සිවුරුකරුවෝද මනුෂ්‍යයෝය

තරුණ හාමුදුරුනමක් තරුණියක්ව සිපගන්නවා වගේ පේන සිද්ධියක් ගැන වීඩියෝවක් ගැන සයිබරයේ කතා බහක් ඇති වෙලා තියෙනව දැක්කා. නමුත් වීඩියෝවේ පේන විදියට එතන මොකක්ද වෙන්නේ කියල පැහැදිළිව කියන්න බැහැ (මේ බ්ලොග් පෝස්ටුවත් එක්ක ඒ වීඩියෝවේ පල නොකරන්නේ ඒ නිසයි). මොක වුනත් මේ වීඩියෝව ගැන සයිබරයේ පලවෙලා තිබ්බ අදහස් නිසා මේ ටික ලියන්න තීරණය කලා.

වීඩියෝවේ සිද්ධ වෙන්නේ මොක වුනත් ඔය වගේ සිදුවීම් වලදි සමාජය ප්‍රතිචාර දක්වන්නේ එකම විදියට.

මේ වගේ දෙයක් දකිද්දි බෞද්ධයෙක්ට නම් තරහක්, කේන්තියක් එන්න පුළුවන්. මොකද ඒ අය මේ වීඩියෝවේ සිවුරක් ඇඳගෙන ඉන්න මනුස්සයාට මුළු ජීවිත කාලයටම ඔය විදියට හැසිරෙන එක සම්මතයෙන් තහනම් කරල තියෙන නිසා. (මේ හැසිරීම අපේ සංස්කෘතියේ සම්මත හැසිරීමක් නොවන බව ඇත්ත. නමුත් මේ වීඩියෝව ශෙයාර් වෙන්නේ මේ මනුස්සයා සිවුරක් ඇඳගෙන සිටීම කියන කරුණම හයිලයිට් කරගෙන). ඒත් මනුස්ස හැඟීම් ආගමික සංකල්ප වලින් ෆිල්ටර් නොවෙන මට මේක දැක්කාම මුලින්ම ආවේ කේන්තියක්වත් තරහක්වත් නෙමේ, අනුකම්පා සහගත හැඟීමක්

අපිත් ඔය වයසෙදි ඔය වගේ වැඩ කරල තියෙනව (ඔච්චර නෝන්ඩි වෙන්න හැමෝටම පේන්න නම් නෙමේ හැබැයි). ඒත් මේ කොල්ලට (භික්ෂුවට) ඒ කොල්ලා ඉන්න තත්වය අනුව ඒ වයසෙදි අපි වගේ ෆිල්ම් හෝල් එකකට යන්න , පාර්ක් එකකට යන්න , ඒසී බස් එකක අන්තිම සීට් එකේ මුල්ලට ගිහින් කෙල්ලෙක් එක්ක ඉඳගන්න , රූම් එකකට යන්න බැහැනෙ. ඉතින් හරි හෝ වැරදි මේ කොල්ලා ඒ අවස්ථාවේ පාලනය කරගන්න බැරි හැඟීම් වලට යටවෙලා ගත්ත තීරණය තමා මේ දැන් රටක් ලෝකයක් ඉස්සරහා දිග ඇරෙන්නෙ.

අපි කරපු දේවල්, අපි විඳපු අත්දැකීම්, අපි ලබපු ආදරය ලබන එක මේ මනුස්සයාට සමාජයෙන් අහිමි කරල. පොඩි කාලෙම සමාජයෙන් වෙන් වුන, සමාජයෙන් නියම කරන ලද වෙනස්ම ජීවන රටාවක් අනුගමනය කරන්න නියම කරල. සමාජයේ අනිත් මිනිස්සුන්ට වඩා දැඩි කොන්දේසි සහිත සංවෘත රාමුවක් අස්සේ ඒ මනුස්ස හැඟීම් බලෙන් කොටු කරල.

