හං කෑල්ල මත පදනම් වූ විවාහ ගනුදෙනු

“මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල. එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල”

කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්.

මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි,

“දුවේ මොන දහන් ගෑටේ දාලා හරි ඔය කකුල් දෙක මැද්දේ අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ල ආරක්ෂා කර ගනින්” කියන කතන්දරේ.

එහෙම වෙන්නේ, විවාහයට සහකාරිය තෝරගද්දි අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලකින් ගෑණියෙක්ගේ පිවිතුරු බවක් හොයන්න සමාජය පෙළඹිලා ඉන්න නිසා. මේ කතන්දරේ තියෙන කැත පැත්ත තමයි, අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලෙන් ගැහැණියකගේ පිවිතුරු බව සොයන පිරිමි ඉන්න සමාජයක. ඒ පිවිතුරු බව ඒ පිරිමින්ගෙන්ම ආරක්ෂා කර ගන්නට සිද්ද වෙලා තියෙන එක.

ඒ නිසා තම දියණියට විවාහ වෙළඳපොළේ තියෙන ඉල්ලුම තීරණය වන ප්‍රධානම සාධකයක් වන ඒ හම් කෑල්ල ආරක්ෂා කරන්න දැඩි නීති රැකවල් සීමා පනවන්න දෙමාපියන් පෙළඹිලා.

ගෑණු දරුවා වැඩිවියට පත් වුන දවසේ ඉඳලමත් (සමහර විට ඊට පෙරත්) ඇයව පිරිමින්ගෙන් ආරක්ෂා කරන්න ඕන. ඇයගේ ස්වභාවික අවශ්‍යතා වලින්, ඇගේම ආශා වලින් ඇයව ආරක්ෂා කර ගන්න ඕන.

බොහෝ දෙමාපියන් කරන්නේ තමාගේ දියණියන්ව නිසි වයස යයි ඔවුන් හඳුන්වන වයසකට පැමිණෙන තුරු කූඩු කොට තබල, ඉන්පස්සෙ තමා තීරණය කරන පිරිමියෙක්ට විවාහ කරල දෙන එක.

මේ විකාරරූපී විකෘති වූ සදාචාරයක් අස්සේ විවාහය තෙක් තමන්ගේ දෙමාපියන්ගේ සිරකාරියන් වන තරුණියන්ට ඒ සීමාවීම නිසාම තමාට ගැලපෙන සහකාරයෙක් තෝරාගන්නවත්, තෝරාගත්ත සහකාරයාව ආශ්‍රය කරලා තේරුම් ගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

මෙවන් සීමා මායිම් අස්සේ හිරවෙලා නිදහසක් නැති ජීවිතයන් ගත කරන ඔවුනට රිසි සේ ආදරය කරන්න, ආදරය විඳින්න ලැබෙන්නේ නෑ.

පියාගේ අධිකාරියෙන් හිර වෙලා තමාගේ ජීවිතයේ මුල් දශක කිහිපය ගත කරන ඇයට ඉන් නිදහස් වීම සමරන්න වෙන්නේ සුදු ඇතිරිල්ලක් දාපු ඇඳක වෙන මිනිහෙක් ඉස්සරහා කකුල් දෙක ඈත් කරගෙන.

ඒ මිනිහා පවා තෝරාගන්න ඇයට තියෙන නිදහස දෙමාපියන් විසින්ම නැතිකරලා දාලා.

මීට මාස කිහිපයකට කලින් මගේ මිතුරියක් හැඬූ කඳුළින් කිව්වෙ ඇයගේ දෙමාපියන් ඇයව බලහත්කාරයෙන් නාඳුනන පුද්ගලයෙක්ට විවාහ කරලා දෙන්න යන බව.

ඔව්.. ඇයගේ දෙමාපියන් ඇයගේ ජීවන සහකාරයා ඇයටම තෝරලා දීලා

ඒ තීරණයට ඇයගේ කැමැත්ත අකමැත්ත වැදගත් වෙලා නෑ.

දැන් ඇයට තියෙන්නේ දෙමාපියෝ තීරණය කරපු ඒ මනමාලයාව ගිහින් කසාද බඳින්න. දෙමාපියන්ගේ තීරණයට අවනත වෙන්න.

මේ විවාහ ගණුදෙනුව තීන්දු කරද්දි දෙමාපියන් ඇයගේ කැමැත්ත විමසීමක් කරලත් නෑ. කැමැත්ත විමසන්න අවශ්‍යතාවයක් තිබිලත් නෑ.

