
මගේ ළඟම මිතුරියක් ඇයගේ සැමියාගෙන් දික්කසාද වෙන්න තීරණය කරල තියෙන බව දැනගන්නට ලැබුනේ මීට මාසයකට විතර කලින්.
මේ මම සහ ඇය අතර දින කීපයකට කලින් සිදුවෙච්චි කතාබහක්,
“දැන් මොකද තත්වෙ? උඹ අවුලක් නැතුව හොඳින් ඉන්නව නේ?”
“ඔව් බං, ශේප් එකේ ඉන්නව. ඉක්මනටම මේ ප්‍රශ්නෙ විසඳගන්නයි මට ඕන. ලෝයර් හම්බෙලා විස්තර ටික කතා කරගත්තා. වැඩ ටික ලෑස්ති කරගත්තයින් පස්සෙ සතියකින් විතර ඩිවෝස් එක දානවා”
“හ්ම්.. ඒක හොඳයි.. කල් අරින්නැතුව ඉක්මනටම ඕක කරගන්න බලහං”
“මහේෂ්ගෙන් මාර කරදරයක් අනේ තියෙන්නෙ.. මගේ ෆෝන් එකට එකදිගට කෝල් ගන්නවයි මැසේජ් කරනවයි. එයාට සමාව දෙන්නලු. තව චාන්ස් එකක් දීලා බලන්නලු. මැසේජ් වල මට වඳින්නැති ටික විතරයි. මම ආන්සර් කරන්නෙත් නෑ, රිප්ලයි කරන්නෙත් නෑ. අපේ අම්මලටයි අක්කලටයි එකදිගට කෝල් කරනවලු. දැන් නම් වදයක් වෙලා තියෙන්නෙ”
“ඉතින් සිම් එක මාරු කරහංකො. ප්‍රශ්නෙ ඉවරයිනෙ.”
“සිම් එක මාරු කරන එක නම් කරන්න පුලුවන්. ඒත් මම මාරු කරන්නෑ”
“ඇයි ඒ?”
“බෑ අනේ”
“මහේෂ්ව ෆේස් බුක් එකෙන් අයින් කලානෙ?”
“ඒත් නෑ”
“ඇයි අයින් නොකලෙ?”
“මට පෙන්නන්න ඕන ඌටයි උගේ එවුන්ටයි මම ඌ නැතුව හොඳින් ඉන්නව කියල. මම ගිය සතියෙ ගිය ට්‍රිප් එකේ ෆොටෝස් දැම්මා ඌට පේන්න. මම කොටට ඇඳන් ගියේ ට්‍රිප් එකම. මහේෂ් කැමති නෑනෙ මම කොටට අඳිනවට. මම ප්ලෑන් කරන් ඉන්නෙ ලබන මාසෙ බැංකොක් යන්න තව යාලුවො හතර දෙනෙක් එක්ක. ඒකෙ ෆොටෝසුත් දානවා ඕකට පේන්න”
“ඇයි එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ?”
“මම කිව්වෙ.. මට ඕන ඌට රිද්දන්න?”
“ඇයි ඒ ඌට රිද්දන්නෙ? ඔයිට වඩා හොඳ නැද්ද ඌව අල්ලගෙන ඇවිත් අතපය ටික බැඳලා දාලා කට්ටකින් ඇනලා ඇනලා වදදීලා මැරුවනම්.. එතකොට ගොඩාක් රිදෙයිනෙ.. ඒකනෙ උඹට වෙන්න ඕන?”
“නෑ….. එහෙම නෙමේ..”
“උඹ ඌ උයපු කෑම කෑවෙ නැද්ද? ඌ එක්ක තුරුල් වෙලා නිදාගත්තෙ නැද්ද? එහෙම උඹත් එක්ක කාලයක් ජීවිතය බෙදාගත්ත මනුස්සයට රිද්දල උඹ බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආතල් එකක්ද? තරහ වෙන්න එපා මචන් කිව්වට. උඹ දැන් ඌ විඳවනව බලාගෙන උඹ පස්සෙ බල්ලෙක් වගේ එනව බලාගෙන ගන්නෙ මහ අමන ආතල් එකක්..”
“උඹ කියන්නෙ දැන් මං මොකක්ද කරන්න ඕන?”
