කල කම් පල දීම

“එදා සරත් ෆොන්සේකාව බිම ඇදගෙන ගිය මේජර් සුමිත් තමන්ගේම ගෙදර තමන්ගේම බාල්කයක් ඔලුවට කඩන් වැටිලා රෝහලේ. කලකම් පල දෙනවා කියන්නෙ මේවාට තමයි”

ඔය බුකියෙ ශෙයාර් වුන පෝස්ටුවක්.

ඒ කියන්නෙ බාල්කය කඩන් වැටුනෙ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්ත නිසාද? බැරි වෙලාවත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තෙ නැත්තන් බාල්කෙ කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් එදා මේ මේජර් කෙනෙක් වෙනුවට වෙන මේජර් කෙනෙක් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තා නම් බාල්කෙ වැටෙන්නෙ ඒ මේජර්ගෙ ඔලුවටද? ඔය සිද්ධි දෙකේ සම්බන්ධයක් ඇත්තටම තියෙනවද?

පැටලිලි ගොඩයි.

මේක පැහැදිළිවම ඉතාම පහත් දේශපාලන ඇරියස් කවර් කරගන්න හදපු පෝස්ට් එකක් වුනාට මේකට පදනම් වෙච්චි චින්තනය අපේ සමාජයට අලුත් දෙයක් නෙමේ.

“ඇස් පනාපිට කලකම් පලදීමේ” තියරිය.. අර දිට්ඨදම්මවේදනීය කර්මයද මොකක්ද කියන්නෙ.. අන්න ඒක..

ආගමිකව ගත්තාම ඔය තියරියෙ හරි වැරැද්ද මොක වුනත් ඔහොම අදහසක් අපේ සමාජයේ මුල් බැසගෙන තියෙන බව රහසක් නෙමේ.

කෙනෙක්ට ස්වභාවික විපතක්, අවාසනාවන්ත සිද්ධියක්, අභාග්‍යයක්, කරදරයක් වුනාම.. ඒ කෙනාගේ ජීවිතය හරි ජීවිතයේ යම් ක්‍රියාවකට හරි ඒ සිද්ධිය සම්බන්ධ කරල සතුටු වෙන එක… එහෙම නැත්නම් “මේක උනේ අරක නිසාය”,”මෙහෙම වුනේ එදා අරෙහෙම කල නිසාය” කියල හිතන එක…

එතනින් කියවෙන්නෙ යම් අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න ඒ අය සුදුසුය කියන හැඟීමක්. යම් කෙනෙක්ට යම් අභාග්‍යයක් වුනාම ඒ දෙය සිද්ධ වුන එක සාධාරණය වගේ සිතිවිල්ලක්.

සමහර අවස්ථා වලදි කුඩා දරුවන්ට පවා කරදර වුනාම දෙමාපියන්ගෙ වැරදි වලට ඒක සම්බන්ධ කරනවා දැකලා ඇති

“ඕකුන්ට ඔහොම වුනේ මහ උන්ගෙ වැරදි නිසා”,”දෙමව්පියන්ගෙ කරුම ළමයින්ට කරගහන්න වෙලා”

මොන පදනමකින් ආවත් ඒ සිතිවිල්ල හරිම අමානුෂිකයි.

මේ කතාවෙ තවත් පැත්තක් තියෙනව

වසර 2012 දී ඉන්දියාවේ දිල්ලි නගරයේ සිද්ධ වුන ජ්‍යෝති සිං ගේ සමූහ දූෂණය ගමු. එතනදි සිද්ධ වුනේ බස් රථයක් තුල ගමන් කල යුවලක තරුණයාට පහර දීලා මිනිසුන් හය දෙනෙක් විසින් තරුණියව සමූහ දූෂණයට ලක් කරල ඇයව මරල දාපු එක.

මේ වගේ සිද්ධි වලදි තරුණිය ගැන ඇති වෙන කණගාටුව නිසා ඇහෙන්න පුළුවන් කතා පොඩ්ඩක් හිතන්න

“ඕකුන්ට හෙණ ගහන්න ඕන.. ආත්ම ගාණක් ඔය කල විදියටම ඔය තිරිසන්නු දූෂණය වෙලා මැරෙන්න ඕන”

ඔතනදි එන්නෙත් අර කලින් අදහසෙම අනිත් එක. කරපු වැරැද්දකට අනාගතයෙ දඬුවම් ලැබිය යුතුය කියන එක.

