ඇඳ ළඟ බණ පිරිත් ගීතිකා යාතිකා

“ශුද්ධාත්මෙනි.. ශුද්ධාත්මෙනි.. වඩින් ශුද්ධාත්මෙනි….”

ඒ මීට සති කිහිපයකට කලින් පාස්කු දවස් වල පල්ලියේ ගීතිකා දාලා තිබ්බ හැටි. ගමටම ඇහෙන්න. 

අද පෝය.. එකෙම අනිත් එක.. ගමටම ඇහෙන්න බණ/පිරිත් දාලා.

මේක දැන් පන්සල්, පල්ලි, මුස්ලිම් පල්ලි ඔක්කෝටම පොදු කාරණාවක් වෙලා.

මේ ගැන ඒ අයගෙන් ප්‍රශ්න කලොත් ඕකට සාධාරණ උත්තරයක් තියෙයි කියල හිතන්න අමාරුයි. මොකද ගොන් තකතීරු වැඩක් බුද්ධිමත් උත්තරයකින් සාධාරණීයකරනය කරන්න බැහැනෙ. පිරිත් බණ, ගීතිකා යාතිකා අහන්න කැමති අයට ඒ සිද්ධස්ථාන ඇතුලට ගිහින් ඒවා අහන්න පුළුවන්කම තියෙද්දි ඇයි තම තමන්ගෙ ගෙවල් වලට වෙලා ඉන්න ගමේ අනෙක් මිනිස්සුන්ට තමාගේ ආගමික වතාවත් බලෙන් අස්සවන්නේ කියන එකට දෙන්න බුද්ධිමත් උත්තරයක් තියෙයිද?
ඕකෙන් යම් මට්ටමකට තමාගේ ආගමික අධිකාරී බලය පෙන්නන බව ඇත්ත. ඒත් මේ ලවුඩ්ස්පීකර් රෝගය දැන් අපේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා කියලයි පේන්නේ. ආගමික යාතිකා ගමටම ඇස්සවීම ඒකේ එක කොටසක් විතරයි.
ඊයේ උදේ බස් එකේ ගමනක් යන්න වුනා. බස් එකේ දාලා ටීවී එකක්. ටීවී එකේ සංගීත ප්‍රසංගයක්. සංගීතයට කෙල්ලෝ නටනවා. (ඇත්තටම ඒවට නැටුම් කියන්න බැහැ. ව්‍යායාම කරනවා කිව්ව නම් වඩාත් නිවැරදියි) මහ දවල් පිච්චෙන තරමට රස්නෙ, බස් එකේ කට කපලා සෙනඟ, පාර පුරා ට්‍රැෆික් එක, ඒ අස්සේ බස් එක දෙවනත් වෙලා කණ පැලෙන්න සංගීතය. අන්තිමට බස් එකෙන් බහිද්දි ඔලු කැක්කුම හැදිලා බහින්න වුනේ.
බස් එකේ ගියත්, විවාහ උත්සවයක් වුනත්, මොකක් හරි සැමරුම් උත්සවයක් වුනත් රතිඤ්ඤ දාලා, බෙර ගහලා රටටම ලෝකෙටම ඇහෙන්න සමරන සංස්කෘතියක් අපට තියෙන්නෙ.
අනිත් මනුස්සයාට බලෙන් සින්දු අස්සවන, බලෙන් බණ අස්සවන, බලෙන් ගීතිකා අස්සවන, අපේ සතුට සහ භක්තිවන්තකම අනිත් මනුස්සයාට බලෙන් පෙන්නන සමාජක්‍රමයක ජීවත් වෙන මිනිස්සු අපි
පොඩ්ඩක් හිතන්න තමන් නිදාගන්න යදද්දි අල්ලපු ගෙදර මනුස්සයා කණ ළඟට ඇවිත් සින්දු කියනවා කියල, නැත්නම් පන්සලේ හාමුදුරුවෝ ඇඳ ගාව ඉඳගෙන මහ හයියෙන් කණට කරල පිරිත් කියනවාය කියලා.. අන්න ඒ වගේ දෙයක් අනුමත කිරීමක් තමයි අපි මේ සමාජයක් වශයෙන් කරන්නෙ
අලුත උපන් බිළිඳෙක්, විවේකය අවශ්‍ය වයසක මවක් පියෙක්, නින්ද අවශ්‍ය රෝගියෙක්, මහන්සි වෙලා රාජකාරි කරලා පහුවදා උදේ ආපහු වැඩට යන්න උදෙන්ම නැගිටින්න බලාපොරොත්තුවෙන් නින්දට යන මනුස්සයෙක්…
මේ හැමෝගෙම සාමාන්‍යය ජීවිත අවුල් වියවුල් කිරීමක් කරන්නේ ඔවුන්ගේ ජීවිත අස්සට බලෙන් රිංගන්න යාමෙන්.
මනුස්සයෙක්ට පුද්ගලික අවකාශයක් (Personal Space) තියෙනවා, තියාගන්න අයිතියක් තියෙනවා කියන එක තේරුම් ගත යුතුයි ශිෂ්ඨ සමාජයක ජීවත් වෙන ශිෂ්ඨ මිනිස්සු විදියට
තමාගේ ආතල් බලෙන් අනිත් මිනිස්සුන්ගෙ ඇඟේ ගහන එක සංස්කෘතික ලක්ෂණයක් වෙලා තියෙනවනම් එතන පැහැදිළිවම අවුලක් තියෙනවා. එතනින් පෙනෙන්නේ අනිත් මනුස්සයාගේ ජීවිතයට තමාට අතදාන්න පුළුවන් සීමාව ගැන සමාජයක් විදියට අපේ තියෙන අනවබෝධය. වෙනත් මනුස්සයෙක්ගේ නිදහසට ගරුකිරීමක් ඒ නිදහස තේරුම් ගැනීමක් ගැන සමාජයක් වශයෙන් අපේ තියෙන නොසැලකිල්ල.
ඔලුව කැක්කුමක් හැදිලා ඇඳට වෙලා නිදාගෙන ඉද්දි ගෙදර කවුරු හරි ටීවී එක සද්දෙන් දැම්මොත් ඒක අඩු කරන්න කියලා කේන්තියෙන් කෑගහන අපි සමාජයක් විදියට මේ සමූහ වශයෙන් කරන ශබ්ද දූෂණයක් ඉවසන්න පුරුදු වෙලා. එහෙම ශබ්ද දූෂණය කරන එක සාමාන්‍යය දෙයක් වෙලා තියෙනව වගේම ඒක ඉවසන එක සාමාන්‍යකරණය වෙලා තියෙන එකත් පැහැදිළි අවුලක්.
අනෙකාගේ නිදහසට ගරු කරන, අනෙකාට බාධාවක් නොවී ජීවත් වෙන්න දන්න ශිෂ්ඨ මිනිසුන් බවට අපේ ඊළඟ පරම්පරාවවත් පත් කරන්න නම් මේවා වෙනස් විය යුතු දේවල් කියන අදහසවත් මේ පරම්පරාව මෙහෙයවන වැඩිහිටියන්ගේ සිත්වල ඇති වෙන්න ඕන