ඒකට හිලව් විදියට නිකං දෙන බත් පිඟාන ඇතුළු පැකේජයක් සමාජය විසින් දෙන බව ඇත්ත. නමුත් ඒක ඒ මනුස්සයා වැඩිහිටියෙක් විදියට ගත්ත තීරණයක් නෙමේ. නොතේරෙන වයසේ දරුවෙක්ව ඒ ජීවිතයට බලෙන් ඇදල දාන්නේ තේරෙන වයසේ ඉන්න අපි.

මේ වගේ දේවල් දැක්කාම බෞද්ධයන්ගේ ස්ටෑන්ඩර්ඩ් ප්‍රතිචාර විදියට එන්නේ “සිවුරු හරින්න පුළුවන්නෙ, ඇයි ශාසනයට අපහාස කරන්නේ, මුංට නම් හෙණ ගහනවා” වගේ කතාවල්. නමුත් මගේ පුද්ගලික අදහස තමා සිවුරු අරින එක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමේ කියන එක. එතනදිත් ඒ මනුස්සයට අපි දීලා තියෙන්නේ අමාරු තීරණයක්. අපි කොයිතරම් අසාධාරණද?

මම ඉස්කෝලේ යන කාලේ මට සිංහල උගන්නපු සර් සිවුර අතහරින භික්ෂුන් ගැන පන්තියේදී දවසක් කිව්වා මෙහෙම කතාවක්,

“වදාපු අම්මගෙන්, තාත්තගෙන් පවා වැඳුම් අරගෙන, මිනිස්සු පිනට දීපු දානෙ ටික කකා ඉඳල, කරදඬු මහත් වෙලා සිවුර අත අරිනවා කියන්නේ මහාම මහා කරුමක්කාර වැඩක්. ඒ වගේ කරුමක්කාරයෝ මැරිලා උපදිනවා ප්‍රේතයෝ වෙලා. ඊට පස්සේ උන් බලන් ඉන්නවා මිනිස්සු මලපහ කරනකන්. උන් කන්නේ ඒ මලපහ. ආන්න ඒ තරම් බරපතල දෙයක් තමයි සිවුර හරිනවා කියන එක”

ඔන්න ඔහොම කතාවක් තමා මට සිංහල උගන්නපු ගුරුදෙවියා කිව්වෙ..

කතාවෙ ඇත්ත නැත්ත පැත්තකින් තියමු. ඒත් මේ තරම්ම නැති වුනත් සමාජයේ සිවුර අත හරින්නන් ගැන තියෙන්නේ සෘණාත්මක ආකල්පයක්කියන එක රහසක් නෙමේ.

කොටින්ම සිවුරු අරින එක ලේසියි කියන කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් හිතන්න, එක දිගට අවුරුදු 25ක් 30ක් එකම රස්සාව කරලා එකපාරම ඒ රස්සාව අත ඇරලා වෙනම ජීවන ක්‍රමයක් තෝරගෙන වෙනම ජීවන රටාවකට හැඩගැහෙන එක ගිහියෙක්ට වුනත් කොයි තරම් අමාරු දෙයක්ද කියල.

ඒ අතින් බලපුවම, අපි මේ කුඩා ළමයිව මහණ කරලා ඒ අසරණයන්ව හිර කරන්නේ මර උගුලකට.

ඒ අසරණයන් වැඩිවියට පත් වුනාම හැකි සෑම පුංචි අවස්ථාවෙන් පවා ජීවිතය ‘විඳින්න’ දතකන එක, අපි වගේ වෙන්න හදන එක, අපි දකින්නේ මහා වැරැද්දක්, පාපකර්මයක් විදියට.

භික්ෂූන් ගිහියන් විදියට හැසිරෙන හැම අවස්ථාවකදිම ඒ අයට ඇඟිල්ල දික් කරන බෞද්ධයො මතක තියාගන්න ඕන කාරණය තමා භික්ෂුව දෙසට එක ඇඟිල්ලක් දික් වෙද්දි තමාගෙ පැත්තට ඇඟිලි හතරක් එල්ල වෙන බව.

