Category Archives: අත්දැකීම්

අංකල්

දැන් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුරුදු වෙලා හිටියට ඉස්සර මම ෆිල්ම්ස් බැලුවේ ගෙවල් ලඟ තිබ්බ DVD ශොප් එකෙන් රෙන්ට් එකට අරගෙන.

ඩීවීඩී කඩේ හිටියේ අංකල් කෙනෙක්. මම අංකල්ව හඳුනගද්දි අංකල්ට වයස පනස් පහක් විතර ඇති. මට වයස මං හිතන්නෙ දහහතරක් පහලවක් විතර වෙන්න ඇති මතක විදියට.

ආ.. අමතක වුනා. අංකල්ගෙන් මුලින්ම ගත්තේ DVD නෙමේ. සීටී තැටි. පස්සෙ තමා DVD වලට මාරු වුනේ. ඊටත් කලින් පොඩිම කාලේ ෆිල්ම්ස් බැලුවේ හන්දියේ තිබ්බ පෙරේරා කියන වීඩියෝ ශොප් එකෙන්. ඒකෙන් බැලුවේ DVD වත් සීඩී තැටිවත් නෙමේ VHS තමා. මම තාම ආසම කරන Terminator 2 වගේ ෆිල්ම්ස් බැලුවේ VHS හෙවත් ඩෙක් පීස් වලින්. අම්මගෙන් රුපියල් විසිපහක් ඉල්ලගෙන අම්මගෙම අයිඩෙන්ටි(ටි) කාඩ් එක දීලා තමා ඩෙක් පීස් ගන්නේ.

කොහොම හරි අංකල්ගේ කඩෙන් DVD එකක් ගත්තම රුපියල් පනහයි. දවස් තුනක් තියාගන්න පුළුවන්. අංකල් මගෙන් දඩ සල්ලි නොගත්තට වෙලාවට ගිහිල්ලා දෙන්නේ යුතුකමක් විදියට වගේ. වෙන අයගෙන් පරක්කු වුනාම දඩ ගත්තට මගෙන් ගත්තෙ නැත්තෙ මම අංකල්ගේ නොම්මර එකේ කස්ටර්මර් කෙනෙක් වුනාටත් වඩා ගිහින් කයිය ගගහා ඉඳලා දෙන්නා අතර ඇති වුන ෆිට් එක නිසාමයි.

සමහර විට ඩීවීඩී එකක් ගන්න කියලා ගියාම පැයක් එකහමාරක් කයිය ගගහා ඉඳලා තමා ඩීවීඩී එක අරගෙන එන්නේ. කියවන්න ගත්තම දේශපාලනයෙන් පටන් අරගෙන අන්තිමට මොකෙක්ගෙ හරි ඕපදූපයක් දක්වා කතා කරලා තමයි නවතින්නෙ.

අංකල්ගේ ජීවිතය ගැන විස්තර කිසිම අවුලක් නැතුව මා එක්ක කියද්දි මම කරන්නේ ඔහේ අහගෙන ඉන්න එක. මගේ ප්‍රශ්න අනන්මනන් අංකල් එක්ක කියද්දි අංකල් කලේ මට උපදෙස් දෙන එක. “වෙලාව බලාගන්න, අර හාමුදුරුවන්ව ගිහින් හම්බෙන්න, අර පල්ලියට ගිහින් බාරයක් වෙන්න” වගේ උපදෙස් තමා අංකල්ගෙන් හම්බුනේ (ඔව්, අංකල් පන්සල් පල්ලි දෙකටම යනවා).

ඒ කාලේ අංකල්ට මාරම බිස්නස්. විශේෂයෙන්ම හවස් වරුවේ හය හයාමාර වෙද්දි එහෙම අංකල්ගේ කඩේට ගිහින් ඩීවීඩී එකක් තෝරගන්නවා කියන්නෙ එපාම වෙන වැඩක්. එවෙලාවට පැයක් දෙකක් යනකල් ඇතුලේ පස් හය දෙනෙක්ම ඉන්නවා. ඉතින් නිදහසේ ෆිල්ම් එකක් තෝරගන්න ඕන නිසා මම යද්දි යන්නේ ඒ වෙලාව මඟ ඇරලා.

ඒකාලේ එහෙම බිස්නස් ජයටම තිබ්බට පස්සෙ පස්සෙ තත්වය වෙනස් වුනේ ඩීවීඩී එකක ගාණ අම්බානට අඩු වෙන්න ගත්තම. ඊටත් වඩා හන්දි හන්දි ගානේ හතු පිපෙන්නා වගේ ඩීවීඩී කඩ ඇරෙන්න ගත්තම. තව ඉතින් හැම කමියුනිකේෂන් එකකම ඩීවීඩී විසිපහක් තිහක් එල්ලගෙන විකුණන එක නෝමල්ම දෙයක් වුනා පස්සෙ පස්සෙ.

තත්වය ඔහොම වෙනස් වෙද්දි කවුරුත් කැමති වෙන්නෙ නෑනෙ රුපියල් පනහක් දීලා ඩීවීඩී එකක් බලලා දවස් තුනකින් ආයේ ගිහින් දෙන්න. ඊට වඩා හැම අතින්ම හොඳයිනෙ රුපියල් හැත්තෑවක් අසූවක් දීලා ඩීවීඩී එක තියාගන්නම ගන්න එක. එනිසා වෙන්න ඇති පස්සෙ අංකලුත් ඩීවීඩී රෙන්ට් කරන එක නවත්තලා විකුණන්න ගත්තා. එකක් රුපියල් අසූවට.

ඉස්සර හන්දියේ තිබ්බ එකම ඩීවීඩී කඩේ හිමිකාරයා අංකල් නිසා බිස්නස් නැගලා ගියාට දැන් අංකල්ගේ කඩේ පාලුවට ගිහින්. හන්දියේ දැන් ඩීවීඩී කඩ හතරක්ම තියෙනවා. එයින් එකක් පට්ට කොලිටියට වැඩේ කරනවා. ෆිල්ම් එකක් රිලීස් වුන ගමන්ම බඩු තියෙනව කඩේ. ෆයිනල් කොපිය කියල ශුවර්. ඒ විතරක් නෙමේ කඩේ බිත්ති හතර පුරාම බිම ඉඳල උඩටම ඩීවීඩී එල්ලල තියෙන්නෙ. නිකන්ම නෙමේ, සුපර්හීරෝ ෆිල්ම්ස් වෙනම, ෆැන්ටසි ෆිල්ම්ස් වෙනම, ඇක්ෂන් ෆිල්ම්ස් වෙනම, හොරර් ෆිල්ම්ස් වෙනම, අලුත්ම රිලීස් වුන ඒවා වෙනම, ටීවී සීරීස් වෙනම.. ඔය වගේ. විකුණන්න තියෙන්නෙත් මාරම පට්ට ෆිල්ම්ස් කලෙක්ශන් එකක්. චාලි චැප්ලින්ගේ ඒවයේ ඉඳල..ඔස්කාර් ගහපු ඒව දක්වාම ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනවා පොට් එකේ.