මොකද, දෙමාපියෝ දරුවන්ට හොඳම දේ මොකක්ද කියල දන්නවනෙ. ඉතින් දරුවෝ වෙනුවන් දරුවන්ගේ ජීවිත වල වැදගත්ම තීරණ ගන්නෙ දෙමව්පියෝ !

මේ අත්දැකීම මගේ මිතුරියට විතරක් සීමා වුන එකක් නෙමෙයි.

දිනපතාම ලෝකයේ විතරක් නෙමේ, අපේ රටේත් දරුවන් කීදෙනෙක් අකමැත්තෙන් දෙමාපියන්ගේ බලකිරීම් නිසා විවාහ වෙනවද? කීදෙනෙක්ට තමාගේ විවාහයන්ට, ආදර සබඳතාවලට දෙමාපිය බලපෑම් නිසා නැවතීමේ තිත තියන්න වෙනවද?

ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තරුණයෝ තරුණියෝ දෙගොල්ලොම තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ අසරණ වෙනවා.

තමන්ගේ ජීවිතය ගෙවන්න සුදුසු සහකාරයෙක්/සහකාරියක් තමාගේ කැමැත්තට අනුව තෝරගන්න ඔවුන්ට තියෙන අයිතිය නැති කරන්නේ වෙන කවුරුවත් නෙමේ, ඔවුන්ගේම දෙමව්පියෝ.

මේ බලහත්කාරකම් සිද්ධ වෙන්නෙ විවාහ යෝජනා කියල හඳුන්වන ශිෂ්ට සම්පන්න බෝඩ් ලෑල්ලක් පිටිපස්සෙ,

මේ මානව අයිතීන් උල්ලංඝනය කරන අමනයන් හැංගිලා ඉන්නේ අපේ සමාජය විසින් සුවඳ ඳුම් අල්ලමින් උදේ හවහ වන්දනාමාන කරනා දෙගුරුන් කියන පට්ටමක් පිටිපස්සෙ,

විවාහ යෝජනා නාමයෙන් ආවට ඇත්තටම මේවා විවාහ යෝජනා ද?

මොකද, යෝජනාවක් නම් විවාහයට සම්බන්ධ වෙන ප්‍රධානම පාර්ශව දෙක වන මනාලයාට හරි මනමාලියට හරි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න හැකියාව තියෙන්න ඕන..

ප්‍රතික්ෂේප කරන්න බැරි නම් ඒක යෝජනාවක් වෙනවද?

මේවා විවාහ යෝජනා නෙමේ, විවාහ ගනුදෙනු..!

වැඩිවියට පත් තමාගේ දරුවා තමාට අයිති දේපලක්ය කියලා හිතන, ආත්මාර්ථකාමී දෙමව්පියන් දෙපිරිසක් එකතු වෙලා, ඒ දරුවන්ව යොදාගෙන තමාගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න (තමන්ගේ පවුල, පෙළපත, කුළය තවත් ඔසවා තබන) ගනුදෙනු !

තමා කැමති සහකාරයා/සහකාරිය තෝරාගන්න තියෙන නිදහස නැති කරලා, වෙනත් පාර්ශවයක උවමනාවකට විවාහ දිවියකට ඇතුල් වෙන්න සිද්ධ වෙන එක සසඳන්න පුළුවන් මංගල්‍යයකට නෙමේ, චිත්‍රපටියක මුහුරත් උත්සයකට. ඒ අතින් ඔවුන්ට සහභාගී වෙන්න වෙන්නේ විවාහ මංගල උත්සවය කියලා ඔවුන්ගේ දෙමාපියන් සතුටු වන, දෙමාපියන් විසින් පිටපත ලියලා, දෙමාපියන් විසින්ම අධ්‍යක්ෂණය කරලා නිශ්පාදනය කරලා එළිදක්වන දෙමාපියන්ගේ පෙළපතේ අඩම්බරය සහ සතුට සමරන උත්සවයකට.

මානුෂීය සබඳතාවයකට බලෙන් ඇතුලත් කලත්, පුද්ගලයෙක්ව නීත්‍යානුකූලව තවත් කෙනෙක්ට ලියල දුන්නත් එකයි; මානුෂීය සබඳතාවයකින් ඈත් වෙන්න කියල බලපෑම් කලත් එකයි.

දෙමාපියන්ගේ බලහත්කාරයෙන් සිද්ධ වෙන විවාහ මංගල්‍යන් හා සමානවම දෙමාපිය බලපෑම් නිසා අතහැර දමන්න සිද්ධ වෙන ප්‍රේම සම්බන්ධතාද එමටයි.

