වේවැල් කෝටු නාරං සියඹලා අතු

මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි.
රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය වර්ණනා කරන්නෙකු වූ මගේ සීයා තම දරුවාව යහමඟ යැවීමට සුදුසුම ක්‍රමය දරුවාට කෲර ලෙස වධහිංසා පැමිණවීම යැයි සිතීම ගැන කිසිම දිනක මා පුදුම වූයේ නැත.
“වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
මෙවැනි ඉපල් මගේ දෑසට නොපෑ යුතු
පමා නොවී යමි අකුරට මෙයින් මතූ”
මීට දශක කිහිපයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව වර්තමානය ගැන සතුටු විය හැකි බව සැබැවකි.
එහෙත් අපරාධකරුවන්ට පවා මානව අයිතිවාසකම් ලබා දී ඇති, මනුසතුන්ගෙන් නොනැවතී තිරිසනුන්ටද හිංසාවට පත් නොවීමට නීති රෙගුලාසි පනවා ඇති ලෝකයක, අප රටේ දිනපතාම දෙමව්පියන් සහ පාසැල් ගුරුවර ගුරුවරියන් අතින් ශාරීරික සහ මානසික වධහිංසාවට ලක් වන දරුවන් ගණන නොගිණිය හැකි තරම් වීම, සැබවින්ම අවාසනාවත්ත තත්ත්වයකි.
“සර් හොඳට ගහන්න. ගැහුවේ නැතිනම් මුන්ව හදන්න බෑ”
හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන්ව තමාට අවැසි අයුරින් හැඩගස්වා ගැනීමට පහර දෙන වැඩිහිටියන් එසේ කරන්නේ ඔවුන්ගේ වචනයෙන් නම් “දරුවන් නාස්ති වීමට ඉඩ නොදී” හදා ගැනීමටය.
ඔවුනට අනුව හැඳි නොගා හදන හොද්දෙයි නොගහා හදන දරුවාගෙනුයි වැඩක් නැත.
මිනිස් ශිෂ්ටාචාරය කෙමින් කෙමින් සදාචාරාත්මකව පරිණාමය වන අතරතුර අප කරන්නේ, වත්මනට කොහෙත්ම වැදගත් නැති, කල් ඉකුත් වී, මළකඩා කා ඇති රුවන් වැකි දෙසා බාමින් සමාජයේ දුර්වලම, අසරණම, අහිංසකම කොටස වන අප දරු පරපුර මත තම පීඩනය මුදාහැරීමය.
තමා පරිපූර්ණ මිනිසෙක්ය යන උද්දච්ඡ හැඟීමෙන් යුත් බොහෝ දෙමාපියන්, තම දරුවාට පහර දෙන්නේ තමාගේම අච්චුවක් හෝ තම ෆැන්ටසිය තුළ ජීවත් වන පරිපූර්‍ණ මිනිසෙකු හෝ ගැහැණියක තම දරුවා තුළින් නිර්මාණය කර ගැනීමටය.
ඔවුන් තම දරුවන්ට පහර දෙන්නේ කුඩා කාලයේදී සිය වැඩිහිටියන්ගෙන් ලැබුනු දඬුවම් නිසා තමා හොඳ මනුස්සයෙකු වූ හැටි ගැන පාරම්බාමිනි.
“අපේ තාත්තා අපිට ගැහුවේ බෙල්ට් එකෙන්. අපි අද මේ විදිහට ඉන්නේ තාත්තට පින් සිද්ධ වෙන්න”
කොපමණ සාධාරණීයකරනය කිරීම් ඉදිරිපත් කලද යමෙක් දරුවන්ට පහර දෙන්නේ දරුවාගේ හැසිරීම් තමන්ට රිසි සේ පාලනය කිරීමේ අරමුණින් මිස, මනුෂ්‍ය සංහතියට යහපත් සදාචාරාත්මක ගතිගුණ වලින් හෙබි පුරවැසියෙක් බිහිකිරීමේ අරමුණින් නොවේ.