කොටින්ම මමත් දැන් ඩීවීඩී එකක් සල්ලි දීලා ගන්නව නම් යන්නේ ඒ කඩේට තමා.

අන්තිමට මම අංකල්ගේ කඩේට යන්න ඇත්තේ දැනට අවුරුදු දෙකකට විතර කලින්.

කතා කරන්නවත් කවුරුත් නැතිව හිටිය ජීවිතේ එක කාලයක මට හිටිය එකම මිත්‍රයා, නෑදෑයා වුන අංකල් දැන් රස්නේ නිසා ශර්ට් එකේ බොත්තම් දෙකක් තුනක් ඇරගෙන ඔහේ ඉඳගෙන උඩ බලාගෙන ඉන්නව කඩේ පහුකරගෙන යනගමන් දකිද්දි පොඩි දුකක් දැනෙන්නේ නැතුවත් නෙමේ.

කොච්චර වුනත් අදත් මාව දැක්කම අර විඩාබර ගතිය එකපාරම අමතක වුනා වගේ මූණ හිනාවෙන් පුරවගෙන අතවන්න්නේ ඉස්සර වගේමයි.

මෙච්චර අවුරුදු ගාණක් ආශ්‍රය කරලත් තාම මම අංකල්ගේ නම දන්නැති එකයි පුදුමම වැඩේ. ඒ වගේම තමා අංකල් මගේ නමත් දන්නෙ නැතුව ඇති.

මෙච්චර කාලයක් ගිහිනුත් අංකල්ගේ නම නොදන්නවා වුනාට, මට නම් තාමත් අංකල්ගේ නම අංකල්ම තමා.