15 responses to “ඇඳ ළඟ බණ පිරිත් ගීතිකා යාතිකා

  1. ඕකට කියන්නේ පරාර්ථකාමිත්වය කියලා….. ඒ කියන්නේ අපි නිවන් ගියත් තනියම යන්න කැමති නෑ….අනිත් අයවත් ගෙනියන්න බලන්නේ…

    පල්ලියත් එහෙමයි…එකට හිටපු සෙට් එකෙන් කොටසක් ස්වර්ගස්ත් නොවී අපාගත උනොත් අප්සැට් නේ….

    අල්ලා හ්….අම්මෝ මේ ගැන නම් කථා කරන්නත් බයයි…මොකදා ආදරේ වැඩි කමට සයිබරයෙන් උනත් අල්ලා ගාවට යවන්න තරම් ඒ අය කරුණාවයි….

    ප:ලි..මචං උඹ ඇනෝ කමෙන්ට් හිතා මතා බ්ලොක්කරද…නැත්තං අතපසු වීමක්ද…..මේකට කමෙන්ට් කරන්න ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න ඕනා නිසා ඇහුවේ..

    Like

  2. උඹ කියපු කාරණා තුනම ඇත්ත. ඒත් බං, මේක ඔය කියන ආගමික රාමු වලින් එළියට ගිය සංස්කෘතික කාරණයක් වෙලා. මේවා ආගම් වල වැරදි නෙමේ, අපේ වැරදි.

    ඇනෝ කමෙන්ට් සීන් එක හැදුවා මචන්. දැන් හරි ඇති

    Like

  3. ඒත් උඹ කමෙන්ට් කරද්දි ලොග් වෙලා කමෙන්ට් කරනව නම් මම කැමතියි. මොකද මම ලියන ඒවා ගැන උඹේ අදහස් දැනගන්න මම කැමති නිසා. ඇනෝ කමෙන්ට් දානවා නම් යටින් නම දාලා හරි දාහං

    Like

  4. දැන් ඉන්න අය අනුන් ගෙන හිතන්නේ නැති නිසා ඔය ඔක්කොම ගැටළු මතු වෙලා තියෙන්නේ. මිනිසුන්ගේ මනුස්සකම නැති වෙලා ගිහින්.

