සුද්දන්ට පමණක් තේරෙන අපේ අභූත ශ්‍රී විභූතිය

images (1)

ඔය පිටරටවල සමහර සුද්දො සුද්දියො මෙහෙ ඇවිත් අපේ කෑම බීම කනවා, පෙරහැරවල් බලනවා, සරං ඇඳන් සායවල් ඇඳන් පන්සල් යනවා, අපේ රටේ තියෙන හද්ද පිටිසර ගම් වලට යනවා දකින අපේ සමහරු,

“බලනු සගයනි, අපේ දේවල වටිනාකම අපේ නොසන්ඩාලයන්ට නොතේරුනාට පරදේශ වලින් එන සුදු හමැති පිරිමි ගැහැණුන්ට තේරෙන හැටි. තොපි උන්ගේ කෑම කලිසම් ටයි බ්ලවුස් පස්සේ ගියාට, තොපි උන්ගේ නූඩ්ස්ල්, පීසා, සොසේජස් බනිස් කෑවාට, ඒ ඈයන්ගේ බුද්ධි මහිමයට තේරෙනවාය සැබවින්ම වටින්නේ මොනවාද කියා. එන්න, අපි දැන්වත් අභාවයට යන අපේ දේ වැළඳගමු. ඒවා වර්තමානයට ගෙනෙමු. දැන්වත් අපි ඒවායේ ඇති අභූත ශ්‍රී විභූතිය තේරුම් ගමු…”

වැනි ටෝක් ඉෂූ කරනවා දැකල ඇති.

කොටින්ම සායවල් ඇඳගෙන පන්සල් යන සුද්දියන් සහ කලිසම් ඇඳගෙන පන්සල් යන ලාංකීය තරුණියන් සසඳමින් එම තරුණියන්ට නිග්‍රහ කෙරෙන අන්දමේ පෝස්ට් බුකියේද පළවනු ඔබ දැකල ඇති.

නමුත් ඇත්තටම, පරදේශ වලින් එන ඈයෝ දාඩිය දාගෙන අව්වේ යන්නේ, හුස්ම ඇද ඇද දැවිල්ලේ අපේ කෑම කන්නේ, සරම් සායවල් ඇඳගෙන පන්සල් යන්නේ, චීත්ත හැට්ට ඇඳගෙන අවුරුදු කුමාරි තරඟ වලට යන්නේ ඒවායේ ඇති විශිෂ්ඨත්වයක් තේරුම් අරගෙන කියා අපේ ගොන්වාහේලා සිත සනසා ගත්තාට, ඇත්තටම ඔවුන් ඒවා කරන්නේ ඒ රටවල උන් ගෙවනා කාර්‍යබහුල ඒකාකාරී ජීවිත වලින් මොහොතකට මිදී එදිනෙදා ජීවිතයේදී උන් නොදකින වෙනත් කොහේ හෝ රටක තියෙනා සිරිත් විරිත් දැක ඒවාට සම්බන්ධ වී ආතල් එකක් ගැනීම පිණිස මිසක වෙන ලබ්බක් නිසා නොවන බව කිව යුත්තේ ඇත්තම කතාව එය නිසාය.

ලෝකය පුරා පැතිර ඇති සංස්කෘතීන් වලින් වසර ගණන් පැරණි සිරිත් විරිත් චාරි‍ත්‍ර අදටත් සිදු කරන තැන් වලට යමින් ඒවායින් යම් මතක සටහනක් ගෙන ඡායාරූප ඇල්බමයේ සේව් කර ගැනීම අරමුණු කරගෙන මිසක් සරම් සායවල් චීත්ත ඇඳගෙන කෙහෙල් කොලේ සම්බෝලයි බතුයි කකා පෙරහැරවල් වල අලි නැටුම් බලබලා ඉන්නට ඒ රටවල ඇති සමාජ සංස්කෘතීන් අතහැර මෙහේ එන සුද්දෝ නැත.

ඔවුන් අප්‍රිකාවේ අඩ නිරුවතින් “උහු… ඩුගු.. බජංජා… ජහු.. ගහු… ජුංගා..” ගගා නටමින් තමන්ගේ ආදී චාරිත්‍ර ඉදිරියට ගෙනයෑමට දතකන ගෝත්‍රිකයන් දෙස බලන විදියට සමාන විදියකටය අමුතු ඇඳුම් ඇඳගෙන ආභරණ පළඳවගෙන ගිනි බෝල කරකවගෙන අලි ඇතුන් සමඟින් දතක් මැදි කරගෙන අපේ උන් උඩ පැන පැන නටනා පෙරහැරවල් දෙස බලන්නේ.

මේවා අසා කාගේවත් අතීතකාමී හිත් රිදුනාට කරන්නට දෙයක් නැත.

අපේ දෙදාස් පන්සීයක් පැරණි අතීතය උඩ දදා දඟලීමට වර්තමානයක් ගැන නොහිතන, අනාගතයක් ගැන නොදකින අපේම උන්ට පශ්චාත්භාගයේ අමාරුවක් තිබුනාට ලෝකේ කොහේවත් උන්ට එහෙම අමාරුවක් නැත. දැන්වත් ඒ බව තේරුම් ගන්නවා නම් හොඳය.

අතීතයේ ඇති සිරිත් විරිත් ඇගයීම වරදක් නැත. ඉන්නම බැයි නම් ඒවායින් චූන් වීමද කම් නැත. නමුත් නූතනත්වයට ගරහමින්, අතීතයේ ජීවත් වෙමින් අතීතය ගැන පම්පෝරි ගහන වර්තමානයක් ගැන නොසිතන මිනිසුන් වීම නම් හිතකර නැත.

අතීතයෙන් ගත හැක්කේ ප්‍රයෝජන දෙකකි. ඒ අතීත සිදුවීම් දෙස බලා වර්තමානයට, අනාගතයට පාඩම් ඉගෙන ගැනීම සහ වර්තමාන හැසිරීම් සහ වින්තනයන් වලට පාදක වූ අතීත සිදුවීම් මොනවාද යන්න තේරුම් ගැනීම පමණය.

ඉන් එහාට අතීත මිනිසුන්ගේ මළකඳන්, ඇටකටු ඔලුව උඩ තියාගෙන නැටීමෙන් පළක් නැත. එයින් වෙන්නේ අපි අතීතයේ මළකඳන් සමඟ ජීවත් වෙන, අතීතයේ උන් මිනිසුන් සේ ලෝකය දකින වර්තමානයක් නැති ඇවිදින මළමිනී බවට පත් වීම පමණකි.

අවසාන වශයෙන් කියමි.

සුද්දෝ ඇවිත් සරම් සායවල් ඇඳගෙන පෙරහැරවල් බලබල රජවරුන් හැදූ ගල් කණු පොකුණු බල බල “වාව්.. අමේසිං.. සුපර්බ්” කියන නිසා අපේ අතීතය මාරම සුපිරියි කියා ඔබ තවමත් සිතනවා නම්, ලංකාවේම වෙසෙන ආදි වාසි වැද්දන්ගේ සිරිත් විරිත් දැක උන් සමඟද ෆොටෝ ගසමින් සුද්දන් ඒවා දිහාද බලන්නේ ඒ අයුරින්ම බව සිහිකැඳවා ගැනීම යහපති.

Leave a comment