ජීවිතයේ තමාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න වලින් එකක් ලෙස සිය කුඩා දරුවාගේ නොමනා හැසිරීම දකින වැඩිහිටියා පහර දීමෙන් දරුවා මෙල්ල කොට, එම ප්‍රශ්නයට සොයන්නේ තාවකාලික විසඳුමක් පමණි.
දීර්ඝ කාලීනව දරුවාට ඉන් ඇතිවන බලපෑම ගැන සිතීමට ඔවුනට උවමනාවක්, හැකියාවක් හෝ කාලයක් නැත.
තමා දරුවන්ට පහර දෙන්නේ ඔවුනට ඇති ආදරය නිසාය යනුවෙන් බොහෝ දෙමාපියන්, ගුරුවරුන් පැවසුවද (නොසලකා හැරිය හැකි තරම් සුළු අවස්ථා ප්‍රමාණයකදී හැර) බොහෝ අවස්ථා වලදී එය මිත්‍යාවකි. පහර කෑම් ලෙස දරුවා මතින් පිටවන්නේ බොහෝ වෙලාවට දෙමාපියන්ගේ එදිනෙදා ජීවිතයේ පීඩනයන්ය.
වෙනයම් කෙනෙකු නිසා හෝ දරුවාගේ වරදක් නිසා ඇති වන කෝපය, කලකිරීම, සිත් රිදීම්, පිළිකුල වැනි හැඟීම්ය.
“මහන්සි වෙලා ගෙදර ආවා විතරයි”
පහර දීම මඟින් බියවද්දා දරුවෙකු තමාට කීකරු කර ගැනීමට උත්සහ කරනා යම් වැඩිහිටියෙක් වේ නම් ඔහු/ඇය පෙන්නුම් කරන්නේ දෙමාපියෙකු වශයෙන් සිය නොඉවසිලිවමත් බවය.
සිය දරුවා සමඟ සහසම්බන්ධයක් ගොඬනඟා ගැනීමට තමාට ඇති නොහැකියාවය.
ගුරුවරයෙකු නම් ඔහු පෙන්නුම් කරන්නේ සිය වෘත්තිය අසමර්ථකමය.
746ce9022c3eee74e4d2bf93b9623e44
මෙම පහර දීම් මඟින් සිදුකරන්නේ දරුවාව තාවකාලිකව පාලනය කිරීමක් පමණකි.
මෙසේ දරුවාගේ හැසිරීම් පාලනය කිරීමට;
  • ශාරීරික වධවේදනා වලට ලක් කිරීම (උදා – වේවැල් වලින් පහර දීම, දණ ගැස්වීම, අතින් පහර දීම, පෙර කාලවලදී ගස් වල බැඳ දිමි ගොටු දැමීම)
  • තර්ජනය කිරීම (උදා – ආයේ කලොත් කටේ මිරිස් දානවා, අඬු කඬනවා, ගෙදරින් එලෝනවා)
  • නිග්‍රහ කිරීම මඟින් ලජ්ජාවට පත් කිරීම (උදා – තෝ වගේ බූරුවෙක්, උඹ මුකුත්ම කරගන්න බැරි නිකමෙක්, උඹ තමා පන්තියේ ඉන්න මෝඩයා) වැනි ක්‍රම භාවිතා කෙරේ.
මෙවන් ක්‍රම මඟින් සිදුවන්නේ දරුවාව බිය වැද්දීම මඟින් තමාට වඩා උසස් අධිකාරී බලයකින් (authoritative figure) පැමිණෙන විදාන කොන්දේසි විරහිතව අනුගමනය කිරීමට පුහුණු කිරීමක් මිස, දරුවා තුළ සැබෑ අවබෝධයෙන් සිදුවන සදාචාරාත්මක ගුණවගාවක් නොවේ (මෙම ක්‍රමය සුනඛයෙකු පහර දී හීලෑ කිරිම හා සමානය)
වරදට හේතුව පහදා දී එය නැවත නොකරන්නට අවවාද කිරීම සහ වරදට දුටු විට මුරුගයෙකු මෙන් පහරදීම එක හා සමාන නොවේ.
