පිං කරන්න එපා

22886313_1597281710335145_1413238236462095821_n
 
පින කියන සංකල්පය සමාන වෙන්නේ මනෝමූලික ගනුදෙනුවකට.
 
පින බලාගෙන යම් දෙයක් කරන කෙනා බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම එකක් දෙන්නේත් ඒ මනුස්සයාගේ බඩගින්න නිවීමේ අරමුණටත්, ඒ මනුස්සයාගේ බඩගින්න නිවෙනවා දැකීමෙන් තමා සතුටක් ලැබීමේ අරමුණකටවත් වඩා කවදා හෝ අර මනුස්සයාගෙ බඩගින්න නිවන්න නිසා තමා නැති කරගත්ත කෑම එක හරි මිල මුදල හරි වගේ දෙතුන් ගුණයක් තමන්ට ලැබේවිය කියන අදහස මත ඉඳගෙන.
 
ඕක සමාන වෙන්නේ යහපත් සිතින් කරන මානුෂීය ක්‍රියාවකට වඩා තමා වියදම් කරන ගානට වැඩි ගාණක් බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් එකක් ගන්නවා වගේ වැඩකට. සුවිප් එකේ දිනුම ගැන විශ්වාසයක් නැතුව සුවිප් විකුණන මනුස්සයා ගැන හිතලා සුවිප් එකක් ගන්න ඉතා අඩු පිරිසක් ඉන්නබව ඇත්ත. මොන අදහස ඇතුව ගත්තත් සුවිප් විකුණන මනුස්සයාට ඒකෙන් යම් ප්‍රයෝජනයක් ලැබෙන බවත් ඇත්ත. නමුත් කාරණා එහෙම වුනාය කියලා වියදම් කරන ගාන වගේ දෙතුන් ගුණයක්, සිය දහස් ගුණයක් ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් ගන්න එක ‘මානුෂීය’ ක්‍රියාවක් විදියට සාමාන්‍යෙන් හැඳින්වෙන්නේ නැහැ.
 
දැන් කෙනෙක්ට අහන්න පුළුවන් මෙහෙම.
 
“කවුරු හරි කරන වැඩකින් හොඳක් වෙනවා නම් ඌ මොන මගුල හිතන් ඕක කලත් උඹට පාන්ද?”.. කියල
 
ඇත්ත වශයෙන්ම මට පාන්වත් කිඹුල බනිස්වත් නැහැ. එහෙම නැති වෙන්නේ එහෙම කරන එකේ අවුලක් නොතිබ්බනම්. අවුලක් තියෙන නිසා ඇත්ත වශයෙන්ම මට පාන් තමයි. අවුල මොකක්ද දන්නවද?
 
ඔය පින් සීන් එකෙන් කරන්නේ නම් කරන ලද හැසිරීම් එකතුවක් දිරිමත් කිරීමක් පමණයි. පින බලාගෙන ඒ හැසිරීම් වල යෙදෙන ඈයෝ ඒවා කරන්නේ තමන්ට වාසියක් බලාගෙන මිසක තමා කරන ඒ ක්‍රියාව ගැන අවබෝධයකින් නෙමේ. මෙහෙම හිතන්න,
 
පොඩි ළමයෙක් බත් නොකන නිසා ගෝනි බිල්ලො එනවාය කියල බය කලාම ඌ බත් ටික ඉවර වෙනකල් කනවා. ඒ බය කිරිල්ලෙන් (ගෝනි බිල්ලා එනවා) යම් හැසිරීමක්(බත් කෑම) කරගන්න පුළුවන් බව ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, ඔය ළමයා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් තමන් කරන ක්‍රියා අවබෝධයක් රහිතව ගෝනි බිල්ලාට බයෙන්ම කරන්න පෙළඹෙනවා නම්. සහ ගෝනි බිල්ලෝ එනවාය කියල වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් මූව වටේ ඉන්න උන් බය කර කර උන්ට ඕන වැඩ මූට කියල කරගන්නව නම්. කොහේවත් නැති ‘ගෝනි බිල්ලා’ කියන සංකල්පය මත පදනම් වෙලා පාලනය වෙන වැඩිහිටියෙකු වෙනවා නම්.. අවුලක් නැත්තෙමත් නෑ නේද?
 