    Like

  5. “We need to find God and God cannot be found in noise and restlessness. God is the friend of silence. See how nature—-trees, flowers, grass—grow in silence; see the stars, the moon, the sun, how they move in silence.”…..Mother Theresa.

    උඹ අහලා තියෙනවාද මදර් තෙරේසා කියපු මේ කතාව. අපේ එවුන්ගේ හඬ විතරයි වැඩ නැහැ. බොරු පඩ.

    Like

  6. මේක මහා කාලකන්නි රටක් වෙලා… දැන් අර ගවුම් ඇඳගත්ත තම්බි අරාබියේ වගේ මහපාරේ දන ගහගෙන අල්ලා වඳිනවා… අපි මේවා කලින්ම කිව්වා… ගවුම් අඳින්නේ රැවුල් වවන්නේ නිකමට නෙමෙයි කියලා…

    Like

  7. ඔව් බං. තමා කොච්චර පෝසත් ද, කොච්චර උගත් ද කියලා පෙන්නන්න තියෙන ආසාව මදිවට තමා කොච්චර සතුටින්ද ඉන්නෙ, තමා කොච්චර භක්තිවන්තද කියල අනුන්ට පෙන්නන්නත් දඟලනවා.

    හරියට බස් කාරයෝ අලුත් සවුන්ඩ් සෙට් එකක් හයි කලාම බස් එකේ ඉන්න අයට කණපැලෙන්න මහ හයියෙන් දාන්නේ, වියදම් කරලා ගත්ත සවුන්ඩ් සෙට් එකේ තරම පෙන්නන්න. අන්න ඒ වගේ.

    තමාගේ ආතල් එක නිසා අනිත් මනුස්සයට කොච්චර කරදරයක් වෙනවද කියන එක ගැන හිතන්න උවමනාවක් නැහැ.

    Like

  8. අහල තිබ්බෙ නෑ මචන්. ස්තූතියි බෙදාගත්තට. බුදුන්වහන්සේ කියන්නෙත් නිස්කලංක බව, ශාන්ත බව අගයපු කෙනෙක් කියලයි අපි අහල තියෙන්නෙ. ඒත් මේ අය බුදුන්ගේ ධර්මය රට වටේට බලෙන් ඇහැන්න දාලා කරන්නේ වටේ ඉන්න මිනිස්සුන්ගේ සැනසිල්ල නැති කරන එක.

    Like

  9. බෞද්ධයන් අතර විතරක් නෙමේ බං, මේ උණ දැන් හැම ආගම්කාරයන්ටම පැතිරිලා. ජාතිවාදය ආගම්වාදය සංස්කෘතික කාරණයක් වෙලා. පිස්සු මගුලක් බං මේක.

    Like

  10. හ්ම් හ්ම්

    Like

  11. ශබ්ද පූජාව

    Like

  12. අවුරුදු ඉවර වෙච්චි ගමන් කොහා වෙනුවට බස්සා ඇවිත්ද? 😉

    Like

  13. සද්දෙ වැඩි කරන තරමට තමයි පිං හම්බෙන්නෙ

    Like

  14. නිහඩ බව අගය කරන බුදුන් වහන්සේ
    අරාමයේ නිහඩ බව බිඳ දැමුණු
    භික්ෂූන් අරමෙන් ද නෙරපුහ.

    “ආනන්ද, මසුන් අල්ලන කෙවුලන් මෙන් උස්හඬ මහහඬ ඇත්තාවූ ඔව්හු කවරහුදැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් අතින් විචාළේය.

    ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මසුන් අල්ලන කෙවුලන්මෙන් තෙපි කුමක්හෙයින් උස්හඬ මහහඬ ඇත්තාහුදැයි” ඇසූහ. මෙසේ වදාළකල්හි ආයුෂ්මත් යසොජ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ පන්සියයක් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට පැමිණියාහුය.

    “මහණෙනි, යව් තොප මා සමීපයේ නොවසව්යයි ඔවුන් නෙරපව්” ඒ භික්‍ෂූහු “එසේය ස්වාමීනියි”

    භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට සෙනසුන් හකුළුවා පාත්‍ර සිවුරුගෙන වජ්ජිරට යම් තැනෙක්හිද එහි පයින් වැඩියාහුය.

    ඛුද්දක නිකාය
    උදානය
    3. නන්‍ද වර්ගය
    3. යසොජපමුඛ සූත්‍රය

    Like

Leave a reply to Sanjaya Srikanth Cancel reply