පළමු අවස්තාවේ දරුවා වරද තේරුම් ගනියි, ඉන් පසුව එයින් වැළකී සිටියි. දෙවැනි අවස්තාවේ දරුවා පහර කෑමේ බය නිසා හැසීරිම පාලනය කර ගනි.
පළමු ක්‍රමය දුෂ්කරය පළදායකය, දෙවැනි ක්‍රමය පහසුය, තාවකාලිකය.
අධිකාරී බලයෙන්, තාවකාලිකව දරුවාගේ හැසිරීම් පාලනය කල හැකි වුවත් දීර්ඝ කාලීන වෙනස්කම් දැකිය නොහැකිය.
අම්මාගේ ගුටිය නොලැබෙන බවට සහතික වූ විට හොරෙන් සීනි කන කුඩා ළමයා, පොලිසිය නොමැති යැයි අනුමාන කරන පාරවල් වල හිස්වැසුම් නොපළඳා මෝටර්බයිසිකලයේ යන වැඩිහිටියකු බවට පරිවර්තනය වන්නේ මේ හේතුවෙනි.
ඔහුගේ හැසිරීම් තීරණය වන සාධකය වන්නේ අධිකාරී බලයක උකුසු ඇස මිස පුද්ගලාවබෝධය නොවේ.
තමා කරනා වැරැද්දකට දඬුවම් දීමට කෙනෙකු නොමැති විටක ඕනෑම ජඩ වැඩක් කිරීමට නොපැකිළෙන මිනිසුන්ගෙන් පිරි සමාජයක් බිහිවන්නේ මෙලෙසිනි.
mexican-child-abuse-campaig
අප හමුවේ ඇත්තේ සරල පැනයකි.
(බොහෝ විට) ප්‍රසිද්ධියේ කෙරෙන ශාරීරික වධහිංසාවෙන් (වේදනාවට) සහ ලජ්ජාවට පත් කිරීමෙන් දරුවෙක්ව සදාචාරාත්මක ගුණවගාවකින් යුත් යහපත් මානසිකත්වයකින් හෙබි මනුෂ්‍යයෙක් බවට පත් කල හැකිද? නොහැකිද?
මනෝ විද්‍යාඥයන්, අධ්‍යාපන විද්‍යාඥයන් හා දරුවන් සම්බන්ධ පර්යේෂණ කරනු ලැබූ විද්වතුන් නැවත නැවතත් තහවුරු කොට ඇත්තේ මෙවන් පහර දීම් නිසා දරුවා යහපත් හැසිරීම් පෙන්නුම් කරනවා වෙනුවට තවත් දරදඬු හැසිරීම් පෙන්නුම්කරනා බවය.
වැඩිහිටියෙකු වූ පසුව කුඩා කල විදි පීඩාවන් සමාජයට මුදා හරින බවය.
එසේම, විශේෂයෙන් පාසැලේදී ගුරුවරුන් (මොවුනට ගුරුවරු කියා ඇමතීමද ගුරු වෘත්තියට කරනා නිගාවකි) ප්‍රසිද්ධියේ දෙන ශාරීරික දඬුවම් සහ ප්‍රසිද්ධියේ කරනා ලජ්ජාවට පත් කිරීම් නිසා දරුවාගේ පෞරෂත්වයට සිදුවන හානිය සුළුපටු නොවේ.
අපේ මිනිසුන්, බස් එකේ යද්දි කොන්දොස්තරට බයය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගිය විට මුදල් අයකැමිට බයය, ඉස්පිරිතාලයට ගිය විට සාත්තු සේවකට බයය, දොස්තරට බයය, තම ඡන්දයෙන් පත් කරන දේශපාලකයාට බයය.
මෙසේ අධිකාරී බලයෙන් හෙබි පුද්ගලයා ඉදිරියේ දෙකට නැමෙන, ඇඹරෙන, නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන සිටිනා නිවට කීකරු බයාදු මිනිසුන් නිර්මාණය වන්නේ කුඩා කලදී දෙමව්පියන් සහ විදුහල්පතිවරුන්ගේ වේවැල මඟින් මොට කර දමනු ලැබූ පරපුරක හීන වූ පෞරෂය හේතුවෙනි.
