වරෙව් මහතුනේ කුණු කය වළදන්ට

විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙළා ගනින් යැයි කප්රුක පිදුවාට
ඉණේ රෙද්දමයි හිටියේ හරහාට

ළැමේ කිරට මොරගානා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ළිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට

ප්‍රදීපා ධර්මදාස කියන්නේ ලංකාවේ ගායිකාවන්ගෙන් මම වැඩියෙන්ම ප්‍රිය කරන හඬට හිමිකම් කියන ගායිකාව. “සුපෙන් හැඟුම් ඔබෙන් එපා” ගීතය මුලින්ම අහපු මොහොතේ ඉඳලම මම ඇයගේ හඬත් එක්ක පෙමින් වෙලුනේ නිරායාසයෙන්මයි.

ප්‍රදීපාගේ අසමසම කටහඬත් සමඟ විශිෂ්ඨ පද රචනයක් සහ සංගීතයත් එක්ක මුසු වෙලා නිර්මාණය වුන මම ඉතාමත් ආදරය කරන ගීතයක් තමා “විනේ කටින උන්” ගීතය. මේ ගීතයේ පද රචනයේ තියෙන විශේෂත්වය තමයි අපි එච්චර සංවේදී නොවන අපේම සමාජයේ ජීවත් වෙන මිනිස් ජීවිතයක අප නොසිතන පැත්තක් ඉතාම සංවේදී විදියට ඉදිරිපත් කරල තිබීම.

මනුස්සයෙක්ගේ හැඟීම් මෙච්චර ලස්සනට ගීතයකට කැටි කරන්න පුළුවන් එක සුවිශේෂී හැකියාවක්. ඒ මනුස්සයාගේ හැඟීම් වෙනස්ම ජීවිතයක් ගෙවන කෙනෙක්ට පවා දැනෙන විදියට පදවැල් ගොතන්න පුළුවන් එක ඇත්තටම දක්ෂකමක්.

මේ සටහන ලියන්න හේතු වුනේ “ඇයි මේ වගේ හොඳ සින්දු අද හැදෙන්නෙ නැත්තේ” කියන හැඟීම ඔබට වගේම මටත් ඒ විදියටම එන නිසා.

ඔය “පරණ ඒවා හොඳයි, අලුත් ඒවා චාටර්” කියල හැම දේකටම කියන එක අපේ සංස්කෘතියේ කොටසක්. අනිත්වා කෙසේ වෙතත් නිර්මාණකරනය පැත්තෙන් ගත්තාම නම් ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත කියන එකයි මගේ හැඟීම.

මේ වගේ හිතට දැනෙන නිර්මාණ ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින්. ඒ කියන්නෙ අපි පහුකරල ආපු යුගයෙ.

වර්තමානය ගත්තොත් මේ වගේ නිර්මාණ සිද්ධ වෙන්නෙ නැතිම තරම්. මේ වගේ පදරචනයන් ලියන්න මිනිස්සු නැති තරම්.

මෑත කාලයේ නිර්මාණය වුන ගීත වලින් මගෙ හිතගත්ත පදරචනයන් නම් කරන්න වුනොත් ගීත දෙකතුනකට වඩා නම් කරන්න අමාරුයි. රූනිගේ ‘සප්ත ස්වරයයි’ , රයනිගේ ‘චංචල දෑසේ’, ශිහාන්ගේ ‘හතර කේන්දරේ’ වගේ ගීත කිහිපයක් ඇරෙන්න එහෙම නිර්මාණාත්මක බවින් සරු පද රචනයක් ඔලුවට එන්නෙ නෑ.

දැන් “..මල් සින්දු, බූට් සින්දු..” නමින් හැඳින්වෙන ගීත පොකුරු පිටින් හැදුනත් ඒවයෙත් තියෙන්නේ හරිම ලාමක පද රචනා බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒත් පහුවෙච්චි යුගයේ නිර්මාණ එක්ක සසඳලා අපි දැන් ඉන්න ගායකයින්ට දෙහි කැපුවට ඇත්තටම අවුල තියෙන්නේ ගායකයින්ට වඩා පදරචකයන්ගෙයි සංගීතවේදීන්ගෙයි කියලයි මට හිතෙන්නෙ.

ශෝදාපාළුවට ලක් වෙලා තියෙන්නෙ නිර්මාණාත්මක හැකියාව කියන එකයි මගේ මතය. ගායකයන්ගේ පැත්තෙන් ඒ අයට සිද්ධ වෙනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හම්බෙන සින්දුවක් කියන්න. සින්දු ලියන්න, සංගීතය දාන්න හරි හමන් අය නැතිය කියල සින්දු කියන්නැතුව හිටියොත් අද කාලේ ගායකයන්ට කන්න අඳින්න දෙන්නෙ කවුද?

හතු පිපෙන්නා වගේ නිර්මාණ කරන්න පුළුවන් අවකාශයක් හැදුනම අන්තිමට එළියට එන ප්‍රතිඵල වල ගුණාත්මක බව අඩුවෙන එක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. නමුත් ගුණාත්මක බවක් නැත්තටම නැතුව ගිහින් වගේ පේනව නම් ඒක රසිකයන්ගේ අවාසනාව බව නොකියා බැහැ.