වැඩිවියට පත් වුන තමාගේ දරුවාගේ කැමැත්තට, අකමැත්තට ගරුකරන සංස්කෘතියක් අපේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ වැඩිහිටි දරුවන්ට තමාගේම ජීවිතය ගැන තීරණ ගැනීමට තියෙන අයිතිය මංකොල්ලකන දෙමාපියන්ට වන්දනා කරන සංස්කෘතියක්. ඒ මංකොල්ලකෑම සාමාන්‍යයකරණය වූ සංස්කෘතියක්. ඒ මංකොල්ල කෑම හිස පහත් කරගෙන පිළිගන්නා සංස්කෘතියක් !

දශක ගණනක් මුළුල්ලේ තමා හදා වඩා තියෙන්නේ තමාගේ ජීවිතය ගැන තීරණ ගන්නවත් නොහැකි ගොන් මැට්ටෙක්වය, මැට්ටියක්වය කියා යම් මවක්/පියෙක් තම දරුවා ගැන සිතනවා නම්, එය එම දෙමව්පියන්ගේ අසාර්ථකත්වයේ ප්‍රතිබිම්භයක් පමණයි.

වයස විස්ස විසිපහ සීමාව ඉක්මවූ වැඩිහිටිපරපුරක් දෙස සමාජයක් වශයෙන් අපි බලන්නේ ‘ළමා වැඩිහිටියන්’ ලෙස නම්, ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ගැන ඇති අවිනිශ්චිත බව නිසාම ඔවුන්ට කලින් පරපුර ඔවුන් වෙනුවෙන් තීරණ ගත යුතු නම්,

ඔවුන්ව සලකන්න වෙන්නෙ තරුණ පරපුරක් විදියට නෙමේ, ළමයින් විදියට. වයසින් වැඩිහිටියන් වුනත් මනසින් ළමයින් වන ‘ළමා වැඩිහිටියන්’ විදියට.

තත්වය මොකක් වුනත්, ඔවුන්ගේ දෙමාපිය පරපුර ඔවුන්ට සලකන්නේ ඒ විදියට.

ඔවුන්ගේ ජීවිත ගැන ඔවුනට හිමි නිදහස, වගකීම වැටකඩොළු දාලා නැති කරන දෙමාපියන් තම දරුවන්ට දෙන්නේ තේරීමක්;

“උඹ අපි කියන දේ අහල අපේ කැමැත්ත කරන්න ඕනි. එහෙම නැත්නම් අද ඉඳලා අපි මැරුන කියල හිතාගනින්. උඹට ලොකු ඒකිවද? අපිවද?”

මේ විදියට දරුවන් තුළ තමාට ඇති ආදරය, ගෞරවය දඩමීමා කරගෙන ඔවුන්ව අසරණ තත්වයට ඇද දමන දෙමාපියන් ඇත්තටම බැලුවම තම දරුවන්ට තේරීමක් ලබා දෙන්නේ නෑ.

තමා කැමති විදියට වැඩ කරන්නෙ නැති, විවාහ වෙන්නෙ නැති, ප්‍රේම සම්බන්ධතා වලට නැවතීමේ තිත තියන්නෙ නැති දරුවෙක්ගේ ජීවිතය ඔවුන් අපායක් බවට පත් කරන්නේ දරුවන් තුළ ඔවුන්ට ඇති ආදරයම ඔවුන්ගේ අවිය කරගනිමින්.. සමාජයක් වශයෙන් දැන්වත් අප අපගේ තරුණ පරපුරට වැඩිහිටියන් සේ සැලකීමට පටන් ගත යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට තිබෙන නිදහස පිළිගත යුතුය.

මෙවන් දෙමාපියන් කෙරෙහි අප දක්වන ආකල්ප වෙනස් කර ගත යුතුය.

රටේ අනාගතය නියෝජනය කරන පරපුරකට, රට ගැන තීරණ ගැනීමට පෙර, තම තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඇති නිදහස පිළිගත යුතුය.

13 responses to “හං කෑල්ල මත පදනම් වූ විවාහ ගනුදෙනු

  1. අපේ රටේ පිරිමි අයට සාපේක්ශව කෙල්ලන් සන්කෘතිය යන මගුලෙන් කූඩුවකට දාලා තියෙන්නේ.

    Like

  2. ඉන්දියාවත් පාකිස්තානයත් එක්ක බලනකොට අපි තව හොඳයි කියලා හිත හදාගමු.

    Like

  3. කරුණු දැක්වීම හොඳයි සංජය, ඒත් අපේ රටේ උපතේ සිට ළමයෙක් හදන්නේ යැපෙන විදිහට, ඒ ක්‍රමය වෙනස් නොකර දරුවන්ට නියම දැනුමක් ලැබෙනවා කියලා හිතන්න අමාරුයි තරුණ වයසේදි තනි තීරණ ගන්න.