බෞද්ධයන්ගේ ඒ චෝදනා සර්ව සාධාරණ වෙන්නේ භික්ෂූ ජීවිතය කියන්නේ වැඩිහිටියෙක් විසින් තේරුමක් ඇතුව යන්නා තීරණයක් වෙච්චි සමාජ ක්‍රමයක් ඇතුලෙ විතරයි. මොකද එහෙම තත්වයකදි, කෙනෙක් භික්ෂු ජීවිතය කියන්නෙ මොකක්ද කියල දැනගෙන කැමැත්තෙන් ඒකට ඇතුළත් වෙලා භික්ෂූන්ට සමාජයෙන් ලැබෙන වරප්‍රසාද විඳින ගමන් ගිහියන් විදියට හැසිරෙනව නම්, එතනදි ඒ අයට සාධාරණ චෝදනාවක් කරන්න පුළුවන්.

නමුත් හයක් හතරක් නොතේරෙන ළමයෙක්ව වැඩිහිටියන් විසින් භික්ෂු ජීවිතයට බලෙන් ඇතුල් කරලා ඒ ළමයා වැඩිහිටියෙක් වුනාම තමන් කියන විදියට හැසිරෙන්නේ නෑ කියන එක සාධාරණ චෝදනාවක් නෙමෙයි.

මට වයස අවුරුදු 30යි. මට පුළුවන් මගෙ කැමැත්තට අනුව කිසිම ප්‍රශ්නයක් නැතුව බාර් එකකින් අරක්කු බෝතලයක් අරගෙන මට තියෙන නිදහස පාවිච්චි කරලා ඒක රසවිඳින්න. ඒත් මගෙම වයසෙ ඉන්න තවත් අවුරුදු 30ක තරුණයෙක්ට මම කරන ඒ දේම කරන එක සමාජයෙන් තහනම් කරල. “උඹට ජීවිත කාලයටම අරක්කු බොන්න බැහැ.. කෙල්ලෙක්ගෙ අතින් අල්ලන්න බැහැ” කියල ඌට සමාජය කියන්නේ ඌ නොදරුවෙක් කාලෙ ඉඳලම. ඌටත් වැඩිහිටියෙක් වුනයින් පස්සෙ “නෑ මටත් අරක්කු බොන්න ඕන..” කියල හිතෙනවා නම් ඒක සාධාරණ නැද්ද?

ලොකුම වැරැද්ද, අරක්කු බොන එකද? (අරක්කු බොන එක වැරැද්දක්ම නෙමේනෙ). අම්මා තාත්තාගෙන් පවා වැඳුම් ලබල සිවුර අතහරින එක මාරම නෙගටිව් දෙයක් විදියට දකින සමාජයක් ඇතුලෙ ඉඳගෙන  සිවුරු නොහරින එකද? සිවුරක් ඇඳගෙන අරක්කු බොන එකද? පොඩි කාලෙ ඉඳලම තෝ කවදාවත් අරක්කු බොන්න එපා, මේ විදියට හිටපිය කියල නියම කරන එකද?

මොළයක් තියෙන මනුස්සයෙක් නම් මේ ටිකෙන් ලොකුම වැරැද්ද මොකක්ද කියන තේරෙන්න ඕන. ඉතාම සරල කාරණයක්නෙ.

මේ මීනිස්සු ගෙවන්නේ අසරණ ජීවිත..

තවත් මිනිස්සු කොටසකගේ සමාජ ආර්ථික ගැටළු, මානසික ෆැන්ටසි, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් හිලව් වෙන අසරණයෝ

විඳවන ජීවිත ජීවත් වෙලා, සමාජ චින්තනයම ආපස්සට අදින සංවිධානයක කොටස්කාරයෙක් වෙලා, රටටවත් ලෝකයටවත් අඩුමගානේ තමාටවත් වැඩකට නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා.