මම කියන්නෙ නෑ හැදෙන්න ඕන තේරුමක් තියෙන, හදවතටයි මොළයටයි දෙකටම දැනෙන සින්දු විතරයි කියල. මම කියන්නේ ඔය බස් සින්දු, මල් සින්දු, බූට් සින්දු අස්සේ එහෙම නිර්මාණත් බිහි වෙන්න ඕනය කියල.

මේවගේ නිර්මාණාත්මකව බංකොලොත් වුන කාලෙක අමරදේව මාස්ටර් ඉපදිලා හිටියත් අමරදේවගේ සින්දුත්

“මම ආදරේ කලා සිතින්
සැමදා නෑ වෙනස් කලේ
හැරදා මා දමා ගියේ
ඇයිද ප්‍රියේ……?”

වගේ තියෙයි ඉතින්.  ඒකට අමරදේව කියලා මක් කරන්නද?

7 responses to “වරෙව් මහතුනේ කුණු කය වළදන්ට

  1. කියෙව්වා.නිතර ඇහෙන්නට සලස්වන ඕලාරික ප්‍රකාශ නිකුත් කිරිම් වලට ගීතයක් කියලා කියන්න බෑ. ඒත් මිනිස්සුන්ගේ රස වින්දනය විවිධයි.තෝරා ගැනීම තමන් සතුයි.

    Like

  2. විනේ කටින උන් කියන්නේ පුදුම ලස්සන සින්දුවක්. ඒ වගේම තමා ප්‍රදීපාගේ හඬ. අපරාදේ දැන් ප්‍රදීපාගේ අලුත් සින්දු ඇහෙන්නේ නැත්තේ.

    //ඒත් පහුවෙච්චි යුගයේ නිර්මාණ එක්ක සසඳලා අපි දැන් ඉන්න ගායකයින්ට දෙහි කැපුවට ඇත්තටම අවුල තියෙන්නේ ගායකයින්ට වඩා පදරචකයන්ගෙයි සංගීතවේදීන්ගෙයි කියලයි මට හිතෙන්නෙ.// මේ කතාව ඇත්ත මචන්. මේක අමරදේව මාස්ටර් එහෙමත් කියුවා මතකයි. දවසක් TV එකට ආපු අජිත් මුතුකුමාරණ (බස් අජිත්) වෙන කාගේද සින්දුවක් (සිංදුව හරියට මතක නැත) කියුවා හරිම ලස්සනට. සින්දුවක් දීර්ඝකාලීනව මතක හිටින්න බලපාන්නේ එකේ melody එක කියලයි මට නම් හිතෙන්නේ.

    Like

  3. මේ වගේ සුන්දර ගීත සංකල්පනා කතා කරන බ්ලොග් ලිපි වලට මම නිකන්ම ආකර්ශනය වෙනවා.
    විනේ කටින උන් ගීතය ඇත්තෙන්ම හරිම් අපූරු ගීතයක්. කෙටි පද රචනාවකින් අති විශාල මාතෘකාවක් කාටවත් තර්කයක් ඉතිරි නොවෙන ගානට කථා කරල තියෙන කතිකාවතක්.

    මේ නිර්මාන බංකොලොත් භාවය දැන් වසර විස්සක තිහක ඉඳන් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් ආ තත්වයක්. ඒ බංකොලොත් නිර්මාණ ස්වභාවික වරනයකට ලක්වෙමින් හොඳ නිර්මාණ පමණක් ඉතිරි වීමයි සිදු වුනේ.
    ඉදිරියටත් ඒක එහෙම වෙයි.

    බංකොලොත් නිර්මාණ ගැන කථා කරන කොට මම නම් එකම වර්ගයේ අදහස් තියෙන සරු නිර්මාන හා බංකොලොත් නිර්මාණ සසඳන්න කැමතියි. එතකොට ඒකෙන් අපූරු වැටහීමක් ලැබෙනවා

    හරියට වික්ටර් රත්නායකයන්ගේ “හිතමිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්” හා මීට කලකට පෙර ගුවන් විදුලි නාලිකා වල ප්‍රචාරය වුනු දැන් එහෙම එකක් තිබුනාදැයි වත් මතක නැති නිර්මානයට අදාල කිසිදු පුද්ගලයෙකු නොදන්නා “මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට” කියන ගීතය අතර සැසඳීමක් වගේ….(ඒ විකාර රූපී පද රචනාව හා මා විසින් කල සසැඳීම නිසාම මට එවන් ගීතයක් වූ බව මතකයි )

    Like

  4. ඒ සියලු රසවින්දනයන් සංතෘප්ත වෙනවා නම් කලා ලෝකය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් දැන් නිර්මාණකරනයෙන් සිද්ධ වෙන්නේ එකම රටාවක නිර්මාණ පමණක් එළියට ඒමයි

    Like

  5. ප්‍රදීපාට වුනත් අලුතෙන් කියන්න හොඳ සින්දු හැදෙන්නෙ එපායැ

    Like

  6. “මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට”

    මෙහෙම සින්දුවක් ඇත්තටම තියෙනවද? පුළුවන් නම් ලින්ක් එකක් දෙන්න මටත් අහල බලන්න

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s