ඒත් ඒ චින්තනයට අනුවම අනිත් පැත්තට හිතල බැලුවොත්, දූෂණය වෙච්චි තරුණිය දූෂණය වුනේ මීට පෙර ආත්මයක/භවයකදි ඇය විසින්ම සිද්ද කරල තියෙන මේ වගේම මහා දරුණු අපරාධයක ප්‍රතිපලයක් විදියට වෙන්න ඕන. ඒකත් කලකම් පලදීමක් වෙන්න ඕන. මේ අයගෙ චින්තනයට අනුව ගත්තොත් “මෙහෙම වුනේ එදා වෙන කෙනෙක්ට අරෙහෙම කල නිසාය” කියල සතුටු වෙන්නයි වෙන්නෙ හරියටම බැලුවොත්.

ඒකයි ඔය චින්තනයේ අවුල.

මනුස්සයෙක්ට දුකක්, කරදරයක්, අකරතැබ්බයක් වුනාම ඒක ඒ මනුස්සයාගේ වැරදි කියල තමන් හිතන් ඉන්න දේවල් වලට සම්බන්ධ කරල සතුටු වෙන එක ඇතුලේ හැංගිලා තියෙන අමානුෂික ඇත්ත ඕකයි.

මීට පස්සෙ ආගමික පදනමකින් ආවත්.. ඔය වගේ සිතිවිලි ඔලුවට එද්දි දෙපාරක් ආයෙමත් හිතන්න.

මොකද ඔය විදියට හිතන්න ගියොත් මේ ලෝකේ දුක් විඳින හැම කෙනෙක්ම, දුක් විඳින හැම අවස්ථාවක් ගැනම මනුස්සයො විදියට අපට කණගාටුවෙන්න..දුක් වෙන්න.. ඉඩක් ඉතිරි වෙන එකක් නැති වෙයි

7 responses to “කල කම් පල දීම

  1. ලිපියේ අන්තර්ගතය සමග එකඟයි. මේ ලිපියට පාදක කරගන්නේ මේජර් සුමිත්. නමුත් පසුගිය කාලයේ මේ හා සමාන සිද්ධි කිහිපයක් සිදුවුණා. සෝභිත හිමියන්ගේ මරණය සහ රාජිත සේනාරත්න රෝහල්ගත කිරීමේදී ඔහුගේ විපත පැතීම යන කරුණත් මෙහි සඳහන් වුනානම් වටිනවා.

    Like

  2. ඔව්. නමුත් මට අවශ්‍ය වුනේ උදාහරණයක් සම්බන්ධ කරලා 'කල කම් පල දීම' කියන සමාජගත අදහස ගැන මගේ මතය ඉදිරිපත් කරන්න. මම හිතන්නෙ ඒක පෝස්ට් එකෙන් කියවුනා කියල 🙂

    Like

  3. පෙර ආත්ම මේ ආත්ම පින් පවු අරවා මේවා ගැන මගේ නම් කිසි විශ්වාසයක් නෑ…

    ඒත් ඇවරි ඇක්සොන් හෑ ඒ රියැක්සොන් කියන එක නම් මම හිස් පුදුනින්ම පිලිගන්නවා… ඒවා ඇස් පනා පිට දැකලත් තියෙනවා….

    Like

  4. //මනුස්සයෙක්ට දුකක්, කරදරයක්, අකරතැබ්බයක් වුනාම ඒක ඒ මනුස්සයාගේ වැරදි කියල තමන් හිතන් ඉන්න දේවල් වලට සම්බන්ධ කරල සතුටු වෙන එක ඇතුලේ හැංගිලා තියෙන අමානුෂික ඇත්ත ඕකයි.//

    සංජය ඔබ හොඳ තර්ක ඉදිරිපත් කරනවා. ඒත් මට හිතෙන්නෙ ඒවා හැම පැත්තටම සාධාරණ නෑ කියලයි. කලකම් පලදීම හොඳින්ම මතු කරන්නෙ පේත වත්ථු හා විමාන වත්ථු තුළ. මෙහිදී ජනයා හොඳ කර්ම වෙනුවෙන් හොඳ විපාක ලැබෙන බව දැන හොඳ කිරීමට පෙළඹුමත් නරක කර්ම වල නරක විපාක දැක පව් වලින් ඈත් වීමත් තමයි තමයි අරමුණ …