තරිඳු මල්ලිගේ කථාව

“අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?”
හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය.
කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි.
.
.
.
මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම දරුවා වූයේ ඔහුය. අප අතරින් වැඩිහිටියන්ට වැඩියෙන්ම කරදරයක් වූයේද ඔහුය.
විටෙක ඔහු ජනේලයක වීදුරුවක් බිදියි, තවත් විටක ආය කටුවක් නවා එයට සබන් කැබැල්ලක් රදවා ඇලෙන් මාළුන් අල්ලයි, තව විටෙක පොඩි එකෙකු සමඟ පොර බඳියි. ඔහු ගැන නිතරම කුමක් හෝ පැමිණිල්ලකි.
“මූ නං යකෙක්.. ඇට්ටරයෙක්”
සියලු වැඩිහිටියන් තරිඳු මල්ලිව හැඳින්වූයේ එලෙසින්ය.
මේ දැඟලිල්ල නිසාම ඔහුව යහපත් කීකරු දරුවෙකු කිරීම උදෙසා, තරිඳු මල්ලිව අසාමාන්‍යය ලෙස සිර කොට, නීති දමා, නිරතුරුව තම ඇස් මට්ටමේ තබා ගැනීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඔහුගේ පියා විසින් පනවන මේ අසාමාන්‍යය නීති අනෙකුත් වැඩිහිටියන්ගේ විවේචනයටද ලක් වූයේ වරක් දෙවරක් නොවේ.
වෙලාවට නැගිටීම, නින්දට යාම මෙන්ම වෙලාවට පාඩම් කිරීමද ඔහුට අනිවාර්‍ය කෙරුනු දෙවල් විය. සෙල්ලම් කිරීමට ඉඩ ලැබුනේ ඉතාම සීමා සහිත කාලයක් පමණි.
බැතිමත් කතොලිකයන් වූ ඔහුගේ මාපියන් ඉරිදාට පල්ලි යාම, දිනපතා යච්නා කිරීම අනිවාර්‍ය කොට තිබුනි.
කෙසේ හෝ, වයසින් වැඩෙත්ම අප එකිනෙකාට වෙන් වන්නට සිදු විය. සියල්ලන්ගෙන් ඈත් වූ මට තරිඳු මල්ලි ගැන ඉඳ හිට හෝ අහන්න ලැබුනේ මගේ අම්මාගෙනි.
“දැන් තරිඳු හරිම හොඳයිලු. පල්ලියෙමලු.. උඹලව තමා බලෙන්වත් පල්ලියකට යවා ගන්න බැරි. අච්චර දඟලපු ළමයා දැන් ශාන්තුවරයෙක් වගේ නිමිලලු. උඹල ඒ ළමය දිහාවත් බලල හැදියන්”
මම පල්ලි නොයන හැම අවස්ථාවකම, ආගමික කටයුත්තක් මඟ හරිනා හැම අවස්ථාවකම අම්මාගෙන් බැණුම් පිට බැණුම් අසන්න වූයේ තරිඳු මල්ලිගේ හොඳ සමඟ මගේ නරක සැසඳීමෙනි. කාලයක් තිස්සේ නොදුටු තරිඳු මල්ලි ගැන අම්මාගෙන් අහපු බැණුම් නිසාම තරහක් ඇති වු අවස්ථා නැතුවා නොවේ.
වසර ගණනක් එකිනෙකාගෙන් වෙන් වී සිටි මට, තරිඳු මල්ලි මීට මාස කීපයකට පමණ පෙර නෑදෑ කෙනෙකුගේ අවමඟුලකදී හමුවූයේ අහම්බෙනි.
වෙනදාට එක තැනක ඉඳගෙන ඉන්න බැරි තරිඳු මල්ලි මුළු ගැන්වී, කාගේවත් මූණවත් බලා කතා නොකරන යටහත් පහත් චරිතයක් බවට පත් වි තිබීම අප සැම පුදුමයට පත් කරනු ලැබීය.
“ඉතින් මල්ලි, කොහොමද?”
“ඉ..ඉ..ඉන්.. ඉන්නව.. අ..අයියෙ”
පෙර මෙන් නොව, තරිඳු මල්ලි දැන් කතා කරන විට ගොත ගසන බව අම්මා මට කියා තිබ්බද ඔහුත් සමඟ කතා කරන තුරු ඒ ගැන මගේ මතකයේ තිබුනේ නැත.
ඔහු කතා කලේ ඉතාම අපහසුවෙනි, වචන එළියට නොඑන අවස්ථාවලදි ඔහු ඇස් පියා ගනිමින් කථා කිරීමට උත්සාහ ගත්තේය.
“මල්ලි දැන් පල්ලියේමලු නේද?”
“නෑ.. නෑ අයියෙ.. ඉස්ස්ස්සර ගි..යා. දැන් වැඩිය යන්නෙ නෑ..”
“කවුද ෆාදර් කෙනෙක් එක්ක ෆිට් එකේ හිටියලු නේද?
“ආ..පෝ.. මිමිනිහ… අඅ..න්තිමට මමල වදයක් වුනා”
“ඒ මොකෝ”
“නීති… දා…න්න ආවා අයියේ. ඕ..න එකටයි එ…පා එකටයි ඔක්කෝටම. දැන් මං පල්ලි යන්නේ නෑ”
“එහෙමද?”
“අයියේ, මං පොඩි දෙයක් අහන්නද? ඔයා ආගම ගැන දන්නවනෙ”
“ගොඩක් දන්නෑ මල්ලි, ටිකක් දන්නවා”
“අයියේ මට නින්ද යන්නෙ නෑ අයියෙ. බයයි.
‘මට දැන් කෙල්ලො ගැන එක එක ඒවා හිතෙනවා අයියෙ”
නව යොවුන් වියේ මුවවිට ආදරය පහුරු ගාමින් සිටින මේ ගැටයා තම දැඩි ආගමික විශ්වාසයන් සහ හිත කිති කවන ආදර හැඟුමන් සමඟ අරගලයක යෙදී සිටියි.
“බයිබලයේ තියෙනවනෙ කෙල්ලෙක් දිහා නරක විදියට බැලුවත් එකයි, එයා එක්ක නිදා ගත්තත් එකයි කියල. ඉතින් මම ටීවී බලන්නෙත් නෑ ඒනිසා. කොහේවත් යන්නෙත් නෑ. කොටට ඇන්ද කෙල්ලො දකිද්දි මට කේන්තියි”
“මට බයයි අයියේ… මට එහෙම දේවල් හිතුන නිසා මං අපායේ යයි කියල”
මේ නව යොවුන් ගැටයා තමන්ගේ අත්දැකීම විස්තර කරනා විට ඔහුගේ අතැඟිලි මිටි ගැන්වේ, ඇස් විශාල වේ.
එදා දඩබ්බර ඇට්ටරයා මේ තරම් බියසුලු ගොත පුද්ගලයෙකු බවට පත් වූයේ ඇයි?
“අනේ අයියෙ. මට නින්ද යන්නේ නෑ.
මම ආසයි මැරුනයින් පස්සෙ මුකුත් නැත්තන්. ඇයි, අපි අතින් වැරදි වෙලා බැරිවෙලා හරි අපායට ගියොත්,, සදාකාලයටම පිච්චි පිච්චි.. දුක් විඳින්න වෙනවා. අයියේ.. සදාකාලයටම”
මා දැන සිටි දඟකාර ගැටයා වෙනුවට දැන් සිටින්නේ බයාදු, ගොතගසන, පෞරෂ හීනභාවයෙන් පෙළෙන තරුණයෙකි
“මල්ලි වෙලාවක එන්න අපි කතා කරමු”
ඔහුට හැකි විදියකින් මට පුළුවන් උපරිමයෙන් උදව්වක් ඇත්නම් කිරීමට ඒ මොහොතේ ඉටා ගත්තෙමි
.
.
.
.
“ආ අයියේ කෝප්පේ” තරිදු මගේ දැහැන බිඳියි
“මල්ලි, මොකෝ තත්ත්වේ? මොකද හිතන්නේ මම කිව්ව බයිබල් පාඨ ගැන?”
“ඔ..ඔව් අයියේ.. හිතුවා ගොඩක් හිතුවා”
“මට එ..එදා ඉඳල ඔලුවට මා..ර නිදහසක් දැනුනේ. ඒකයි මම අදත් ආවේ පොඩ්ඩක් කතා කරන්න. මට නින්දත් ගියා”
මා නිසා ඔහුට දැනුන වෙනස ගැන ගොත ගසමින් හෝ ඔහු දිළිසෙන දෙනෙත් වලින් සිනහමුසු මුහුණුන් කියන අයුරු දුටු මට එතරම් සතුටක් දැනුන දවසක් මතක් කල නොහැකිය.
“බය වෙන්න එපා මල්ලි. ඕව ඔක්කෝම එක එක අරමුණු නිසා මිනිස්සු ගොතපු කතා. අනික, මම කිව්ව වගේ හැම ආගමකම ඔය අපාය ගැන උගන්නනවා. එහෙම බය වෙන්න ගියොත් අපිට හැම ආගමකම අපාය ගැන බය වෙන්න ඕනනෙ”
ඔහුට අවශ්‍ය වූයේ ඔහු තැතිගැත්මට පත් කල, ඔහුගේ නින්ද අහිමි කල, කොටින්ම ඔහුව සාමාන්‍යය ජීවිතයෙන් නැති කල “අපාය” ගොතන ලද මිත්‍යාවක් බව නැවත නැවතත් තහවුරු කර ගැනීමටය.
හමුවීම් කීපයක් තුල ඔහුට විද්‍යාවෙන් ගත් උදාහරණ ඇසුරෙන් ආගමික මිථ්‍යාවන් ගැන හැකිතරම් පහදා දී අපාය පිළිබඳ බය කෙමින් කෙමින් අඩු කරන්නට මට හැකි වුනි.
.
.
.
.
“අයියේ මම ගිහින් එන්නද?”
සිනාමුසු මුහුණ, නිදහස ලැබූ පරවියෙක්ගේ සතුට
“හරි මල්ලි”
“අහසේ දෙවියෝ නෑ. මතකනෙ?” මේ දිනවල තරුණයන් අතර ජනප්‍රිය වදන් කිහිපය මා විහිලුවෙන් මෙන් ඔහුට පැවසුවෙමි.
ඔහු සිනාසෙයි
“ඇයි? දෙවියෝ නෑ කියලා හිතන්න බයද?”
“ද..දන්නවා.. අ..යියේ.. ඇත්ත .. මොක..ක්ද කියල.. ඒ..ත්.. ඒක.. කියන්..න්න.. බ්බ්බ්..බ්..බ..ය..යි….තා..ම”
දෙවියන් ගැන විශ්වාසය නැති වුවද තවමත් ඔහු දෙවියන්ට එරෙහි යමක් පැවසීමට පවා බියක් දක්වයි
තරිදු වැඩියෙන්ම ගොත ගසන්නේ දෙවියන් නැතැයි කියා සිතන විටය.
බයිබලයට අනුව ශුද්ධාත්මයානන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම කිසිදා සමාව නොලැබෙන පාපයයි.
අහසේ දෙවියෝ නැති ලෝකයක ජීවත් වූවා නම් අද තරිඳු මල්ලි කුමන විදියේ තරුණයෙක් වන්නට තිබුනාද? කුඩා ළමයින්ට අපාය ගැන කියා බිය වැද්දීම කොතරම් අනුවණකමක් දැයි මට සිහිවෙන්නේ තරිඳු මල්ලි නිසාය.