“මම උඹට කරන්න ඕන දේ කියනව නෙමේ. උඹ බබෙක් නෙමේනෙ. මං කිව්වෙ උඹ දැන් කරන දේ ගැන මට හිතෙන දේ.. උඹ ඌව අත ඇරියා කිව්වට උඹ ඌව අත අරින්න හිතලවත් නෑ. උඹ තාම හිතන්නෙ ඌ ගැන. උඹ මේකප් දාගෙන සෙල්ෆි ගහන්නෙ ඌට පේන්න. ඒ ෆොටෝ ෆේස්බුක් දාන එක ගැන හිත හිත. උඹ ට්‍රිප් යන්නෙ ඌට රිද්දන්න. ඇඳුම් අඳින්නෙ ඌට රිද්දන්න. කොටින්ම උඹෙ ඔලුවෙ දවසම ඉන්නෙ ඌ. ඉතින් කොහොමද උඹ කියන්නෙ උඹ ඌව අත ඇරියා කියල?”
මගේ මිතුරිය තොල හපාගෙන ඇස් වල එකතු වෙමින් ඇති කඳුලු එළියට නොපෙන්වීමට මහත් උත්සාහයක් දරමින් සිටින බව දුටු මම කතාව නැවතුවෙමි.
මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.
යම් දිනකදී අදහස්, සිතුම් පැතුම් සහ අවශ්‍යතා වල නොගැලපීම් නිසා ඔබේ ප්‍රියයාට සමුදීමට තීරණය කිරීම වරදක් නොවේ. දෙදෙනාගෙන් කෙනෙක්ට එසේ දැනෙනවා නම් වෙන්වීමට තීරණය කිරීම දෙදෙනාගේම අනාගතය වෙනුවෙන් ගත හැකි සුදුසුම තීරණය වන අවස්ථා බොහෝ ඇත. මෙවන් සිදුවීම් වලින් ඉස්මතු වන අවලස්සනම දෙය වන්නේ වෙන් වීම නොවේ, වෙන් වෙන ආකාරයයි.
තමන්ගේ ජීවිතයේ එක් යුගයක තමන්ගේ සෙවනැල්ල මෙන් හිඳ.. තමන් හා සමඟ සතුට, කඳුල බෙදාගෙන.. තමන්ගේ දිවියට අරුතක් එක් කරමින් මුළු ලොවටම වඩා තමන්ගේ ළඟින්ම සිටි තමන්ගේ ප්‍රියයාගෙන් කුමක් හෝ අවාසනාවන්ත හේතු සමුදායක් මුල් කරගෙන වෙන්වී යාමට තීරණය කිරීමෙන් පසු,
ඔහුගේ/ඇයගේ කඳුළු වලින් තමන්ට සතුටක් දැනෙනවා නම්..ඔහුගේ/ඇයගේ වේදනාවෙන් තමන්ට තෘප්තියක් ලැබෙනවා නම්..
තමන් කාලයක් විඳි ඒ අත්දැකීම් වල, හසරැල් වල, හෙලූ කඳුළු වල වටිනාකමක් තිබේද? කාලයක් ආදරය කල දෙදෙනෙක් වෙන් වූ පමණින් ඒ අත්දැකීම් වල වටිනාකම අලු දූලි වී නැතිවී යායුතුද?
මෙවන් මිනිසුන් තම ජීවිත පුරා පවත්වාගන්නා මානුෂීය සබඳතා වල තේරුම මොකක්ද?
බොහෝ ආදරවන්තයන් ජීවත් වෙන්නේ තමාගේ ප්‍රියයාට තමන් සතු දේපලකට මෙන් සලකමින් ඒ මනුෂ්‍යයාව අයිතිකරගෙන ඔහුව/ඇයව පාලනය කිරීමේ අරගලයකය. ඔහුව/ඇයව තමන්ට රිසිසේ වෙනස් කරගන්නට දතකමින් ඔහු/ඇය තුළින් තමන්ගේ මනසේ සිටින කොහේවත් නැති මනුස්සයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. තමන්ගේ සිතුම් පැතුම් අනුව නැටවෙන පඹයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. ඒ මනුෂ්‍යයා තුළින් තමන්ගේ අණට කීකරු වන බලු පැටියෙක් තනා ගැනීමේ අරගලයකය.
බොහෝ දෙනා ආදරය කරනවා කියා හඳුන්වන්නේම ඒ අරගලයයි. එකිනෙකාව පාගා ගැනීමේ සටනයි.
