ආදරය විඳවන මිනිස්සු

අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය.
ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්‍රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය.
සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්‍රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය.
ඒ මිනිස් සිතකට දැනෙනා ආදරය ප්‍රකාශ කිරීමේ නිදහස ලිංගිකත්වය මත බෙදා වෙන්කිරීමෙනි. පුරුෂ ලිංගික ශරීරයකට හිමිවන ආදරය ප්‍රකාශ කිරීමේ නිදහස ස්ත්‍රී ලිංගික ශරීරයකට අහිමි කිරීමෙනි.
අප සංස්කෘතිය තුළ ස්ත්‍රී ශරීරයකට දැනෙන ආදරය පිරිමියෙක් වෙත ප්‍රකාශ කිරීම තරමක් ‘අසාමාන්‍ය’ ගනයට වැටෙන වැඩක්ය. තරුණියක් තමාට දැනෙන ආදරය ප්‍රකාශ කිරීම වෙනුවට ඇය තමා වෙත ආදරය ඉල්ලාගෙන තරුණයෙක් එන තෙක් නිහඬව බලාගෙන සිටිය යුතුය.
තමාගෙන් ආදරය පතාගෙන එන පළමු තරුණයක් කිහිප දෙනාගෙන් කෙනෙක් තමාගේ ජීවන සහකාරයා ලෙස තෝරාගැනීම හැර වෙනත් විකල්පයක් තරුණියකට නැත. ඇරත්, ආදර සබඳතාවයක් නැවැත්වීම හෙවත් බූට් තැබීමද පුරුෂ ලිංගික මනසකින් සිතනා සමාජය සමාන කරන්නේ ද්‍රෝහිකමකටය.
තරුණයන් දෙතුන් දෙනෙකුට වඩා ආදරය කල තරුණියකට ඉබේම ‘අතින් අත ගිය බඩුවක්’ වැනි ලේබලයක් වදින නිසා කුමන හෝ අත්තක හැකි ඉක්මනින් එල්ලීමටය තරුණියකට සිදුවන්නේ.
කාලයක් ආශ්‍රය කිරීමෙන් එකිනෙකා හඳුනාගෙන සබඳතාවයේ අනාගතය ගැන තීරණය කිරීම අපේ සංස්කෘතිය නොවේ. පිරිමි යෝජනාවකින් පටන් ගන්නා ආදර සබඳතාවය සෘජුවම විවාහය ඉලක්ක කරගෙන සිදුවිය යුත්තකි.
ඔවුන් එකිනෙකාගේ ගැලපීම් නොගැලපීම් හඳුනා ගැනීම පසෙක තබා මුලින්ම කල යුත්තේ අනාගතයේ සිදුවීමට නියමිත විවාහයකට දෙපාර්ශවයේ දෙමාපියන්ගේ අවසරය පැතීමය.
එතැන් පටන් ආදරවන්තයන් හමුවන සෑම අවස්ථාවක්ම පාහේ දෙමාපිය අවසරය ඇතුව සිදුවිය යුතුය. දෙමාපියන්ගේ අවසරය ඇති හෝ නැති ආදර සබඳතා වල දෙමාපිය දැනුවත්කමින් තොරව සිදුවන හමුවීම් වැටෙන්නේ අසම්මත හැසිරීම් ගනයටය.
සතියකට වරක් දෙවරක් වැඩිම වුනොත් පැය දෙකකට තුනකට සීමා වන එම අසම්මත හමුවීම් බොහෝ විට සිදුවන්නේ චිත්‍රපට ශාලාවක් තුළය. නැතහොත් මල්වත්තක, බස් හෝල්ට් එකක, බස් රථයක පසුපස සීට් එකකය.
11063773_494098310759287_6199304762948078073_n
එහිදී සිදුවන කතාබහද සීමා වන්නේ විවාහ මංගල උත්සවය සැලසුම් කරන්නට, නොගැලපෙන කේන්දර, දෑවැදි, දෙමාපිය ප්‍රශ්න සාකච්ඡා කිරීමටය. එකිනෙකා හඳුනා ගැනීමක්, විවාහයෙන් පසු ජීවිතය සැලසුම් කිරීමට ඉඩක් හෝ කාලයක් ආදරවන්තයන් සතුවන්නේ නැත.
එපමණක් නොව, තරුණ යුවලකට තම ප්‍රියයාගේ අතින් පවා අල්ලන්නට වෙන්නේ මුලු සමාජයටම හොරෙන්ය. සමාජයේ වැඩිහිටියන්ගේ, සිකියුරිටි ගාඩ්ලගේ රැවුම් ගෙරවීම් වලට යටත්වය. කම්මුල් සිපගැනීමක් පවා වැටෙන්නේ සමාජය විසින් නැහැදිච්ච යයි සම්මත හැසිරීමකටය.
අප සමාජයට අනුව අත් පටලවාගෙන ආදරය විඳිනා යුවලක් යනු සදාචාරයට කෙළවන අසික්කිත ජීවීන් දෙදෙනෙකි. පන්සල්, පල්ලි, නිදහස් චතුරශ්‍රයන් වැනි පරම ශුද්ධ වූ දේ ඔවුන්ගෙන් රැකගත යුතු යැයි සමාජය සිතන්නේ ඒ නිසාය.