කාලය මැවු වෙනසක අරුමේ

යාලුවෝ..

ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්‍ර සතුටක්.

අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි… වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්

මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට හමුවෙලා වෙන් වෙලා යන අය. ඉස්කෝලෙන් අවුට් වුනාම, රස්සාව කරන තැන මාරු වුනාම, යන කෝච්චිය මාරු කලාම.. ඉබේම නැති වෙලා යන සබඳකම් තමයි ඔවුන් එක්ක තියෙන්නෙ.

අනිත් කොටස තමයි යාලුවො කියන්නෙ.

යාලුවො අතර තියෙන්නේ හැඳුනුම්කමකට එහා ගිය බැඳීමක්. ඉස්කෝලෙන් එළියට ආවාය කියල,, රස්සාව තැන මාරු වුනාය කියල,, සමාජ මට්ටම් වෙනස් වුනාය කියල,, නැති වෙලා නොයන සබඳකමක්..

ඒකයි යාලුකම කියන්නෙ

ගොඩක් අය අඳුරන මිනිස්සුන්ව යාලුවෝ කියල පටලගන්නවා. ඔය දෙකොටසම එකක් කියල හිතනව. ඒ අයට අන්තිමේදි ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි.

ඒ වගේ මටත් හිටිය යාලුවො සෙට් එකක්. මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමකින් බැඳුන මානුෂීය බැඳීමකුයි අපි අතරෙ තිබුනෙ.

ඉස්කෝලෙ කාලෙදි වගේම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු ගාණක් ගතවෙනකල් නොබිඳී තිබ්බ යාලුකම ඒ විදියටම හැමදාම තියෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව වුනේ.. ඒ යාලු කමට එහා ගිය සහෝදරත්වයේ බැම්ම කිසිදාක බිඳිල යන එකක් නෑ කියන එකයි අපේ ප්‍රාර්ථනාව වුනේ.

අපි ඒ කාලෙ අනාගතය සැලසුම් කල හැටි තවමත් මතකයි. ගෙයක්, වාහනයක්, දරුවො එක්කෙනෙක් දෙන්නක් ඉන්න පුංචි පවුලක්, හොඳ ජොබ් එකක්..

..ඒ ඔක්කොම ඇතුලේ අපේ යාලුකමට සතියට සති දෙකකට සැරයක්වත් පුංචිම පුංචි ඉඩක්..!

නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඒ හීන හොයාගෙන යන අතරේ ඔක්කොටම කලින් ඇති වුන අපේ ඒ යාලුකමට තියෙන ඉඩ ඇහිරිලා ගිහින්.

ඉස්කෝලෙ කාලෙ උපරිම නිදහසක්, සැහැල්ලුවක් අත්විඳපු යාලුවෝ එක එක්කෙනා පවුල් වෙලා. වගකීම් දහසක් මැද්දෙ හිර වෙලා. දවසින් දවස ගෙවිල යන ජීවිතේ පවුල් ප්‍රශ්න, දරුවන්ගෙ වගකීම් අස්සෙ අසරණ වෙලා. ඉන් එහාට ලෝකය දිහා හැරිලා බලන්නවත් තියෙන ඉඩ නැති වෙලා ගිහින්. හැඳුනුම්කමකින් එහාට ගිය අපේ ඒ යාලුකමට අපේම ජීවිත අස්සේ ඉඩ ඇහිරිලා ගිහින්

ජීවිතය හොයාගෙන යන ගමනෙදි අපේම ජීවිත අපට නැති වෙලා.

යථාර්තය විසින් හීන කුඩුපට්ටම් කරල දාන්නේ මෙහෙම වෙන්නැති. හීන කොච්චර ලස්සන වුනත්, අවංක වුනත් යථාර්තය ගොඩක් වෙලාවට ඊට වෙනස්.

මේ කෙටි සටහනට අවසානයක් නැහැ. මොකද අපේ යාලුකමේ කතාව තවමත් අවසන් නැති නිසා. එනිසා මේ ගැනම වගේ ලියවුන අපි හැමෝම දන්න ගීතයක් සඳහන් කරමින් මේ සටහන මෙතනින් අවසන්(?) කරනවා.

“සුළගේ ලෙලෙනා මල් සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ”

ඉන්ටර්නැෂනල් ගොඩයො

සාමාන්‍යය කටවහරින් “පොෂ්” සහ “ගොඩේ” කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ..

ඔතනින් ගොඩ දෙනෙක් තමන්ව “ගොඩේ” කියලා හදුන්ව ගන්න කැමති නෑ. ඒත් “පොශ්” කියලා තමන්ව හදුන්වා ගන්න කණ්ඩායම විසින්, තමා “පොශ්” ය කියලා ඒ අය අදුන්ව ගන්න චර්යාව වෙන්කර හදුනා ගන්න අවශ්‍ය නිසා, තමන් “පොශ්” වෙද්දි තමන්ගේ චර්යාවෙන් පිට පිරිසව “ගොඩේ” කියලා හදුන්වනවා.