දෙපාර්ශවයෙන්ම සිදුවන ඔය අරගලය දෙදෙනාම හෝ එක් අයෙක් පරාජය වූ පසු තමන්ගේ ප්‍රියයාව ලෝකයේ සිටිනා පහත්ම මනුෂ්‍යයෙක් සේ සලකා ඔහුව තමන් විනිශ්චකාරයා වන උසාවියක චූදිතයා බවට පත් කොට ඔහුගෙන් පළිගැනීමේ ආශාවෙන් ඔහුව වේදනාවට පත් කිරමින් තිරිසනුන් සේ හැසිරීම ‘වෙන් වීම’ ලෙස හඳුන්වයි.
ඔය අන්ත දෙක අතර මැද තැනක ඇති මානුෂීය සබඳතාවයක් යනු ඔවුනට නොවැටහෙන අමුතු මොකක්දෝ එකකි.
තමන්ගේ නොගැලපීම් තේරුම්ගෙන, වෛර කිරීම වෙනුවට දරා ගැනීම තුළින් මනුස්සයන් සේ එකිනෙකාට සමුදීමටවත් නොහැකි නම් එවන් ආදරයක ඇති වටිනාකම කුමක්ද?
තමන්ගේ ප්‍රියයාට තමන්ගෙන් තොර පැවැත්මක් ඇති ස්වාධීන මනුස්සයෙකුට සේ සලකන්න. සමුදීමේදී තමන්ගේ ප්‍රියයා හා සමඟ ගෞරවාන්විත මනුස්සයෙකු සේ කටයුතු කරන්න.
තමන් හා සමඟ කාලාන්තරයක් එක්ව හිඳ තමන්ගේ ජීවිතයට අර්ථයක් එක් කල මනුස්සයෙකුට, මනුස්සයෙකු සේ සමුදීමට තරම් පරිනත බවක් නැති මිනිසුන් අතර ඇතිවන මානුෂීය සබඳතා තේරුම් ගැනීමට එවන් තිරිසන් ඇස් වලින් ලෝකය දකින තිරිසනකු හැර මානුෂීය ඇසින් ලෝකය දකින මනුස්සයෙකුට නම් නොහැකිය.
මගේ මිතුරියව ඊයේ දිනයේදී මට නැවත හමුවිය.
ඇය තවමත් ඇය අතහැරියා යයි කියන ඇයගේ සැමියාව ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කොට නැත.
මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.
සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/
LikeLiked by 1 person
ඇත්තම ඔහොම වෙනවා. පිරිමිත් එහෙමයි. අත ඇරපු කෙල්ලට පේන්න වෙන කෙල්ලෝ එක්ක ඉන්න පින්තුර දානවා. අනික අපි අත අරිනවා කීවත් එහෙමත් කරන්න අමාරුයි. මට තවමත් මතක් වෙනවා එහෙම දෙදෙනාගේම යහපතට අයින් වෙන්න ගත්තු තීරණයක්. ප්‍රශ්නේ වුනේ අවුරුදු කිහිපයකට පස්සේ එයා අයිත් කතා කලා.
LikeLiked by 1 person
ආයෙත් කතා කරද්දි මිතුරන් විදියට කතාබහ කරන්න පුලුවන් නම් හොඳයි. ඒත් ඒක කියන තරම් ලේසි වැඩක් නම් නෙමේ. මොනවා වුනත් වෙන් වුනාය කියලා අනෙක් කෙනාගේ හිත රිදවන්න, පළිගන්න හදන්නේ නැතුව ඔහුට/ඇයට හොඳ ජීවිතයකට සුභ පතන්න පුලුවන් නම් ඒකම ලොකු දෙයක්
LikeLiked by 1 person
කොච්චියා නම් දොරක් වැසූ පසු එහි යතුර පවා විසි කර දමන්නේය.
LikeLiked by 1 person
ඒක වඩා හොඳයි මේ වගේ කතන්දර වලදි නම් 😉
LikeLiked by 1 person
ඇත්ත කතාවක් …
අපිට පුලුවන් නම් හැම වෙලේම සමාව දෙන්න, එතකොට විවාහය රැකිලා තියේවී.. හැමෝම 100% වැරදි නොකරන අය නෙවෙයිනේ.. ජීවිතය කියන්නේ පිස්සුවක් ඒකදිගේ අපිට හිතෙන හිතෙන විදියට යනවා… අපි හිතන්නේ අපි සතුටින් කියලා. ඒත් අපිම දුකින් ඉන්නවා වගේ මේක කියෙව්වම,
LikeLiked by 2 people
ජීවිතය සහ මානුෂීය සබඳතා කියන්නේ පුදුම සංකීර්ණ දේවල්. පුලුවන් තරම් ලිහාගන්න තමයි ඉතින් බලන්න ඕන
LikeLiked by 1 person