    Like

  4. එකඟයි සාලිත. කමෙන්ටුවට ස්තූතියි

    Like

  5. ඉන්දීය, පකිස්තානු සංස්කෘතීන් වල ගැහැණුන්ට සලකන විදිය එක්ක බලද්දි ගැඹුරින් වෙනස් වුනාට මතවාද ව්යුහයෙන් සමානයි

    Like

  6. වැඩිහිටියන් වුනයින් පස්සෙ තමාට තමාගේ ජීවිතය ගැන ගන්න පුළුවන් විදියට ළමයින් හදන එකයි කල යුත්තේ. නැතුව ජීවිත කාලයම තීරණ ගන්න බැරි මැටි මෝල්ලු හදන එක නෙමේ.

    Like

  7. ඇත්තටම ඔව්.. මුල වෙනස් උනොත් එය අපහසු නැ..ඒත් ටිකක් සමාජයට ලං වෙලා බ/ලුවම පේනව මුල වෙනස් වෙන පාටක නැ..තාමත් අවුරුදු 16- 17 ළමයගේ ( ඇතැම් විට විශ්වවිද්‍යාලයේ ඉන්න ළමයගේ පවා) සියලු ආවතේව කරන්නෙත් අම්මා තාත්තා ඇතුලු ගෙදර අය.. අර ලඟදි සියදිවි හානි කර ගත්ත වෛද්‍ය සිසුවා ගැන ගෙදර අය කියලා තිබ්බෙත් එහෙම… ඊට පහළ අය ගැන කියන්න ඕන නැනේ සංජය..

    Like

  8. දෙමාපියන් මත යැපුනත් තමාගෙ දරුවන් තමාගේ දේපල විදියට සලකන එක සාධාරණීයකරනය කරන්න බැහැ. මේ තත්වය අපේ රටේ බොහෝ වෙලාවට දරුවන් වයස 25-30 පැන්නත් තියෙනවා. ඒ අනිසි බලපෑම් කිරීම ගැනයි මම කතා කලේ 🙂

    Like

  9. මට හිතෙන්නේ සංජය අපි ආපහු මුලටම ඇවිත් නේද.. 🙂

    Like

  10. එකඟයි…අපිට මග පෙන්වනවා විනා එයාලගෙ තීරණ බලහත් කාරයෙන් අපේ හිස මතට පැටවීම වැරදියි.ඒ අතින් අපි සුළුතරයක් වාසනාවන්තයි.අපේ තීරණ අපිටම ගන්න ඉඩ දුන්න අපේ දෙමාපියෝ

    Like

  11. ස්තූතියි ඩබ්.කේ 🙂

    Like

  12. මේකේදි මම මගේ ජීවිතේ පුරා ලබපු අත්දැකීම් එක්ක (සහෝදරියන්ගේ, මිතුරු – මිතුරියන් ඇසුරින් ලබපු හොඳේ) වෙනස්ම විදිහකටත් දකිනවා.

    තරුණ ළමයි තීරණ ගන්නේ හදවතින්, නමුත් ජීවිතේ අත්දැකීම් එක්ක මෝරපු දෙමාපියන් බුද්ධියෙන් තීරන ගන්න පෙළඹෙනවා.

    එතනදී තරුණ දරුවා හදවතින් ගත්තු තීරණය නිසා බුද්ධියෙන් ඒ දෙස බලන දෙමාපියන්ට තේරෙනවා නම් දරුවාගේ අනාගතය ගැන රිස්ක් එකක්, ඒ වගේ වෙලාවට දෙමාපියෝ තදබල ලෙස දරුවට බලපෑම් කරනන් පෙළඹෙන්න පුලුවන්.

    උදාහරණහක් ලෙස නිදහස් සංකෘතියක හැදුනු දුවෙක් අන්තවාදී ආගමක තරුණයක් හුදු ප්‍රේමය නිසාම සහකරු ලෙස තෝරගන්න යනවා නම් (Not Without my daughter – Betty Muhammdi / දෙවියන්ගේ අඩවිය – පරිවර්තිකා අනුලා ද සිල්වා) දෙමාපියන් තදබල ලෙස විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා බුද්ධිමත්ව හිතලා බලලා.