ෆේස් බුක් එකේ ඉන්න උඹලා අපි වගේ “පොශ්” පොරවල්ට නම් ආයේ ඉතින් අමුතුවෙන් ඔය “පොශ්” සෙට් එක ගැන අමුතුවෙන් හදුන්වන්න දෙයක් නෑ මම හිතන්නේ.

ඔය බැරිස්ටා එකේ ඉදගෙන, බාගයක් කාපු පැස්ටා එකයි, බීපු කැපචීනෝ එකයි, කියවන තඩි පොතයි පැත්තකින් අහුවෙන විදිහට සෙල්ෆි එකක් ගහලා “විශින් වර්ල්ඩ් පීස් විත් බණ්ඩා ඇන්ඩ් 33 අදර්ස් ඇට් බැර්ස්ටා” කියලා දාන්නේ. ඊට පස්සේ ගොඩ කාලෙකින් හම්බුන යාළුවව බදාගෙන “ෆීල්න් ඩ්‍රන්ක් විත් නවම් ඇන්ඩ් 54 අතර්ස් ඇට් ටැප් හවුස්, ඩච් හොස්පිටල් කියලා දාන්නේ. ඊටත් පස්සේ හස්බන්ඩ්ට වැදලා වැදලා මතක් කරලා ගත්තු පර්ෆියුම් එකයි කාර්ඩ් එකයි වත්තෙන් කඩා ගත්තු ඇන්තූරියම් මල් දෙකේ ෆොටෝ එකයි දාලා “ෆීලිං ලවුඩ් විත් හබී ඇන්ඩ් 128 අදර්ස්” කියලා දාන්නේ.

“ක්‍රි කොස් ඇන්ඩ් සම්බල්” දවල්ට කන්නේ.. කැඩිච්ච ඉන්ග්‍රිස් වලින් දවස පුරා යාළුවෝ එක්ක කතා කරන්නේ…

ඔය කොයිතරම් තමන් සාමාන්‍යය සමාජයෙන් වෙනස් කියලා පෙන්වන්න හැදුවත්, මේ අයගෙත්.. ඒගොල්ලන්ටම අනුව “ඊයා ගොඩේඩේඩේ..ඒඒඒ” කියලා හදුවන කණ්ඩායමත් අතරේ වැඩි වෙනසක් නෑ කියලයි පුද්ගලික අත්දැකීම් වලින් මටනම් හිතෙන්නේ.

දවස පුරා කඩ්ඩෙන් කතා කරන තැන් වල වැඩ කරන මිනිස්සු තුළත් ලංකාවෙ අමු ගොඩේ කියල හඳුන්වන ලක්ෂණ තියෙන බව මම අත්දැකීමෙන් දන්නවා. මේ මිනිස්සු දියුණුයි කියල තමාවම හඳුන්ව ගත්තට සමාජීය අතින් ගැමියන්ට සමානයි. චින්තනයේ වැඩි වෙනසක් නැහැ. ඕන නම් එක පිරිසක් ඉරිදා පොළෙන් බඩු ගද්දි අනිත් පිරිස ෆුඩ් සිටියෙන් බඩු ගනියි. එක පිරිසක් ‘සැලූන්’ එකෙන් කොණ්ඩේ කපද්දි අනිත් පිරිස ‘සැලෝන්’ එකෙන් කොණ්ඩේ කපයි.

ආර්ථික මට්ටමෙන් වෙනස් වුනාට ගුණදර්ම, සාරධර්ම අතින් වෙනසක් නැහැ.

අනිත් මනුස්සයාගේ අයිතීන්ට ගරු කරන එක, නිදහසට ගරු කරන එක, අනිත් කෙනාගේ පුද්ගලික ජීවිතය තුළ තමාට තියෙන සීමාව වගේ මූලික සදාචාරයන් ගැන හාංකවිසියක දැනුමක් නැහැ. ඒවා රකින්න උවමනාවක් නැහැ. තේරුමක් නැහැ.

නම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන කම්පැනියක වැඩ කලාට, ටයි පොලු දාගෙන හිටියට, දවස තිස්සේ මූණ පුරා මේක් අප් උලාගෙන පුකවල් හිර වෙන්න කලිසම් ඇඳං හිටියට ඇතුලාන්තයෙන් මේ අය බහුතරයක් හැසිරෙන්නේ “ඊයා ගොඩේඩේඩේ” ගැමියො වගේ. නූතනත්වය කියන තමාට නොතේරෙන පරිසරයකට අත ඇරලා දාපුවම ඒ වෙනස එක්ක කටයුතු කරන්න ඕන විදිය හිතා ගන්න බැරි “ඊයා ගොඩේඩේඩේ” ගැමියො ටිකක් වගේ.

ඔව්.. මේ කතා කරන්නෙ ඕපාදූප කියන දේ ගැන.. අනිත් මනුස්සයාගේ පුද්ගලික අවකාශයට බලෙන් රිංගලා ඒකෙන් ආතල් එකක් ගන්න එක ගැන

“…අරයා මෙයා එක්ක නිදාගන්න එක..මෙයා අරයා එක්ක කලින් යාළු වෙලා හිටිය එක.. වැඩ ඇරිලා අරයා මෙයාගේ කාර් එකට නැග්ග එක… අරයා යාලු වෙලා ඉඳල තියෙන කොල්ලො ගාන.. අරයාගේ පවුලේ ප්‍රශ්න.. අරයා ගේ සායේ කොට.. බ්ලවුස් එකේ දිග.. විදලා තියෙන කරාබු ගාන.. ටැටූ ගහල තියෙන ගාන සහ තැන්…”

ටයි පොලු දාගත්ත නූතන අබිලිංලා සහ දයාවතීලා ගේ දිනචරියාවේ ප්‍රධානම කොටසක් වෙලා තියෙන්නේ අනෙකාගේ පුද්ගලිකත්වයට බලෙන් හොට දාලා ඒ රහස් කාමර වල තියෙන දේ බලලා අනිත් අයට කියලා වින්දනයක් ලබන එක.

කොච්චර ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියත් ඒ සෝ කෝල්ඩ් ගොඩේ කම නැති කරන්න බැරි වෙලා තියෙනව.