දැන් ඔය බෞද්ධ භික්ෂූන් හරි චීවරධාරීන් හරි, මොක්කු හරි ඉන්න ඔය සෙට් එක තනිකරම තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්නේ මේ පිං වෙළඳාම පදනම් කරගෙන. සරලවම කියනව නම් ඒ අය කරන්නෙ පිං වෙළඳාම. මේ අයගේ පාරිබෝගිකයන් ගණන ඉතා විශාල වීම අවුලක් නෑ වගේ පෙනුනට අවුලක් නැත්තෙමත් නෑ.
 
කඨින පිංකම්ද, පෙරහැරවල්ද, ධාතු ප්‍රදර්ශනද, පන්සල සංවර්ධනය කියලා සල්ලි එකතු කිරීම්ද, දන්සැල්ද අරවද මේවද කියල මේ හැම දේකටම පිං පෙන්නල සමාජයේ එක් පිරිසක් (භික්ෂූන්) අනෙක් පිරිසක්ව (උපාසක/උපාසිකාවන්) කඩේ යවන එක අවුලක් නෙමේද? ඒ අයව අන්දලා තමාගේ වැඩ කරගන්න එක අවුලක් නෙමේද? සරලවම කියනවා නම් රවට්ටන එක සහ රැවටෙන එක අවුලක් නෙමේද? මේවා තනිකර පිං විකුණන මුවාවෙන් කරන ජාවාරම් නෙමේද?
 
එක්තරා කාලයක් තියෙන්න ඇති මිනිස්සුන්ගෙ හැසිරීම් ගෝනි බිල්ලො පෙන්නලා බය කරල හරි මැරුනයින් පස්සෙ හම්බෙන සීනි බෝල පෙන්නල හරි පාලනය කරන එක හොඳ දෙයක් වෙච්චි. නමුත් දැන් මේ 21 වන ශතවර්ෂයේදී ඒ තත්වය වෙනස් කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු ඒ කාලවලට සාපේක්ෂව තාක්ෂණික අතින්, සදාචාරාත්මක අතින් සහ ලෝකය ගැන අවබෝධය අතින් දියුණු වෙලා ඉන්න යුගයක අවබෝධය මත පදනම් වෙලා තමන් කරන නොකරන ක්‍රියා සම්බන්ධව තීරණ ගන්න කාලය එළඹිලා තියෙනවා කියලයි මම යෝජනා කරන්නෙ.
 
අනික, තමා කරන වැඩේ ගැන අවබෝධයක් නැතුව ඔය තෑගි හෙවත් Rewards බලාගෙනම අන්ධයෝ වගේ වැඩ කරන එකේ දරුනු ප්‍රතිපල තියෙනවා. මුස්ලිම් අන්තවාදීන් “අල්ලා හුරක්බා” කියාගෙන තමාවම පුපුරවගන්නේ මැරුනයින් පස්සෙ තමාට හම්බෙන කන්‍යාවියො හැත්තෑ දෙදෙනාගේ තෑග්ග බලාපොරොත්තුවෙන්.
 
මැරුනයින් පස්සේ අහවල් එක හම්බෙනවාය කියල ඇන්දුවාම අසූචි වුනත් කන මානසිකත්වයක ඉන්න මිනිස්සුන්ගෙන් යුක්ත සමාජයක් නිර්මාණය වෙලා තියෙන එක යහපත් දෙයක් කියල කාටද තර්ක කරන්න පුළුවන්.
 