    සහෝදරීට අන්‍යාගමිකය ප්‍රේමවන්තයා සමඟ විවාහ වෙන්න පවුලේ අය සමඟ “හැමොම මිනිස්සු, එකම ලේ” වගේ සමානාත්මතා කතා කියලා වලි දාගෙන ඒ විවාහයෙන් සහෝදරී වහලියක් වෙලා ඉන්නවා දැකලා ජීවිත කාලෙම දුකෙන් ඉන්න සහෝදරවරුත් ඉන්නවා (මේක අතුරු කතාවක්)

    එහෙම බැලුවාම විරුද්ධ වෙන එකේ සාධාරනත්වයක් තියෙන්න පුලුවන්.

    දුවෙක්ගේ පුතෙක්ගේ තාත්තෙක් විදිහට තව අවුරුදු 20කින් විතර උන්ගේ මගුල් වලදී මාත් එක්තරා දුරකට මැදිහත් වෙයි ඒත් එහෙම කරන්නේ ආදරෙන් හදපු උන්ව “උඹලා ඕන මගුලක් කරගනින් අපිට මොකෝ” කියලා පොල්කුඩු ගානට විසි කරන්න බැරි නිසා.

    Like

  13. //තරුණ ළමයි තීරණ ගන්නේ හදවතින්, නමුත් ජීවිතේ අත්දැකීම් එක්ක මෝරපු දෙමාපියන් බුද්ධියෙන් තීරන ගන්න පෙළඹෙනවා.//

    මේ කතාවෙ ඇත්තක් තියෙන්න පුළුවන්, සමහර අවස්ථා වලදි. නමුත් මම හිතන විදියට, මෙවන් අවස්ථාවකදි වුනත් දෙමාපියන්ට තමාගේ මතය ඔවදනක් විදියට දරුවාට කීම හැර අනිසි බලපෑම් කරන එක සාධාරණ නැහැ. එය සදාචාර විරෝධීයි, මට අනුව නම්.

    කොච්චර කිව්වත්, අවසානයේ තමන්ගේ ජීවිතය ගැන තීරණ තමන්ට ගැනීමට වැඩිහිටියෙක් වශයෙන් ඕනෑම කෙනෙක්ට නිදහස තිබිය යුතුයි. වැඩිහිටියෙක් විදියට තමන් ගන්නා තීරණ වල ප්‍රතිවිපාකද හොඳ හෝ නරක හෝ තමන්ට විඳීමට සිදුවේවි. ජීවිතය යනු හරි වැරදි තීරණ වලින් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන ගමනක්. දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද වැරදි වීමට ඉඩක් ඇති නිසා දෙමාපිය මතයත් මම දකින්නේ තවත් එක් මතයක් පමණක් විදියට.

    කල යුත්තේ, දෙමාපියන් දරුවන් වෙනුවෙන් තීරණ ගැනීම නොව.. කුඩා කාලයේදී/නව යොවුන් කාලයේදී හොඳ නරක තෝරා බේරාගෙන තමන්ට තීරණ ගත හැකි වැඩිහිටියන් පිරිසක් සමාජයට දායාද කිරීමයි.

    //සහෝදරීට අන්‍යාගමිකය ප්‍රේමවන්තයා සමඟ විවාහ වෙන්න පවුලේ අය සමඟ “හැමොම මිනිස්සු, එකම ලේ” වගේ සමානාත්මතා කතා කියලා වලි දාගෙන ඒ විවාහයෙන් සහෝදරී වහලියක් වෙලා ඉන්නවා දැකලා ජීවිත කාලෙම දුකෙන් ඉන්න සහෝදරවරුත් ඉන්නවා//

    මේ කතාව ඇත්ත. නමුත් දෙමාපියන්ගෙ කීමට විවාහ කරගෙන දුක් විඳින මිනිස්සුත් මේ සමාජයේ කීයෙන් කීදෙනෙක් නම් ඉන්නවද?

    අනික, තම දරුවාට ඔහුගේ/ඇයගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇති නිදහස පිළිගැනීම දරුවන්ව පොල් කුඩු ගානට දාලා විසිකිරීමක් නෙමේ.

    කොහොමත් අවසානයේ මගේ අදහස, යම් දෙමාපියෙක්ට වැඩිහිටියෙක් බවට පත් වූ තම දරුවා ඔහුගේ/ඇයගේ ජීවිතය ගැන ගන්නා තීරණ වලට ගරු කල නොහැකි නම්.. ඒ තීරණ ගැන විශ්වාසයක් තියාගත නොහැකි නම්.. ඒ දෙමාපියන් යුවල “දෙමාපියන්” ලෙස තම භූමිකාවේ අසාර්ථක වූවන් බවයි.

    දීර්ඝ කමෙන්ටුවට ඉතාම ස්තූතියි දුකා 🙂

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s