(නො)හිතන මිනිස්සු

මීට දවස් දෙක තුනකට කලින් මිතුරකුට “හිතන මනුස්සයෙක්” වෙන එකේ ප්‍රයෝජනය මොකක්ද කියලා අමුතුවෙන් පැහැදිළි කරන්න වුනා. ඔහුට අනුව එදිනෙදා ජීවිතයට සෘජු බලපෑමක් නැහැයි කියල බැලූ බැල්මට පේන දේවල් ගැන හොයන්න යන එක තේරුමක් නැති කාලය නාස්ති කිරීමක්.

මානසිකව සැනසිල්ලේ ඉන්න තත්වයන් යටතේ ඉන්න මිනිස්සු හිතන්න පෙළඹෙනව වැඩියි. බුදුහාමුදුරුවො පවා කියල තියෙනවලුනෙ බණ කියන්න කලින් බණ අහන්න එන මනුස්සයාට කන්න දෙන්න කියලා. ඒකෙන් කියවෙන්නෙ හිතන්න කලින් බඩ පිරිලා තියෙන එක වැදගත්ය වගේ කතාවක්. ඒක හරි. දිනපතා එකිනෙකා පරයන ජීවන අරගලයක යෙදිල ඉන්න මිනිස්සු ලෝකය ගැන, ජීවිතය ගැන දාර්ශනික ගැටළු ගැන කල්පනා කරනවා තියා තමන් ඉන්න තත්වය ගැනවත් නැවතිලා හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ තත්වයක ඉන්න මිනිස්සු ප්‍රයෝජනවත් දේවල් කියල හඳුන්වන්නේ මාසෙ අන්තිමට ලැබෙන පඩිය කීයකින් හරි වැඩි කරගන්න පුළුවන් වෙන විදියේ වැඩක්, තමන් ගොඩගහගන්න දඟලන බඩුමල්ල (වත්කම්) වැඩි කරගන්න පුළුවන් විදියේ වැඩක්, රස්සාව කරන තැන අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් විදියේ වැඩක් වගේ දේවල්. ඉන් එහාට අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා ජීවත් වෙන සමාජය, සංස්කෘතිය, දේශපාලනය, ආගම ගැන හොයල බලනව තියා පොතක් පතක්, පත්තරයක්වත් කියවන්න වෙලාවක් නැහැ. ඒ අය ගෙවන ජීවිත ඇතුලෙ ඒ වගේ දේවල් වෙනුවෙන් නවතින්න උවමනාවක් නිර්මාණය වෙලා නැහැ. ඒකයි “මොකක්ද බං හිතන එකෙන් ඇති වැඩේ?”, “දැන් උඹ ඕව ගැන දැනගත්තා කියල උඹ මොනව කරන්නද?” වගේ කතා අහන්න ලැබෙන්නෙ.

මේක මට හිතෙන විදියට නම් මහා ඛේදවාචකයක්. උදාහරණයකට මේ වචන ලියන මම සහ කියවන ඔබ සම්බන්ධ වෙලා ලාංකීය සයිබර් අවකාශය හරහා ඉතාම සීමිත සංවාද කවයක් නිර්මාණය කරගෙන ඒ තුල අපි කිහිපදෙනා අදහස් බෙදාගත්තට මේ හැසිරීම පවා තේරුම් ගන්න බැරි අතිමහත් බහුතරයක් තමා අනෙක් ෆේස් බුක් භාවිතා කරන්නන් නියෝජනය කරන්නේ. ඒ අය බුකියට එන්නේ තනිකරම මාර්ක් සකර්බර්ග් මුලින් ෆේස් බුක් හදද්දි ඉලක්ක කරපු දේ සපුරා ගන්නම විතරයි. (යාලුවෝ එක්ක චැට් කරන්න, කන බොන දේවල් වල යන එන තැන් වල ෆොටෝ අරන් අප්ලෝඩ් කරන්න වගේ දේවල් වලට) ඉන් එහාට දෙයක් බුකිය හරහා කරන්න පුළුවන් කියල ඒ අය දන්නෙවත් නැහැ.