මරණින් පස්සෙ මොනව හරි හම්බෙනව කිව්වොත් මිනිස්සු දාස් ගණනින් සල්ලි දෙනවා, මල් පූජා කරනවා, දණ ගහල වඳිනවා, ගස් වටේ කැරකි කැරකි වතුර දානවා, නූල් බැඳගන්නවා, බකන් නිලාගෙන ඉන්න උන්ට හැමදාම කෑම ගිහින් දෙනවා, පහන් පත්තු කරනවා, කඳු නගිනවා, ගස් ගල් වලට වඳිනවා, ඉටිපන්දම් පත්තු කරනවා, යාතිකා කරනවා, හූ තියනවා, කුරුස එල්ලගන්නවා, … කොටින්ම දෙයියන්ගේ නම කියල කෑගහලා බෝම්බයක් බැඳගෙන තමාවම පුපුරව ගන්නවා. මේ ඇන්දවීම සහ අන්දවා ගැනීම හොඳ දෙයක්ද?
 
මෑතකදී සයිබරයේ කතාබහට ලක් වුන සිද්ධියක් ඔබට මතක ඇති.
 
ශ්‍රීපාදය වන්දනා කරන්න ගිය වන්දනාකරුවන් දාපු කුණු එකතු වෙලා ශ්‍රීපාදය ලඟ කුණු කන්දක් හැදිලා. මේ මිනිස්සු කොයි තරම් සැදැහැ සිතින් සුදු ඇඳගෙන මත්පැන් පානය නොකර කණුහරප නොකියා වන්දනා ගමනේ ගියත් මේ කරන දේ කරන්නේ තමාගේ යහපැවැත්ම ගැනවත් තමා ජීවත් වන සමාජයේ යහපැවැත්ම ගැනවත් හිතමින් නම් නෙමේ. තනිකර තමාගේ පිං අකවුන්ට් එක වැඩි කරගන්න එකේ අරමුණින්. මේ මිනිස්සු යහපත් කරගන්න හදන්නේ අපි ජීවත් වන ලෝකය නෙමේ. මැරුනයින් පස්සේ තියෙනවයි කියල වෙනකෙනෙක් කියන වෙනත් ලෝකයක් යහපත් කරගන්නයි මේ දතකන්නෙ. මේ අයට ප්‍රශ්නය ජීවිතය නෙමේ, මරණයයි මේ අය ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ. මැරුනයින් පස්සේ තමා යනවාය කියල හිතන වෙනත් ලෝකයක් දිහා බලාගෙන දඟලන මිනිස්සු මේ ලෝකය යහපත් කරන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති එක පුදුම වෙන්න කාරණාවක්ද?
 
මගේ සයිබර් මිත්‍රයෙක් කියලා තිබ්බා ඔය ගැන නියම අදහසක්. ඒ කතාවෙන් මම මේ කියන්න හදන දේ හොඳටම පැහැදිළි වේවි. (හරියටම යාලුවගේ වචන මතක නැති නිසා අදහස ලියන්නම්)
 
“ඔය ශ්‍රීපාදය ළඟ ගොඩ ගැහිල තියෙන කුණු ගොඩ අයින් කරන එකෙන් ලබන ආත්මයට මහා පිං ආනිසංස ලැබෙනවා කියල ගම් වල ප්‍රචාරයක් යැව්වොත් ගම් නියම් ගම් වලින් මිනිස්සු පොරකාගෙන ඇවිත් මේ කුණු කන්ද දිවෙන් අයින් කරලා දායි”
 
මරණින් පස්සෙ ලැබෙන බිබික්කමක් බලාගෙන තමා කියන කරන දේවල් ගැන අවබෝධයක් නැතුව වැඩ කරන එකේ අවුල ගැන මීට වඩා හොඳ උදාහරණයක් තවත් ඕනද?
 
ඇන්දිලා වැඩ කරනවට වඩා අවබෝධයෙන් වැඩ කරන තත්වයට මනුස්ස සංහතිය පා තබල තියෙන බව තේරුම් ගන්න දැන් කාලය එළඹිලා කියලයි මට හිතෙන්නෙ.
 
හිතල බලන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s