12227603_10153775488694883_6885230220747649373_n
අපේ සංස්කෘතියේ ආදරයට පුද්ගලිකත්වයක් නැත. ආදරය තුළ ලිංගිකත්වයට ඉඩක් නැත. අප සංස්කෘතිය හොයන්නේ සුදු සළුවකින් එතූ ආදරයකි. පතන්නේ රාගයෙන් තොර ප්‍රේමයකි.
ඒ ආදරය තුළ ඉඩම් ගනුදෙනු, කේන්දර, පට්ටම් වලට ඉඩ තිබුනද සිපගැනීම්, වැළඳගැනීම් වලට ඉඩ නැත.
අප සංස්කෘතියට අනුව තමාගේ ආදරවන්තයා සමඟ ලිංගික ක්‍රියාවල යෙදෙන්නේ වල් බැල්ලියන්ය. තම ආදරවන්තියව කාමරයකට එක්කන් යන්නේ ඇයට ආදරය නොකරන ගණිකාවක් සේ ඇයට සලකන සල්ලාලයන්ය.
ඒ අතින් ගත් කල ආදරවන්තයන්ට තම තමන් එකිනෙකා හා කොපමණ අදහස් අතින් ගැලපෙනවාද, ලිංගික වශයෙන් ගැලපෙනවාද කියා දැනගැන්මට ක්‍රමයක් නැත.
මන්ද, ආදරය යනු විඳින්නට තේරුම් ගන්නට තිබෙන දෙයක් නොව සීමා මායිම් වැටකඩොළු වලට සිරවී විඳවන්නට ඇති දෙයක් බවට අප සංස්කෘතිය පත් කොට ඇති නිසාය.
ඒ අතින් විවාහය යනු හොඳ අතට හැරේ යැයි සිතමින් තම ජීවිත ඇපයට තබා අල්ලන්නට සිදුවන ඔට්ටුවකි.
එකිනෙකා ඇසුරු කොට තේරුම් ගැනීමට නිදහස අහිමි වූ ආදරවන්තයන් එකිනෙකා සැබවින්ම හඳුනාගන්නේ විවාහ වූ පසුය.
මන්ද විවාහයට පෙර අපට එකිනෙකා මානසිකව සහ ලිංගිකව හඳුනා ගන්නට තිබෙන අයිතිය සමාජය සහ සංස්කෘතිය විසින් අහිමි කරනු ලැබූ නිසාය. එවිට තම සහකරුවාව/සහකාරියව හඳුනාගන්නා ඔවුන් සැබවින්ම දකින්නේ තමා ප්‍රේමවන්තයන්ව සිටි කාලයේ දුටු චරිතය නොවේ.
අවසනයේ අපට උරුම වන්නේ නිරස, දුක්ඛිත, එකෙන්කා නුරුස්සන විවාහ ජීවිතයන්ය. ඒවා ගෙවන්නේ බොහෝ විට දරුවන්, දෙමාපියන්, සමාජය, රැකියා වැනි දේ හේතුකොටගෙන මිස තම සහකරුවා/සහකාරිය ගැන සිතේ තිබෙනා ආදරයක් මුල් කොටගෙන නොවේ.
සැබවින්ම අපේ සමාජය, සංස්කෘතිය තුළ ආදරයට ඉඩක් නැත. විවාහයට පෙරත් නැත. පසුත් නැත.
මෙපමණ සීමා සහිතව සිදුවන නොගැලපෙන විවාහයන් වලදී පවා සමාජය විසින් දික්කසාදයටවත් පිළිගැනීමක් නැත. අප සමාජය දික්කසාදය පවා සලකන්නේ මිනිස් ජීවිතයක ආපසු හැරවිය නොහැකි පරාජයක් ලෙසය. නොමැකිය හැකි කළු සලකුණක් ලෙසය.
අපේ සංස්කෘතිය මෙයයි. අපේ සංස්කෘතිය තුළ ආදරයට දී තිබෙන තැන මෙයයි. අප සංස්කෘතිය විසින් ආදරය මත පළඳා ඇති උරචක්‍රමාලය මෙයයි.
ප්‍රසිද්ධියේ වෛර කිරීමට වඩා ආදරය කිරීමට ඉඩ ලැබෙන දිනයක් උදාවන තුරු, කුඩා දරුවන් ඉදිරියේ කුණුහරප කියමින් රණ්ඩු වීමට වඩා එකිනෙකා සිප වැළඳ ගැනීම පිළිගන්නා වැඩිහිටි සමාජයක් බිහිවන තුරු මිනිසුන් වශයෙන් අපට ආදරය සැබවින්ම විඳීමට ඉඩක් නොලැබෙනු ඇත. ආදරයට ඉඩ නැති වෛරයට ඉඩ ඇති සංස්කෘතියකින් කුමන පලක්ද?
ආදරය කිරීමට නිදහසක් නැතිනම්, ආදරය විඳීමට නිදහසක් නැතිනම්’ලෝකෙන්ම උතුම්ම එක’ නැමති ලේබලය ඇලවූ සංස්කෘතියක් වුවද ආරක්ෂා කිරීමෙන් පලක් නැත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s