එසේම පීඩනයන් යටතේ තම දෙමාපියන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන දරුවා වැඩිහිටියෙක් වූ පසු එවන් අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්නේද තම දෙමාපියන් ප්‍රතිචාර දැක්වූ විලසටමය.
තමාගේ අණසකට යටත් නොවන දරුවාට පමණක් නොව, බිරිඳට, පෙම්වතියට පවා පහර දෙන සැමියන් සහ පෙම්වතුන් බිහි වීමට ඔවුනගේ ළමා වයසේ අත්දැකීම් බලපාන්නේ මෙලෙසය. එසේම තමාට මුහුණ පෑමට සිදුවන ගැටළු වලට විසඳුම හිංසාව (violence) තුළින් සෙවීමට උත්සාහ කරනා මිනිසුන් බිහිවීමටද ළමා වියේ අත්දැකීම් දැඩි ලෙස බලපායි.
ලෝකයේ දැනටම රටවල් 44 ක දරුවනට, නිවසේදි හෝ පාසලේදි පහරදීම නීතියෙන් තහනම් කොට ඇත (මූලාශ්‍ර 1, 2)
අප රටේද යම් තාක් දුරකට නීති සම්පාදනය කොට තිබුනත්, නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජය දක්වන්නේ මැළිකමකි.
ඒ බොහෝ විට නීතියේ පිහිට පතන දෙමාපියන් සහ දරුවන් දෙස සමාජය ‘ගුරු දෙවියාට’ එරෙහි වූ ද්‍රෝහියන් සේ දකින නිසාය.
දරුවෙක් බිහි කිරීමට බලාපොරොත්තු වන යම් වැඩිහිටියෙක් වේ නම්, ඔහුට/ඇයට හයක් හතරක් නොතේරෙන දරුවෙකුගේ නොහොබිනා ක්‍රියා දෙස ඉවසීමෙන්, උපේක්ෂාවෙන් බලා හැඟීම් වලට යටත් නොවී බුද්ධිමත්ව වැඩිහිටියෙකු සේ දරුවාගේ අනාගතය ගැන සිතා ප්‍රතිචාර දැක්වීමට නොහැකි නම් ඔහු/ඇය දෙමාපියෙකු වීමට සුදුසු නැත.
දරුවෙකු බිහිකිරීමට සුදුසු නැත !
ඔබ, අනෙකා මත තම පීඩනය පටවන පරපීඩිකයෙකු නම්,
සමාජයට සහ මිනිස් සංහතියට ඔබට කළ හැකි ලොකුම සේවය නම් දරුවෙකු බිහි කිරීම ගැන දෙවරක් සිතා බැලීමයි !
පෙර සඳහන් කල පරිදිම ආදි කාලයේ රුවන් වැකි සිහිකරමින්, කල් ඉකුත් වූ කසිකබල් ආකල්ප කරේ තියාගෙන සිය දරුවන් මත හිංසාව පතුරවන වැඩිහිටියෙකු නම් මින්පසු සිය දරුවාට පහර දීමට සිය අත හෝ වේවැල උස්සන විට කරුණාකර මේ වදන සිහි කැඳවා ගන්න,
ඔබේ දරුවා මිනිස් දරුවෙකු මිස වහු පැටියෙකු නොවේ.
කෙවිට භාවිතා කරන්නේ හරකුන් දැක්කීමට මිස, දරුවන් කීකරු කිරීමට නොවේ.
ඔබේ දරුවාට හරක් පැටියෙකු ලෙස නොව, මිනිස් දරුවකුට සේ සලකන්න.
වරදට කණ පැළෙන්න පහරදෙනවා වෙනුවට, වරදට හේතුව පහදා දෙන්න.
එවිට ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ පසු අණට කීකරුවන හරකෙක් බවට නොව,
බුද්ධියෙන් හරි වැරැද්ද තීරණය කරන බුද්ධිමත් මිනිසෙකු බවට පත් වනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s