පව් !

අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්ස ප්‍රාණියෙක්ගේ අවශ්‍යතා සහ උවමනා… ආශාවල්… කහ රෙදි කෑල්ලකට වහලා දාන්න පුළුවන් නම්.. මේ තියෙනවාය කියන සසර දුකට, ඇලීමට හොඳම විසඳුම කහ රෙදිකෑලි වෙන්න ඕන නේද?

මොහොතක් හිතන්න.

Advertisements

9 responses to “සිවුරුකරුවෝද මනුෂ්‍යයෝය

  1. අපි අතීතයේ ඉඳලම වරද්දගෙන තියෙන්නෙ. අදටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි.

    Like

  2. මිනිසුන් වැරදි කරන්න නොපෙළඹෙන හේතු කීපයක් අතරින් සමාජයට ඇති බිය කියන්නේ මුල්ම එක. ඒ කියන්නේ එම වැරදි ක්‍රියාව නිසා සමාජ අපවාදයට ලක්වෙන්න බැරිකම හින්දාම වැරැද්ද/ක්‍රියාව නොකරන කොටසක් ඉන්නවා. ඒ නිසා තමයි 'හොරෙන්' කරන්න පෙළඹෙන්නේ. හොරෙන් කිරීම මගින් සමාජ අපවාදයෙන් ගැලවෙන්න හැකියි. නමුත් විපාකයෙන් ගැලවෙන්න බැහැ. එය සනාතනික ධර්මයක්.

    පුජ්‍ය පක්ෂයේ කෙනෙක් සමාජ අපවාදයට ලක්වෙනවිට ගිහියෙක්ට වඩා ලොකු පීඩනයක් විඳිනවා. එය දරාගන්න ලෙහෙසි නැහැ. මොකද සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන සුද්දවන්තකම් සීමාවට වැඩියි. ඔවුනුත් සමාජයේම කොටසක් ලෙස සලකන්නේ නැහැ. ( වැඳීම , පිදීම වගේ දේවල් වන නිසා) පුජ්‍ය වීමෙන් එක ර් සියල්ල වෙනස් වී ඔවුන් වෙනස් විය යුතු බවට සමාජය බල කරනවා. එතැනදී ඔවුන් අසරණයි.

    පුද්ගලිකව මගේ මතය තමයි පුජ්‍ය කෙනෙක් වදරකදී වැඩි කර්ම ප්‍රමාණයක් රැස් කරනවා. නමුත් ඔවුන් විවේචනය කරන්න යෑමෙන් ඊටත් වඩා වැඩි පවක් අපි රැස් කරනවා. සමාජ අසම්මත දේවල් සිදුකරන පුජ්‍ය පක්ෂයේ අය රහතන් වහන්සේලා ලක්ෂා ගණනින් සිටින කාලවලදී පවා සිටියා. ඒ නිසා මේ කාලේ ගැන කවර කතාද?

    ප්‍රතිපත්තියක් ලෙස මම ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ. එය වෙනත් අයෙක් කළා කියලාත් කම්පාවී සිවුර නිසා කියා පැත්තක් ගන්නෙත් නැහැ. පැවිදි ජීවිතය පෙනෙන තරම් සුඛ විහරණ නැහැ. බොහොම දුක් කම්කටොලු සහිතයි. දුර්වල මනසක් ඇති අයෙකුට එහි පැවැත්ම අසීරුයි. එබවීම් මම මැදහත් සිතින් ඉවසමි.

    Like

  3. අපි අසරන වෙලා වගේ………
    හිතට දැනෙනවා හා…මුදුරුවනේ…..

    Like

  4. මගේ අදහස මෙහෙමයි. පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ජීවිතයට අදාල රාමුව තුල ජීවත් විය යුතුයි. නැතිනම් පැවිදි ජීවිතය අතහැර සාමාන්‍ය ජීවිතයක් ගත කල යුතුයි. පැවිදි ජීවිතයක් ගත කරමින් එයට නොගැලපෙන දේවල් කිරීම කිසිසේත් සාධාරනීකරණය කල නොහැක.