ලෝකයේ දියුණුය කියල හැඳින්වෙන සමාජ වලට සාපේක්ෂව අපේ රටේ intellectual discussions කියන ඒවා සිද්ධ වෙනවා බොහොම අල්පයි. එදිනෙදා ජීවිතයේදී මිනිස්සු දෙන්නෙක්ට යමක් ගැන අදහස් හුවමාරු කරගන්න තරම් වෙලාවක් ලැබුනු විටත් ගොඩක් විට ඒ අය ඒ කාලය යොදාගන්නේ කාගේ හරි ඕපාදූපයක් කතා කරන්න, තමන්ගේ ප්‍රායෝගික ජීවිතය පහසු කරගන්න දෙයක් ගැන කතා කරගන්න. (උදා- කාර් එක සර්විස් කරගන්න ලාබම තැන මොකක්ද, හොඳ එළවළු ලාබෙට ගන්න තියෙන්නෙ කොහේද වගේ දේවල් ) සිස්ටම් එකේ සර්වයිව් වෙන්න මිසක් තමා කොටස් කාරයෙක් වෙලා ඉන්න සිස්ටම් එක ගැන හිතන්න, ප්‍රශ්න කරන්න පෙළඹෙන විදියට අපේ සමාජයේ මිනිස්සු නිර්මාණය වෙලා නැහැ. සහ අපේ මිනිස්සුන්ට ‘සාකච්ඡාව’ හෙවත් අදහස් හුවමාරුව කියන කාරණයේ වැදගත්කම ගැන අවබෝධයක් නැහැ. වෙනත් සමාජ වල බුද්ධිමතුන් එකතු වෙලා නොයෙකුත් මාතෘකා ගැන වාද සංවාද කරන සංස්කෘතින් ගොඬනැගිලා තියෙනවා. ඒ රටවල එවන් දේ වටා මිනිස්සු ඒකරාශී වෙනවා. එවන් අදහස් බෙදා ගැනීම් ගැන උනන්දු ප්‍රේක්ෂකයින් පිරිසක් හැම වෙලේම ඉන්නවා. ඒ මිනිස්සු ඒ අතින් ඉන්නේ දැනුම පිපාසයකින්. අපේ මිනිස්සුන්ට තවම ඒ වගේ දේවල් දිරවන්නේ නැහැ. කොටින්ම අපිට ඒවා කාලය කාදමන විකාර වැඩ. ඉඳලා හිටලා හරි අපේ සමාජයේ බුද්ධිමතුන් අතර කලාතුරකින් සිද්ධ වෙන එවැනි සාකච්ඡා, අදහස් හුවමාරු පවා ඉතාම සීමිත අවකාශයක් ඇතුලේ සිද්ධ වෙනවා මිසක් ඉන් එහාට බුද්ධි ගලනයක් සිද්ධ වෙන්නේ නැහැ.

අපේ රටේ මූලික අධ්‍යාපනය ලබල විභාග පාස් කරල පුද්ගලික අංශයේ ඉහල රැකියාවක් කරන්න තරම් වෘතිය දැනුමක් තියෙන තමාගේ ජීවිතයේ තෙවැනි දශකය ගෙවන මනුස්සයෙක්ට “හිතන” එකේ වැදගත්කම අමුතුවෙන් කියල දෙන්න වෙලා තියෙන තත්වයක් නම් තියෙන්නේ ඒක මුළු සිස්ටම් එකේම තියෙන මහා අවුලක් බව මේක කියවන්න තරම් හිතන එකේ වැදගත්කම තේරුම් අරන් ඉන්න උඹට කියල වැඩක් නැහැ. මේ කතා කියන්න ඕන හිතන එකේ, කියවන එකේ, සාකච්ඡා කරන එකේ, අදහස් හුවමාරු කරගන්න එකේ වටිනාකම තේරෙන්නේ නැති අයට. වැඩේ කියන්නේ ඒ අය මේ වගේ වචන සීයක විතර පෝස්ට් එකක්වත් කියවන්න මලාවට පෙළඹෙන්නේ නැති එක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s