මඩේ ළගින ඌරෙක් ලෝකෙම තියෙන කුණු වලින් රසයක් විඳිනව වගේ මේ පිරිසත් අනුන්ගේ ජීවිත වල තියෙන කුණුවලින් රසයක් විඳිනව.

ටයිපොලු දාගෙන.. මේකප් උලාගෙන අනිත් මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත වලට එබිකම් කරල ඒ අයගෙ පුද්ගලිකත්වය තමාගෙ වටිනාකම් වලින් මැනල තැන් තැන් වල එක එක්කෙනා එක්ක කියවන එක තරම් ආතල් එකක් මේ මිනිස්සුන්ට තවත් නැහැ.

කොච්ච්චරම උත්සාහ කලත් කූඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියන කතාවෙ වගේ බාහිර පෙනුමෙන්, යන වාහනයෙන්, පාවිච්චි කරන ෆෝන් එකෙන්, ගෙදර ඉන්නා බල්ලාගේ වර්ගයෙන් කොච්චර නූතන වුනත් ඒ අයගේ මනස අස්සේ තවම ජීවත් වෙන සමාජීය වශයෙන් “ඊයා ගොඩේඩේඩේ” ගැමියාව පාලනය කරන්න ඒ නූතනත්වයට නොහැකි වෙලා තියෙනවා.

මේ අය කොච්චර පොෂ් වෙන්න හැදුවත්.. නූතන වෙන්න හැදුවත්.. ඔලු අස්සේ හිර වෙලා ඉන්නෙ ඔහොම සතෙක්. මේ අයව පොෂ් කියල හඳුන්වනවට වඩා ගැලපෙන්නෙ “පොෂ් ගොඩයො” කියල.. එහෙම නැත්තම් “ඉන්ටර්නැෂනල් ගොඩයො” කියල හඳුන්වන එක..

බුදුපිළිමේ බලේ

අපේ ගමේ පන්සලට පොඩ්ඩක් එහායින් පොරවල් සෙට් එකක් පටන් ගත්තා යාතිකා මධ්‍යස්තානයක්.

අර යොහෝවාද මොකක්ද කියන්නෙ. අන්න එහෙම කට්ටියක්. (දැන් මගෙන් අහන්න එපා ඇයි උන් ඔතනම ඕක පටන් ගත්තෙ කියල. වැස්සකටවත් පන්සලකට පල්ලියකට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්චි මට ඕවා කොහෙ තිබ්බත් එකයි)

දවසින් දවස ඕකට එකා දෙන්නා ගානේ සෙනඟ වැඩිවෙන්න ගත්තා ගමේ අයට නොදැනිම.

මාසයක් දෙකක් යද්දි පූජාවට, යාතිකා සීන් වලට එහෙම සහභාගිවෙන්න සෑහෙන පිරිසක් එක් රොක් වුනා එතැනට. 

පන්සලේ දායක සභාව ප්‍රමුඛ ගමේ ඈයොන්ට මේක බලන් ඉද්දි ඉතින් ඇහේ කටු අනින්නාවගේ

“ගමේ කවදාවත් සිද්ද වුන දේවල්ද මේ වෙන්නේ?”

කෝමෙන් කෝම හරි බෞද්ධ ඇත්තො ටික එකතු වෙලා මාර ගේමක් දුන්නා මේක වහලා දාන්න. හරි ගියේ නෑ.

ගහන්න තියෙන හැම ගැටේම ගහලා අන්තිමට හරිනොගිය පාර කට්ටිය එකතුවෙලා කරන්න තීරණය කලා නියම වැඩක්,

හරියටම යාතිකා මධ්‍යස්ථානයට අඩි විස්සක් විතර එහායින් වංගුවේ ඉන්දුවා වීදුරුකූඩුවකින් වට කරපු චූටි බුදු පිළිමයක් !

“ගේම නං ගේම”

මම අහලා තියෙනවා බල්ලෝ තමාගේ ඒරියා එක සලකුණු කරන්න ඒ ඒරියා එක වටේට චූ කරනව කියල. 

මේක ඒ සීන් ඒකේ හොඳම එක.

තොපි යාතිකා කලාට කමක් නෑ. ඒත් මතක තියා ගනියව් මේ ඒරියා එක තාම අපේ ..කියන මැසේජ් එකයි දෙන්නේ ඒ බුදු පිළිමයෙන්

බලන්න, බැතිමතුන්ගේ හිතේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව වඩවනවට අමතරව තව කොච්චර නම් දේවල් බුදු පිළිමයකට කරන්න පුළුවන්ද කියල..

බුදුපිළිමේ බලේ තමා බලේ..!

උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ

මම ඉතින් එදා ඉඳලම හැමෝමම එක්ක විහිලුවෙන් තහළුවෙන්, උදව් පදව් කරගෙන, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න නිසා හැමෝම වගේ මට කැමතියි (සභාවේ සිනා). වැඩ කරන තැන වුනත් කොහෙදි වුනත් තැන හැමෝ එක්කම පුළුවන් තරම් සුහදව තමා ඉන්නෙ (සභාවේ තදින් සිනා).
හැබැයි අතේ දුරින් !
කෝමෙන් කෝම හරි මම ඔහොම වැඩ කරගෙන ඉද්දි ආවා අලුත් ලොකු බොසෙක් (මගේ බොසාගේ බොස්). බොසෙක් කිව්වට බොසෙක්ම නෙමේ බොසියක්.
ගෑණු අය එක්ක වැඩ කරන එක අමාරුයි කියල මගේ තියෙන පොලිටිකලි ඉන්කරෙක්ට් අදහස නිසා බොසිය එක්ක ටිකක් පරිස්සමින් වැඩ කරන්න හිතා ගත්තේ හිතලම නෙමේ, ඉබේමයි. (පොලිටිකලි ඉන්කරෙක්ට් කතාවක් තමා, ඒත් ඒක මගේ අත්දැකීම.. එනිසා ඒක එහෙමය කියලා හිතාගෙන වැඩකරන එක ඇඟට ගුණයි මට..)
කෝමෙන් කෝම හරි මාසයක් දෙකක් ගත වුනා.
මෙහෙම වැඩ කරගෙන කරගෙන ඉද්දි මෙන්න යකෝ එකදවසක් එකපාරම අලුත් බොසිය ඇවිත් මගෙ ඇඟට ගොඩවුනේ නැතෑ හෙණ ගහන්නා වගේ !
නෑ නෑ.. ඇඟට ගොඩ වුනා කිව්වට, එහෙම ගොඩවිල්ලක් නෙමේ.. මෙතන ඇඟට ගොඩ වුනා කිව්වේ බැණගෙන බැණගෙන බැණගෙන යන එකට
කොච්චර පොර ටෝක් දුන්නත් ඔක්කොම පොර ටෝක් වලට කෙළවෙලා කුඩු කේඩු වෙලා නන්නත්තාර වෙලා පොරත්වයේ හුලං යන්නේ වැඩ කරන තැන බොසා (බොසිය) ඉස්සරහ කියලා කතාවක් තියෙනවනෙ.. ඉතින් ඒ කතාව හොඳට දන්න මිසා මමත් ගාණක් නැතුව කියන දේ අහන් හිටියා දහයට ගනින්න දන්නෙ නැති පූස් පැටියා වගේ
නොකල වැරැද්දකට වුනත් බොසා (බොසී) බනිද්දි නිශ්ශබ්දව අහන් ඉන්න එකයි හොඳම ! (කතා කරන්න ගියොත් තවත් මලපනිනව. බැලන්ස් කරගන්න පුළුවන් නම් පස්සේ කරගන්න බැරියැ.)
බැණුම අස්සේ බොසිය රෙකෝර්ඩින් එක වගේ කියපු එක තමා
“මෙයා මට රෙස්පෙක්ට් කරන්නේ නෑ, මෙයා මට රෙස්පෙක්ට් කරන්නේ නෑ” කියන එක. (බැන්නා කිව්වට එතන වුනේ මගේ නරක ගතිය ගැන මගේ බොස්ට කීමක්)
අනේ ඉතින් පශ්චාත්භාගය ඉරාගෙන මම වැඩ කරන හැටි දන්න මගේ බොසා කිව්වේ “පරිස්සමින් වැඩ කරගෙන පලයන් මචන්” කියල.
ඔව්, ඌ මට මචන් කියල කියන්නේ. ඌ එල කොල්ලෙක් !
අනික, මම වැරැද්දක් කරල නැත්නම්, මගෙ වැඩ හොඳයි නම්.. පරිස්සම් වෙයන් කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද?
පස්සේ පස්සේ ආරංචි වුනා අලුත් බොසිය දෙතුන් දෙනෙක් ගෙන් අහල තියෙනවලු මම කොහොම කෙනෙක්ද කියල. මගේ වැඩ ගැන නෙමේ, “මම” ගැන. මගේ ඇටිටියුඩ් ද කියලා ඇහැව්වලු, දෙතුන් දෙනෙක්ගෙන්ම
මම එයාට රෙස්පෙක්ට් කරන්නේ නෑ… මගේ ඇටිටියුඩ්..
පැය ගාණක බර කල්පනාවක් කරලා මමතුමා තේරුම් ගත්තා මගේ අවුල. මමතුමා (නිකරුනේ) බැණුම් අහපු හේතුව.
හේතුව තමා මම වෙන උන් වගේ බොසිය එක්ක කතා කරද්දි දෙකට නැමෙන්නේ නැති එක. බයෙන් කතා කරන්නේ නැති එක. ගොත ගහන්නේ නැති එක.. කෙළින් කතාකරන එක..
ඉතින් ඒක වැරැද්දක් නේන්නම් !
බොසා ඉදිරියේ දෙකට නැමෙන එක අනිවාර්‍යක් නොවැ..
එදා ඉඳල මම බොසිය ගෙන් ඈත් වෙලා ෆුල් ඩිෆෙන්සිව් ගගහා ජාමේ බේරගෙන හිටියා පුළු පුළුවන් විදියට.
ඉතින් මේම මේම කාලය ගත වෙද්දි අපේ ඔෆීසියට ආවා අලුත් කොල්ලෙක්. මගෙම රෑන්ක් එකට. මූ කැනඩාවේ අවුරුදු ගාණක් ඉඳලා ආපු බුවෙක්. සිංහලත් බෑ බෑ වගේ (බෑ කියන්නේ ඇත්තටම බෑ.. බොරු බැරි බැරියාව නෙමේ).. කඩ්ඩේ ඇක්සොන්ට් එක සුද්දෙක්ම වගේ. කතා කරද්දි අහන්න ආසයි.
ඉතින් ඔෆීසියේ පොර මූ. හැමෝම මූට ආසයි මට වගේම (සභාවේ සිනා)
මමයි මූයි පළවෙනි දවසෙම සෙට් වුනා.. මොකද මූත් මම වගේම සිගරට් එකක් නිමෙද්දි තව එකක් පත්තු කරන ජාතියේ එකෙක් නිසා. මූ ආව දවසේ ඉඳලා හිස් වෙලා තිබ්බ සිගරට් පාට්නර් වේකන්සිය පිරුනේ මූ නිසා.
දැන් අර මට සද්දයක් දාපු බොසිය ඉන්නෙ. බොසියත් මූ එක්ක ෆිට්. ෆිට් කියන්නේ නිකම්ම නිකන් නෙමේ, බුදු ෆිට් !
නමුත් මූ බොසිය එක්ක කතා කරන්නේ මා එක්ක කතා කරන විදියටමයි. මා එක්ක කතා කරද්දියි, බොසිය එක්ක කතා කරද්දියි මුගේ භාෂාවෙවත් ඇක්සන්ට් එකේවත් බොඩි ලැන්ග්වේජ් එකේවත් කිසිම වෙනසක් නෑ.
බොසියටත් කිසිම ගාණක් නෑ වගේ. ඔව් ඔව් හත්තිලව්වේ අර මට බැණපු බොසියම තමා..
කියන්න අමතක වුනා, අපේ බොසිය එයා යටතේ ඉන්න අයට කොච්චර පාර්ට් එක දැම්මත් එයාට උඩින් ඉන්න ලොකුම ලොක්කෝ ආවාම දෙන දිවිල්ල බලන්න ලැජ්ජයි. අම්මපා !
මගේ බොසී ලොකු බොසාලට නැවෙන නිසා එයා හිතන් ඇති මමත් එයාට නැවෙයි කියලා.
හහ් මං අහුවෙයි ඕවට !

අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ

බටහිර ටෙලි නාට්‍යය..
Breaking Bad,
Game of Thrones,

House of Cards,

කොච්චර හොඳ වුනත් අපෙන් සෑහෙන ඈතයි..
අපේ සිරි ලාංකික බොක්කට වදින්නේ නෑ
ඉංග්රීසි කතා හැමදාම බලල බලල එපා වෙලා. ආසාවට නෑනෙ බලන්න ලංකාවෙ හදපු ටෙලිනාට්‍යක්
එදිනෙදා දකින හමුවන ජීවිත දැනන විදියට හදාගන්න බැරි දැන් ඉන්න නිරාමාණකරුවන් ගැන දැනෙන්නේ කේන්තියකටත් වඩා දුකක්
ඒ වුනාට ඉන්ටර්විව් වලට ආවම නම් ඩිරෙක්ටර්ලා දෙන ටෝක්ස් තේරුම් ගන්න කලාව ගැන උපාධියක් තියෙන්න ඕනෑය කියල හිතෙනව..
වැඩ අරෙහෙම වුනාට කතාව ඒ තරම්ම බරපතලයි
අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ..
ඒකට ඒකාලේ..!
ගියා යූ ටියුබ්; කෝකටත් තෛලය, කෝකටත් විසඳුම ඕකනෙ
“අසල් වැසියෝ”
බැලුවා එක දිගට.. හිනා වුනා හොඳට
දැනුනා බොක්කටම
ඊළඟට මොකක්ද..?
තුන් හතර පාරක්ම බැලුව නිසා දඬුබස්නාමානය ඕන නෑ
“අකාල සන්ධ්‍යයා”
බල තණ්හාවෙන් පිරුනු අතීතයකින් පැනලා යන්න පොර බදින නාගසිංහ ගේ කතාව?
ටීවී චැනල් දහයක් පහළවක් තියාගෙන නාට්‍යය බලන්න යූ ටියුබ් එන්න වෙලා
ඔන්න ඕකයි තත්වෙ..

ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම

කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්.
මම ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ නමවත් දන්නෙ නෑ.
මේක විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික…නෙමේ.. අන්තර්ජාල යාලුකමක්.
කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්.
හැමදාම උගෙයි මගෙයි කතාවල් (හෙවත් චැට්) ඉවර වෙන විදියේ පොඩි අවුලක් තිබ්බා. අවුල ඌට නෙමෙයි, මට.
අවුල තේරෙයි ඒ ඉවර වෙන විදිය කියෙව්වොත්,
මම – අඩෝ, මම කැපෙනවා එහෙනම්.
ඌ – එල මචෝ. පස්සෙ වෙලාවක චැටකට සෙට් වෙමු.
මම- අම්බානට බඩිගිනියි බන්, කෑවෙත් නෑ තාම. මම ගියා ඒනම්
ඌ – පල පල.. ගිහින් කාපන්.. ගෑණි උයපු කෑම
මම – ගෑණි නෙමේ යකෝ.. අම්මා.. අද මහ ගෙදර ඉන්නෙ
ඌ – කවුරු වුනත් එකයි යකෝ. කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ ගෑණු උයන කෑම. ඇයි උඹට උඹ කන ඒවා උයාගන්න බැයිද?
මම – පල *ත්තෝ යන්න. මම කැපුනා. බඩිගිනියි
ඌ – එල. පස්සෙ සෙට් වෙමු.
ඔන්න ඔය වගේ දෙබසකිනුයි කතාබහ අහවර වෙන්නේ හැමදාම වගේ.
“ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම”
අවාසනාවට ඌ කියන්නේ ඇත්ත කතාවක්. ඇයි මට මම කන කෑම උයාගෙන කන්න බැරි? අඩුම ගානේ නෝනා මහත්තයා එක්ක කෑම උයන වැඩේ බෙදාගෙනවත් කරන්න බැරි?
මොකද ගෙදර ජීවත් වෙන්නේ අපි දෙන්නම.. අනිත් වැඩ කරන්නේත් අපි දෙන්නම.. ඇයි උයන එක විතරක් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්නේ?
අර මූසලයා මගේ ඔලුවට දාපු කතාව දැන් මාස ගානක් තිස්සේ ඔලුවේ වැඩ..
කෝමෙන් කෝම හරි අද ආවා වයිපරේ වැඩ ඇරිලා ගෙදර.. කිසි දවසක තේකක්වත් හදලා නැති, හදන්න දන්නේත් නැති මම තීරණය කලා වයිපරෙත් එක්ක උයන්න, එකට.. දෙන්නම එකතු වෙලා..
පැයක් විතර ගියා. දෙන්නට කන්න ජාති හතරයි බතුයි.
අද අර මගේ කාලකණ්ණි (හො‍ඳම) යාලුවට පිං සිද්ධ වෙන්න තිබ්බා උයන්න පුරුදු වෙන එකේ පළවෙනි පියවර.
මටත් උයලා ඉවර වුනයින් පස්සේ දැනුනේ මාර සතුටක්.
අර ඇමරිකල් පිල්ම් වල පෙන්නන්නේ ජීවිතේ පලවෙනි පාරට ස්කයි ඩයිවින් කරලා පොළවට ලෑන්ඩ් කරපුවාම ඒ මිනිස්සු සතුටින් ඉපිළෙන හැටි..
අන්න ඒ වගේ සතුටක්.. ජීවිතේ පළවෙනි පාරට.. ගෙදරම තිබ්බ කුස්සියට ගිහින්.. මගේ ප්‍රියම්භිකාවියට උයන්න උදව් කල සතුට..
සතුට හොය හොය හතර අතේ දිව්වට ගෙදර කුස්සියෙත් තිබිලනේ යකෝ සතුට .
මෙච්චර කල් මම නොදැක්කට..
ඔව් ඉතින් දකින්න කුස්සිය පැත්ත පලාතෙ යන්න එපායැ.
මේ වගේ යාලුවෝ ආශ්‍රය කලාම වෙන්නේ මේ වගේ අනපේක්ෂිත දේවල් තමා. මේවා අපිට හොඳ පාඩම් !
ප/ලි – කුස්සියට ගොස් ප්‍රියම්භිකාවියට උයන්න උදව් වීම සහ ඊයේට යෙදුනු ලෝක කාන්තාදිනයද මොකක්ද අහවල් එක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සලකනු මැනවි.