    Like

  5. ලාංකීය සමාජය සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ, ගණිකාවන් ඉන්නවාය කියල පිළිගන්න ලෑස්ති නෑ, ඒ අයටත් අයිතීන් තියෙනව කියල පිළිගන්න ලෑස්ති නෑ, ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සුන්ව පිළිගන්න ලෑස්ති නෑ, ඒ අයගෙ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ, පෙරහැරේ අලි ගෙනියන එක නවත්තන්න ලෑස්ති නෑ, ඒ ගෙනියන අලින්ට හැමිනෙන්න තියෙන ස්වභාවික අයිතිය පිළිගන්න ලෑස්ති නෑ, දෙමළ, මුස්ලිම්, සිංහල කාගේවත් අයිතීන් පිළි ගන්න ලෑස්ති නෑ, අනෙකාගේ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ, තමන්ගෙ ජාතියට හැර වෙනත් ජාතියක මිනිස්සුන්ටත් මේ රට අයිති බව පිළිගන්න ලෑස්ති නෑ, ළමා අයිතිවාසකම් පිළිගන්න ලෑස්ති නෑ, සිවුරුකරුවන්ගේ ස්වභාවික මිනිස් අවශ්‍යතා පිළිගන්න ලෑස්ති නෑ, අපරාධකරුවන්ටත් අයිතීන් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ, මානව හිමිකම් කියල දෙයක් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ, ලංකාවෙ හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැති බව පිළිගන්න ලෑස්ති නෑ, හරිහමන් රාජ්‍යය සේවයක් නැතිය කියන එක පිළිගන්න ලෑස්ති නෑ, සමාජයක් විදියට අපි අතීතයේ ජීවත්වෙන වර්තමානයක් නැති මිනිස්සු කොටසක්ය කියන එක පිළිගන්න ලෑස්ති නෑ..

    ලංකාවෙ අපි පිළිගන්න ලෑස්ති කාවද..මොනවද..කවදද බං?

    අපි තරම් ඉන්න තැනින් වෙනස් තැනකට පය තියන්න බය මිනිස්සු තවත් මේ ලෝකයෙ ඉන්නවද කියලත් සැකයි මචන්..

    අවංකවම.. !

    Like

  6. හයක් හතරක් නොතේරෙන දරුවන් මහණ නොකර ශාසනයට ඇතුල් වීම කියන්නේ වැඩිහිටියෙක් ගන්නා තීරණයක් බවට පත් කලොත් මේවගේ දේවල් අඩු වෙයි. නමුත් එහෙම කලොත් වැඩිහිටියන් කීදෙනෙක් මහණ වෙයිද, ශාසනයක් දිගටම පවත්වගන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්.

    Like

  7. අසරණ වෙලා නම් බුදුහාමුදුරුවන්ට කියල වැඩක් නැහැ. වචනයකින් හරි වෙනසක් කරන්න උත්සාහ කරනවා හැර 🙂

    Like

  8. සිවුර හැරයන එක ඔය කියන තරම් ලේසි කාරණයක් නෙමේ උදය. ඒකයි මම නැවත නැවතත් කියන්නේ බලෙන් ළමයි මහණ කරන එක මහා අපරාධයක් කියල.

    Like

  9. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ සෑහෙන ගාණක් සිවුරු හැර යනවා.
    අධ්යාපනයෙන් පසු සිවුරු හැර විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් වූ සෑහෙන ගාණකුත් ඉන්නවා. උදා. කැලණි වි වි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

    දුප්පත් ලමයින්ට සමාජයේ වියදමින් අධ්‍යාපනය දෙන එක හැර වෙන කිසිම හොඳක් ලමා මහණ කිරීම්වල නෑ. ඒ හොඳට වඩා වැඩියි ඒකෙ නරක.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s