව කැක්කුමක් හැදිලා ඇඳට වෙලා නිදාගෙන ඉද්දි ගෙදර කවුරු හරි ටීවී එක සද්දෙන් දැම්මොත් ඒක අඩු කරන්න කියලා කේන්තියෙන් කෑගහන අපි සමාජයක් විදියට මේ සමූහ වශයෙන් කරන ශබ්ද දූෂණයක් ඉවසන්න පුරුදු වෙලා. එහෙම ශබ්ද දූෂණය කරන එක සාමාන්‍යය දෙයක් වෙලා තියෙනව වගේම ඒක ඉවසන එක සාමාන්‍යකරණය වෙලා තියෙන එකත් පැහැදිළි අවුලක්.
අනෙකාගේ නිදහසට ගරු කරන, අනෙකාට බාධාවක් නොවී ජීවත් වෙන්න දන්න ශිෂ්ඨ මිනිසුන් බවට අපේ ඊළඟ පරම්පරාවවත් පත් කරන්න නම් මේවා වෙනස් විය යුතු දේවල් කියන අදහසවත් මේ පරම්පරාව මෙහෙයවන වැඩිහිටියන්ගේ සිත්වල ඇති වෙන්න ඕන