    නමුත් ඔබ මෙහිදී මතු කරන්න උත්සහ කරන්නෙ බුදු දහම තුළ කුමක් පැවසුවාද යන්න වෙනුවට හුදෙක් වත්මන් සමාජයේ මුල් බැස ගොස් තියෙන ආකල්පය ගැන නම් ඒ ගැන එකඟ විය හැකියි . නමුත් සමාජයේ සියලු දෙනාම ඔබ ඔය කියන අයුරින් අමානුෂික සතුටක් ලබනවද කියන පැනයත් මතු වෙනවා.

    Like

  5. ඕව දැනගන්න ලෙසියෙන් බෑ මිඩිලීස්ට්වල තම්බියෙක්ගෙ ඩැයිවර් කෙනෙක්ම වෙන්න ඕනෑ

    Like

  6. කවදා හරි දෙතුන් ගුණයකින් තමාට නැවත ලැබේය කියලා කරන ඔය සෝ කෝල්ඩ් පිං වල මානුෂීය වටිනාකමක් නැහැ එහෙම බැලුවොත්. ඒක සමාන වෙන්නේ අන්කෙනෙක් ගේ අවශ්‍යතාවය වෙනුවෙන් කරන කැපකිරීමකට නෙමේ, කවදා හරි තමාට මීටත් වඩා ලැබේය කියන අරමුණකින් කරන ආයෝජනයකට. ඒ විදියේ ආයෝජනයන් 'හොඳ ක්‍රියා' විදියට හඳුන්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නය නැඟෙනවා මෙතනදි.

    //නමුත් ඔබ මෙහිදී මතු කරන්න උත්සහ කරන්නෙ බුදු දහම තුළ කුමක් පැවසුවාද යන්න වෙනුවට හුදෙක් වත්මන් සමාජයේ මුල් බැස ගොස් තියෙන ආකල්පය ගැන නම් ඒ ගැන එකඟ විය හැකියි . //

    ඔව්. මීට කලිනුත් කීපසැරයක්ම කිව්වා වගේ මම කතා කරන්නේ යම් ආගමික ඉගැන්වීමක භාවිතය ගැන මිසක ඒකේ 'නිවැරදි' ඉගැන්වීමය කියලා ඒ ඒ ආගමික න්‍යායාචාර්යවරු අර්ථ දක්වන දේවල් ගැන නෙමේ.

    //නමුත් සමාජයේ සියලු දෙනාම ඔබ ඔය කියන අයුරින් අමානුෂික සතුටක් ලබනවද කියන පැනයත් මතු වෙනවා. //

    සාධාරණ ප්‍රශ්නය. පිළිතුර නැහැ කියන එක. හැමෝම මෙහෙම හිතනවාය කියල මම කියන්නෙ නෑ. මේ චින්තනය තියෙන සුළු හෝ කොටසක් ගැන තමයි මම මේ ලිපියෙන් කතා කලේ.

    Like

  7. මාතලන්,

    //ඒත් ඇවරි ඇක්සොන් හෑ ඒ රියැක්සොන් කියන එක නම් මම හිස් පුදුනින්ම පිලිගන්නවා.//

    ඕක පදනම් වෙන්නේ ඉතින් අපි කරුමය/කර්මය හරි රිඇක්ෂන් එක හරි අර්ථ දක්වන විදිය අනුව.

    //ඒවා ඇස් පනා පිට දැකලත් තියෙනවා….//

    ඇස් පනා පිට දකින ඒවාත් අපිව රවට්ටන සුළු දේවල් වෙන්න පුළුවන්. කොටින්ම අපේ මනස කියන්නෙම අපව රවට්ටන විදියට හැදිල තියෙන එකක් නිසා.

    කෙටියෙන් කියනව නම් අපි ලෝකය දකින්නෙ ලෝකය තියෙන විදියට නෙමේ. අපට ඕන විදියට. අපි කරන්නේ අපේ ඔලුවේ තියෙන මතයන් තහවුරු වෙන විදියට එක එක සිද්ධීන් වල සබඳතා හදාගන්න එක. Cognitive Biases ගැන කියෙව්වොත් පැහැදිළි වෙයි මම කියන දේ.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s